IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නැගෙනහිර ජැටියේ ආන්දෝලනය

 නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතු කරන ලද අදහස් මුල් කරගෙන ලියවෙන මේ ‘කිවි දා දැක්ම’ නැගෙනහිර ජැටියෙන් එහාට යන සමාජ-දේශපාලන කථිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුණනවාද? බදු දෙනවාද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායකය. රටට මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් එය අවාසිදායකය. ඊටත් වඩා එය ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යයට හානිකරය. එවැනි විකිණීම් සහ බදු දීම් මේ දක්වා මේ රටට, රාජ්‍යයට අත් කර දී ඇත්තේ අපේක්ෂා භංගත්වය සහ අභ්‍යන්තර මෙන් ම බාහිර පීඩන පමණි.

ආණ්ඩුව පත්වන දේශපාලන අනතුර එක් පැත්තකින් දෘෂ්ටිවාදී එකකි. එනම් ජාතික රාජ්‍යවාදය, ඊට අනුබද්ධ ජාතික ආරක්ෂාව, ජාතික අභිමානය සහ ජාතික සංවර්ධනය පිළිබඳව ආණ්ඩුවේ තීරක බලවේග විසින් ජන සමාජය මත කාලයක් තිස්සේ ස්ථාපිත කොට ඇති සහ නඩත්තු කරන දෘෂ්ටිවාදය අර්බුදයට යෑම එම දෘෂ්ටිවාදී අනතුරය. අනිත් අනතුර දේශපාලන එකකි. එනම් ආණ්ඩුව කෙරෙහි, ජාතික රාජ්‍යවාදී ස්ථාවරයක සිටින බහුතර ජනතාවගේ ඇති පක්ෂපාති බව අඩුවිය හැකි වීම, ආණ්ඩුවට අදාළ ඒ දේශපාලන අනතුරය. එහි තවත් අතුරු දේශපාලන අනතුරක් වන්නේ ආණ්ඩුව ඇතුළේම සිටින, බලය ආශ්වාදය කිරීම විනෝදාංශයක් හෝ ධනෝපායන මාර්ගයක් කර නොගත්, ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් වැනි අවංක මහජන නියෝජිතයන්ගේ හිත් බිඳී යාමටත් ජන සමාජයට වගඋත්තර දී ගත නොහී අසරණ වීමටත් එය හේතුවක් වීමය.

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට විරුද්ධව සංවිධානය කර තිබු පුවත් සාකච්ඡාවක දී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කොට තිබුණේ “ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටිනවා” ය යන්නය. මේ ප්‍රකාශය 1977 න් පසු බලයට පත් වූ සියලු‍ම ආණ්ඩුවලට අදාළය. එපමණක් නොව ලෝකයේ පහළ මට්ටමේ ආර්ථිකයන් ඇති අප වැනි බොහෝ රටවල් වලටත් ආදාළය. එනම් අප වැනි බොහෝ රටවල ඉරණම එයය. එය මේ ආණ්ඩුවට පමණක් චෝදනා කොට අත් පිසදා ගත හැක්කක් නොවේය. නිෂ්පාදන ආර්ථිකයක් නැති, නවෝත්පාදන නැති, විදේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ පහසුකම් සපයා දී යමක් උපයා ගන්නා ඒජන්සි පමණක් ඇති, සංවර්ධන අරමුණු මත නොව දේශපාලන පැවැත්ම සඳහා වැඩ නැති රැකියා ලබා දී ඒ සඳහා විශාල වැයක් දරන, දේශීය සහ විදේශීය ණය උගුල්වල පැටලී ඇති, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ තරඟවල අතකොලු‍ බවට පත් වී ඇති සහ ස්වදේශික න්‍යාය පත්‍ර අනුව නොව ජාත්‍යන්තර බලවතුන්ගේ සහ වෙළෙන්දන්ගේ අරමුණු මත සැකසු න්‍යාය පත්‍රවලට අනුව, කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන් වැඩ කිරීමට සිදුව ඇති සියලු‍ රටවල්වලට අද සිදු වී ඇත්තේ ඇල්ලේ හාමුදුරුවන් කියන ආකාරයේ වෙන්දේසි පොළවල් ලෙස ක්‍රියා කිරීමටය. අප මේ ලෝක තත්ත්වය තේරුම් ගත යුතුය. රටක් වෙන්දේසි පොළක් නොවී සිටීමට, රාජ්‍යයක් එවැනි වෙන්දේසි පොළක පහසුකාරකයන් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසා ගත හැක්කේ එවිටය.

හිටපු ඇමති මංගල සමරවීර මෑතක දී කළ ප්‍රකාශයකට අනුව “ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේ ද, තරුණයන් ට රැකී රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේ ද, විදේශ ආයෝජකයන් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණය.විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීම හෝ පාවා දීමක් බව සිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවේ සුබ සිද්ධියට වැට බඳින අතළොස්සක් පමණයි”. මේ ප්‍රකාශය අපගේ අවධානයට ලක්විය යුතු අපූරු එකකි. එහි ඇති කාරණා එකින් එක පරීක්ෂා කිරීම වැදගත් ය. ලංකාව දියුණු රටක් කිරීමේ වුවමනාව සමරවීරගේ මුඛ්‍ය අදහසකි. ඒ ගැන විරුද්ධත්වයක් අප කාටත් නැත. තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමේ වුවමනාව සහ අරමුණ ද එවැන්නකි. එහෙත් ඒ දෙකම ඉටු කර ගැනීමේ එකම මාධ්‍යය ලෙස ඔහු දකින්නේ විදේශ ආයෝජන මේ රට ට ගෙන්වා ගැනීමය. එය සමාන වන්නේ වෙළඳපොළ විසින් ජන සමාජය සුඛිත මුදිත කරනු ඇත පන්නයේ විශ්වාසයකටය.

මංගල සමරවීරගේ යෝජනාව තුළ අන්තර්ගත වී ඇති මූලික ගැටලුවක් වන්නේ, එවිට දේශීය දේශපාලකයන්ට සහ තීරකයන්ට පැවරී ඇති කාර්යභාරය කුමක්ද යන්නය. ඒ කාර්යභාරය නම් විදේශීය ආයෝජකයන්ට සහ වෙළෙන්දන්ට පහසුකම් සැපයීම සහ පසුබිම සැපයීම පමණක්ය යන්න නම් රටකට රාජ්‍යයකින් ඇති වැඩක් නැත. දේශපාලනයෙන් පරිපාලනයෙන් වැඩකුත් නැත. සමරවීරගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ දේශීය පාලකයන්ගේ සහ තීරකයන්ගේ වගකීම් විරහිතකමය. එසේම ජාත්‍යන්තර පද්ධතිය තුළ විශේෂ අනන්‍යතාවක් සහිත රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමට දේශීය පාලකයන්ට සහ තීරකයන්ට අවැසි විශේෂඥභාවය නැතිකම සහ නොහැකියාවය. ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටින “වෙන්දේසි පොල” සංකල්පය සමරවීරගේ අරමුණු සමඟ ද සමපාත වීමෙන් පෙනී යන්නේ අවුරුදු අනූවක් තිස්සේ මේ රට පාලනය කළ තීරකයන් ණය ගැනීම සහ විකිණීම හැර සිදුකොට ඇති එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයන්ට සහ වෙළෙන්දන්ට අතරමැදියන් ලෙස සේවය කිරීමය. එසේම විදේශීය භාණ්ඩ සහ වෙළෙඳ සේවාවල ‘පොළ පහසුකම්’ සැපයීමය. අප දේශපාලනය, පරිපාලනය සහ වෙළෙඳාම කියා කියන්නේ ඒ අතරමැදි කාර්යභාරයටය.

සමරවීරට සහ ඒ හා සමාන අදහස් ඇති අයට අමතක වී ඇති හෝ ඔවුන් නොදන්නා හෝ දෙයක් ඇත. එනම් ජාතික රාජ්‍යයක් යනු හුදු තාක්ෂණික ව්‍යුහයක් පමණක් නොවේය. ජාතික රාජ්‍යයක් යනු ජනතා පරමාධිපත්‍යය ජනයා සමඟ ගිවිසුම්ගතව ක්‍රියාවට නගන ජාතික දේශපාලන සංවිධානයකි, ජාතික ආර්ථික සංවිධානයකි, ජාතික සංස්කෘතික සංවිධානයකි, ජාතික සමාජ සංවිධානයකි, සමාජ සම්මුතියකි. ජාතික රාජ්‍යය ගොඩනැගිය යුත්තේ ජාතික දේශපාලනය, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය සහ ජාතික සමාජ පදනම් මතය. එකී පදනම් ශක්තිමත් කරගත හැක්කේ ජාතික උත්සාහයකින් මිස සමරවීර යෝජනා කරන ආකාරයෙන් විදේශීය ආයෝජනවලට පහසුකම් පමණක් සැපයීමෙන් නොවේය.

විදේශීය ආයෝජන පිළිබඳ විරෝධයක් මා මතු කරන්නේ නැත. එහෙත් විදේශ ආයෝජන නියාමනය කිරීමට තරම් වූ ශක්තිමත් රාජ්‍යයක් නොවන අප අතිශයින්ම පරෙස්සම් විය යුතුය. විදේශ ආයෝජන පිටුපස නොව ඉදිරියෙන්ම ඇති දේශපාලන අරමුණු, කලාපීය බල තරඟයට අදාළ අරමුණු අප වටහා ගත යුතුය. කලාපීය බලවතුන්ගේ බල තරඟයට මැදිවන අප වැනි රටකට කිසිදු සංවර්ධන ඉලක්කයක් සාධනය කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දේශපාලන, ආර්ථික, මුල්‍ය සහ සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකිවන්නේ ද නැත. ගැති සහ යැපුම් මානසිකත්වයක් මිස ස්වාධීන ජාතික අභිමානයක් වර්ධනය වන්නේ ද නැත.

විදේශ ආයෝජන රටකට ගෙන්වා ගත යුත්තේ ඒ රටේ ජාතික න්‍යාය පත්‍රයකට, වැඩපිළිවෙළකට අනුව මිස විදේශ ආයෝජකයන්ගේ හෝ ඔවුන්ගේ රටේ න්‍යාය පත්‍රයකට හෝ අභිලාශයකට පාවිච්චි වෙමින් නොවේය. අපට සිදු වී ඇත්තේ අනිත් අයගේ අරමුණු සාධනයට පාඩු ලබමින් පාවිච්චි වන්නට ය. ගැටලු‍ව ඇත්තේ එතැන ය. පළමු කාරණය වන්නේ ලෝක පද්ධතිය තුළ අප දුබල රාජ්‍යයක් ය යන්න පිළිගැනීමය. ඒ නිසාම ලෝකයේ ශක්තිමත් රාජ්‍ය වෙළෙන්දන් සමඟ කරන ගනුදෙනු සහ නියාමනය අපට කළ නොහැකිය. අප කළ යුත්තේ ප​ෙරස්සම් වීමය. අනිත් කරුණ වන්නේ වසර දශක ගණනාවක් තිස්සේ විදේශ ආයෝජන යැයි කියා සිදු කළේ දේශීය සම්පත් විකිණීමය. එහි අරමුණ වූයේ රට සංවර්ධනය කිරීමය. එහෙත් 1977 සිට බැලු‍වත් මේ වන විට ඒ ක්‍රියාවලියේ වයස අවුරුදු 44 කි. කාලය දීර්ඝ ය. විකුණා ඇති දේශීය සම්පත් ප්‍රමාණය ඉතාම තීරණාත්මක සහ වැඩි ගණනක්ය. එසේ වුවත් රට ගොස් ඇත්තේ ආපස්සට මිස සංවර්ධනයකට නොවේය. එය එසේ නම් ඒ විකිණීමේ ක්‍රියාවලිය රට මුහුණ දී ඇති ගැටලුවලට පිළිතුරක් නොවන බව තේරුම් ගෙන අප යා යුත්තේ විකල්ප උපාය මාර්ගවලටය.

නැගෙනහිර ජැටිය ඉන්දියානු රාජ්‍යයට නොදී, බහු ජාතික බහුව්‍යාපාරික සමාගමක් වන Adani Groupහි හිමිකරු වන ගෞතම් අදානි ට දීම තුළ අපට ඔහු නියාමනය කළ හැකි යැයි සිතන අය සිහියට නගා ගත යුත්තේ, සමකාලීන ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත තනි පුද්ගල ප්‍රාග්ධනය රාජ්‍යයන්ටත් වඩා ප්‍රබල බව ය. ඊට උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘කට වැසූ සහ අත කැඩූ’ මාර්ක් සකබර් ගේ ශක්තිය සහ බලය මෙනෙහි කරන්න. එවිට සමරවීර ලා ද අප ද ලිලිපුට්ටන් බව වැටහෙනු ඇත. අප ආ මඟ වැරදී ඇති බව ට තව උදාහරණ බොහෝය. ලෝක පිළිවෙළ තුළ අප ක්‍රියා කළ යුත්තේ අපේ ආකාරයකට සහ පරෙස්සම් සහගතවය.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (0)

නැගෙනහිර ජැටියේ ආන්දෝලනය

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 724 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
2024 අගෝස්තු මස 09 422 0

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභා


ජනමත වාසියේ ඉසව්ව
2024 අගෝස්තු මස 02 718 2

2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16900 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site