නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතු කරන ලද අදහස් මුල් කරගෙන ලියවෙන මේ ‘කිවි දා දැක්ම’ නැගෙනහිර ජැටියෙන් එහාට යන සමාජ-දේශපාලන කථිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුණනවාද? බදු දෙනවාද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායකය. රටට මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් එය අවාසිදායකය. ඊටත් වඩා එය ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යයට හානිකරය. එවැනි විකිණීම් සහ බදු දීම් මේ දක්වා මේ රටට, රාජ්‍යයට අත් කර දී ඇත්තේ අපේක්ෂා භංගත්වය සහ අභ්‍යන්තර මෙන් ම බාහිර පීඩන පමණි.
ආණ්ඩුව පත්වන දේශපාලන අනතුර එක් පැත්තකින් දෘෂ්ටිවාදී එකකි. එනම් ජාතික රාජ්‍යවාදය, ඊට අනුබද්ධ ජාතික ආරක්ෂාව, ජාතික අභිමානය සහ ජාතික සංවර්ධනය පිළිබඳව ආණ්ඩුවේ තීරක බලවේග විසින් ජන සමාජය මත කාලයක් තිස්සේ ස්ථාපිත කොට ඇති සහ නඩත්තු කරන දෘෂ්ටිවාදය අර්බුදයට යෑම එම දෘෂ්ටිවාදී අනතුරය. අනිත් අනතුර දේශපාලන එකකි. එනම් ආණ්ඩුව කෙරෙහි, ජාතික රාජ්‍යවාදී ස්ථාවරයක සිටින බහුතර ජනතාවගේ ඇති පක්ෂපාති බව අඩුවිය හැකි වීම, ආණ්ඩුවට අදාළ ඒ දේශපාලන අනතුරය. එහි තවත් අතුරු දේශපාලන අනතුරක් වන්නේ ආණ්ඩුව ඇතුළේම සිටින, බලය ආශ්වාදය කිරීම විනෝදාංශයක් හෝ ධනෝපායන මාර්ගයක් කර නොගත්, ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් වැනි අවංක මහජන නියෝජිතයන්ගේ හිත් බිඳී යාමටත් ජන සමාජයට වගඋත්තර දී ගත නොහී අසරණ වීමටත් එය හේතුවක් වීමය.
නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට විරුද්ධව සංවිධානය කර තිබු පුවත් සාකච්ඡාවක දී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කොට තිබුණේ “ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටිනවා” ය යන්නය. මේ ප්‍රකාශය 1977 න් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩුවලට අදාළය. එපමණක් නොව ලෝකයේ පහළ මට්ටමේ ආර්ථිකයන් ඇති අප වැනි බොහෝ රටවල් වලටත් ආදාළය. එනම් අප වැනි බොහෝ රටවල ඉරණම එයය. එය මේ ආණ්ඩුවට පමණක් චෝදනා කොට අත් පිසදා ගත හැක්කක් නොවේය. නිෂ්පාදන ආර්ථිකයක් නැති, නවෝත්පාදන නැති, විදේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ පහසුකම් සපයා දී යමක් උපයා ගන්නා ඒජන්සි පමණක් ඇති, සංවර්ධන අරමුණු මත නොව දේශපාලන පැවැත්ම සඳහා වැඩ නැති රැකියා ලබා දී ඒ සඳහා විශාල වැයක් දරන, දේශීය සහ විදේශීය ණය උගුල්වල පැටලී ඇති, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ තරඟවල අතකොලු බවට පත් වී ඇති සහ ස්වදේශික න්‍යාය පත්‍ර අනුව නොව ජාත්‍යන්තර බලවතුන්ගේ සහ වෙළෙන්දන්ගේ අරමුණු මත සැකසු න්‍යාය පත්රවලට අනුව, කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන් වැඩ කිරීමට සිදුව ඇති සියලු රටවල්වලට අද සිදු වී ඇත්තේ ඇල්ලේ හාමුදුරුවන් කියන ආකාරයේ වෙන්දේසි පොළවල් ලෙස ක්‍රියා කිරීමටය. අප මේ ලෝක තත්ත්වය තේරුම් ගත යුතුය. රටක් වෙන්දේසි පොළක් නොවී සිටීමට, රාජ්‍යයක් එවැනි වෙන්දේසි පොළක පහසුකාරකයන් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසා ගත හැක්කේ එවිටය.
හිටපු ඇමති මංගල සමරවීර මෑතක දී කළ ප්‍රකාශයකට අනුව “ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේ ද, තරුණයන් ට රැකී රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේ ද, විදේශ ආයෝජකයන් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණය.විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීම හෝ පාවා දීමක් බව සිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවේ සුබ සිද්ධියට වැට බඳින අතළොස්සක් පමණයි”. මේ ප්‍රකාශය අපගේ අවධානයට ලක්විය යුතු අපූරු එකකි. එහි ඇති කාරණා එකින් එක පරීක්ෂා කිරීම වැදගත් ය. ලංකාව දියුණු රටක් කිරීමේ වුවමනාව සමරවීරගේ මුඛ්‍ය අදහසකි. ඒ ගැන විරුද්ධත්වයක් අප කාටත් නැත. තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමේ වුවමනාව සහ අරමුණ ද එවැන්නකි. එහෙත් ඒ දෙකම ඉටු කර ගැනීමේ එකම මාධ්‍යය ලෙස ඔහු දකින්නේ විදේශ ආයෝජන මේ රට ට ගෙන්වා ගැනීමය. එය සමාන වන්නේ වෙළඳපොළ විසින් ජන සමාජය සුඛිත මුදිත කරනු ඇත පන්නයේ විශ්වාසයකටය.
මංගල සමරවීරගේ යෝජනාව තුළ අන්තර්ගත වී ඇති මූලික ගැටලුවක් වන්නේ, එවිට දේශීය දේශපාලකයන්ට සහ තීරකයන්ට පැවරී ඇති කාර්යභාරය කුමක්ද යන්නය. ඒ කාර්යභාරය නම් විදේශීය ආයෝජකයන්ට සහ වෙළෙන්දන්ට පහසුකම් සැපයීම සහ පසුබිම සැපයීම පමණක්ය යන්න නම් රටකට රාජ්‍යයකින් ඇති වැඩක් නැත. දේශපාලනයෙන් පරිපාලනයෙන් වැඩකුත් නැත. සමරවීරගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ දේශීය පාලකයන්ගේ සහ තීරකයන්ගේ වගකීම් විරහිතකමය. එසේම ජාත්‍යන්තර පද්ධතිය තුළ විශේෂ අනන්‍යතාවක් සහිත රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමට දේශීය පාලකයන්ට සහ තීරකයන්ට අවැසි විශේෂඥභාවය නැතිකම සහ නොහැකියාවය. ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටින “වෙන්දේසි පොල” සංකල්පය සමරවීරගේ අරමුණු සමඟ ද සමපාත වීමෙන් පෙනී යන්නේ අවුරුදු අනූවක් තිස්සේ මේ රට පාලනය කළ තීරකයන් ණය ගැනීම සහ විකිණීම හැර සිදුකොට ඇති එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයන්ට සහ වෙළෙන්දන්ට අතරමැදියන් ලෙස සේවය කිරීමය. එසේම විදේශීය භාණ්ඩ සහ වෙළෙඳ සේවාවල ‘පොළ පහසුකම්’ සැපයීමය. අප දේශපාලනය, පරිපාලනය සහ වෙළෙඳාම කියා කියන්නේ ඒ අතරමැදි කාර්යභාරයටය.
සමරවීරට සහ ඒ හා සමාන අදහස් ඇති අයට අමතක වී ඇති හෝ ඔවුන් නොදන්නා හෝ දෙයක් ඇත. එනම් ජාතික රාජ්‍යයක් යනු හුදු තාක්ෂණික ව්‍යුහයක් පමණක් නොවේය. ජාතික රාජ්‍යයක් යනු ජනතා පරමාධිපත්‍යය ජනයා සමඟ ගිවිසුම්ගතව ක්‍රියාවට නගන ජාතික දේශපාලන සංවිධානයකි, ජාතික ආර්ථික සංවිධානයකි, ජාතික සංස්කෘතික සංවිධානයකි, ජාතික සමාජ සංවිධානයකි, සමාජ සම්මුතියකි. ජාතික රාජ්‍යය ගොඩනැගිය යුත්තේ ජාතික දේශපාලනය, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය සහ ජාතික සමාජ පදනම් මතය. එකී පදනම් ශක්තිමත් කරගත හැක්කේ ජාතික උත්සාහයකින් මිස සමරවීර යෝජනා කරන ආකාරයෙන් විදේශීය ආයෝජනවලට පහසුකම් පමණක් සැපයීමෙන් නොවේය.
විදේශීය ආයෝජන පිළිබඳ විරෝධයක් මා මතු කරන්නේ නැත. එහෙත් විදේශ ආයෝජන නියාමනය කිරීමට තරම් වූ ශක්තිමත් රාජ්‍යයක් නොවන අප අතිශයින්ම පරෙස්සම් විය යුතුය. විදේශ ආයෝජන පිටුපස නොව ඉදිරියෙන්ම ඇති දේශපාලන අරමුණු, කලාපීය බල තරඟයට අදාළ අරමුණු අප වටහා ගත යුතුය. කලාපීය බලවතුන්ගේ බල තරඟයට මැදිවන අප වැනි රටකට කිසිදු සංවර්ධන ඉලක්කයක් සාධනය කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දේශපාලන, ආර්ථික, මුල්‍ය සහ සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකිවන්නේ ද නැත. ගැති සහ යැපුම් මානසිකත්වයක් මිස ස්වාධීන ජාතික අභිමානයක් වර්ධනය වන්නේ ද නැත.
විදේශ ආයෝජන රටකට ගෙන්වා ගත යුත්තේ ඒ රටේ ජාතික න්‍යාය පත්රයකට, වැඩපිළිවෙළකට අනුව මිස විදේශ ආයෝජකයන්ගේ හෝ ඔවුන්ගේ රටේ න්‍යාය පත්රයකට හෝ අභිලාශයකට පාවිච්චි වෙමින් නොවේය. අපට සිදු වී ඇත්තේ අනිත් අයගේ අරමුණු සාධනයට පාඩු ලබමින් පාවිච්චි වන්නට ය. ගැටලුව ඇත්තේ එතැන ය. පළමු කාරණය වන්නේ ලෝක පද්ධතිය තුළ අප දුබල රාජ්‍යයක් ය යන්න පිළිගැනීමය. ඒ නිසාම ලෝකයේ ශක්තිමත් රාජ්‍ය වෙළෙන්දන් සමඟ කරන ගනුදෙනු සහ නියාමනය අපට කළ නොහැකිය. අප කළ යුත්තේ පෙරස්සම් වීමය. අනිත් කරුණ වන්නේ වසර දශක ගණනාවක් තිස්සේ විදේශ ආයෝජන යැයි කියා සිදු කළේ දේශීය සම්පත් විකිණීමය. එහි අරමුණ වූයේ රට සංවර්ධනය කිරීමය. එහෙත් 1977 සිට බැලුවත් මේ වන විට ඒ ක්‍රියාවලියේ වයස අවුරුදු 44 කි. කාලය දීර්ඝ ය. විකුණා ඇති දේශීය සම්පත් ප්‍රමාණය ඉතාම තීරණාත්මක සහ වැඩි ගණනක්ය. එසේ වුවත් රට ගොස් ඇත්තේ ආපස්සට මිස සංවර්ධනයකට නොවේය. එය එසේ නම් ඒ විකිණීමේ ක්‍රියාවලිය රට මුහුණ දී ඇති ගැටලුවලට පිළිතුරක් නොවන බව තේරුම් ගෙන අප යා යුත්තේ විකල්ප උපාය මාර්ගවලටය.
නැගෙනහිර ජැටිය ඉන්දියානු රාජ්‍යයට නොදී, බහු ජාතික බහුව්‍යාපාරික සමාගමක් වන Adani Groupහි හිමිකරු වන ගෞතම් අදානි ට දීම තුළ අපට ඔහු නියාමනය කළ හැකි යැයි සිතන අය සිහියට නගා ගත යුත්තේ, සමකාලීන ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත තනි පුද්ගල ප්රාග්ධනය රාජ්‍යයන්ටත් වඩා ප්‍රබල බව ය. ඊට උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘කට වැසූ සහ අත කැඩූ’ මාර්ක් සකබර් ගේ ශක්තිය සහ බලය මෙනෙහි කරන්න. එවිට සමරවීර ලා ද අප ද ලිලිපුට්ටන් බව වැටහෙනු ඇත. අප ආ මඟ වැරදී ඇති බව ට තව උදාහරණ බොහෝය. ලෝක පිළිවෙළ තුළ අප ක්‍රියා කළ යුත්තේ අපේ ආකාරයකට සහ පරෙස්සම් සහගතවය.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැගෙනහිර ජැටියේ ආන්දෝලනය