IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අගමැතිට විවෘත සංදේශයක්

හිතවත් අගමැති තුමනි,
රටේ දෙවැනි පුරවැසියාණෙනි. පළමු පුරවැසියා වන ගරු ජනාධිපතිතුමාට නො ලියා මේ ආකාරයෙන් ඔබට ලියන්නේ ඇයි දැයි ඔබ මෙන්ම බොහෝ අය ද සිතනු නො අනුමානය. ඊට හේතුව ඉතා සරළය. ඔබතුමා, මා කවුදැයි යන්න පෞද්ගලිකව දන්නා කෙනෙකි.  දුටු තැනක නම කියා  කතා කරන කෙනෙකි.

එසේම මාගේ සමාජ-දේශපාලන අදහස් සහ ස්ථාවර මොනවාදැයි යන්න සැකෙවින් වුවත් නිශ්චිතව දන්නා කෙනෙකි. මා, කලක් ඔබතුමා සමඟ නිලධාරී මට්ටමිනුත් දේශපාලන වශයෙනුත් ඇසුරක් තිබූ කෙනෙකි. ඊට සංසන්දනාත්මකව බැලූ විට, ගරු ජනාධිපතිතුමා පෞද්ගලිකව හෝ රාජකාරිමය වශයෙන් හෝ මා ගැන දන්නේ නැත. මා එතුමා සමඟ වචනයක් හෝ දොඩා නැත. එතුමාත් එසේමය. එබැවින්, රටත් ලෝකයත් අසරණව දුර්භාග්‍යකට ලක් වී ඇති මේ මොහොතේ දන්නා කියන කෙනකුට, විශේෂයෙන් ම ඔබතුමා වැනි බලවත් සහ ගරුතර කෙනකුට ලියුමක් ලිවීම මානසිකව වත් තරමක සහනයක් යැයි සිතමි. එබැවින් මෙවර ‘කිවි දා දැක්ම’ ඒ සඳහා යොදා ගන්නේ, මේ ලිපිය පෞද්ගලිකව ලියුවාට එය ප්‍රසිද්ධ කළ යුත්තක් යැයි මා සිතන නිසා ය. ඔබෙන් අවසර නොගෙන එය සිදු කිරීම ගැන සමාවන්න. තවද රටක පුරවැසියකු එරට නායකයකුට ලිවිය යුත්තේ ප්‍රසිද්ධ ලියුම් ය යන්න මගේ මතය ය.

හිතවත් අගමැති තුමනි,“ ඒක් භාරත් ශ්‍රේෂ්ත භාරත්; සබ්කා සාත් සබ්කා විකාස්” (Ek Bharat - Shreshtha Bharat; Sabka Saath, Sabka Vikas)  යනු 2014 දී පැවැත්වුණු ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතවරණය සඳහා නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  ඉදිරි දැක්ම නැතහොත් දර්ශනය ලෙස දැක්වූ වාක්‍ය ඛණ්ඩය ය. “එක භාරතයක් ශ්‍රේෂ්ඨ භාරතයක්; සියලු‍ දෙනාගේ සමගිය සියලු‍ දෙනාගේ දියුණුවට හේතු වේ” යනු එහි සරළ සිංහල තේරුම ය. මෙම වාක්‍ය ඛණ්ඩයේ දෙවැනි කොටස මඳක් කෙටි කළහොත්, එනම් ‘හැමෝම වෙනුවෙන් හැමෝම’ යනුවෙන් වන ඒ අදහස අපට ඉතාම හුරු පුරුදු ය. ඒ පුරුදු බව එන්නේ 2005-2009 අතර කාලයේ දී මෙරට වඩාත්ම උද්වේගකර සන්නිවේදන තේමාව වූ ‘අපි වෙනුවෙන් අපි’ පද පෙළ මෙරට සිංහල ජන මනස තුළ කිඳා බැසගෙන තිබෙන නිසා ය. සමහර විට අපේ තේමාව ඉන්දියාව අනුකරණය කළා වන්නටත් පුළුවන. එහෙත් එකහා සමාන තේරුමක් තිබුණාට ඒ යටතේ ලංකාව ලබාගත් ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාවට පුළුවන් වුණේ නැත.

හිතවත් අගමැති තුමනි, මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ඉහත ආකාරයෙන් ඉදිරිපත් කළ දැක්ම සුනු විසුණු කරමින් අද ඉන්දියාව ම විශාලා මහනුවරක් ය. නොසඟවා කියතොත් අපට දැනෙන හැටියට ලංකාව ඉන්නේද ඊට සමාන තත්ත්වයක් අභිමුවේ ය. එහෙත් අපි තවමත් පරක්කු නැත. නැවතත් ‘අපි වෙනුවෙන් අපි’වැනි මෙහෙයුමකින් තොරව රට ගලවා ගත නොහැකිය යන්න මා හා කතාකරන දැනුමක් තේරුමක් ඇති බොහෝ අයගේ අදහස ය.

හිතවත් අගමැතිතුමනි, අද ලෝකයම  ගිලී ඇත්තේ සෞඛ්‍ය අර්බුදයක ය. ලොවේ ඕනෑම රටක බොහෝ අර්බුද ඇති බව සත්‍යයකි. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සමාජ-සංස්කෘතික අර්බුද, වාර්ගික අර්බුද යනාදී වශයෙන් පවත්නා ඒ හැම අර්බුදයකටම ඉහළින් මේ මොහොතේ ඇත්තේ සෞඛ්‍ය අර්බුදයක් ය. ඒ අර්බුදය විසින් අනෙක් සියලු‍ අංශවල එනම්, ආර්ථික, දේශපාලන, සමාජ-සංස්කෘතික අංශවල පැවැත්ම හෝ නො පැවැත්ම තීරණය කරන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව මා මෙන්ම ඔබ තුමා ද පිළිගන්නවා ඇතැයි සිතමි. දිනෙන් දින වැඩිවන ආසාදිතයන් සහ මරණ ගණන, සහ අඩුවන සෞඛ්‍ය ධාරිතාව විසින් අපි සියලු‍ දෙනාම අසරණභාවයට සහ භීතියට පත්කරනු ලැබ සිටිමු. මේ භීතියෙන් සහ ව්‍යසනයෙන් ගැලවීම හුදු ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවන බව අප කවුරුත් වටහා ගත යුතු සත්‍යයක් ය. අවශ්‍ය වන්නේ ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළකි. දේශපාලන බෙදීම් අමතක කොට සියල්ලම එම ජාතික වැඩපිළිවෙළේ වගකීම් දරන කොටස්කරුවන් කරගත යුතු ය. ගරු ජනාධිපතිතුමාගේ ද එකඟතාව සහ සහය ඇතිව ඒ සඳහා වූ මැදිහත්වන්නා, අතරමැදියා, සහ කැඳවුම්කරුවා වීමේ උපරිම හැකියාව සහ සුදුසුකම් ඇත්තේ ඔබටය යන්න අප කාගේත් වැටහීමය.

හිතවත් අගමැතිතුමනි, සියලු‍ පාර්ශව එකතු කොට වැඩ බෙදා දී සහ බෙදාගෙන ‘අපි වෙනුවෙන් අපි’ මෙහෙයුම නැවත ක්‍රියාත්මක කළ යුත්තේ 2005-2009 කාලයට වඩා අලු‍ත් සහ වෙනස් අර්ථයකින් බව මගේ හැගීම ය. එහි මූලිකත්වය ගත යුත්තේ බොහෝ තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අංශය සහ ඊට අදාළ විද්‍යාත්මක අංශය. අනෙකුත් අංශ කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා උපරිමයෙන් සහය දීම ය.

අප වඩ වඩාත් ශක්තිමත් කළ යුත්තේ සෞඛ්‍ය අංශයයි. පර් යේෂණ පහසුකම් සහ උපකරණ වැඩි වැඩියෙන් සැපයීම සඳහා ඇතැම් හදිසි අවශ්‍යතා නොවනදෑට යන සම්පත් සහ වියදම් සෞඛ්‍ය අංශය වෙනුවෙන් කැප කළයුතුය. අනෙකුත් අංශ එහි සහායක බලඇණි සහ පෙරමුණු විය යුතු ය. ඒ සෑම අංශයක්ම ව්‍යසනයට එරෙහි තම වගකීම් තම ක්ෂේත්‍ර තුළ ඉටුකළ යුතු ය යන හැගීමෙන් සන්නද්ධ විය යුතුය, සන්නද්ධ කළ යුතු ය. ඒ සඳහා වූ දෘෂ්ටිවාදී තෙරපුම ඇතිකරලීම සඳහා රාජ්‍ය-පෞද්ගලික මාධ්‍ය මෙහෙයුමක් ඇති කිරීමේ හැකියාව ඔබට ඇත යන්න අපගේ විශ්වාසය ය.

හිතවත් අගමැතිතුමනි, මෙම කාර්යයේ දී අනෙකුත් අංශ සිටිය යුත්තේ සෞඛ්‍ය අංශ සහ ඊට අදාළ විද්‍යාත්මක අංශවලට පිටුපසින් නොව පරිවාර බලඇණි ලෙසය. සියල්ලන්ටම වැඩ සහ වගකීම් ඇත. ඒ වැඩ සහ වගකීම් ජාතික ව්‍යසනය මුලිනුපුටා දැමීම අදිටන් කරගත් ඒවා විය යුතු ය. ප්ලේටෝ කියූ පරිදි සමාජ යුක්තිය යනු තම තමන්ට පැවරුණු කාර්ය සහ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීම ය. පාර්ලිමේන්තුවට හෝ ආරක්ෂක අංශවලට වසංගතයකින් රට බේරාගැනීමට අවශ්‍ය දැනුම ඥානය සහ තාක්ෂණික හැකියාව නැති වීම පුදුමයක් නොවේ. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ ක්ෂේත්‍රවලට අදාළ විශේෂඥභාවය සහ දැනුමය. එය ඕනෑම රටකට අදාළ ය. ඒ නිසා වසංගතවලට මුහුණ දීමේ දී මූලිකත්වය ගත යුත්තේ ඔවුන් නොවුණත් එම අංශ දෙකටම එහිදී කරන්නට වන කාර්යභාරය නම් සුළු පටු නැත. මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ස්වකීය විශේෂඥතා දැනුම සහ සහය අවශ්‍ය පරිදි සෞඛ්‍ය අංශවලට පරිපූර්ණව ලබා දීම ඔවුන් කළ යුතු ම කාර්යයක් ය. එය ජාතික වගකීමක් ය.

හිතවත් අගමැතිතුමනි, වැවක් මහා ජලකඳක් දරාගෙන සිටීමේ වගකීම් සහගත කාර්ය කරන බව ඇත්තකි. එය සුළුපටු කාරියක් නොවේ. එහෙත් ඒ වැව ම කුඹුරකට හෝ ගොවිබිමකට කඩා වැදුනොත් ඇතිවන තත්ත්වය ගොවීන්ගේ පුතුන් වන ඔබත් මමත් හොඳාකාරවම දන්නා දෙයකි. වැව මෙන්ම එය රකින වැව් බැම්මත්, අරපිරිමැස්මෙන් ජලය මුදාහරින සොරොව්වත්, වතුර ගෙනෙන මහ ඇළත්, කෙත් ඇළත්, කුඹුර ඇතුළේ හෙවිලිත් එකසේම වැදගත් වූ විට, තම කාර්යයන් සහ වගකීම් නිසි ලෙස ඉටු කරන විට අස්වැන්න නම් අඩු වන්නේ නැත. හැබැයි, ගොවිතැනේ දී මූලිකයා වැව නොව ගොවියා ය. අන් සියලු‍ අංග සිදු කරන්නේ ගොවියාගේ ගොවිතැනට පහසුකාරක සේවා ය. ඒ ඒ තැනේ දී මූලිකත්වය ගත යුත්තේ ඒ ඒ දේ ගැන විශේෂ දැනුම සහ ඥානය ඇති අය ය. ඒ අය තනි නොකර තම වගකීම් සහ කාර්ය ඉටුකිරීමට අන් අය බැදී සිටිය යුතු ය. ඔය සියල්ල සඳහා මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය ම ය. ඒ සම්බන්ධීකරණය ජාතික දේශපාලනයයි. එය පක්ෂ දේශපාලනය නොවේය. මා දන්නා තරමින් ඔබ පක්ෂ දේශපාලනයෙන් එහාට ගිය පරිණත ජාතික දේශපාලන නායකයෙකි. එය කළ හැක්කේ ඔබට ය.

හිතවත් අගමැතිතුමනි, ඔබ මෙවරත් ගියවරත් පාර්ලිමේන්තුවට තේරීපත්ව ආයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනවරමිනි. බොහෝ දේවල් නිසා කුරුණෑගල ප්‍රසිද්ධය. එය පැරණි රාජධානියක්ව පැවති සමයේ රචිත පන්සීය පනස් ජාතක පොතේ එන අපණ්ණක ජාතක කතාවේ ගැල් පන්සියයකට නායකත්වය දී තම පිරිස කාන්තාර රාක්ෂයන්ගෙන් බේරා ගත් සාත්තුනායක පරිද්දෙන්, වියහැකි ව්‍යසනයෙන් ජනයා ගලවා ගැනීමට ඔබ ගරු ජනාධිපතිතුමාගේ දකුණු අත බවට පත්වන්න. එසේම කාන්තාරයේ පිපාසිතව පණ අදිමින් සිටි ස්වකීය පිරිසට කතර හාරා වතුර දුන්, වණ්ණුපථ ජාතකයේ එන ගැල් නායක පරිද්දෙන්, ඔබගේ වීර්යය රටට යළි ආදර්ශයක් කරවන්න. තව ද මේ ව්‍යසනය තම මඩි තරකර ගැනීමට යොදාගෙන සිටින සේරිවාණිජ ලා ගෙන්, රෝබිය මරබිය සහ අගහිගකම් නැමති තුන්බියෙන් පෙලෙන ජනයා ගලවාගෙන සියල්ලට සමාන සහ සාධාරණ  සෞඛ්‍ය පහසුකම් ලබා දීමට මැදිහත් වන්න. හිතවත් අගමැතිතුමනි, එදා කැබිලිතිගොල්ලෑවේ දී උණු වූ හිත තවම නිවී නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඔබගේ ඒ උණුවන සිතත්, ගරු ජනාධිපතිතුමාගේ ධෛර්යත්, සෞඛ්‍ය අංශ පෙරමුණු බලඇණිය වී අනෙකුත් අංශ පරිවාර බලඇණි ලෙස නිසි අයුරින් එක්වීමත්  සිදු වූ විට, මේ ව්‍යසනයෙන් මේ රටත් ජනතාවත් ගලවා ගත හැකි බව මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය. ලිපියේ වැරදි ඇතොත් නිවැරදිකර බලන්න. මා බිරිඳත් දරුවෝත් ඔබව ඉතා ආදරයෙන් සිහිපත් කරති. ඔබටත් රටටත් තෙරුවන් සරණයි.‍

(***)
මම හිතවත් ධම්ම
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (4)

අගමැතිට විවෘත සංදේශයක්

Lion Friday, 21 May 2021 11:05 AM

මේ මනුස්සයා දැන් ඉන්න ස්වරූපය බලන්න ආසයි. ඔය පරණ ඒවා දෙන්න එපා.

:       39       12

kapila Friday, 21 May 2021 04:24 PM

මේක හිටංට ලිව්වා නම් පත්තරෙන් හරි දකිනවා. මහින්ද මහත්තයා වෙත මෙය යොමු කිරීම අදාළ නිලධාරීන් ගේ වගකීමකි. ධම්ම දිසානායක මහතාගේ යෝජනා එසේම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       28       12

Lion Saturday, 22 May 2021 12:03 AM

අනේ මහින්ද මහත්තයාගේ කෙරුවාව විශ්වාස කරනවාද? කට ඇරියොත් බොරු තමයි කියන්නේ... හරක් මරන එක නවත්වනවා කිව්වා. ළමයෙකුට බිත්තරයක් නොමිලේ දෙනවා කිව්වා. රටේ සාරයම උරා බීලයි ඉන්නේ. මම දකින්නේ අවුරුදු 72ක් තුළ රට කාපු අයගෙන් වැඩිම කොටස ගිල්ලේ... මෙයාලා කියලා...

:       27       14

H g s dhammika Saturday, 22 May 2021 11:14 AM

කාලෝචිත යයි සිතමි. සංවේදී නායකයාගේ මතුවීම රටවැසියාට අස්වැසිල්ලක් වේවි.

:       0       7

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 724 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


ඡන්දයෙන් රට හැරෙන දිසානතිය
2024 අගෝස්තු මස 09 422 0

හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභා


ජනමත වාසියේ ඉසව්ව
2024 අගෝස්තු මස 02 718 2

2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17790 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site