අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, අධිකරණ පද්ධතිය මගින් ද දඬුවමක් ලෙස සිතීමට දැන් දැන් පුරුදුව සිටී ද? 2015 වසරේ සිට ආරම්භ වූ මේ “අත්අඩංගු දඬුවම” පිළිබඳ පසුබිම, එහි අරමුණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඊට දායකවන ආකාරය ආදිය මෙන්ම එමගින් නීතියේ ආධිපත්‍යට සිදුවන බරපතළ හානිය ද මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.
‘අත්අඩංගු දඬුවම’ ආරම්භ වූයේ පසුගිය යහපාලන සමයේ ය. යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගස කළේ ඊට පෙර පැවති ආණ්ඩුවට සම්බන්ධ පිරිස් දිනපතා, සතිපතා අත්අඩංගුවට ගැනීමයි. එහෙත් ඒ බොහෝ සිදුවීම් හුදු අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා විය. බොහෝ ඒවා අධිචෝදනා ගොනු කරන තැනට නොගිය අතර, නඩු පැවරූ ඒවාහි දී අදාළ චූදිතයන් සියලු දෙනාම පාහේ යථා කාලයේ දී නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
තොරතෝංචියක් නොමැතිව කළ අත්අඩංගුවට ගැනීම්වලට හේතුවූයේ 2015 ජනාධිපතිවරණයට පෙර ගොඩනැගි‘හොරු ඇල්ලීමේ’ කතන්දරයයි. යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරුන් අල්ලන බවට පොරොන්දු දෙමිනි. බලයට පැමිණි පසු ආණ්ඩුවේ අනුගාමිකයන් කීවේ “අපි හොරු අල්ලන්න බලය දුන්න නම් දැන් හොරු අල්ලන්න” යනුවෙනි. මහින්ද ආණ්ඩුව ඒතාක් කරගෙන පැමිණි වැඩ කටයුතු නවතා දමන ලදුව, රට කිසියම් තිගැස්සමක තිබූ අවස්ථාවක, යහපාලන ආණ්ඩුවට ජනතාවට පෙන්වීම සඳහා ධනාත්මක යමක් තිබුණේම නැත. ඒ අනුව, ආණ්ඩුව කළේ දිගට හරහට රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමයි. එසේ කිරීම එම ආණ්ඩුවේ අනුගාමික ප්‍රජාව කුල්මත් කරන්නක් විය. මන්ද එවක දේශපාලන සංවාදය තුළ රාජපක්ෂලා නම් කර තිබුණේ හොරුන් ලෙස ය, දූෂිතයන් ලෙස ය.
එදා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ පිරිස් ම අද මාලිමා ආණ්ඩුව වටා ද එකතු වී සිටිති. දැන් ඔවුන්ගේ ඉල්ලුම වන්නේ ද හොරුන් අල්ලන ලෙසයි. ඇත්ත වශයෙන්ම මාලිමා ආණ්ඩුව, ඉහත කී යහපාලන ආණ්ඩුව ඉක්මවා හොරුන් ඇල්ලීමේ කතන්දරය කරළියට ගෙන ආ බව කීවොත් නිවැරැදි ය. බොහෝ අයගේ මතය වූයේ යහපාලන ආණ්ඩුවේ නායකයන් රාජපක්ෂවරුන් සමග ඩීල් දැමීම නිසා ඉහත කාර්ය නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව, එම කාර්ය බාධාවකින් තොරව කිරීමට හැකි ආණ්ඩුව ලෙස ඔවුහු මාලිමාව දුටුවහ.
යහපාලන ආණ්ඩුව ලබාදුන් ජනතාවට දැනෙන පොරොන්දු ඉටුකිරීමට නොහැකිව, එය ජනතාව අතර පිරිහීමට එක් හේතුවක් වූයේ ද මෙම ඉහත හොරුන් ඇල්ලීමේ නාටකය බව කිව යුතු ය. මන්ද එමගින් ආණ්ඩුව පොරොන්දු වූ ගැඹුරු ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය මෙන්ම ආර්ථික සංවර්ධනය පිළිබඳ සංවාදය ද එමගින් දුර්වල කළ හෙයිනි.
වර්තමාන ආණ්ඩුවේ ද දේශපාලන කතිකාව තුළ මැතිවරණ සමයේ මෙන්ම දැනුදු ප්‍රබල ලෙස ඉහළින්ම වැජඹෙන්නේ හොරුන් ඇල්ලීමයි. හොරුන්ට දඬුවම් ලබාදීමයි. මෙම ‘හොරු’ ලෙස ඔවුන් දකින්නේ අන් කිසිවකු නොව රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහායකයන්ය. දැන් ඊට රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සහායකයෝද ඇතුළත්ව සිටිති.
මෙය සපුරා වෛරය මතින් ක්‍රියාත්මක වන්නකි. එහෙත් හුදු වෛරය පමණක්ම හේතුව ලෙස ද නොදැකිය යුතු ය. මේ බොහෝ අය හොරුන් අල්ලන ලෙස කියන්නේ හුදු කතාවට පමණක් නොවේ. ඔවුහු සැබවින්ම අදාළ පිරිස් හොරු බව සිතති. ඒ පිළිබඳ ප්‍රබල ඒත්තු ගැන්වීමක් ඔවුන් තුළ තිබේ. වෛරයක් ඇති වී තිබේ නම් එසේ වන්නේ, මේ “හොරුන්” නිසා තම ජීවිතය දුෂ්කර වී තිබෙන බව සිතන නිසා ය.
මේ පිරිස් තුළ හොරුන් පිළිබඳ ඒත්තු ගැන්වීම සිදුකිරීමේ විශාලතම කොටස ඉටු කළෝ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ නායකයෝය. වරක් ඔවුහු කැබ් රථයක ලිපිගොනු සිය ගණනක් පටවාගෙන විත් විශාල මාධ්‍ය සිදුවීමක් නිර්මාණය කළෝය. ඒ ලිපිගොනු තුළ ඇත්තේ මෙරට දේශපාලකයන් හොරා කනලද රාජ්‍ය දේපළ පිළිබඳ සාක්ෂි බව ඔවුහු ශපථ කර කීහ. එසේ කියමින්, ඒවාට දඬුවම් ලබාදීමට නම් තමා බලයට ගෙන එන ලෙස ඉල්ලා සිටියහ.
මේ වන විට එම ෆයිල් කැබ් රථය අතුරුදන්ව ඇත. ඒවාට ආගිය අතක් නැත. කෙසේ වෙතත්, ඒවා ගැන විස්වාසය තබමින්, ඒවා පිළිගත් පිරිස් නම් සිටින බව පැහැදිලිව පෙනේ. එම පිරිස්වල නිරන්තර ඉල්ලුම වන්නේ අදාළ හොරකම්වලට වගකිවයුතු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එහෙත් අවාසනාව වන්නේ, මේ ෆයිල්වල ඇත්ත වශයෙන්ම තිබෙන්නේ කුමක්දැයි දන්නේ ජවිපෙ නායකයන් පමණක් වීමය. පසුකාලීනව ඇතැමුන් කියා තිබුණේ ඒ ඇතැම් ෆයිල්වල හිස් කඩදාසි පමණක් තිබූ බවයි. ඇතැම් ඒවාහි විගණන විමසුම් තිබූ බව ද සඳහන් විය. තවත් ෆයිල් ගොන්නක ඒවා ඉදිරිපත් කළ අය විසින් ම නිර්මාණය කරන ලද, එසේ නැත්නම් නිශ්චිත සාධක හෝ පුද්ගලයන් රහිත ලියකියවිලි ඇතුළත් විය.
ඒ අනුව, කෙනකු මේ ලිපිගොනු 400ට ම අදාළ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරාවියැයි තාමත් සිතන්නේ නම්, එය සිහිනයක් පමණක්ම වනු ඇත. එම ලිපිගොනුව හොරකම් ගැන සාධක තිබුණේ නම් ඒවා කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් අදාළ නීති අංශ වෙත ලබා දී අවසන්ය.
මේ අතර, රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් ගෙනගියයි කියැවෙන මහජන මතයට ප්‍රබල බලපෑමක් කළ කතන්දර අද වන විට සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්ව තිබේ. ඒවා දේශපාලන වේදිකාව මත ප්‍රකාශ කළ අයම අකුලාගෙන ඇත්තේ, තමන් එම බොරු කීවේ අවබෝධයෙන් යුතුව බව ද පිළිගනිමිනි.
මේ සියල්ල මේ ආකාරයෙන් පදනම් විරහිත වූවද, එය මාලිමා අනුග්‍රාහක ජනතාව අතර සම්පූර්ණයෙන් ම එසේ වී නැති බව කිව යුතු වේ. මන්ද ඒ තරමට ඔවුන් හොරුන් පිළිබඳ ඒත්තු ගන්වා ඇති බැවිනි.
මේ පසුබිම තුළ යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ පරිදිම වත්මන් ආණ්ඩුවද තම අනුග්‍රාහක පිරිස සංතර්පණය කිරීම සඳහා දේශපාලනික ව සංවේදී සිදුවීම් ආශ්‍රිතව පුද්ගලයන් පසුපස හඹා යන බව පෙනේ. එහි දී අභාග්‍යසම්පන්න කාරණය වන්නේ, අධිකරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ද මීට හවුල් කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කිරීමය.
පසුගිය 3 වැනිදා අධිකරණයට බාර වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඇයැදුම්පත අධිකරණයේ විභාග වනවිට රජය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රකාශය ඇසී මෙම ලියුම්කරුට විශාල කම්පනයක් ඇති විය. එම අදහස් එන්නේ, වෘත්තීය මට්ටමේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගෙන් ද නැතිනම් දේශපාලන වේදිකාවක විරුද්ධවාදී සගයකුට පහත් මට්ටමේ අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන දේශපාලකයකුගෙන්දැයි වෙන්කර හඳුනාගැනීමට පවා නොහැකි තරම් විය. “මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවකු උසාවියට එන්න ඕන බිම දිගේ බඩගාගෙන” යනුවෙන් නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා ප්‍රකාශ කර තිබුණි. වැඩිදුරටත් අදහස් දැක් වූ රජයේ නීතිඥවරයා දේශබන්දු මහතා ගැන කියන්නේ, “මොහු.. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මධූෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක්” යනුවෙනි.
නඩුවක අවසාන තීන්දුව දෙනතුරු චූදිතයකුගේ නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය ලෝක සම්මතයකි. එවන් අවස්ථාවක රජයේ නීතිඥයා හිටපු පොලිස්පතිවරයා පිළිබඳ දක්වන ඉහත ගණයේ අදහස්, රටේ ඉහළම වෘත්තීයභාවයක් පෙන්වන බව කියන ආයතනයක නියෝජිතයකුගෙන් ඇසීම කොතරම් ඛේදජනක ද?
එවන් පසුබිමක සාමාන්‍ය ජනතාව දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා ප්‍රචාරය කරන බොරු මත රැඳෙමින්, හොරුන් ඇල්ලීමේ නාටක තුළ ජීවත්වීම පුදුම විය යුතු නැත.
යුක්තිය පසිඳලන ආයතන පුද්ගල සංවේදනාවලට එපිටින් දේවල් දෙස වාස්තවිකව බැලීමේ පුහුණුව තිබිය යුතු ය. යම් හෙයකින් එම ආයතන මේ පශ්චාත්-සත්‍ය යුගයේ, වාස්තවිකත්වයෙන් බැහැරව, මනෝමූලික සංවේදනාවලට නතු වුවහොත්, මේ සමාජ පද්ධතිය මුළුමනින්ම කඩා වැටීමට එය හේතුවනු ඇත. මන්ද ඉන්පසු අපක්ෂපාතිත්වය දරා සිටීමට අන් කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු නැත.
මේ පිළිබඳ අපගේ බරපතළ අවධානය යොමුවන්නේ, මේ රචනාව පටන් ගන්නා විටම සඳහන් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ම අද දඬුවම ලෙසට අර්ථකථනය වී තිබෙන පසුබිමකයි. ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් ව්‍යාපෘතියේ අතකොලු ලෙස අනෙක් ආයතන සමාජගත නොවිය යුතු වේ.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
හොරුන් ඇල්ලීමේ නාටක