කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක
බත්තරමුල්ල නැවතත් දේශපාලනය තුළ ඓතිහාසික විය. ඒ නව ඓතිහාසිකය ට හේතුව වූයේ පාර්ලිමේන්තුව එහි පිහිටුවා ඇති නිසා හෝ දිනපතාම වාගේ දකින්නට ලැබෙන පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතා නිසා නොවේ. ඊට හේතුව වූයේ “රටම රකින ජන මහිමය” රැලියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියූ නොව ඔහුට කියවුණු “මා විසින් අගමැති පුටුවෙන් මාරුකළේ ශරීරයක් නොව දර්ශනයක්” යන බරපතළ ස්වදේශිකවාදී ඇඟවුම ය.
තවත් සුවිශේෂී ඓතිහාසික බත්තරමුල්ල කතාවක් වන්නේ 1989 හෝ 1990 දී දිනක බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේ දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අතින් කියවුණු “ඉන්දියන් සාමසාධක හමුදා අනිවාර්යයෙන්ම, මුළුමනින්ම පිටවිය යුතුය” යන්න මත පදනම් වූ තීරණාත්මක ස්වදේශිකවාදී කතාවය. මේ දෙදෙනාම සමාජයේ පහළ පොදු ජන ස්ථරයෙන් ආ ස්වදේශික ගති ලක්ෂණ සහිත නායකයෝය. “කීම” සහ “කියැවුණු” යන දෙකේ වෙනසක් ඇත. හිතාමතා කියන බොහෝ කතාවල නැති විටිනාකමක් කියවෙන කතාවල ඇත. ඒ අව්‍යාජ බවක් සහ යටිහිතේ පැලපදියම් වී ඇති දෙයක් ඒ මගින් ප්‍රකාශ වන නිසාය.
මේ දිනවල ශ්‍රී ලංකාව සැණකෙළියක සිරිගෙන ඇත. නා නා අත සල්පිල් ය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය විකුණන සහ මිලට ගනු ලබන සල්පිල් ය. පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල කඩිගුලක් සේ දඟලන ජනයා නොව පාලකයෝ “සේල්, සේල්” යැයි හඬ ගා ප්‍රජාතන්ත්‍රවාදය විකුණති, මිල දී ගනිති. මොහොතක එක තැනකට විකිණෙන ප්‍රජාතන්ත්‍ර භාණ්ඩ සුළු මොහොතකින් තව තැනකට විකිණෙන්නේ ඒ භාණ්ඩ නිෂ්පාදනය කොට වෙළඳපොළට යැවූ ඡන්ද දායකයන් දඹුල්ලේ ලොකු ලූනු ගොවියන් බවට පත්කරමිනි. එනම් ගොවීන්ට සැලකිය යුතු කිසිවක් නොලැබුණ ද අතරමැදි ලූනු වෙළඳුන් සල්ලි මත පිනුම් ගසන ආකාරයෙනි. ඒ බව ලූනු ගොවියන් දන්නේත් නැත.
ලූනු දන්නේත් නැත. සැණකෙළි භුමියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය පිළිබඳ පෙනී සිටීම්, කතා, ඇවිටිලි, ඉල්ලීම් සහ චෝදනා නිමක් නැත. ව්‍යවස්ථානුකුලභාවය සහ ව්‍යවස්ථානුකුලතාවය පිළිබඳ විවාදය ද බරපතළය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ජනවරම අළලා ගෙතුණු විසිතුරු කතන්දර ඇසූවිට සිතෙන්නේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් සිටින මේ රට කේතුමතී පුරයට සමාන යැයි කියාය, කොතරම් නම් නිවුණු සමාජයක් ද කියා ය.
මේ හාස්කමට එනම් හිටි හැටියේ පාලකයන්ට විශේෂයෙන්ම එජාපයට සහ ජනවාරිවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය සිහිවීමට බලපෑ හේතුව වූයේ ජනාධිපතිවරයා විසින් දියත් කළ “ඔක්තෝබර් මෙහෙයුම” ය. මෑත කාලයේ දියත්වූ දේශපාලන මෙහෙයුම් නිසා සමහර මාස අමතක නොවන ඒවා බවට පත් විය. 2015 “ජනවාරි මෙහෙයුම”, එම වසරේම දියත් වූ “අගෝස්තු මෙහෙයුම”, 2018 “පෙබරවාරි මෙහෙයුම” සහ එම වසරේම මේ දිනවල දියත්වන “ඔක්තෝබර් මෙහෙයුම” ඒ අතර ප්‍රධාන ය. විශේෂය වන්නේ ජනවාරි මෙහෙයුමේ සිට සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියා අනුමත කළ, ඒවාට නායකත්වය දුන් සහ මඟ පෙන්වීම සිදුකළ එජාපෙට සහ ජනවාරිවරුන්ට ඔක්තෝබර් මෙහෙයුමත් සමඟ හදිසියේම ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය සිහිපත් වීම ය.
කෙසේ හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය මතක් වීම සහ ඒවා වෙනුවෙන් පෙනී සිටීම නරක නැත. එහෙත් ඒ පෙනී සිටීම සිදුවිය යුත්තේ තමන්ලා බල රහිතව දුබල වූ විට පමණක් නොවේ. බලය සහිතව ප්‍රබලව සිටින විටත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු දුබලයන් ඉල්ලා සිටින දෙයක් පමණක් නොව දුබල ප්‍රබල භේදයකින් තොරව භුක්ති විඳිය යුතු අභ්‍යාස කළයුතු පැවතුමකි, වත් පිළිවෙත කි. ඒ මතක් කිරීම අත්‍යවශ්‍යය ය. මන්ද 2015 සිට ඉදිරියට ගෙන ආ බල-විකෘති පාර්ලිමේන්තුව සහ එහි අනුහසින් සිදුකළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ සදාචාර විරෝධී නොමනාකම් සියල්ලට පැවති ආණ්ඩුව වගකිව යුතු නිසාය. එහෙව් අය මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ සදාචාරය වෙනුවෙන් පෙනී සිටීම වනාහි ඇමරිකා එක්සත් ජනපදය (ඇ.එ.ජ.), යුරෝපීය සංගමය සහ බ්‍රිතාන්‍ය යන බලවතුන් අන් රටවල් මෙල්ල කිරීමේ අවියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යුද අපරාධ, සංහිඳියාව සහ යහපාලනය වැනි අටවා ගත් තේමා යොදා ගන්නා ආකාරයේ කූට උපායකි. නැතුව ඒවා කෙරෙහි වූ අවංක අව්‍යාජ හැඟීමකින් යුතුව කරන දෑ නම් නොවේ. එවැනි දෑ කෙරෙහි අවංකව කෙනකු හෝ සංවිධාන මැදිහත් වන්නේ නම් අප කවුරුත් ඊට සහාය දිය යුතුමය.
එහෙත් ඒ පෙනී සිටීම අවංක නොවන බවට නිදසුන් ලෙස පසුගිය අවුරුදු තුනයි තුන්කාලක කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාදාමයේ සුවිශේෂී අවස්ථා කීපයක් කෙරෙහි අවධානය යොමු කරමු. 2015 ජනවාරි මස 8 වැනිදා පැවැත්වුණේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ. එහෙත් 9 වැනිදා නව ජනාධිපති දිවුරුම් දුන් මොහොතේම පාර්ලිමේන්තුවේ ආසන 42 ක් හිමි එජාපයේ නායකයා අගමැති වශයෙන් දිව්රුම් දුන්නේ ය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ප්‍රසාදය ඇතැයි තමා සිතන තැනැත්තාය. එහෙත් එදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ප්‍රසාදයක් තිබුණේ දි.මු. ජයරත්න අගමැතිවරයාට ය. වික්‍රමසිංහ පත්කරනු ලැබූ වේ අගමැති ජයරත්න නිසිලෙස ඉවත්කොට හෝ නොවේ. එදා එතැනම අගවිනිසුරු පත්කළේ ද හිටපු අගවිනිසුරු නෛතිකව ඉවත්කොට නොවේ. ජනවාරිවරු එදා නිහඬ ය. එජාපය සතුටින් ය.
රටේ මූල්‍ය ආර්ථිකයේ පමණක් නොව නිෂ්පාදන ආර්ථිකයේත් සේවා ආර්ථිකයේත් වෙළඳපොළ ආර්ථිකයේත් මර්මස්ථානය ශ්‍රී ලංකා මහබැංකුව ය. මෙරටට කිසිදු නෛතික හෝ සදාචාරමය වගකීමක් හෝ බැඳීමක් නැති සිංගප්පූරු පුරවැසියකු වූ අර්ජුන මහේන්ද්‍රන් එහි අධිපති ධුරයට එජාප සුළුතර ආණ්ඩුව විසින් පත් කරනු ලබන්නේ කිසිදු ජනවරමකින් ලැබුණු අනුමැතියකින් නොවේ. අගමැතිගේ අත්තනෝමතික තීන්දුවකට අනුවය. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කළේ මහා අවමානයකි. රටට අත්කර දුන්නේ මහා විනාශයකි. ජනවාරිවරු එතැනත් නිහඬ ය. එජාපය වැඩ ගොඩකය.
2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය සිහියට ගනිමු. එහිදී පාර්ලිමේන්තුවේ ආසන වැඩි (එහෙත් දෙකෙන් එකකට වඩා අඩු) ගණනක් දිනා ගත්තේ එක්සත් ජාතික පෙරමුණය. එනම් ආසන 106 කි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අගමැතිකම එම පෙරමුණට ලබා දීම ගැටලුවක් නොවේ. එහෙත් අර්බුදය මතුවන්නේ විපක්ෂ නායකකම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ලබා දීමේ දී ය. එක්සත් ජාතික පෙරමුණට පසු වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ය. එම ගණන 95 කි. ඊට පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි (ද්‍රවිඩ ජාතික සන්ධානය) ආසන 16 ක් ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6 ක් ද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 1 ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 1 ක් ද ලබාගෙන තිබුණේ ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ අතුරින් ශ්‍රීලනිප කීප දෙනෙකු ආණ්ඩුව සමඟ එකතු වූ පසු, ඉන් විපක්ෂයේ ඉතුරු වූ ගණන 53 කි. ඒ ගණන ද ඉතිරි විපක්ෂයේ පක්ෂ සියල්ල සතු ආසන ගණන වන 25 ට වඩා 28 කින් වැඩිය. එහෙත් විපක්ෂ නායකකම පිරිනැමුණේ ආසන 53 ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොව 16ක් හිමි ද්‍රවිඩ ජාතික සන්ධානයට ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලබා දුන්නේ ආසන 6 ක් හිමි ජනතා විමුක්ති පෙරමුණට ය. මේ කවර නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ද? සදාචාරයක් ද? ජනයා එසේ අසද්දී ජනවාරිවරුත් ජනවාරි ළමයිනුත් එජාපයත් සතුටින් ඔල්වරසන් දෙන්නට වූහ. ජවිපෙ නිහඬව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම රස වින්දේය.
කතානායක කරු ජයසූරියගේ භූමිකාව සුවිශේෂී ය. විපක්ෂයේ බහුතරය වූ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු විවාදවල දී ඔහුගෙන් ලැබුණේ ඉතා අඩු කතා කාලයකි. ඒ විවිධ නීතිමය කරුණු ගෙනහැර පාමිනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ සම්ප්‍රදාය තුළ කතානායක තනතුර අතිශයින්ම මධ්‍යස්ථ එකකි. එහෙත් 2015 අගෝස්තුවේ සිට කතානායක ජයසූරිය ක්‍රියාකළේ එජාප කතානායක ලෙස මිස පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරුකොට අනුගමනය කරන මධ්‍යස්ථ අයෙකු ලෙස නොවේ. අගමැති සහ සභානායක දෙපළ ක්‍රියා කළේ ද මුළුමනින්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ගරුත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සතේකට ගණන් ගන්නේ නැතිව උසුළු විසුළු කරමින් ය. ඉන් නැවතුණේ නැත.
ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණ විවිධ ව්‍යාජ හේතු දක්වමින් වසර තුනකට ආසන්න කාලයකට කල් දැමී ය. පළාත් සභාවලට ද ඒ ඉරණමම අත් විඳින්නට සිදුවී ඇත. සිංගප්පූරු ගිවිසුම වැනි පොදුජන විරෝධී සහ රටට ව්‍යසන අත්වන ගිවිසුම් අත්තනෝමතිකව අත්සන් කළේ පොදුජන කැමැත්ත හෝ ප්‍රජාතන්ත්‍රවාදය සතේකට මායිම් නොකරමින් ය.
බදු පීඩනය සහ මිල පීඩනයෙන් පොදු ජනයා මිරිකා දැම්මේ ය. පීඩනය තීව්‍ර විය. ස්වදේශිකත්වය, ශ්‍රී ලාංකිකත්වය, පොදුජන දේපළ සහ සම්පත්, රට අපේය යන හැඟීම් සහ පොදුජනතාවාදය යන සියල්ල හෑල්ලු වී අවතක්සේරු වී අවමානයට ලක් විය. රටේ ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය සීමා නැති, එදාට කුලී කඩන සතිපොළක් බවට පත්විය. දැන් ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ සතිපොළේ ය. ඒ එජාපයේ දර්ශනය නොව ආශාවය.
මෛත්‍රී ජනාධිපති ඔක්තෝම්බර විසිහයදා මාරු කළේ ශරීරයක් නොව දර්ශනයක් යැයි කියන්නේ ඒ ආශාව ගැන විය යුතුය. එය කළ ආකාරයේ හරි වැරද්ද කෙසේ වුවත් මේ රටේ බහුතර ජනයා එජාපයේ ඒ ආශාව/දර්ශනය පරාජයකොට ජනමනසින් මාරු කළේ පසුගිය පෙබරවාරි ප්‍රාදේශීය ආණ්ඩු ඡන්දයේ දී ය. ඒ නිසා රටේ බහුතර ජනමතය විසින් එජාපයේ සරල පාර්ලිමේන්තු බහුතරය පරාජයකොට දැන් නව මාසයක් ය. එදා සිට පැවැතුණේ ජනවරම නැති ජනමතයෙන් ප්‍රතික්ෂේප වූ එජාප ආණ්ඩුවක් ය. එසේම ඒ සරල එජාප බහුතරය ජනාධිපති වෙතිනුත් දැන් වනවිට ප්‍රතික්ෂේප වී ඇත. හැබැයි මෙය වන්නට තිබුණේ පසුගිය පෙබරවාරියේදී ය. මේ කිසිවක් ජනවාරි ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ ඔවුන්ට මහා සහායක් සහ නියාමනයක් කළ බටහිරට පෙනුණේ නැත. ඒ බටහිරට විසිහය වැනිදායින් පසු හැදුණු ප්‍රජාතන්ත්‍රවාදී කැක්කුම වනාහි ජනවාරියේ අපමණ වෙහෙසක් දරා සහ මුදලක් වැයකොට බිහිකළ විකෘති පාර්ලිමේන්තු දරුවාට විපතක් වේය යන බිය නිසා උපන් එකකි. හැබැයි ඒ විපත රටට හොඳය.
ඒ විකෘතියේ විපත ප්‍රගතිශීලී නව උපතක් කර ගන්නේ කෙසේ ද සහ ශරීරයක් වෙනුවට නව දර්ශනයක් ස්ථාපිත කිරීමේ කාර්ය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම විධි ඔස්සේ සිදුකර ගන්නේ කෙසේද යන්න දැන් රට හමුවේ තිබෙන අභියෝගය ය. එය හුදු පක්ෂ දේශපාලන අභියෝගයක් නොව ජාතික අභියෝගයකි. ඇත්තේ එකම පිළිතුරකි. ඒ හැමෝම හැම පක්ෂයක්ම පාර්ලිමේන්තුවේ 225ම ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ නම් කළ යුත්තේ රැස්වන 14 වැනිදාම සම්මත කර ගන්නා යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. මේ අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් මඟක් නම් මට මේ මොහොතේ පෙනෙන්නේ නැත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබේ විසුුරුවනු
Deepal Nirosh Monday, 12 November 2018 06:23 AM
ඉතාම කාලීන මෙන්ම නිවැරදි දේශපාලන විග්‍රහයක්.
සුරංග Tuesday, 13 November 2018 01:15 AM
2015 පාර්ලිමේන්තු මැතිවරණය ට පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය නෛතිකව කටයුතු කලේ ආණ්ඩු පක්ෂය ලෙසටය. එහි කැරලිකාර කණ්ඩායමක් වෙනම හැසිරුනා කියා එය වෙනම පක්ෂයක් ලෙස සැලකිය නොහැක. එල්ටීටීඊ ය උවද වෙනම රටක් ඉල්ලා කැරලි ගැසුවත්, ඔවුනුත් නෛතිකව ලාංකිකයන් වූවා මිස ඊලාම් වැසියන් වූයේ නැත. 2015 ජනවාරි යේ අගමැති පත්වීම සදාචාර නොවූවා නම්, එය සදාචාරාත්මකව නිවැරදි කිරීම ට එවකට පාර්ලිමේන්තු කතානායක චමල් රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ට හෝ එහි කැරලිකාර කණ්ඩායමට අවස්තාව තිබිණි. එම අවස්ථාව මග හැර පැත්තක සිටින වෙනත් මනුස්සයෙක් ට අවාලාද නැගීම කොතෙක් සදාචාරාත්මක දැයි නැවත සිතන්න.
Nir Wednesday, 14 November 2018 01:42 AM
එදා බහුතරයක් නොමැති අගමැතිට විරුද්ද නොවුනේ , එහෙම උනොත් අගමැතිකම මැදමුලනෙන් ගිලිහෙන නිසා . ඒ නිසා තමන්ගේ වාසියට මහින්ද සද්ද නැ.