IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නි​රෝධායන වෙළෙඳපොළ ජාවාරම

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින විදෙස්ගත අපේ ජනයා මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ජාවාරම්කාර මාෆියාවකට හසුවී තිබෙන බවත් එය ජනාධිපතිතුමාගේ අපේක්ෂාව නොවන බවත්, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පුවත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය. නිරෝධායන හෝටල්කරුවන්ගේ දූෂිත ක්‍රියාවලිය නිසා නිරෝධායනය ජාවාරමක් වී ඇති බවත්, ඒ හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන් අන්ත අසරණ භාවයට පත්වන බවත්  ඒ තත්ත්වය නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ ද පසු ගිය දිනක ප්‍රකාශ කළේ ය. ඒ දෙදෙනාගේ ප්‍රකාශ මෙවර කිවිදා දැක්මට මා ලියන ලිපියට පදනම් වූ ආසන්න හේතුව මිස එකම හෝ අවසාන හේතුව නොවේය. කොරෝනා ජාවාරම් පිළිබඳ විපක්ෂයේ පුද්ගලයන් නගන චෝදනාවලට වඩා ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් සහ කැබිනට් ඇමතිවරයකු නගන මේ චෝදනාව සහ මැසිවිල්ල බලවත් ය. තීරණාත්මකය. නොසලකා හැරිය නොහැකිය.

“වන ගහනයේ නෑඹුල් තැන් මිනිසාගේ ගඳින් ඉහවහ ගිය කල්හි ඇතිවන තත්ත්වය කුමක්ද? හුදෙක් පණ නල රැකගැනීම පමණක් ඉතිරිව ඇත්තේය” යනු, සොබාදහම ස්වකීය ආත්මය කරගත් රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශයක් ය. දැන් සිදුවන්නේ මේ හා සමාන දෙයකි. එනම් මානව සමාජයේ සකලවිධ නෑඹුල් තැන්, දඩාවතේ යාමට බාධාවක් සීමාවක් නැති, වෙළෙන්දන්ගේ වෙළෙඳපොළ ගඳින් ඉහවහ ගොස් ඇත. පොදු ජනයා පණ නල රැකගැනීම ට දරන වෙහෙසත් වෙළෙඳපොළ මාෆියාවේ ගොදුරක් බවට පත් වී ඇත. මේ තත්ත්වය රාජ්‍යය විසින් ජනතාවාදීව වෙළෙඳපොළ නියාමනය නොකරණ අපවැනි බොහෝ රටවල සාමාන්‍ය ජනයා මුහුණ දෙන බිහිසුණු ඛේදවාචකයක් ය. මා මිත්‍ර, “කිවි දා දැක්ම” ලියුම්කරු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් නිතර නිතර ප්‍රකාශ කරන “වෙළෙඳපොළ ජයග්‍රහණ” යනු, පොදු ජනයාට මෙවැනි අසරණකමක් අත්පත් කරදෙන ක්‍රියාවලියක් හරහා ලබා ගන්නක් විය යුතු ය. ඔහු ගේ මතය වූයේ වෙළෙඳපොළ ජයග්‍රහණ අගය කළයුතු බව ය. මා දිගටම ලියූ දෑ සහ කියූ දෑ ඔහුගේ ඒ මතයට විරුද්ධ ය.

මානව සමාජයේ සියල්ල වෙළෙඳපොළ තර්කනය විසින් හසුරුවනු ලැබීමට විරුද්ධ වීම යනු වෙළෙඳපොළ ට එරෙහි වීමක් නොවේ ය. මා පසු බසින්නේ වෙළෙඳපොළ සියල්ල තීරණය කරන වෙළෙඳ සමාජ-ආර්ථික ක්‍රමයකට නොව, සමාජ-සාමුහිකත්වය මත පදනම්ව පොදුජන යහපත මුල් තන්හි ලා කටයුතු කරන සමාජ-වෙළෙඳපොළ ක්‍රමයකට ය. නග්න වෙළඳ සමාජ ක්‍රමයකට වඩා, සමාජ-වෙළෙඳ ක්‍රමයක් අනුමත කිරීමට අපට සිදුවන්නේ මුළුමනින්ම වෙළඳපොළ ප්‍රතික්ෂේප කිරීම මේ මොහොතේ ක්ෂණිකව කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවන නිසා ය. යම් රටක  රාජ්‍යයට වඩා වෙළෙඳපොළ බලවත්වන්නේද එවැනි තැනක සමාජ සුබසාධනය බරපතළ අර්බුදයකට සහ ඛේදවාචකයකට ලක් වීම අනිවාර්යය. රාජ්‍යයට වඩා වෙළෙඳපොළ බලවත් වූ සමාජයක ස්වරූපය වන්නේ රටේ සෑම ප්‍රතිපත්තියක් ම වෙළඳපොළ තර්කනය විසින් මෙහෙවනු ලැබීමය.

 එවැනි සමාජයක පොදු ජනයාට අත්වන ඛේදජනක ඉරණමින් ඔවුන් බේරා ගැනීම වෙනුවෙන් රාජ්‍යයට කළ හැකි දෙයක් නැතුවා නොව, රාජ්‍ය යාන්ත්‍රණයම වෙළෙන්දන් සහ වෙළෙඳ තර්කනය විසින් හසුරුවනු ලැබීම නිසා එසේ කිරීමට වුවමනාවක් ඇතිවන්නේ නැත. මේ තත්ත්වය වඩාත් භයානක වන්නේ වෙළඳාම, දේශපාලනය සහ පරිපාලනය ඒකාබද්ධ වූ විට ය. එය ප්‍රශස්ත වූ වෙළෙඳාමක් හෝ දේශපාලනයක් හෝ පරිපාලනයක් හෝ නොව ජාවාරමකි. ලෝකයේ බොහෝ රටවල් අද ගොදුරු වී ඇත්තේ ඒ ජාවාරමටය. එය මා කලක සිට හඳුන්වන්නේ සහචර ධනවාදය ලෙසිනි. ඇමති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු වෙනත් වචනවලින්, එනම් නිලධාරීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් ගැන කියන කතාවෙන් පැහැදිලි කරන්නේ මේ සහචර ධනවාදයේ ස්වරූපය ගැනය. එනම් එහි ස්වරූපය තේරුම් ගැනීම සඳහා වන සජීවී උදාහරණ ගැනය.

ජනසමාජයට බලපාන ඕනෑම ව්‍යසනයක් ස්වකීය ලාභ රේට්ටු වැඩිකරගැනීමේ වෙළෙඳපොළක් බවට පත් කර ගැනීමේ  හැකියාව සහචර ධනවාදය සතුව පවතී. එය තේරුම් ගැනීම සඳහා කොරෝනා වසංගතය ජාවාරම්කාර වෙළෙඳපොළක් වී ඇති ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න. හෑන්ඩ් සනිටයිසර් කුඩා කුප්පියක මිළ ගැන හිතීමෙන් පටන් ගන්න. ඉන් පසු ෆෙස් මාස්ක්, පීසීආර් පරීක්ෂණ, ඔන්ලයින් අධ්‍යාපනය, නිරෝධායන හෝටල්, එන්නත් දක්වා සිතා බලන්න. ඒවා ගැන හිතනවිට, ජයග්‍රහණය කර ඇත්තේ වෙළෙඳපොළ පමණක් මිස පොදු ජනතාව නොවන බව ඔබට වැටහෙනු ඇත.

මෙවැනි සන්දර්භයක ජනතාවගේ විරෝධතා ක්‍රියාමාර්ග හුදු ආණ්ඩුවකට එරෙහිව පමණක් මෙහෙයවීම සහ දියත් කිරීම වනාහි අපරිණත දේශපාලනයකි. සැබෑ විරෝධතා ඉදිරිපත් විය යුත්තේ ආණ්ඩුත් යට කරගෙන හෝ අල්ලා ගෙන සිටින වෙළෙන්දන්ට සහ ඔවුන්ගේ වෙළෙඳපොළ ජාවාරමට එරෙහිව ය. වෙළෙඳපොළ අණසක බලවත් වූ සමාජයක ආණ්ඩු යනු ඒ වෙළඳපොලේ ම කොටසක් විනා පොදුජන සමාජයේ මිතුරෙක් නම් නොවේය. මැතිවරණයක දී පාලක බල හවුල් වලින් අප ඇසිය යුතු වැදගත් ම කාරණය වන්නේ ඔබලා මේ දුෂ්ඨ ජාවාරම්කාර සහ බාල වෙළඳපොළ, ජනයාගේ පැත්තේ සිට ගනිමින් නියාමනය කරනවාද යන්නය. ඊට දෙන විශ්වාසදායී පිළිතුර මත දේශපාලන තීරණ ගැනීම ජනයාගේ වගකීමක් ය.

ලෝකයේ මහා ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයන් මේ දිනවල වෙහෙස නොබලා  දිවා රෑ  දෙකේ ම තම මනස මෙහෙයවන්නේ කොරෝනා නිසා වැටුණු වෙළඳපොළ ගොඩ ගන්නට සහ වසංගතය විසින් විවරකොට ඇති නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමටය. එසේ නොමැතිව, බිඳ වැටී ඇති අසරණ වී ඇති ජන-ජීවිතය ගොඩනැගීමට හෝ ඔවුනට පිළිසරණ සෙවීමට නම් නොවේය. එය තේරුම් ගැනීම සඳහා ලංකාවේ ග්‍රාමීය ජනයාගේ දරිද්‍රතාව, තමන්ගේ ලාභ රේට්ටු උපරිම කර ගැනීම් සඳහා වූ ණය වෙළෙඳපොළක් බවට පත්කර ගන්නා, ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල, ඇතැම් බැංකුවල සහ මූල්‍ය ආයතනවල ජාවාරම්කාර ක්‍රියාවලිය සිහියට නගා ගන්න.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකාබද්ධව  නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වන හෙළිදරව් කිරීම් ගැන අවධානය යොමු කරමු. කොරෝනා වසංගතය, ලොවපුරා මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමිවීමට හේතුවී ඇති අතර මහජන සෞඛ්‍ය, ආහාර පද්ධති සහ සේවා ලෝකය පෙර නොවූවිරූ ආකාරයෙන් අභියෝගයට ලක් වී ඇත. වසංගතය නිසා ඇතිවන ආර්ථික හා සමාජීය බිඳ වැටීම් ව්‍යසනකාරීය. මිලියන ගණනින් ජනයා අන්ත දරිද්‍රතාවට ඇදවැටීමේ අවදානමකට ලක්ව සිටින අතර, දැනට මිලියන 690 කට ආසන්න යැයි ඇස්තමේන්තු කර ඇති මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසර තුළ දී තවත් මිලියන 132 කින් ඉහළ යාහැකිය. එනම් එම සංඛ්‍යාව මිලියන 822ක් වනු ඇත.

ව්‍යවසායන් මිලියන ගණනක් පැවැත්මේ තර්ජනයකට මුහුණදෙයි. ලෝකයේ බිලියන 3.3 ක ගෝලීය ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීමේ අවදානමට ලක්ව සිටිති. අවිධිමත් ආර්ථික සේවකයන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත්තේ බහුතරයකට සමාජ ආරක්ෂණ හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති නිසා සහ ඵලදායී වත්කම් සඳහා ප්‍රවේශ අහිමිවී ඇති බැවිනි. අගුලු‍දැමීම් නිසා ආදායමක් උපයාගැනීමට ක්‍රමයක් නොමැතිව බොහෝ දෙනකුට තමන් සහ ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීමට නොහැකිවීම තව තවත් වැඩි වේ.

වසංගතය සමස්ත ආහාර පද්ධතියට බලපා ඇති අතර එය අස්ථාවර කොට ඇත. දේශසීමා වැසීම, වෙළෙඳ සීමාවන් සහ හුදකලා කිරීමේ පියවර මඟින් ගොවීන්ට යෙදවුම් මිලදී ගැනීම සහ ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම, කෘෂිකාර්මික කම්කරුවන්ට අස්වැන්න නෙළීම වැළකී ඇත. ඒ හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර ආහාර සැපයුම්දාම කඩාකප්පල් වී සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ පෝෂණීය ආහාර වේලකට ඇති ප්‍රවේශ අඩුකර ඇත. වසංගතය නිසා රැකියා අහිමි වී මිලියන ගණනකගේ ජීවනෝපාය අවදානමට ලක්ව ඇත.

මේ සඳහන් කළේ  එම නිවේදනයේ සඳහන් හෙළිදරව් කිරීම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ලෝකයක් හැටියට අප මුහුණ දෙමින් සිටින තත්ත්වය තේරුම් ගැනීමට එය ප්‍රමාණවත් ය. මේ ගැන කිසිදු හෘද සාක්ෂියකින් හෝ හිරිකිතයකින් තොරව මෙරට ඇතැම් නිලධාරීන්, ජාවාරම්කාර මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් එක්ව සිදුකරන, (එනම් ඇමති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් නොබියව හෙළිදරව් කර ඇති) ජාවාරම්කාර මාෆියාව නැවත්වීම ආණ්ඩුවට පමණක් කළ නොහැකිය. එහෙත් ඒ සඳහා වූ වැඩි වැඩ කොටසක් නම් ආණ්ඩුවට කළ හැකිය. නාමල් සහ අරුන්දික තබා ඇත්තේ ඒ සඳහා වූ පළමු පියවර ද යන්න අප දන්නේ නැත. එය එසේ වුවහොත් ඔබට සුබ නව වසරක් ලැබෙනු ඇත.

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (7)

නි​රෝධායන වෙළෙඳපොළ ජාවාරම

සෙනෙවිරත්න Monday, 11 January 2021 01:44 AM

රජයට පමණක් ⁣කළ නොහැකි නම් කාටද පුළුවන්? හිටපු ජනාධිපති සිරිසේනට, රනිල්ට, අනුර කුමාරටද? ⁣දැන් ගෝඨාභයගේනේ ආණ්ඩුව, මොකද මේ කෙඳිරියක්, මේ ගොල්ලන් විපක්ෂයේ හිටියා නම් මේවාට කොහොමද කෑගහන්නේ...? කවුද ජාවාරම්මු. නම කියන්න බැරි ඇයි? ඒක ඕන බබෙකුට තේරෙනවා 69 ලකෂෙට හැර...

:       1       7

qatar sitaMonday, 11 January 2021 12:18 PM

අනේද කියන්නේ..!!! 

:       0       2

SAKALABUJAN Wednesday, 13 January 2021 05:59 AM

ධනවත් රටවල සිට එන අයට හෝ මැද පෙරදිග රටවල සිට එන ධනවත්, මිල මුදල් ඇති හැකි අයට මුදල් ගෙවා නිරෝධායනය වෙන්නට ඉඩ දෙන්න. එවිට නිරෝධායනයට එන පිරිස් තදබදය ටිකක් අඩු වේවි... විශේෂයෙන්ම මැද පෙරදිග ඉඳලා එන්නේ කෝටිපතියන් නොවේ. රියදුරන්, පිරිසිදු කරන්නන්... එක්කෝ මෙහෙකාරිය විදිහට ගෙවල්වල වැඩකරලා හම්බ කරපු සොච්චම් මුදල රජයට කඩේ ගිය හොටේල් කාරයින්ට ගෙවලා හිස් අතින් ගෙදර යන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිසුන්ට... ගුවන් සේවා වලින් අහස උසට ටිකට් ගණන්, තානාපති කාර්යාලයෙන් අවසර දෙන්නේ ලංකාවේ හෝටල්වලට සල්ලි කුට්ටිය පුදනවා කියලා කිව්වොත් විතරයි. PCR පරීක්ෂණ දෙකට සතයක් වත් දෙන්නේ නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ මුදලින්, රට එන්න බෑ. එ්කෙන් රක්ෂණය නොවී, එ්ත් සත 05ක වැඩක් නෑ... අසරණ වූ වෙලාවක. ගොඩක් අය ලංකාවට එන්නේ වාර්ෂික නිවාඩුවට... රටේ මිනිස්සුන්ට තැනක් නෑ.. එ්ත් පිටරට අයට මාර සැපක් දෙන්නේ මල්මාලා දාලා නැටුම් නටලා...

:       0       6

de silva Thursday, 14 January 2021 10:02 AM

නාමල් සහ අරුන්දික කරන්නේ බොරු රඟපෑමක්. ඉටු කරන්නේ ආණ්ඩුවේ කොන්තරාත් එකක්. නාමල්ගේ මාමණ්ඩි ලොකු හෝටල් 09ක හිමිකරුවෙක්...

:       0       6

de silva Friday, 15 January 2021 10:38 AM

දැන් සති 02කට විතර කළින් නාමල් කිව්වා. නිරෝධායන මාෆියාවක් රටේ තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් කලාපයේ අනික් රටවල කරන ආකාරයට නිවෙස් නිරෝධායනය කරන්න කටයුතු කරනවා කියලා. අද වෙනතුරු කිසිම පියවරක් අරන් නැහැ. මේ ඔක්කොම බොරු..

:       0       4

dhamneth Friday, 15 January 2021 10:55 AM

රජයට ඉතාම පහසුවෙන් පුුළුවන් රජයේ නිර්ණායක ඉදිරිපත් කර හෝටල්වලින් මිලගණන් කැඳවන්න. ඔය බොහෝමයක් හෝටල්වල විදෙස් සංචාරකයන් අඩු කාලෙට කෑමබීම සමග දෙදෙනෙකු නතරවන කාමරයක් දෙන්නේ 3000-3500 වැනි ගාණකට...

:       0       2

fairoos Monday, 18 January 2021 07:52 AM

අපි ඉතින් හැමදාම මේ දේශපාලකයන්ට රැවටුණු එකනේ වුණේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 724 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
2024 අගෝස්තු මස 09 422 0

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභා


ජනමත වාසියේ ඉසව්ව
2024 අගෝස්තු මස 02 718 2

2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16845 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 263 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site