IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


එදා - මෙදා තීන්දුවල ඇදකුද

2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත් බංකොලොත්ව තිබෙන අවස්ථාවක තම තමන්ගේ පෞද්ගලික වැටුප් ඉතිහාසයේ අන්කිසිදු අවස්ථාවක නැති ආකාරයෙන් වැඩිකර ගැනීම අප කෙසේ තේරුම්ගත යුතු ද?

පාර්ලීමේන්තුවෙන් ද නොවිමසා, අනීතික ලෙස රට බංකොලොත් කිරීමට එවක ඔහුට කිසිදු පදනමක් නොතිබූ අතර, බැඳුම්කර ණයක් ගෙවීමට තිබුණේ ඉන් මාස 4කට පමණ පසු ය. මුහුද හත් ගව්වක් තියා රට බංකොලොත් කිරීමෙන් මෙරට මූල්‍ය ඉතිහාසයේ දරුණුතම කළුපැල්ලම රටට හිමි කිරීම මෙම මහ බැංකු අධිපතිවරයාගේ සමයේ සිදුවිය. වසංගතය මැද රට තුළට එන ඩොලර් තව තවත් සිඳීගොස් මෙරට ව්‍යාපාරිකයකුට ණයවර ලිපියක් හෝ විවෘත කිරීමට නොහැකි වූයේ මේ අපරිණත ක්‍රියාව නිසා ය. ඒ සියල්ල එසේ තිබිය දී රටේ පොදු වැටුප් සීමා ඉක්මවා තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකිද?

මහබැංකුව “ස්වාධීන” වීම යනු තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමට ඉඩ ලබාගැනීම වැනි සිල්ලර දෙයක් නොවේ. එහි අරමුණ පාලක මණ්ඩලයට බාහිර බලපෑමකින් තොරව තීන්දු ගැනීමට පරිසරය සැකසීමයි. රජයේ ආයතනවල වැටුප් සකස් විය යුත්තේ රටේ ආර්ථික තත්වය පිළිබිඹුවන ලෙස ය. ඒවා තුට්ටුවකට මායිම් නොකර, රටේ මහජන සංවේදනයට සංවේදි නොවෙමින් කළ මේ ක්‍රියාව නිසා රට පුරා රාජ්‍ය සේවකයන් තමන්ට ද ඉහළ වැටුප් ඉල්ලා සිටින්නට ඉඩ තිබේ.

ඒ අනුව, මුදල් බලය හිමි පාර්ලිමේන්තුව විසින් මේ අත්තනෝමතික ක්‍රියා නැවත විමර්ශනය කළ යුතු අතර, තමන් විසින් අනුමත කරන ලද 2023 අංක 16 දරන මහබැංකු පනතේ 23 (1) වගන්තිය අවභාවිතා වීම වැළැක්වීමට වගබලාගත යුතු ය.

මෙසේ එක් ආයතනයක් විසින් සම්මත කරන ලද පනතක් අවභාවිත කරන විට එවැනි ම තවත් පනතක පවතින දුබලතා නිසා සිදු වූ ගැටලු‍වක් පසුගිය දා සිරස්තල මැව්වේ ය. ඒ නව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ය.

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිබඳ සංවාදය මීට මාස දෙකක පමණ සිට වර්ධනය වෙමින් තිබී, පසුගිය 27 වැනිදා එය තීව්‍ර මුහුණුවරක් ගත්තේ ය. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් පවසන්නේ 21 වැනි සංශෝධනයට අනුව හඳුන්වා දුන් ව්‍යවස්ථාදායක සභාව විසින් අදාළ තනතුර නිසි පරිදි අනුමත නොකළ බව ය. එක්ස් (මීට පෙර ට්විටර්) සමාජ ජාලය මත සිය අදහස තබමින් සජිත් ප්‍රේමදාස මහතා කියා තිබුණේ දේශබන්දු මහතාට පක්ෂව ඡන්ද 4ක් ද විපක්ෂව 2ක් ද තවත් ඡන්ද 2ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවය. ඡන්ද 4ක් ගෙන සිටි අවස්ථාවේ කතානායකවරයා තම ඡන්දය ලබාදීමෙන් නිර්දේශය සඳහා අවශ්‍ය අවම ඡන්ද 5 සම්පූර්ණ කරගත් බවටද චෝදනා ආවේය. 21 ව්‍යවස්ථා සංශෝධනයේ අංක 41 (ඊ) අංක 4 ව්‍යවස්ථාවට අනුව, කිසියම් තීන්දුවක් හෝ අනුමැතියක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද පහක් ලබාගත යුතු ය. ඒ අනුව, බැලූ බැල්මට මෙහි දී විපක්ෂ නායකවරයාගේ විරෝධය සාධාරණ ය.

එම ව්‍යවස්ථාවේම අංක 5ට අනුව කතානායකවරයාට ඡන්දය ලබා දිය හැක්කේ තීන්දු ඡන්දයක් ලෙස පමණි. එනම්, තීරණයක් ගැනීම සඳහා වන ඡන්ද විමසීමක් සම වූ අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායකවරයා සිය ඡන්දය ලබාදීමෙන් අදාළ තීන්දුව පිළිබඳ අවසන් නිගමනය ලබාගත හැකි ය. එහෙත්, විපක්ෂනායකවරයා චෝදනා කරන්නේ පොලිස්පති නිර්දේශය සඳහා ඡන්ද 4ක් පක්ෂව ලැබුණු තැන එහි දී සම සම තත්වයක් උදා නොවූ බවයි. බැලූ බැල්මට එම චෝදනාව ද සාධාරණ ය.

එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ මෙතැන් සිටය. එනම් ඉහත ව්‍යවස්ථාවට අනුව එක් පසෙකට ඡන්ද 4ක් ලැබ අනෙක් පසට එනම් විරුද්ධ පාර්ශවයට ලැබෙන ඡන්ද අතර කිසියම් ප්‍රමාණක් විරුද්ධව ද තවත් ප්‍රමාණයක් ඡන්දය දීමෙන් වැළකී සිට ද තිබෙන අවස්ථාවක කතානායකවරයා ක්‍රියා කළ යුතු ආකාරය ව්‍යවස්ථාව තුළ දක්වා නොතිබීමයි. 21 ව්‍යවස්ථා සම්පාදකයන්ට හා නීතිපතිට ද උද්ගතවිය හැකි එවැනි තත්වයක් පිළිබඳ අදහසක් තිබී නැත. එසේ තිබුණේ වී නම්, මෙවන් ගැටලු‍කාරි තත්වයක් ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඕනෑම ඡන්ද විමසීමක දී ඡන්දය දීමෙන් වැළකී සිටින කිසියම් පිරිසක් සිටින බව පොදු නිරීක්ෂණයකි. පාර්ලිමේන්තුව තුළ පවා අපට එය පැහැදිලිව දැකගත හැකි ය. එවන් පැහැදිලි තත්වයක් ව්‍යවස්ථා සම්පාදකයන්ට මග හැරුණේ ඇයි ?

එම ගැටලු‍කාරී පරිසරය මත, පක්ෂව ඡන්ද 4ක් ද 2ක් විපක්ෂව හා 2ක් ඡන්දය දීමෙන් වැළකි සිටීන විට ද උදාවන තත්වය, කිසියම් තීන්දුවකට ලැබුණු සම සම අවස්ථාවක් ලෙස කෙනකුට අර්ථකතනය කළ හැකි ය. මන්ද පැහැදිලිවම ඡන්ද 4ක් පක්ෂව ලැබී තිබේ. ප්‍රකාශ වූ ඉතිරි ඡන්ද 4න් 2ක් විපක්ෂව ද දෙකක් වැළකී ද ඇත. විරුද්ධ වූ දෙක ගැන ගැටලු‍වක් නැති අතර, වැළකී සිටි ඡන්ද දෙක තීන්දුවට පක්ෂ වූ ඡන්ද ලෙස ගතහැකි නොවේ. මන්ද පක්ෂ වූයේ නම් ඔවුන්ට පක්ෂව ඡන්දය දිය හැකිව තිබූ නිසාය. එහෙත් එසේ කර නැත. මෙහි දී කෙනකුට තර්ක කළ හැක්කේ, එම වැළකී සිටි ඡන්ද දෙක විපක්ෂව ද ලබාදී නැති බවයි. මන්ද විපක්ෂ නම් විපක්ෂව දිය හැකිව තිබුණ නිසා ය. කෙසේ වෙතත්, පක්ෂව ලැබුණු ඡන්ද 4ට සාපේක්ෂව, සෙසු ඡන්ද 4 විපක්ෂ ඡන්ද ලෙස අර්ථකතනය කිරීම හෝ නිශ්චිත තීන්දුවක් ලබාදිය නොහැකි තත්වයක් උදාකර ඇතිබවට වන සාධාරණ නිරීක්ෂණයකි. එනම්, පැනනැගී ඇත්තේ කිසියම් තීන්දුවක් පිළිබඳ අවිනිශ්චිත තත්වයකි. එවන් අවිනිශ්චිත අවස්ථා නිරාකරණය කර ගැනීමටයි සභාපති කතානායකවරයාගේ තීරණාත්මක ඡන්දය හඳුන්වා දී තිබෙන්නේ.   

තවද මෙහි දී පක්ෂව ඡන්ද 4ක් ලැබීම මත, එනම් පැහැදිලි ව විපක්ෂ ඡන්ද දෙකට වඩා වැඩි ඡන්ද දෙකක් පක්ෂව ලැබුණු පසුබිමක වැඩිබර ඇත්තේ තීන්දුවට පක්ෂව ය. විපක්ෂව බහුතරය ලැබුණු අවස්ථාවක එය සිදු කළේ නම් කතානායකවරයාගේ ඡන්දය අසාධාරණ බව පෙනී යන්නට හැකියාව තිබේ.

නීති සම්පාදකයන්ට නෛතික සංකල්ප නිරවුල්ව පැහැදිලි නැති වීම මෙන්ම නීතියට බඳුන්වන විෂයයන් තුළ ඇති වන විවිධ අවස්ථා පරිකල්පනය කර එම අවස්ථාවලට ගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්විය හැකි ලෙස නීති ප්‍රතිපාදන කෙටුම්පත් කිරීමේ නොහැකියාවද මේ හරහා පැහැදිලි වේ. මෙය ව්‍යවස්ථාදායකය තුළ මෙන්ම අධිකරණය තුළ ද, නීති අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ද අප මෑතක සිට දකින කනගාටුදායක තත්වයකි.

මේ පිළිබඳ තවත් නිදසුනක් වන්නේ, පසුගිය දා සම්මත කර ක්‍රියාවට නංවා ඇති 2024 අංක 08 දරන අධිකරණවලට අපහාස කිරීම පිළිබඳ පනතයි. එය අතිශයින්ම වියවුල්කාරී වචනවලින් සැදුම්ලත් අපහැදිලි ලේඛනයකි. උදාරණයක් ලෙස එම පනතේ 4 (2)‘ආ’ වගන්තිය සලකා බලමු. එහි මෙසේ සඳහන් වේ. “අධිකරණයක නඩු තීන්දුවක ‌හෝ ආඥාවක හෝ විභාග කර තීරණය කර ඇති යම් නඩුවක හෝ ඉල්ලීමක යහගුණ පිළිබඳ සාධාරණ විවේචන පළකිරීමක් හෝ ප්‍රකාශ කිරීමක්...විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් ලෙස සලකනු නොලැබිය යුතු ය” යන්න ය. මෙහි යහගුණ යන්නට ඉංග්‍රීසි පිටපත තුළ දී ඇත්තේ merit යන්න ය. ඒ අනුව, සිංහල හා ඉංග්‍රීසි වචන දෙක තුළ ගැටලු‍වක් නොපෙනේ.

ගැටලු‍ව මතු වන්නේ යහගුණ (merit) යන්නෙහි අර්ථය විමසන විට ය. “යහගුණ යනු යමක යහපත් වීම හෝ වටිනාකම් සහිත වීම පිළිබඳ ගුණය හා විශේෂයෙන්ම එසේ යහපත් හා වටිනාවීම නිසාම වර්ණනාවට සුදුසු වීම යන්න” ගැනේ. දැන් මෙම නිර්වචනය ඉහත පනතේ වගන්තිය සමග ගළපා බැලීම වටනේ ය. යම් අධිකරණ තීන්දුවක් හෝ නඩුවක් යහගුණයෙන් යුතු නම් එය විවේචනය කළ යුත්තේ ඇයි ? යහපත් දෙයක් විවේචනය කළ යුතු නැත. එවැනි අවශ්‍යතාවක් පැන නොනගී. අප යමක් විවේචනය කරන්නේ එහි යහගුණ නොව අවගුණ දකින අවස්ථාවකයි. එහෙත්, පනතට අනුව, විවේචනය කළ හැක්කේ යහගුණ ය.

මෙහි පැහැදිලි සංකල්පීය දුබලතාවක් හා පරස්පරයක් ද දක්නට ලැබේ. එහි යෙදිය යුතු ව තිබූ වචනය යහගුණ යන්න නොව, ‘යහ’ සහ ‘අව’ යන ගුණ දෙකම නැති මධ්‍යස්ථ බව හැඟවෙන පදයකි. ඇතැම් විට ස්වභාවය (character) යන්න යොදාගත යුතුව තිබුණි.

අපගේ අණපනත් පිරික්සා බලන විට මේවැනි දුර්වල සංකල්පීය ගැටලු‍ බෙහෙවින් හමු වේ. එම තත්වය විසින් නීතිය හා අධිකරණය පිළිබඳ ව්‍යාකූලත්වයක් මෙන්ම අවිනිශ්චිත හා අපැහැදිලිතාවක් ද හටගනී. යම් කරුණක් පිළිබඳ නිශ්චිත නිර්වචන තිබීම යුක්තිය පසිඳලීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඇත්ත වශයෙන්ම යටත් විජිත යුගයේ නීති සම්පාදනය තුළ මේ වැනි දුබලතා තිබුණේ නැත. ඇතැම්විට බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ තිබෙන ආනුභවිකවාදය ඊට බලපාන්න ද ඇත. එහෙත් වර්තමානයේ මේ 21 වැනි සියවසේ පළමු කාර්තුවේ අග ද අපට හරිහැටි නීතියක් සංකල්පීකරණය කිරීම පිළිබඳ ගැටලු‍ තිබේ නම් එය බරපතළ තත්වයකි. මේවා සකස් කරන්නේ නීතිය පිළිබඳ හසල දැනුමැති අය විසින් බව කියවේ. එහෙත් ඔවුන්ගේ ලේඛනවලින් නම් එම දැනුම විද්‍යමාන නොවීම අභාග්‍යයකි. එක් ආයතනයක් විසින් පනතක නීතිය තමන්ගේ පැත්තට බෙදා ගැනීමට යොදා ගන්නා විට තවත් පනතක දුබලතා නිසා තීන්දු තීරණ ප්‍රශ්නකාරී වී තිබේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (0)

එදා - මෙදා තීන්දුවල ඇදකුද

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 157 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 286 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1101 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 183 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site