මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී තිබේ. එහෙත් ඉන්දීය හා ශ්‍රී ලාංකීය සම්බන්ධතාව පිළිබඳව මෙවර මතුවී ඇත්තේ මෙතෙක් තිබූ සාකච්ඡාවලට වඩා වෙනස් කථාවක්ය. පසුගිය සතියේ සිට මේ අලුත් කථා බහ ඇති වෙන්නට හේතු වූයේ රජයේ එක් ඇමතිවරයකු ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට කළ ප්‍රකාශයක් නිසාය. මේ ඇමතිවරයා ඉන්දියානු ඇමතිවරයෙක් යැයි වැරදියට වටහා ගත යුතු නැත. ඔහු ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකි.
ඒ ඇමතිවරයාගේ ප්‍රකාශයට අනුව ලංකාව යනු ඉන්දියාවේ කොටසක්ය. ඔහුගේ වචනයෙන්ම කිවහොත් Sri Lanka is a part of India ය. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ඇමතිවරයාගේ ප්‍රකාශය යටින් දිවෙන බරපතළ දේශපාලන යථාර්ථයක් පිළිබඳවය.
අතීතයේ ඉන්දියානු සම්බන්ධය
මෙහිදී මුලින්ම සඳහන් කළ යුතු කාරණයක් වන්නේ ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ සිට බරපතළ සම්බන්ධතාවක් තිබූ බවයි. ඒ සම්බන්ධය අපේ රටට ධනාත්මකව පමණක් නොව ඍණාත්මකව ද බලපානු ලැබ තිබූ බවද පිළිගත යුතු කාරණයකි.
මුලින්ම මෙරට ජනාවාසවීමේ දී උතුරු ඉන්දියාවේ සහ දකුණු ඉන්දියාවේ සම්බන්ධතාවක් තිබූ බව පැහැදිලිය. ඊට පසු යුගවල එක පැත්තකින් (බෞද්ධ ආගමික පැත්තෙන්) යම් ආකාරයක ධනාත්මක බලපෑමක් සිදු වූ බව සැබෑවක්ය. මිහිඳු මාහිමියන්ගේ ආගමනය ශ්‍රී මහා බෝධිය වැඩමවීම, දළදාව වැඩමවීම යනාදී සම්බන්ධතා මෙහිදී වැදගත් වේ. ඊට අමතරව විවිධ පාර්ශව වෙතින් මෙරට සංස්කෘතියක හා කලා කටයුතු කළමනාකරණය වීම පිණිස ඉන්දියානු බලපෑම සිදු වූ බව පිළිගැනීම නිවැරදිය.
ඒ වගේම අතීත ඉන්දීය සම්බන්ධතාවේ ඍණාත්මක පැත්තක් ද තිබූ බව ඉතාමත් පැහැදිලිය. රටේ පාලන බලය ගැනීමට අතීතයේ ඉන්දියාවේ සිට පැමිණි අය විශාල පිරිසක් ඇත. සොලීන්, කාලිංගවරුන්, දමිල නායකයන් ඇතුළු විශාල පිරිසක්. මේ අනුව මෙරට ආක්‍රමණය කර ඇත. ඒ ඒ කාලවල මෙම ආක්‍රමණිකයන්ට එරෙහිව මෙරට තුළ ජාතික සටන් ඇරඹුණු බව ද සත්‍යයක්ය. දුටුගැමුණු, මහ විජයබාහු වැනි නායකයන් ප්‍රසිද්ධ වී තිබෙන්නේ එවැනි ජාතික සටන් හරහාය.
තුන් වෙනුව අතීත භාරතය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වෙනස් තත්වයට පත්වන්න යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් බලපානු ලැබූ බව ද පැහැදිලි සත්‍යයකි. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම යටත් කර ගැනීමත් සමග මේ රටවල් අතර තිබූ සම්බන්ධතාව වෙනස් විය.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිට මේ රටවල් දෙක අතර සම්බන්ධතාවේ යම් වෙනස් තත්වයක් පෙන්නුම් කළ බවත් සැබෑවක්ය. එහෙත් උතුරු - නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ ජන සමාජය සහ වතුකරයේ සිටින ඉන්දීය දෙමළ ජන සමාජය හරහා යම් ආකාරයක දේශපාලනික බලපෑමක් ඉන්දියාව විසින් මෙරට තුළට සිදුකරනු ලැබූ බව මේ කාලයේත් පෙන්නුම් කළේය.
නිදහසින් පසු ඉන්දීය සම්බන්ධතා
පශ්චාත් යටත් විජිත මුල් යුගය තුළ ලංකාව සහ ඉන්දියානු සම්බන්ධතා තරමක් දුරට උදාසීන තත්වයක පැවැති බව පිළිගැනීම නිවැරදිය. සීතල යුද්ධය සමයේ බිහි වූ නොබැඳි රටවල සංගමයට ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් එක්වීමත්, ලංකාවේ නායකයන් සමග (බණ්ඩාරනායක, සර්ජෝන් කොතලාවල වැනි) ඉන්දීය නායකයන්ගේ තිබූ මිත්‍රත්වයත් යන කරුණු හේතුවෙන් මේ කාලයේ ඉන්දීය බලපෑම යම් ආකාරයක මධ්‍යස්ථ තත්වයක පැවතියේය.
එහෙත් 80 දශකයෙන් පසු කාලයේ මේ තත්වය බරපතළ ආකාරයෙන් වෙනස් වූ බව පෙනී ගිය කාරණයකි. ඉන්දියාවට පෙර ලංකාව විවෘත වෙළඳපොළ ක්‍රමයට ගමන් කළ අතර එම වෙනස නිසා ඉන්දියාව මෙරටට සිදු කරන බලපෑම ද නරක පැත්තට වෙනස් වූ බව පෙනී ගියේය.
වත්මන් තත්වය
ඉන්දියාව සමග මෙරට සම්බන්ධතාව වෙනස්ම තැනකට මේ වන විට ගමන් කර ඇත. චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික දියුණුව ලෝකයේ බල තුලනය කෙරෙහි ද විශාල බලපෑමක් සිදුකර ඇත. ගෝලීය උතුරේ බල කේන්ද්‍රස්ථානය ගෝලීය දකුණට වෙනස් වෙමින් පවතී. මේ නව ලෝක තත්වය තවත් ශක්තිමත් කිරීමට බලපා ඇති කාරණයක් වන්නේ ඉන්දීය සාගරය සහ දකුණු චීන මුහුද යන සාගර කලාප දෙක ජාත්‍යන්තර යුදමය තත්වයන්ට සිදු කරන බලපෑමය.
ඉන්දියාවත් ලංකාවත් අතර නව සම්බන්ධතාව තේරුම් ගත යුත්තේ මෙම නව ගෝලීය දකුණ තත්වයට සාපේක්ෂවය.
රාජපක්ෂලා යටතේ චීනය
2005 සිට 2015 දක්වා රාජපක්ෂ පාලනය තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සිදු වූ සමහර ආයෝජන හරහා චීනයට විශේෂ බලයක් ලැබුණු බව ඉතාමත් පැහැදිලිය.
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරාය නගරය, නෙලුම් කුලුන වැනි යෝජනා ක්‍රම හරහා මෙරට තුළ චීන බලය වැඩි වන්නට පටන් ගැනීමත් සමග ඉන්දියාවේ නොසතුට වැඩි වන්නට පටන් ගත්තේය. 2015 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් වූයේ ඉන්දියානු බලපෑම නිසා යැයි සමහරු කියන්නේ මේ නිසාය.
2015 න් පසු බලයට පත් මෛත්‍රීපාල සිරිසේන රජය වෙතින් වුවත් බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉන්දියාවට හැකියාවක් ලැබුණේ නැති ගානය. හම්බන්තොට වරාය චීනයට දීර්ඝ කාලයකට පැවරුණේ මේ කාලයේය.
රාජපක්ෂ ආණ්ඩු චීනය සමග සිදු කළ ණය ගනුදෙනු නිසා ආර්ථිකයට ඔරොත්තු නොදෙන අර්බුදයක් ඇති වූයේය. ඒ අර්බුදය හමුවේ ඉන්දියාව කටයුතු කළේ යම් ආකාරයක උපක්‍රමික හැඟීමකින්ය. රට ආර්ථික වශයෙන් කඩා වැටෙන්නට ‘ඔන්න – මෙන්න’ කියා තිබිය දී ඉන්දියාව ඩොලර් බිලියන 4ක් දක්වා වැඩි කළ හැකි ණයක් ලබා දුන්නේ මේ අවස්ථාවේය.
ඉන්දියාවට අවශ්‍ය කුමක්ද?
මෙහිදී අප පැහැදිලි කර ගත යුතු වැදගත්ම කාරණය වන්නේ ඉන්දියාවට අපෙන් අවශ්‍ය කුමක්ද යන්නය. සමහරුන් හිතන්නේ ඉන්දියාව අප යටත් කර ගැනීමට උත්සාහ ගන්නවා කියාය. තවත් සමහරුන් කියන්නේ ඉන්දියාව අසල්වාසී රාජ්‍ය වක්‍ර ලෙසින් පාලනය කරන්නට තැත් කරනවා කියාය.
මේ අදහස් දෙකේම යම් පමණක සත්‍යයක් ද යම් පමණකින් අතිශයෝක්තියක්ද තිබෙන බව මගේ මතයයි. යම් සත්‍යයක් තිබෙනවා යැයි කියන්නේ ඉන්දියාව තමන්ට වඩා ඉදිරියට යන අසල්වාසි රාජ්‍යයක් බවට ලංකාවට පත්වීමට ඉඩක් නොදෙන බව පෙනී ගොස් ඇති නිසාය. තමන් විවෘත වෙළඳපොළ ක්‍රමයට යන්නට පෙර ලංකාව විවෘත වෙළෙඳපොළ ක්‍රමයට ගිය එක වැනි දේවල්වත් ඉන්දියාව ඉවසුවේ නැත. තමන් රුසියාව සමග සිටින කාලයේ (80 දශකයේ) ජේ.ආර්. ඇමරිකාව සමග සුහද වෙන එක ඉන්දියාව ඉවසුවේ නැත. එහෙත් 90 දශකයේ ඉන්දියාවත් විවෘත වෙළෙඳපොළ ක්‍රමයට ගමන් කළ අතර 2015 න් පසු ඇමරිකාවේ හවුල් රාජ්‍යයක් බවට ද ඉන්දියාව පත් වූයේය.
හරීන්ගේ ප්‍රකාශය
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ ප්‍රකාශය අප කියවිය යුත්තේ ඉන්දියාව සම්බන්ධව ඉහත සඳහන් තේරුම් ගැනීමක් සමගින්ය. ඒ කියන්නේ ඉන්දියාව අපේ රට සමග ගනුදෙනු කරන්නේ ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමේ අර්ථයෙන් මිස රටවල් දෙකේම අභිලාෂ වෙනුවෙන් නොවන බව මූලික වශයෙන් තේරුම් ගැනීමෙන් පසුවය.
වත්මන් ආණ්ඩු බලයට පැමිණියේ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණයක් වශයෙන් රු. බිලියන 4කටත් වඩා මුදලක් අපි ලබාගෙන ඇති අවස්ථාවකය. මේ තත්වය තමන්ගේ වාසියට යොදවා ගැනීමට ඉන්දියාව උත්සාහ ගත්තේ මෙම තත්වය තුළය.
වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ගනුදෙනු කරන්නේ මීට පෙර සිටි රාජපක්ෂ රජය (2005-2015) චීනය සමග ගනුදෙනු කළ ආකාරයටත් වඩා අමනෝඥ ලෙසින්ය. ඉන්දියාවට ඉඩ්කා ගිවිසුම ඒ අය කැමති ආකාරයට අත්සන් කර ගැනීමට මීට පෙර ආණ්ඩු සමගින් හැකියාවක් ලැබුණේ නැත. වත්මන් ආණ්ඩුව එම ගිවිසුම අත්සන් කරන්නට දැනටමත් දින වෙන් කර ගෙන හමාරය.
ඊට අමතරව බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු පැති කීපයකින්ම ‘‘ඒකාබද්ධවීම’’ මේ වනවිටත් සාකච්ඡා කර හමාරය. ඒ ඒකාබද්ධවීමට ඉන්දියාව කියන්නේ ‘‘connectivity’’කියාය ඒ යටතේ ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නළයක් ඉදිකරන අතර ඒ හරහා ‘‘ලාබ තෙල්’’ මෙරටට ලැබෙන බව කියනු ලැබේ.
තෙල් නළයට අමතරව ‘‘කනෙක්ට් කරන්නට යන්නේ’’ විදුලි සම්ප්‍රේක්ෂණ පද්ධතියයි. ‘‘ග්‍රිඩ් එක’’ හෙවත් මූලික විදුලි සම්පේක්ෂණ රැහැන් පද්ධතිය මන්නාරමේ සිට කේරළයට සම්බන්ධ කරන බව එහිදී කියනු ලැබේ. මේ සම්බන්ධතාව හරහා ‘‘අඩු මුදලට’’ විදුලිය මෙරටට ගත හැකි යැයි සමහරුන් කියන්නට පටන් ගෙන ඇත්තේ මේ නිසාය. මේ හරහා අනාගතයේ මෙරට බලශක්ති සපයන්නා බවට ඉන්දියාව පත් කිරීමට හැකි යැයි ඇතැම් දේශපාලනඥයන් සිතනවා විය හැකිය. එහෙත් එය බරපතළ ප්‍රතිඵල අත්කර දෙන භයානක දෙයක් බව මගේ අදහසය. දින දෙකක් විදුලිය කැපෙන විට ජනාධිපතිවරුන් එළවන්නට ජනතාව පාරට එන රටක, විදුලි බලය සම්බන්ධ තීරණ ගැනීමේ බලවතා බවට වෙනත් රටක් පත්වීම යනු මාරාන්තික වැරැද්දක් බව නොතේරෙන්නේ මන්දැයි මට තේරෙන්නේ නැත.
දැනටමත් මේ තත්වය නේපාලය අත් විඳිමින් සිටින බවද මෙහිදී සිහියට ගැනීම වැදගත්ය. නේපාලයත් ‘‘ග්‍රිඩ් කනෙක්ෂන් එක’’ ඉන්දියාවට සම්බන්ධ කළේ නේපාලයේ දිය ඇලි සහිත ජලධාරා භාවිත කරමින් හදන ජල විදුලිය ඉන්දියාවටත් විකිණිය හැකි යැයි කියාය. එහෙත් සිදු වුණේ එහි අනෙක් පැත්තය. ලාබෙට ඉන්දියාවෙන් විදුලිය මිලට ගන්නට හැකි යැයි සිතා නේපාලය බලාගාර හැදීම දැන් නොකරන ගානය. ක්‍රමානුකූලව එම රටේ විදුලිය ස්වාධිපත්‍යය නිමා වෙමින් පවතී. මන්නාරම සුළං බලාගාරය සහ පුනරින් සුළං බාලාගාරය දැනටමත් අදානි සමාගමට ලබාදී ඇත. එසේම අනාගතයේ බරපතළ බලශක්ති ප්‍රභවයක් වන Green Hydregen ව්‍යාපෘති ලබාදීමේ ඉඩද සොයා බලමින් සිටින බව ආරංචිය.
මේ සියල්ල හමුවේ ආණ්ඩුවේ සමහරුන් සිටින්නේ තමන් ඉන්දියාවේ කොටසක යැයි සිතා ගත් මනසින්ය. එක ඇමතිවරයකුගේ කටින්ම ඒ බව කියවී ඇත්තේ ඒ අනුව බව මගේ නිරීක්ෂණයය. මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ අභිලාෂය කුමක්දැයි පැහැදිලි ප්‍රකාශයක් කවුරුවත් කර නැත. එහෙත් අභිලාෂයේ තරම මේ දිනවල පෙනී යමින් තිබෙන බව මගේ අදහසය.
අවසාන වශයෙන් කිව යුත්තේ විවිධ ක්ෂේත්‍රවලින් ඉන්දියාවෙන් මෙරටට ලැබෙන සහාය ගෞරවයෙන් සලකන ගමන් බරපතළ උපක්‍රමික මැදිහත්වීමක් ගොඩ නගා ගැනීමට අප දක්ෂ විය යුතු බවයි. එසේ නොමැති වුවහොත්, හරීන්ගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්වීමේ බරපතළ ඉඩක් තිබෙන පැහැදිලිය. මෙයින් මිදෙන්නට හැකියාව ලැබේවා යන්න මගේ කිවිදා දැක්මය.
(***)
මහාචාර්ය චරිත හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්