IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ආරාධිත ව්‍යසනවලින් රට ගොඩනැඟීම

මෙම ‘කිවි ද‌ා දැක්ම’ ලිවීමට මා වාඩි වුණේ සුපුරුදු ලියන මේසයට අදාළ පුටුවේ නොව ඊට මඳක් එහායින් එළිපත්තේ ඇති යකඩ ඇලු‍මිනියම් මේසයට අදාළ යකඩ පුටුවක ය. ඊට හේතුව නැගෙනහිරින් එන උදෑසන දඟකාර ලා කහ පැහැති හිරු එළිය සුපුරුදු මේසය මත දඟලමින් පරිගණක තිරය නො පෙනෙනා තැනට වැඩ සලස්වන එක ය. එළිපත්තේ මේසයට නිතර පෙනෙන යාබද ඉඩමේ ඇති කොස් ගසේ මුදුන මවන අඳුරු සහ ගුප්ත පෙනුම ට වඩා ඒ අසලම ඇති පොල් ගසේ මුදුන ආලෝකවත්ය. වර්ණවත් ය. පරිගණකයේ ලිවීම් කරන බොහෝ විට ඇස් දෙකේ වෙහෙස නිවාගැනීමට සහ මනසට නිදහසක් සොයාගැනීමට හිස් අහස සහ අවකාශය දෙස තිරස්ව බලන විට මුලින්ම ඇහැ ගැටෙන්නේ මේ ගස් මුදුන් දෙකය. හරියට ම හැමදා ම නො දුරක සිටින දෙවිදිහක මිතුරන් දෙදෙනකු සේ ය.

එවැනි බොහෝ වෙලාවල්වලට මා දකින දසුන් විවිධ ය, විචිත්‍ර ය. හොඳ හැටි ඉහළට හරහට සහ පහළට අත් විහිදා සිටින පොල් ගසේ අතු මත විටෙක ගිරවුන් ය. විටෙක පිලිහුඩුවෙක් ය. විටෙක කවුඩන් දෙතුන් දෙනෙක් ය. විටෙක මයිනන් දෙදෙනෙක් ය.

විටෙක අළු කොබෙයි යුවළකගේ උකුළු මුකුළු ය. විටෙක ඕනෑවටත් වඩා සිලි සිලි හඬින් කෑ ගසන සිලිබිල්ලන් රංචුවක් ය (සිලිබිල්ලන් කොළඹ අයට නම් දෙමලිච්චන් ය). විටෙක හොට නොව තටු පිරිමදින රතු වර්ණය කැපී පෙනෙන කොට්ටෝරුවෙක් ය. විටෙක ඇටිකුකුල් යුවලක් ය. විටෙක කොණ්ඩ කුරුළු දෙපළක් ය. විටෙක පොල් ගසට යාබද ඉඩමේ මානා පඳුරුවල ඇට කෑමට පැමිණ ටික වෙලාවක් ගිමන් හරින වී කුරුළු රංචුවක් ය. තවත් විටෙක පපුව පෙරට දමා හති දමමින් මා දෙසත් වටපිටත් මාරුවෙන් මාරුවට බලන කඩවසම් කාලවර්ණ කපුටෙක් ය. ඇතැම් විට මේ වර්ග කීපයක් හෝ බොහෝ පිරිසක් ය. මේ දෙස බලා සිටීමේ මගේ පුරුද්දට දැන් නම් අවුරුදු හයකටත් වඩා වයස ය. පුදුමයකි. ඒ කිසිවකුත් එනම් කිසිදු පක්ෂියෙක් මේ ගස හෝ යාබද කොස් ගස අවභාවිත කළේ හෝ අවකළමනාකරණය කළේ හෝ ඒ මත විනයක් නැතිව හැසිරුණේ හෝ ගසට වංචා කළේ හෝ අතු කඩා බිඳ ගස නාස්ති කළේ හෝ අතු මත සිට එකිනෙකා ගහමරා ගත්තේ හෝ නැත. පාඩුවේ ලියන කියන මට කරදරයක් වුණේද කළේද නැත. ගස් දෙක ද දිනෙන් දින වැඩුණා මිස පලදාව දුන්නා මිස වඳ පීදුණේ ද නැත. 

මේ ළඟක දී මගේ පෙම්වතිය අප දරුවන් නැති තැනෙක මට අවවාදයක් කළාය. ඉන් කියවුණේ මා සතු හිතුවක්කාර පුරුද්දක් දරුවන්ට ද බෝවී ඇති නිසා දැන්වත් ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියා ය. ඇයට අනුව ඒ නරක පුරුද්ද වන්නේ මා බොහෝ දේ විවේචනය කරනවා ය සහ ප්‍රශ්න කරනවා ය යන්න ය. දරුවන් ද ඒ ආකාරම නිසා ඔවුන් නිවා ගැනීමට නම් තරමක් හෝ මැද තැනකට ආවොත් හොඳයි කියා ඇය දුන් අවවාදය මටත් තදින් ම දැනුණි, හිතට කා වැදුණි. ෆොයබාග් තීසිසය සිහියට නැගුණි. දැන් වටින්නේ ලෝකය විග්‍රහ කිරීමට වඩා එය වෙනස් කිරීමය.

ගියවර  මා ලියූ ‘කිවි ද‌ා දැක්ම’ වූ ‘අගමැතිට විවෘත සන්දේශයක්’ නම් ලද ලිපිය කියවා මා හට ඇමතුමක් දුන් ඩිව් ගුණසේකර සහෝදරයා කී දෑ ද සිහියට නැගේ. “ධම්ම, ඔයා ඒ ලිපිය ඉතාම සංයමයකින් ලියල තියෙනවා, මං එකඟයි ඒ කරුණුවලට.” ඒ ඩිව් සහෝදරයාගේ ප්‍රතිචාරය ය. පෙම්වතියගේ අවවාදය වැඩ කර ඇති සෙයකි. කලකින් මා ඇමතූ (කලකට පෙර නිතර ඇමතූ) මා මිතුරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ අදහස් ද ඒ හා සමාන විය. ඒ ‘කිවි ද‌ා දැක්ම’ අගමැතිතුමාට  යොමුකළ බව ද ඔහු කීය.

මේ සියල්ල ගැන සිතමින් ලියමින් සිටිය දී හුන් පුටුවේ ම මට කුකුල් නින්දක් ගොස් හදිසියේ ඇහැරුණේ මහා නපුරු හීනයක් දුටු නිසා ය. හීනය කෙටිය. එහෙත් දුටු විනාශය බරපතළ ය. කොහේදෝ සිට මා මිතුරු ගස් දෙකට ආ රිළා වඳුරු රංචු දෙකක් එක එක අයිතීන් සහ වහසිබස්  දොඩමින් සහ එකිනෙකාට නින්දා අපහාස කරමින් ගහමරා ගන්නට වූහ. ඉනික්බිති ඉහත කී කුරුල්ලන් සියල්ල පලවා හැර, ගස් දෙකේ අයිතිය කියාගෙන ලියාගෙන, පැසුණු නො පැසුණු සියලු‍ ගෙඩි ද පීදුණු නො පීදුණු මල් ද පානා ගැට ද අතු අග්ගිසි සහ දළු ද කුරුම්බා ඇට්ටි ද කා නොකා අතු ඉති බිඳ දමා ගස් දෙකම අසරණකොට, අහසට අත් දිගු කරන ඉපල් බවට පත් කළේය.  ඔවුන් එළවා දැමීමට මා ඇතුළු අසල්වැසියන් කෑ ගැසූවද අපගෙන් හඬක් පිට වුණ බවක් දැනුණේ නැත. ඇසුණේත් නැත. අප ගත් වෑයම නිෂ්ඵල විය. ක්ෂණයකින් අවදි වූ මා දුටු කෙටි එහෙත් බියකරු හීනය එය ය. එබැවින් මේ ලිපියේ ඉදිරි කොටස ලියන්නේ ඒ සිහිනයෙන් ඇති වූ කම්පනය ද සහිතව බව හිතවත් පාඨකයින්ට දන්වනු කැමැත්තෙමි.       

වසර දශක ගණනාවක සිට දෛනිකව ප්‍රධාන දහරාවේ පුවත්පත් වාර්තා කරන දේශපාලන, සමාජ, ආර්ථික සහ ව්‍යාපාරික අව-භාවිත, අව-කළමනාකරණය, අවිනය, වංචා, නීති රෙගුලාසි පිරිසක් රකිද්දී බලවතුන් සහ අඥානවතුන් ඒවා කඩකිරීම, නාස්තිය, පොදු සම්පත් අවපරිහරණය සහ අලෙවි කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා දකින, එසේම සමාජ දේශපාලන ආර්ථික දර්ශනයක් නැති අධ්‍යාපන, පරිපාලන, වාණිජ සහ විධිමත් බවක් නැති සුබසාධන අවක්‍රියා නිසා විඳවන, ආරාධිත මහා ව්‍යසනවලින් එනම් ව්‍යසනවලට ආරාධනාකොට ඒවායින් ලැබේ යැයි සිතන වන්දිවලින් රට ගොඩනැගීමට හෝ අගහිඟකම් පිරිමහ ගැනීමට මාන බලන ඇමැතීන්ගේ අඥාන මුඛරි කතා අහන, රට වට මහමුහුද විසවෙන අයුරු දකින, මහා බලවතුන් රට කොටුකර වැට බඳින හැටි පෙනෙන, බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ මේ රට නම් හැදිය හැකි හෝ ගොඩනැගිය හැකි හෝ රටක් නොවේ ය යන්න ය.

බොහෝ දෙනා කෙටියෙන් සිතන්නේ සහ කියන්නේ මේක නම් හරියන රටක් නොවේ ය යන්නය. සමහරු තම දරුවන්ට උපදෙස් දෙන්නේ මේ රටින් පැනීමට උපකාරී වන දෙයක් උගෙන කතරින් එතෙර වන ලෙස ය. මාලදිවයිනට තබා අන්දමන් දූපත්වලටවත් තම දරුවන් යැවීමට හයිහත්තියක් නැති දෙමව්පියන්ගේ ප්‍රාර්ථනය මතු වෙන්නේ දුක් අදෝනාවක් ලෙසිනි. එබැවින් වෙළඳපොළ ආර්ථිකයෙන් සුඛිත මුදිත වන සහ ඊට සියලු‍ ආකාරයේ දොරගුළු විවෘත කරන, තවද ලංකාවේත් ලෝකයේත් බලවත් වී  ඇත්තේ වෙළඳපොළක් නොව වෙළඳ ජාවාරමක් ය යන්න නොදන්නා මා මිතුරන් දිනෙක අප වැනි යන එන මං නැති අසරණයන්ගේ දුක් අදෝනාවල කරදරයෙන් සහ සද්දබද්දවලින් මිදී, නිවී සැනසිල්ලේ ජීවත් විය හැකි උත්තරාර්ධ ගෝලයේ රටවල් බලා පවුල් සහ පරම්පරා පිටින් ඉගිලෙනු ඇත.

එහෙත්, අර අසරණ කොටසට ම වැටෙන මා ඇතුළු අනෙක් අයට කෙසේ හෝ අවශ්‍ය මේ රට හදා ගැනීමට සහ රැක ගැනීමට ය. එම නිසා දිනෙක අප වැනි පිරිසකට රටේ බලය ලැබුණොත් නියෝජන දේශපාලනය අරබයා සිදුකරන ප්‍රතිසංස්කරණවලින් කීපයක් පමණක් සඳහන් කිරීමට මැලි නොවන්නේ ඒවා මෙරට අනෙකුත් දේශපාලකයන් දැනගත්තාට කිසි දිනෙක කිසිවකු ඒවා ක්‍රියාවට නො නගන නිසා ය.

පළමු ප්‍රතිසංස්කරණය වන්නේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තේරීමේ ප්‍රාදේශීය නියෝජනය මත පදනම් වූ නියෝජිතවරණ ක්‍රමය අහෝසිකොට ජන ජීවිතයේ ආර්ථික, සමාජ, සංස්කෘතික, සමාජ ලිංගිකත්වය සහ වයස් ප්‍රවර්ග සහ විවිධතා මත පදනම් වූ නියෝජන ක්‍රමයක්  ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා ජනයාගේ විවිධතා මත සමූහගත වීම් විධිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇත. එවිට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් විශේෂ අනන්‍යතා අභිලාෂ නියෝජනය කළ හැකි සුදුස්සන් ය. එවිට ජන ජීවිතයට අදාළ ගැටලු සහ අවශ්‍යතා පාර්ලිමේන්තුවට යොමුවන්නේ ඓන්ද්‍රීය කාරණා ලෙස ය. නීතිඥයන්ට සමුද්‍රය රකින්නට බැරුවා සේ ම මුහුද අයිනේ සිටි පලියට හැමෝටම ධීවර රස්සාව හෝ වරාය පාලනය කළ නොහැකි ය. අපේ ප්‍රතිසංස්කරණ අනුව අදාළ නියෝජිතයින්ට අදාළ අමාත්‍යාංශ ලැබෙනු ඇත. එය හරියට 1947 මහ වැඩ වර්ජනයේ කැඳවුම්කරු වූ ටී.බී. ඉලංගරත්නට 56 ආණ්ඩුවේ කම්කරු ඇමැතිකම ලැබුණා සේ ය. එසේ ම විවිධ රැකියා සහ ජීවනෝපාය ක්ෂේත්‍රවල වැඩ කරන පිරිස්වලට තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවිය හැකිය. එහෙත් පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්ඩු සඳහා සියයට පනහක අනුපාතයකින් ප්‍රාදේශීය නියෝජනය ක්‍රියාත්මක කරනු ඇත.   

දෙවැනි ප්‍රතිසංස්කරණය වන්නේ දැනට ඇති ජාතික ලැයිස්තුව අහෝසිකොට  ඒ වෙනුවට නිල ලත් සාමාජිකයන් පිරිසක් පාර්ලිමේන්තුවේ සභිකයන් ලෙස පත් කිරීමය. ගණනින් එය පනහක් විය හැකිය. ජන ජීවිතයට අතිශයින්ම අදාළ සහ සමීප අමාත්‍යාංශවල ලේකම්ලා සහ සංස්ථා මණ්ඩල ප්‍රධානීන් ඇතුළු වගකීම් සහගත ඉහළ නිලධාරීන් සහිත නිලධාරී පිරිසකගෙන් මේ නිල ලත් පිරිස සමන්විත විය යුතු ය. එසේම පළාත් ආණ්ඩුකාරයන්  සහ පළාත් ප්‍රධාන  ඇමතීන් පාර්ලිමේන්තුවේ නිල ලත් සභික ලැයිස්තුවට ඇතුළත් විය යුතු ය. 

තෙවැනි ප්‍රතිසංස්කරණය වන්නේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා සභික, ප්‍රාදේශීය ආණ්ඩු සභික යන අයගේ ධුර කාල වාර දෙකකට පමණක් සීමා කිරීම හෝ යටත් කිරීම ය. ධුර අවසන් වී පැවැත්වෙන පළමු නියෝජිතවරණවලට කිසිදු ඥාතියකුට ඉදිරිපත්වීමට අවසර නැත. දෙවැනි නියෝජිතවරණ සඳහා එය බල පැවැත්වෙන්නේ නැත. එහෙත් එකවර එකම පවුලේ අය සහ ළඟම ඥාතීන් නියෝජිත ආයතනවල නියෝජිතයින් ලෙස ක්‍රියා කිරීම වළක්වන නෛතික විධිවිධාන සලසනු ඇත.

දැනට එම මනඃකල්පිත ප්‍රතිසංස්කරණ කීපය පමණක් ඉදිරිපත් කරමි. මෙවර ‘කිවි ද‌ා දැක්ම’ මුලින් දුටු හීනය නිසා සිදුවූ මානසික අලකලංචියක ප්‍රතිඵලයක් ය කියා ඔබට සිතෙනු ඇත. සමහරවිට එය එවැන්නක් ද විය හැකිය. එහෙත් ‘කිවි ද‌ා දැක්ම’ අනික් ලියුම්කරු වන මා මිතුරු චරිත හේරත් නම් එසේ නො සිතනු ඇත. එසේම ඔහු මේ ප්‍රතිසංස්කරණවලට යටි හිතින් කැමැතිවනු ඇත යන්න මගේ විශ්වාසය ය.

 

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ 

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,

ධම්ම දිසානායක

 



අදහස් (2)

ආරාධිත ව්‍යසනවලින් රට ගොඩනැඟීම

Rambukwella Friday, 04 June 2021 09:22 AM

ඉතා හොඳයි..!!! 

:       0       0

bandara Friday, 04 June 2021 05:16 PM

ඔබ දුටු කෙටි හීනය මේ රටේ සැබවින්ම සිදුවී ඇත. දෙපැත්තේම වඳුරන් විසින් ගස් දෙකක් නොව සියලුම ගස් දළු, කොළ, මල්, පොතු, සියල්ල කාදමා ඇත. අද අපට පමණක් නොව එම වඳුරන්ටත් කෑම අඩුපාඩු ඇත. ඒ වෙනුවෙන් එම වඳුරන්ද බංග්‍ලාදේශයට අතපාන්නට සිදුව ඇත. කොසොල් රජු දුටුවේ අනාගතයට වෙන දෙවල්ය. ඔබ දුටුවේ වර්තමානයේ සිදුව ඇති දේවල්ය. තව තවත් මෙවැනි සිහින දකීවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 590 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 870 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 441 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2399 6

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 246 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


රටට ඔබින පිරිසක් මැතිසබේට
2024 ඔක්තෝබර් මස 11 451 1

මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site