IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු

ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය.

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වාසනාවට නිධානයකුත් ලැබෙන්න යනවා කියා ය. එහෙත් මේ වන විට අදාළ කැණීමෙන් මතුව ඇත්තේ විශාල කලු‍ගලක් පමණක් බව තහවුරු වී තිබේ.

ඒ පසුබිම මත දැන් නිධානය හෑරීමට නියෝග දුන් අය සිය වගවීම අතහැර ඇති සෙයකි. අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත්තේ තමන් නිදන් හෑරීමට නියෝගයක් ලබානොදුන් බවයි. බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා ද කියනු දුටුවේ තමන් නිධානයක් හෑරුවේ නැති බවයි. අධිකරණ නියෝගයක් නොතිබුණේ නම් මෙම ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවකි. විශාල මහජන මුදලක් දින තුනක් තිස්සේ වැය කරමින් රජයේ විවිධ තනතුරු හොබවන නිලධාරීන්ගේ සේවා කාලය කැප කරමින් කළ මේ ක්‍රියාව සිදුවූයේ කෙසේ ද? ඊට නියෝග දුන්නේ කවුද? මේ පිටුපස විධිමත් රාජ්‍ය නියෝගයක් නැති නම් ඊට වියදම් වූ රාජ්‍ය මුදල ගැන වගකියන්නේ කවුද?

ඉහත ක්‍රියාවෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ පාලනය හා සම්බන්ධීකරණය බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ක්‍රියා කොට ඇත්තේ පොලීසිය වීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. පොලීසිය මෙවැනි දෙයක් ඉහළ නියෝගයකින් තොරව සිදු කරන්නේ නැත. විධිමත් ඉහළ නියෝගයකින් තොරව පොලීසිය ක්‍රියා කළේ නම් එය බරපතළ ගැටලුවකි. ආණ්ඩුව මේ පිළිබඳ වහා පරීක්ෂණයක් පවත්වා සිදු වූ දේ රටට හෙළි කළ යුතු ය. වියදම් කළ මහජන ධනය වගකිවයුතු අයගෙන් අයකරගත යුතු ය.

මාලිමා ආණ්ඩුවේ සැලසුමක් නැති, එදාවේල තීන්දු පිළිබිඹු වන්නේ, රටේ ජනජීවිතයට ඍජුව බලනොපාන සිදුවීම්වලින් පමණක් නොවේ. ආණ්ඩුව පත්වීමට පෙර කුමක් ප්‍රකාශ කළ ද රාජ්‍යයේ මූලික ආර්ථිකමය දිශානතිය සම්බන්ධයෙන් ද ඔවුන්ට සැලසුමක් තිබී නැති බව දැන් දැන් පැහැදිලි වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා සහ ඒවායින් එළඹෙන තීන්දුවලින් ඒ බව මොනවට පැහැදිලි වේ. බලයට ඒමට පෙර මාලිමා වේදිකාව මූල්‍ය අරමුදල ගැන කී කතා අප මෙම තීරුවල කිහිප වරක්ම ලියා ඇත. සිංහ සෙයියාවෙන් කී එම කතා හීන් කෙඳිරිලි වීමට වැඩි කල් ගියේ නැත. මේ වන විට පැහැදිලි වෙමින් තිබෙන්නේ, ආණ්ඩුව සපුරාම සිය ජනවරම පැත්තකට දමා මූල්‍ය අරමුදලේ නියෝග වැළඳගෙන ඇති බවයි. ඔවුන් බලයට ඒමට පෙර ශපථ කළේ තමන් මූල්‍ය අරමුදල සමග සමස්ත ගිවිසුම ම නැවත සාකච්ඡා කර වෙනස් කරන බවයි.

පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් ලංකාවේ සිය පරීක්ෂණ සංචාරය අවසන් කරමින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පැහැදිලිව සඳහන් වූයේ ආණ්ඩුව සපුරාම මූල්‍ය අරමුදලට අනුගතව ඇති බවයි. විශේෂයෙන් ම එම මූල්‍ය අරමුදල් නියෝජිතයන් ප්‍රකාශ කළේ 2025 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පූර්ණ වශයෙන් තම අණසක යටතේ ඉදිරිපත් කළ යුතු බවයි. ඔහු නොකියා කීවේ තම කොන්දේසිවලට අනුගත නොවන්නේ නම්, තාවකාලිකව අනුමත කළ ඩො.මිලියන 330 මීළඟ වාරිකය ලංකාවට නොලැබී යන බවයි. නියෝජිතයාට අනුව ලංකාවේ අයවැය විමර්ශනයට ලක් කිරීමෙන් පසු පමණක් මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මීළඟ වාරිකය පිළිබඳ ස්ථිර තීන්දුව ගනු ලබන බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ මෙවර අයවය ලේඛනය යනු සපුරාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරන ලියවිල්ලක් බවය. එය කිසිසේත්ම ලංකා රාජ්‍යයේ මහජන අනුමැතියට යටත් එකක් නොව, ඇමරිකාවේ පිහිටි ගෝලීය මූල්‍ය ආයතනයක විධානයකි. මාලිමා ආණ්ඩුව විසින් ලද තුනෙන් දෙක ද ඉක්මවා යන ජනවරම මෙහි දී භාවිත වන්නේ හුදු රබර් මුද්‍රාවක් ලෙස පමණි.

ඉරණම්කාරී ලෙස ඉහත මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විසින් මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප්‍රධානියාගෙන් විමසා සිටින්නේ ලංකාවේ මහජනතාව විසින් නව ජනවරමක් ලබා දී තිබෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය කුමක්ද යන්නයි. නියෝජිතයා සෝපහාසී සිනාවක් මුව රඳවා ගනිමින් ප්‍රකාශ කළේ, ලංකාව ඉතා දුෂ්කර මොහොතක තිබෙන බවත්, ඉන් මිදීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉලක්ක අත්කරගත යුතු බවත් ය.

ආර්ථික අර්බුද පසුබිමේ ලංකාවේ මූල්‍ය ස්වාධිපත්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැඩ ගැසීම පිළිබඳව අප මීට පෙර බොහෝ ලියා ඇත. ඇත්ත වශයෙන්ම 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වත්මන් මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි විසින් ගත් අදූරදර්ශී රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ තීන්දුවත් සමග මේ සියල්ල ආරම්භ විය. රට බංකොලොත් නොකර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අවස්ථාව ඕනෑ තරම් තිබිය දී කළ අඥාන තීන්දුව නිසා අප මෙම ශාපයට හසුවිය. එවක අරගලයේ සිටි ජවිපෙ-මාලිමා පිරිස්වල නිති මුව රැඳුණේ ද ආණ්ඩුව වහා ණය ගෙවීම් පැහැර හැර එම මුදල්වලින් ඉන්ධන ගෙන්විය යුතු බවයි. ණය ගෙවීම් පැහැර හැරීම යනු අන් කිසිවක් නොව, බංකොලොත් බව ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ජනමතය අරගලය පුරාම නිර්මාණය විය. ගෝඨාභය ආණ්ඩුවට බල කළේ ණය නොගෙවා අයි එම් එෆ් යන ලෙසයි. ආචාර්ය නන්දලාල් හා ඇමති අලි සබ්‍රි එම ජනමතය භාවිත කරමින් ලංකාව අතොරක් නොපෙනෙන ලෙස මූල්‍ය අරමුදලට ගැටගසා දැමුවේ ය. ඔවුන් ප්‍රකාශ කළේ මහබැංකුවේ සංචිත නොමැති නිසා එසේ කිරීම හැර අන් විකල්පයක් නැති බවයි. එහෙත් 2022 අප්‍රේල් 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කරන විට ගෙවිය යුතුව තිබූ බොහෝ ණය ගෙවා දමා තිබූ අතර ඊළඟ ණය මුදල ගෙවීමට තිබුණේ එම වසරේ ජූලි 27 වැනිදා ය. එනම් මාස 4කට පසු ය. එම කාලය තුළ චීනය හා ඉන්දියාව ආදි රටවලින් විදේශ විනිමය ගලා ඒමට නියමිතව තිබූ අතර, ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කෙරුණි.

අද රට මූල්‍ය සහ ආර්ථිකමය වශයෙන් සිය ස්වාධීනත්වය අහිමි කරගෙන ඇත්තේ එදා දියත් කළ මුග්ධ අරගල දේශපාලනය නිසා සහ ඒ මතින් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැට ගැසීමට කල්යල් බලමින් සිටි අරමුදලේ දේශීය නියෝජිතයන් නිසා බවද අප යළි යළිත් සිහිපත් කළ යුතු වේ.

ඒ අනුව, මාලිමා ආණ්ඩුව අද ගෙවා දමන්නේ එදා තමන් විසින් මෙහෙය වූ මහජන මතය නිසා ඇති වූ පාපකර්මයක විපාක බව අපි අවධාරණය කරමු. එහෙත් එසේ තිබිය දීත් ඔවුන් මෙවර ජනාධිපතිවරණයේ දී කළ ප්‍රකාශ අනුව මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම් වෙනස් කිරීමට පොරොන්දු වූ අතර එහි දී ඔවුන් සපුරා අසමත් වීම තමන්ගේම උගුලට තමන්ම අසුවීමක් බව කිව යුතු ය.

මූල්‍ය අරමුදල සමග පූර්ණ වශයෙන් අනුගත වීමෙන් තවදුරටත් හෙළිවන කරුණක් තිබේ. එනම්, මාලිමා ආණ්ඩුව සිය ජනවරම ලබා ගැනීම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඔවුන්ට හැකියාව නොලැබෙන බවයි. රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීම, වැට් බදු, උපයන විට ගෙවන බදු වැනි බදු වර්ග රැසක් අඩු කිරීම ඇතුළු පොරොන්දු රැසක් පසුගිය කාලයේ ලබාදුන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය.

ඒවා ඉටුකිරීම සම්බන්ධයෙන් කිසිදු වගවීමක් නොමැතිව අදාළ පොරොන්දු ලබාදී ඇති බව පෙනේ. එය පැහැදිලි වංචනික පියවරයකි. අවම වශයෙන් ආණ්ඩුවට මුදල් අමාත්‍යාංශය සඳහා විකල්ප ලේකම්වරයකු හෝ සිට නැති බව මේ වන විට පෙනී යයි. මාලිමා මැතිවරණ වේදිකාවේ දී මුදල් ලේකම්වරයා ගැන කියමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ “හිරේ යන්නට සූදානමින් සිටින ලෙස ය”. එහෙත් අද වන විට නැවත වරක් ඔහුම එකී තනතුර සඳහා පත් කොට තිබීමෙන් පැහැදිලි වන්නේ, ජනතාව රැවටීම සඳහාම මේ වැනි ප්‍රකාශ කළා මිස, ඒවාහි කිසිදු සත්‍යයක් ගැබ්ව නොතිබූ බවයි. ආණ්ඩුවේ වංචාව හා දූෂණය සම්බන්ධ සෙසු චෝදනා ද මේ වැනිම හිස් වචන බව මේ හරහා ජනතාවට සිතාගත හැකි ය.

එවැනි බොරු කියන ආණ්ඩුවකින් කෙනකුට “සිස්ටම් චේන්ජ්” හෙවත් පද්ධතිමය වෙනසක් කෙසේ නම් අපේක්ෂා කළ හැකි ද? මොවුන්ට පද්ධතිමය වෙනස යන සංකල්පයේ තේරුම ගැනවත් අවබෝධයක් තිබේ ද යන්න සැක සහිත ය. අපගේ තක්සේරුව නම් වන්නේ, මොවුන් සිස්ටම් වෙනස් කිරීම නොව, ලංකාවේ එදා මෙදා තුර නොපැවති දූෂිතම ආණ්ඩුව බවට පත් වී ජනතාවට යන එනමං නැති කර ගෙදර යාමට අවශ්‍ය වැඩ කටයුතු කරමින් සිටින බවයි.

(*** )



අදහස් (7)

දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු

dileepa1986 Friday, 29 November 2024 02:12 PM

අම්මෝ කචිකාර්යතුමාට සෑහෙන්න තරහා ගිහින්. ඒ කාලේ දැයට කිරුල ගම්උදාවෙන් නිධන් ගද්දී මෙතුමා කොහේද දන්නේ නෑ හිටියේ... කලින් පාලකයෝ අසීමිත ලෙස හොරා කද්දි නාස්ති කරද්දී... මෙතුමා විශාල නින්දක ඉඳලා එක පාරම ඇහැරිලා. පව් අප්පා...!

:       15       44

randil dunuwille Friday, 29 November 2024 02:34 PM

මෙයා හරියට රටට ආදරේ කෙනෙක්, ඔයා පාඩුවේ සෙමිනා එකක් කරගෙන ඉන්න. ආණ්ඩුවට උපදෙස් එපා..,

:       14       32

ජනරළ Friday, 29 November 2024 02:52 PM

ඔය අත්තනගල්ලේ හැරීමට ඇති විශාල මුදලක් ගියා කියලා කියන්නේ කොහොමද? බැකෝ එකකින් හැරුවේ. එකට ඔච්චර නහින්න ඕනෑද? හොඳයි මම මහින්ද පතිරණ මහත්තයාගෙන් අහන්නේ ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ බාල පුත්‍රයා රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් මහා අඬබෙර ගහලා නටලා උත්සවාකාරයෙන් සුප්‍රීම් සැටලයිට් කියලා ව්‍යාපෘතියක් කරන්න කියලා පටන් ගත්තා. ඒ වෙලාවේ සියඹලාපිටිය හිටපු ඇමැතින් පාරලිමේන්තුවේදී එක හොඳ එකක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එකට ඩොලර් මිලියන 330 ක් වියදම් කලා කියලත් මතයක් තියෙනවා. වෙච්චි දෙයක් කවුරුත් දන්නේ නැහැ. මෑතකදී විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී ඇහුවාම හිටපු කතානායක කිව්වේ කොමිටියක් දාලා හොයලා කියන්නම් කියලා. මොකද වුනේ කියලා අද වෙනකම් කවුරුත් හරි උත්තරයක් දුන්නේ නැහැ. මෙන්න මේවනේ මහත්තයෝ නාස්තිය වංචාව කියන්නේ. ලියන්නකෝ ඒවා ගැනත් දවසක...!

:       10       33

අමර Friday, 29 November 2024 03:49 PM

අපෝ මේ අපුල්ලන්නා ගෙ කතා මොකද මේ...? මෙයා රාජපක්ෂ ආණ්ඩුව පැරැදිලා ගියත් ඒකෙ අඩුවක් දකින්නේ නැති කෙනෙක්... අන්ධ භක්තියෙක්. මෙයාගේ දේවල් කියවන ඒක ජීවිතේ කරන අපරාධයකි...

:       11       35

melbournian Saturday, 30 November 2024 06:08 AM

මේ මනුස්සයාගෙන් පාඩම් ඉගෙන ගන්න ළමයින්ට ජය වේවා...!

:       7       14

Dharmasena Monday, 02 December 2024 03:30 PM

වසර 33 ක විශ්වවිද්‍යාලයීය සේවා කාලය තුළදී මෙවන් ආචාරියන් මට කොතෙකුත් හමු වී ඇත. විශ්වවිද්‍යාලය තුළදී තමන් විශේෂ පිරිසක් ලෙස පිළි ගන්නා ලෙස වෘත්තීය ඉල්ලීම් රජයට ඉදිරිපත් කරන ලද්දේ මෙවැනි උගතුන්ය. මන්ද ඔවුන්ගේ ඇති සුවිශේෂී බවක් නැති නිසායි. තමන්ට සම්බන්ධ දේශපාලන පක්ෂයකට කඩේ ගිහින් බත සරි කරගන්නා උගතුන්ය. ගෝඨාභයටත් කෙලියේ මෙවැන්නන්ය.!

:       3       13

Wasantha Wednesday, 04 December 2024 01:07 PM

මෙයා තනිකරම ආණ්ඩුවෙන් අදින කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු
2024 නොවැම්බර් මස 29 2616 7

ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචා


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1336 5

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 1022 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 452 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2416 7

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 265 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 81 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 677 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site