IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දවස් සියයේ විපරමක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව පළමු දින 100 තුළ අසාර්ථක වූවා යැයි ඉදිරිපත් වන තර්කයයි. ආණ්ඩුවේ පැත්තෙන් කතාව කියන්නට සමහරුන් උත්සාහ කරන බව සැබෑය. එහෙත් එය නොඇසෙන ගානට ආණ්ඩුවට විරුද්ධව මතුවන විවේචනය වර්ධනය වී ඇත.

මේ තත්වය තුළ මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ආණ්ඩුවේ දින සීයේ ප්‍රගතිය පිළිබඳවය. මේ දිනවල සිදුවෙමින් පවතින තවත් සමහර වැදගත් සිදුවීම් කීපයක්ම තිබෙන බව සැබෑය. ජනාධිපතිවරයා මේ වන විට සිටින්නේ චීනයේ නිල සංචාරයකය. මේ ආණ්ඩුවේ ඉන්දු - චීන සම්බන්ධතාවල ස්වභාවය පිළිබඳව ද ලිවිය යුතුය. එහෙත් ඒ සියල්ල පසු දිනයකට කල් දමා, දින සීයේ ශේෂ පත්‍රය ගැන ලිවිය යුතුය.

 

ආණ්ඩුව හැදෙන කතිකා අවකාශය

ආණ්ඩුවේ දින සීයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමේදී ඉතාමත් වැදගත් වන කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන කතිකා අවකාශය හෙවත් ‘‘ඩිස්කෝස්’’ (Discourse) එක පිළිබඳව අවධානය යොමු කිරීමය. ආණ්ඩුවට තමන්ට හරියට ‘‘මාකට්’’ කර ගැනීමට හැකියාවක් නැති බව පෙනෙන්නේ මම කියන මේ කතිකා අවකාශය පිළිබඳව අවධානයක් නොමැතිකම නිසාය.

මේ කාරණය පැහැදිලි කිරීමට පොඩි දාර්ශනික කාරණයක් ප්‍රකාශ කිරීම වැදගත්ය. සමකාලීන බටහිර යුරෝපීය දර්ශනයේ ඉතාමත් කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන ජර්ගන් හබර්මාස් (Jurgen Habermas) විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන අදහසක් වන්නේ ‘‘යම් ස්ථාවරයක් හෝ ආස්ථානයක් හෝ නිවැරැදි යැයි ස්ථාපිත වන්නේ එම ස්ථාවරය හෝ ආස්ථානය යුක්ති සහගත කිරීමට ගොඩනැගෙන කතිකා අවකාශය (Discoursive Space) තුළ’’ බවයි. එපමණක් ද නොවේ. එම කතිකා අවකාශය තුළ පිළිගනු ලබන විනිශ්ච (ඒවාට දාර්ශනික සංවාදයේදී කියන්නේ ප්‍රතීයමාන විනිශ්ච හෙවත් Mormative Judgments කියාය) නිර්මාණය වන්නේ එම සංවාද අවකාශයේ යෙදී සිටින අය විසින් නිර්මාණය කරගන්නා සන්නිවේදන තාර්කිකත්වය හෙවත් Communicative Rationality එක මතය.

කිවිදා දැක්ම වෙත තවදුරටත් වඩා බර හා තාක්ෂණික වචන කීපයක් යොදා ගත්තාට සමහර පාඨකයන් මනාප නැතුවා විය හැකිය. එහෙත් මා කියන කාරණය පැහැදිලි කරන්නට ඉහත සඳහන් කතිකා අවකාශ තර්කය ඉතාමත් ප්‍රයෝජනවත්ය.

දැන් වත්මන් ආණ්ඩුව අප ස්ථාපනය කළ යුත්තේ එය ගොඩනැංවීමට නිර්මාණය කළ කතිකා අවකාශය තුළය. එසේ නොමැතිව රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩු කරපු - කියපු දේවල් සමග සංසන්දනය කිරීම තුළ නොවේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම යනු මෙරට දේශපාලනයේ ඉතාමත් වෙනස් සිදුවීමක් බවද මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය. මා එසේ කියන්නේ ‘‘ජයවර්ධන, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ වික්‍රමසිංහ වැනි පවුල් දේශපාලන ධාරාවක් හරහා මේ ආණ්ඩුව පත්වුණේ නැත’’ යන සරල තේරුමෙන් නොවේ. ඒ කතාව ඇත්තය. මේ ආණ්ඩුව යනු සමාජයේ නිර්ප්‍රභූ දෙශපාලනයේ මතුවීමක් බව සැබෑවක්ය. ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ මේ ආණ්ඩුව යනු ‘‘වෙනස් කතිකාවක් නිර්මාණය කරමින්, ඒ කතිකාව තුළ සාධාරණය සහ සත්‍ය පිළිබඳව තාර්කිකත්වයක් හා සාධාරණීයකරණයක් ගොඩනගා ගනිමින් හැදූ’’ ආණ්ඩුවක් ය යන එකය.

මේ ආණ්ඩුවේ ප්‍රගතිය මැනිය හැක්කේ ඊට පෙර තිබූ රාජපක්ෂ ආණ්ඩුවට හෝ වික්‍රමසිංහ ආණ්ඩුවට සාපේක්ෂව නොවන තැනට පත්වී ඇත්තේ මේ නිසාය.

මේ ආණ්ඩුව බලයට පත් කරන්නට එහි පාර්ශවකරුවන් විසින් ගොඩ නගන ලද සන්නිවේදන තාර්කිකත්වය (Communicative Rationality) තුළ රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා හෝ යනු සදාචාර පැවැත්මක් තිබෙන දේවල් නොවේ. ඒ නිසා ඒ ආණ්ඩු (රාජපක්ෂ ආණ්ඩු/ වික්‍රමසිංහ ආණ්ඩු) යනු මේ කතිකා අවකාශයේ කිසිදු ‘‘හොඳක්’’ තිබෙන ඒවා නොවේ. එවැනි ගොඩනැගීමක් තුළ ආණ්ඩුවේ අය පැමිණ ‘‘මේ දින සියය රනිල්ගේ හෝ මහින්දගේ දින සියයට වඩා හොඳයි’’ යැයි කීම කිසිදු තේරුමක් ඇති දෙයක් වන්නේ නැත. ඒ කතාවට වැඩියෙන්ම කිපෙන්නේ මාලිමාවට ඡන්දය දුන් ආණ්ඩුවේ හිතවතුන්ය. එසේ වන්නේ මා ඉහතින් කියූ දාර්ශනික පදනම නිසාය.

මාලිමා පාක්ෂිකයන්ට අනුව තවදුරටත් රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා හෝ ඒ අයගේ කතා විශ්වයේ වීරයෝ නොවේ. තමන්ම නිර්මාණය කළ සන්නිවේදන තාර්කිකත්වය හා කතිකා අවකාශය තුළ අනුර දිසානායක යනු එකම සහ ශක්තිමත්ම වීරයා බවට පත්කර හමාරය. ඒ නිසා ‘‘අනුර රනිල්ට වඩා හොඳයි’’ වැනි තර්ක ඒ පාක්ෂිකයන්ට කිසිදු වටිනාකමක් නැත. එය හරියට සමාන වන්නේ ‘‘දෙවියන් වහන්සේ සාතන්ට වඩා හොඳයි’’ වැනි ප්‍රකාශයකටය. එවැනි ප්‍රකාශයකින් තමන්ගේ ශ්‍රාවකයන් අමනාපයට පත්වීම තේරුම් ගැනීමට අපහසු නැත.

ඒ නිසා මේ දින සියය සම්බන්ධව අගය කිරීමත්, ප්‍රගතිය මැනීමත් සිදුවන්නේ ඉහතින් සඳහන් කළ කතිකා අවකාශයට සාපේක්ෂව මිස එයින් හුදකලාව නොවේ. ආණ්ඩුවේ සමහරුන්ට තේරෙන්නේ නැති කාරණය වන්නේ ඒකය. ආණ්ඩුවේ රූපවාහිනී, පත්තර කරන්නට හදන්නේ පැරණි ආණ්ඩුවලට වඩා මේ දින සියය හොඳ බවයි. එහෙත් ඒ උත්සාහය සමාජයේ තබා තමන්ගේ පාක්ෂිකයන් අතරවත් කිසිදු ධනාත්මක අගයක් එකතු නොකරන්නේ ඉහත සඳහන් තත්වය තුළ බව මගේ අදහසය.

 

දින සීයේ ප්‍රගතිය

දැන් ඉහත විග්‍රහය සමගින් වත්මන් ආණ්ඩුවේ දින 100යේ ප්‍රගතිය සම්බන්ධව විමසා බැලීම අවශ්‍යයි. එසේ බලන විට පෙනී යන පළමු වන කාරණය වන්නේ තමන්ගේ දේශපාලන සංවාද අවකාශයේ ‘‘හදපු ආණ්ඩුව’’ සහ පාර්ලිමේන්තුව තුළ හා කැබිනට් මණ්ඩලය තුළ ‘‘හැදී ඇති ආණ්ඩුව’’ අතර තිබෙන්නේ අහසට - පොළව තරමේ වෙනසක් බවයි.

පැරණි සිංහල පාඨ ග්‍රන්ථයක මේ වගේ අවස්ථාවක් පෙන්නුම් කිරීමට යොදාගත් කදිම පාඨයක් මගේ මතකයට එයි. එහි කියවෙන්නේ ‘‘මා වපුළේ මකර දත්ය - පල ලැබී ඇත්තේ හෝහපුටුවන්ය’’ කියාය. මකරෙක් හදන්නට තැත් කළ නමුත්, හැදී ඇත්තේ හෝහපුටුවන් වැනි නොසලකා හැරිය හැකි තරමේ ජීවියෙක් බව මෙහි අදහසය. ‘‘කන්දක් විලි ලා මී පැටියෙක් වදනවා’’ කියා තවත් කියමනක් තිබෙන්නේත් මේ අදහසටමය.

ඒ නිසා දින සියයේ පසුවිපරමේ පළමු නිරීක්ෂණය වන්නේ කතා විශ්වයේ සිටි ආණ්ඩුව සහ පාර්ලිමේන්තුවේ පෙනෙන ආණ්ඩුව අතර විසඳිය නොහැකි පරස්පරයක් තිබෙන බවයි.

දෙවැනි වැදගත් නිරීක්ෂණය වන්නේ ආණ්ඩුවේ නායකයන් මේ බල මාරුව තේරුම් ගෙන ඇති ආකාරයේ ගැටලුවක් ඇති බවය. ආණ්ඩුවේ නායකයන් හදන්නේ වික්‍රමසිංහ පාලනය ඒ ආකාරයෙන්ම ආර්ථික ක්ෂේත්‍රය තුළ කරගෙන යන්නටය. රනිල්ගේ ආකෘතිය හරහා IMF එකඟතාව, ඉන්දීය ආර්ථික සම්බන්ධතා වැනි එහෙමම කරගෙන යාමය. වෙන විදියකට මේ ප්‍රශ්නය ඇසුවහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනුවා නම් කරන ආකාරය සහ වත්මන් පාලනය කරගෙන යන ආකාරය අතර වෙනසක් තිබේද කියා ඇසිය හැකිය. එවැනි කිසිම වෙනසක් ආර්ථික ක්ෂේත්‍රයේ තවම පෙනෙන්නේ නැත.

ඒ ප්‍රශ්නයම තවත් විදිහකට ඇසිය හැක. මාලිමාවේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයේ ‘‘අලුත්’’ සහ ‘‘වෙනස්’’ ආර්ථික උපායමාර්ග හඳුන්වා දෙන්නේ නැද්ද කියාය.

තුන්වෙනුව මේ දින 100යේ ප්‍රගතිය දෙස බැලිය යුත්තේ ‘‘ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය’’ තුළ තබාය. මාලිමාවේ කතා අවකාශය තුළ සමහරුන් තර්ක කළේ ‘‘විප්ලවයක්’’ පිළිබඳවය. තවත් සමහරුන් තර්ක කළේ ප්‍රතිසංස්කරණයක් පිළිබඳවය. (ශ්‍රමදානයක් ගැන කතා කළ අය මේ දෙකෙන් කුමක් හෝ හිතේ තබාගෙන එය කතා කරන්නට ඇත) විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ සිටින බුද්ධිමතුන් වශයෙන් නම් කෙරෙන අය බොහෝ විට කීවේ ‘‘ආර්ථිකයේ සහ දේශපාලනයේ බරපතළ ප්‍රතිසංස්කරණයක්’’ සිදු කරන බවයි.

සමහරුන් තමන්ගේ සමාජ මාධ්‍ය අවකාශවල පෙනී සිටියේ ‘‘රට ගලවා ගන්නා පෙරගමන්කරුවන්’’ වශයෙන්. ඒ අර්ථයෙන් සලකා බලන විට මේ දවස් 100 තුළ ඒ කියන ආර්ථික හෝ දේශපාලන ප්‍රතිසංස්කරණවල කිසිදු ආරම්භයක් පෙන්නුම් කළේ නැත.

මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ ජනාධිපතිවරයා ඔහුගේ වපසරිය තුළ යම් ආකාරයක හුෙදකලා උත්සාහයක් ගන්නා බවත් පෙෙනන බවය. එහෙත් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව යන ආයතනික ව්‍යුහ තුළ සිටින අය කවුරුවත් සමාජයේ පිළිගැනෙන ආකාරයේ මැදිහත්වීමක් කරන්නේ නැති බවය.

මේ තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ රාජ්‍යයට සහ ආණ්ඩුවට පිටස්තරයන් වශයෙන් වීමය. ‘‘හොඳ වාහනයක නොයන, සැප පහසු නිවසක නොවසන, දුක හිතෙන සුළු ජීවිතයක්’’ පෙන්නන්නට යනවා මිස රටේ රාජ්‍යයේ අලුත් ප්‍රතිසංස්කරණ සඳහා බර සාර මැදිහත්වීමක් ඒ අය නොකරන්නේ මේ ‘‘පිටස්තර’’ බව නිසාය.

තවත් පැත්තකින් ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුව තවම හඳුනාගෙන නැති ගානය. මුළු රටේ ආර්ථික ක්ෂේත්‍රයේ කිසිදු සාධනීය පියවරක් ගැනීම පසෙකලා Cleaning sri Lanka වැනි ව්‍යාපෘතිවලට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මුසු කරන්නේ ඒ ප්‍රමුඛතා ලේඛනය නොමැති නිසාය.

ඒ අනුව මගේ තක්සේරුව වන්නේ පසුගිය දින සියය තුළ හා අනාගතයේ මේ රජය උත්සාහ කරනු ඇත්තේ තමන් බලය ලබා ගත් කතිකා අවකාශය තුළට ගමන් කරන්නට නොහැකියාවෙන් මතුකරන ස්වයං විසංවාදයට උත්තර දෙන්නටය. ඒ මහන්සිය නිසා කිසිදු ප්‍රතිසංස්කරණයකින් තොරව ඊළඟ දින 100, 200, 300 ගතවන්නට තිබෙන ඉඩ විශාල බවය.

 

(***)
මහාචාර්ය
චරිත හේරත්



අදහස් (0)

දවස් සියයේ විපරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 85 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 943 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 309 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 404 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1114 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 538 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site