රට පත්වී ඇති අනතුර සුළුපටු නැත. වසනවා ද විවෘතව තබනවා ද යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ ය. සමස්ත සමාජයම ඒ දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින්ම බියකරු ය. හෙට දවස ද එසේම ය. අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත. අප මේ සිටින්නේ යම් දවසක මේ අනතුරින් ගැලවුණ පසුව වුව ද කාලයක් යනතුරු විසඳාගත නොහැකි දරුණු ආර්ථික, දේශපාලන, පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් බොහෝ සමාජ අර්බුද රැසක් ඇතිවෙමින් තිබෙන පසුබිමක ය.
එකිනෙකාට දෝෂාරෝපණය නොකරමින් මේ ව්‍යසනයෙන් මිනිස් ජීවිත බේරාගැනීමට සහ ව්‍යසනය කළමනාකරණය කරගැනීම නග්න බල දේශපාලන ක්‍රීඩාවකට කළ නොහැකි ය. තර්කයෙන් මෙය ජයගත නොහැකිවා සේම පුරසාරම්වලින් සහ චෝදනා අපවාද මගින් ද මින් ගැලවිය නොහැකි ය. අප පිහිටා සිටිය යුතු එකම ස්ථාවරය වන්නේ මෙය මානව සංහතියට එරෙහි ව්‍යසනයක් සේ සලකා ඊට එරෙහිව කළ හැකි ජාතික කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට ජාතික සම්මුතියක් මත පදනම්ව ඒකාබද්ධ ජාතික වැඩසටහනක් යටතේ වැඩ බෙදා ගෙන කටයුතු කිරීමය.
මේ ජාතික විමුක්ති අරගලයක්, මෙහෙයුමක් අවැසි මොහොතක් ය. මන්ද පාර්ශ්වයක් නොව ජාතියම ඇත්තේ අනතුරේය. ජීවිතයේ අර්ථ සෙවීම නොව දිවි රැකගන්නේ කෙසේ ද යන කාරණය පළමු තැනට පත් වී ඇත. එහෙත් විරසකකම් ඉවතලා එකමුතුව ව්‍යසනයට මුහුණදීම සඳහා රටම පෙළගස්සවන මානුෂීය මෙහෙයුමක් දියත් කිරීම සඳහා ජාතික පෙරමුණක් සැදිය යුතු අතිශයින්ම තීරණාත්මක මොහොතකත් අප වැඩ කරන්නේ කුළල් කා ගනිමින් ය.
රට වැසීම හෝ විවෘතව තබා ගැනීම පිළිබඳ දෙගිඩියාව සහ එකිනෙකාට චෝදනා කිරීම ගැන අප ඉතා විමසිලිමත් විය යුතු ය. දැන් උද්ගතව ඇත්තේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී පන්නයේ තත්ත්වයක් ය. රට වැසීම මගින් ලබාගැනීමට තිබූ හොඳ ප්‍රතිඵල ලබාගැනීමට තිබුණේ එය අප්‍රේල් මැයි මාසවල කළා නම් ය යනුවෙන් ඇති මතය වැරැදි නැත. එසේ ම දැන් රට වසා තැබීමෙන් හොඳ ප්‍රතිඵල ඉදිරියේ දී ලබාගැනීමට හැකියාවක් ඇතැයි යන මතය ද වැරැදි නැත. එමෙන්ම රටේ සියලු දෙනාම දැඩි ස්වයං විනයකට යා යුතු ය යන්න ද අවිවාදිත ය. නිසි සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස්වලට අවනත විය යුතුමය.
ඒ සමඟම රට වැසීම සඳහා විශාල බලපෑමක් තිබිය දී ආණ්ඩුව එසේ නොකළේ ආර්ථිකය කඩා වැටෙන නිසා ය. ආණ්ඩුව එසේ සිතීම සහ කිරීම තේරුම් ගත හැක්කකි. මන්ද ආණ්ඩුවක් යනු යම් පාර්ශ්වයකට පමණක් වග කියන ආයතනයක් නොව රටේ සියලු දෙනා ට සියලු පාර්ශ්වලට ඇහුම්කන් දිය යුතු සහ වගකිව යුතු සියලු දෙනාට අයිති ආයතනයක් ය. අනිත් කාරණය නම් ආණ්ඩුව මේ කියන ආර්ථිකය ජන ජීවිතයේ සියලු අංශ සමඟ බැඳී තිබීම ය. අවශ්‍ය මොහොතේ රට වැසීමට නොහැකි වීම ආණ්ඩුවක ප්‍රශ්නයකට වඩා රාජ්‍යයේ අර්බුදයක් බව අප සියලු දෙනා තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව උපුටා දක්වන අය මෙරට රාජ්‍ය අර්බුදය කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත.
1947න් පසු ලංකාව, රාජ්‍යය ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම පිළිබඳ අදහස ඒ තරම් වැදගත් කොට සැලකුවේ නැත. ඒ වෙනුවට මෙරට පාලකයෝ වැඩි දෙනෙක් පෙරමුණ ගත්තේ ස්වකීය බල හවුල් සහ කල්ලි ගොඩනැගීමට ය. ශක්තිමත් කිරීමට ය. බොහෝ දෙනකුගේ සටන් පාඨය වුණේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ යන්න ය. මාරුවෙන් මාරුවට එකිනෙකාට බැට දෙමින් තම හවුල්, පවුල්, කල්ලි දේශපාලනය නඩත්තු කළේ රාජ්‍යය ගැන වගේ වගක් නැතිව ය.
රාජ්‍යය ගැන යම් තරමකින් හෝ සිතා කටයුතු කළ 1956 සහ 1970 ආණ්ඩුවල වැඩපිළිවෙළවල් අලුයම ලූ කෙළ පිඩක් සේ නොවැදගත් කළේ 1977න් පසු තීරණාත්මකව බලවත් වූ නියාමනයක් නැති ශීලාචාරකමක් නැති වෙළෙඳපොළ ජාවාරම්කාර ක්‍රමය සහ ඒ මත ගොඩනැගුණු අව-සංස්කෘතිය ය. ඒ ජාවාරම්කාර වෙළෙඳපොළ ක්‍රමය නැතහොත් තර්කනය විසින් බොහෝ රාජ්‍ය ව්‍යුහ එක්කෝ අඩපණ කළේය, නැතහොත් විනාශ කර දැමී ය. මගී ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල, සන්නිවේදනය සහ විවිධ රාජ්‍ය ප්‍රජා සේවා එසේ අඩපණ කළේ හෝ විනාශ කළේ බලයට පත් බොහෝ ආණ්ඩුවල ද සහාය ඇතිවය.
ආණ්ඩු සහ රාජ්‍ය අංශ වෙළෙඳපොළ ජාවාරම ඉදිරියේ එක්කෝ නිවට විය, නැතහොත් මේ පාර්ශ්ව තුනම සන්ධානගත වී පොදු ජනයා නිවට කළේ ය. මේ සන්ධානගත වීම ‘සහචර ධනවාදය’ යැයි මුලින් ම නම් කළේ මා විසින් මෙවැනි ‘කිවිදා දැක්ම’ ලිපියකින් බව හොඳටම දන්නේ මා මිත්‍ර චරිත හේරත් ය. එහෙත් ගියවර ලිපියේ ඔහු ඒ සංකල්පයේ අයිතිය දී තිබුණේ ‘අපේ මිතුරන්’ යන සාර්ව නාමයකට ය.
කෙසේ වෙතත් මේ සන්ධානගත වීම නිසා රාජ්‍යය දුර්වල විය. දුර්වල කළේ ය. රාජ්‍යමය හෘදසාක්ෂියක් නැති වෙළෙඳපොළ ජාවාරම් ක්‍රමය ශක්තිමත් විය. ශක්තිමත් කළේය. මේ ආකාරයෙන් රාජ්‍ය ව්‍යුහ දුර්වල හෝ විනාශ වූ රටක වහන්නට රාජ්‍යයක් නැති වීම ඓතිහාසිකව තේරුම් නොගෙන මේ මොහොතේ ඉන්නා ආණ්ඩු කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීම කිසිසේත්ම සාධාරණ නැත. කලක සිට මේ රටේ ආර්ථිකය යනු නැති බැරි අය සුඛිත මුදිත වන එකක් නොව බලපුළුවන්කාර හවුල් ගණනින් කුඩා වෙමින් බලයෙන් සහ ධනයෙන් ශක්තිමත් වන ජාවාරමක් බව අප තේරුම්ගත යුතුය.
බියක් සැකක් නැතිව වසන්නට හෝ අරින්නට හැක්කේ ශක්තිමත්ව ගොඩනගා ඇති රාජ්‍යයන් ය. ඒවා වැසුවත් ඇරියත් වෙළෙඳපොළට නිවට නොවන රාජ්‍ය ව්‍යුහ විසින් රාජ්‍යමය හෘදසාක්ෂියක් මත පදනම්ව ජන සමාජයට වගකියනු ඇත, වග වෙනු ඇත. එවැනි රාජ්‍යවල වෙළෙඳපොළ ද මේ හෘදසාක්ෂිය මඟහැර යන්නේ නැති බව හැමදාකම මෙරට ජාවාරම් වෙළෙඳපොළ ක්‍රමය උත්කර්ෂයට නංවන මා පෞද්ගලික මිත්‍ර චරිත හේරත් වත් තේරුම් ගන්නේ නම් කොතරම් හොඳ ද?
මේ ව්‍යසනය අපට අත්පත් කර දෙන්නේ හුදු ජීවිත විනාශ පමණක් නොවේ ය. එය අමාරුවෙන් හෝ බේරී නඩත්තු වන රාජ්‍ය ජීවිතයේ ඉතිරි වී ඇති ව්‍යුහ ද විනාශ කරමින් පවතී. එනම් ඉතා ම සරලව කියන්නේ නම් රාජ්‍ය ජීවිතය ද විනාශ කරමින් සිටී. මේ කාරණය තේරුම් ගැනීම සඳහා මේ මොහොතේ අඩපණ වෙමින් යන රාජ්‍ය ව්‍යුහ වන සෞඛ්‍ය, අධ්‍යාපන, පරිපාලන යන අංශ කිහිපය වුවත් උදාහරණ ලෙස ගත හැකිය. එයිනුත් මෙරට වසම් මට්ටම් දක්වා ජාලගත වී තිබෙන ප්‍රජා සෞඛ්‍ය සේවය ගැන සිතමු.
මෙරට බොහෝ වසංගත මුලිනුපුටා දැමීම සහ ප්‍රජා සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා වසම් මට්ටමින් විහිදී ඇති පවුල් සෞඛ්‍ය නිලධාරි සේවය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය කළ මැදිහත් වීම සුළුපටු නැති බව අවිවාදිත ය. එය ආකාර්ෂණීයම රාජ්‍ය ව්‍යුහයක් ය. එහෙත් කොරෝනා මර්දනය සඳහා වන වැඩපිළිවෙළවල් තුළ මෙම දීප ව්‍යාප්ත රාජ්‍ය ව්‍යුහය නිසි ලෙස උපයෝගි කරගන්නා බවක් පෙනෙන්නට ඇත. එන්නත්කරණය තුළ ඇතිවන තදබදය වළක්වාලීම සඳහා මෙම සෞඛ්‍ය ව්‍යුහය මනාව යොදා ගැනීම වඩාත් වැදගත් වන්නේ ඒ පිළිබඳව වූ එම අංශවල පළපුරුද්ද දීර්ඝ කාලීන එකක් නිසා පමණක් නොවේ.
මේ තුළින් පවුල් සහ මහජන සෞඛ්‍ය සේවයේ තිරසාර බව ද ආරක්ෂා වන නිසා ය. වයිරසවේදය පිළිබඳ විශේෂ දැනුමක් ඇති ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයා ඉදිරිපත් කළ යෝජනාවක් දෙස අවධානය යොමු කරමු. කොරෝනා කමිටු ග්‍රාම වසම් මට්ටමින් පිහිටුවා මේ ව්‍යසනය පිටුදැකීමට කටයුතු කරමු යන ඒ යෝජනාව ඔහු ඉදිරිපත් කරන්නේ ජන ජීවිත සුරැකීම සඳහා මෙරට සතු වසම් මට්ටමේ පවුල් සහ ප්‍රජා සෞඛ්‍ය ජාලය ගැන ඇති විශ්වාසය නිසා ය. එසේම වෙළෙඳපොළ ජීවිතයට වඩා රාජ්‍ය ජීවිතය වැදගත් වන බව ඔහු දන්නා නිසා ය යන්න මගේ තවත් උපකල්පනයක් ය.
මෙරට සෑම ග්‍රාම වසමක් තුළ ම ඊට වගකියන නිලධාරීන් අවම වශයෙන් පහක පිරිසක් සිටිති. උපරිම හතකි. ග්‍රාම නිලධාරි, පවුල් සෞඛ්‍ය නිලධාරිනී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්‌යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරි සහ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරි යනු ඒ අය ය.
තිස්ස විතාරණ සහෝදරයා කරන යෝජනාවට පක්ෂව මා යෝජනා කරන්නේ මේ නිලධාරීන් එකතු කොට කොරෝනා කමිටු පිහිටුවා රාජ්‍ය සංවිධාන ජාලය මේ ව්‍යසනය පිටුදැකීම හෝ කළමනාකරණය සඳහා යොදාගත යුතු බවය. මන්ද ඒ මගින් යළි ශක්තිමත් වන රාජ්‍ය සෞඛ්‍ය සංවිධාන ජාලය කොරෝනාවලින් පසු සමාජයට ද ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් වන නිසා ය. මේ ගනු ලැබුවේ උදාහරණයක් පමණි. මෙවැනි රාජ්‍ය ව්‍යුහ ගණනාවක් ම කොරෝනා වසංගතය තුළ නොසලකා හැරීමට ලක්ව විනාශ වෙමින් පවතී. වැසීමට හෝ ඇරීමට අදාළ නිවැරැදි තීරණ ගැනීමට හැකි ශක්තිමත් රාජ්‍ය මේ මොහොතේත් තම රාජ්‍ය ව්‍යුහ සම සිතින් පාවිච්චි කරනවා මෙන්ම ඒවා ශක්තිමත් කිරීම නවත්වා නැත. දශක ගණනාවක සිට ජාවාරම්කාර වෙළෙඳපොළ අභියෝගවලට මුහුණ දෙමින් පරිස්සම් වී ඇති ඉතිරි වී ඇති රාජ්‍ය ව්‍යුහ ආරක්ෂා කරමින් ප්‍රයෝජනයට ගනිමින් වැඩ කළහොත් නොබියව වැසිය හැකි ඇරිය හැකි රාජ්‍යයක් අපට ද සිහිනයක් නොවනු ඇත. චරිත, මේ පාරෙන් එන්න.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මග සිටියොත්? ගෙදර ගියොත්?
hesa Saturday, 28 August 2021 12:10 PM
ඔබතුමාගේ අදහස කෝටිය ක් හරි..