IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මෙදා පොටේ දෙනව බැටේ

මගේ මතකයේ රැඳී ඇති පළමුවැනි පාර්ලිමේන්තු නියෝජිතවරණය පැවැත්වුණේ 1977 ජූලි මස 21 වැනිදාය. ඒ දවසට පෙරත් පසුව කාලයක් යන තුරුත් මතකයේ තිබෙන සටන් පාඨයක් වූයේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ යන්න ය. එහි අදහස ළමා අපට හරියටම තේරුම් ගියේ ජයග්‍රහණය කළ එජාප ය ප්‍රතිඵල නිකුත් වී සති කීපයක් යන තුරු ශ්‍රීලනිප ඇතුළු පරාජිත පක්ෂවලට සහය හෝ ඡන්දය දුන් අයට නොනවත්වා බැට දුන් නිසා ය. වියලු‍වේ බදුලු‍ඔය ගොවි ජනපදයේ ගොවියකු වූ මගේ තාත්තා අයත් වූයේ ද පරාජිතයන්ගේ ගොඩට ය.

පරාජිතයන්ගේ නිවෙස්වලට සහ කඩවලට ගල් ගැසීම් ගිනි තැබීම් සිදුවන විට ඊට බිය වූ මගේ අම්මා පාසැල් යන අපගේ පොත් ගෝනියක දමා වත්තේ කොණක සැඟවූ විට, මා එය ඉතා අමාරුවෙන් ඇදගෙන ගෙදරට ගෙනාවේ ‘ගෙට ගිනි තිබ්බට පස්සේ පොත් තියාගන්නේ කොතනද’ යන බක පණ්ඩිත ප්‍රශ්නය අසමින් බව අම්මා මිය යන තුරුම කීවා මතක ය. කෙසේ හෝ අපේ ගෙදරට කරදරයක් වුණේ නැත. එසේ වුණේ ජයග්‍රාහකයන්ගේ මනුස්සකම නිසා නොව අපි කුරා කූඹියකුටවත් කරදරයක් නොකරන අය නිසා බව තාත්තා කීප වරක් ම කියනු මා අසා ඇත. ලංකාවේ නියෝජිතවරණ වංශය අවුස්සන කෙනකුට මෙවැනි මතකයන් ඇති මිනිසුන් ලක්ෂ ගණනක් මුණගැසෙනු ඇත යන්න මගේ විශ්වාසය ය.

මා මිත්‍ර චරිත හේරත් සමඟ පැටලීම කල් දමා මෙවර ‘කිවි දා දැක්ම’ නියෝජිතවරණ මුල් කරගෙන ලිවීමට තීරණය කළෙමි. ඊට හේතුව වන්නේ මේ මොහොතේ ලංකාවේ නියෝජිතවරණ නොව ‘මැතිවරණ’ ප්‍රතිසංස්කරණ ගැන උත්සාහයක් පාර්ලිමේන්තුව පැත්තෙන් ගෙන තිබීම ය. ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාවක් මේ වන විට එම කටයුත්තේ නිරතව ඇත. මෙම කාරක සභාව පත්කොට ඇත්තේ 2021 අප්‍රේල් 5 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය. මීට පෙර 2006 අප්‍රේල් මස 4 වැනි දා ද මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලදුව එහි අතුරු වාර්තාව නිකුත් වූයේ 2007 ජූනි 5 වැනි දා ය. ඊට පෙර 2003 අගෝස්තු 20 වැනි දින පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ කාරක සභාව’ක් පිහිටුවනු ලැබූ අතර එහි අතුරු වාර්තාව මුද්‍රණයට ඉදිරිපත් කළේ 2004 ජනවාරි 23 වැනි දා ය.

මේ කාරක සභා තුනේම විශේෂ ලක්ෂණ කීපයක් විය. දිනේෂ් ගුණවර්ධන මහතා කාරක සභා තුනේම සභාපති ධුරය හෙබවීම ඉන් එකකි. කාරක සභා තුනම හුදු ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ අරබයා පමණක්’ පත් කිරීම තවත් විශේෂත්වයකි. කාරක සභා තුනම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධාර්මික පදනම් මත නොපිහිටා හුදු නියෝජිතවරණවලට අදාළ තාක්ෂණික කාරණා පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම ඊ ළඟ විශේෂත්වය ය. අනෙක් විශේෂත්වය වන්නේ සිවිල් සමාජ සංවිධාන හෝ දේශපාලන පක්ෂ කිසිවෙකින්වත් රටේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මාධ්‍යයක් පමණක් වන නියෝජිතවරණ තාක්ෂණය ගැන කතා කිරීමෙන් එහාට ගිය යෝජනා ඉදිරිපත් නො කිරීම සහ ඒ පිළිබඳ කථිකාවක් ආරම්භ නොකර සිටීම ය. මින් කියැවෙන්නේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ වර්ගයේ ‘මැතිවරණ’ අව-සංස්කෘතියක් මිස දියුණු සහ හරයාත්මක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සඳහා වන සම්පත් කළමනාකරණයක් සඳහා කිසිවකුත් අවධානය යොමු කොට නොමැති බව ය.

ලිපිය තව ඉස්සරහට යෑමට පෙර කවුරුත් භාවිතා කරන ‘මැතිවරණ’ යන්න වෙනුවට ‘නියෝජිතවරණ’ යන වචනය මා අතින් කියවෙන්නේ සහ ලියැවෙන්නේ කවර හේතුවක් නිසා ද යන්න පැහැදිලි කළ යුතු යැයි සිතමි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අප කැමති නම් අප, එනම් මහජනයා විසින් තෝරා පත්කරගත යුත්තේ අපට ඉහළින් සිටින මැති, මැතිනියන් නොව අප හා සමාන ජනතා නියෝජිතයන් ය. එනිසා ම පැවැත්විය යුත්තේ මැතිවරණ නොව නියෝජිතවරණ ය. වචන ගැන පවා මේ තරම් අවධානය යොමුකළ යුත්තේ 1931 අපට ලැබුණේ පාලකයන් හෝ මැති මැතිනියන් සිංහාසනාරූඪ කිරීමේ මැජික් යෂ්ටියක් නොව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තනා ගැනීමේ ඡන්ද බලයක් වන නිසා ය. එය භාවිතා කොට අප තෝරාගත යුත්තේ පාලකයන් හෝ මැති මැතිනියන් හෝ නොව ජනතා නියෝජිතයන් ය. ඒ නියෝජිතයන් තෝරාගන්නා ක්‍රමය අප නම් කළ යුත්තේ නියෝජිතවරණ මිස මැතිවරණ කියා නොවේ ය. අප පටන්ගත යුත්තේ ඒ ආකාරයේ තියුණු විමර්ශනාත්මක භාවිතයකින් ය.

නැවත මුල් කාරණයට යමු. 2003 සිට මේ දක්වා වූ ‘මැතිවරණ කාරක සභා’ හෝ අනෙකුත් අදාළ පාර්ශව නියෝජන සිධාන්තය සහ එහි වැදගත්කම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි සමාජ දේශපාලන ආර්ථික ප්‍රගමන හැකියාව සහ ධාරිතාව ගැන අවධානය යොමු නොකිරීම සහ, හුදු ‘මැතිවරණ ප්‍රතිසංස්කරණ’ ගැන පමණක් අවධානය යොමු කිරීම තුළින් රටට ලැබී ඇත්තේ අවවර්ධිත අවසංස්කෘතික ප්‍රාදේශීය, පළාත්, සහ ජාතික නියෝජන ආයතන ය, නියෝජිතයන් නොව හිතුවක්කාර ලෙස හැසිරෙන ප්‍රාදේශීය, පළාත්, සහ ජාතික මට්ටමේ පාලකයන් ය, මැරයන් ය. එබැවින් මෙදා පොටේවත් අප මේ කාරක සභාව මෙහෙයවා ගත යුත්තේ නැතහොත් යොමුකරවා ගත යුත්තේ පාලකයන් නොව නියෝජිතයන් සහිත නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සඳහා අනුබල ලැබෙන ප්‍රතිසංස්කරණ ඇති කරවා ගැනීම දෙසට ය. නියෝජිතවරණ මගින් නියෝජන සිද්ධාන්ත සහ ආයතනවල ඉරණම තීරණය කරනවා වෙනුවට, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්ත මගින් නියෝජිතවරණවල ආකෘතිය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන තැනකට අප යා යුතුමය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයක් විය යුත්තේ ඊට අදාළ විධිමත් සහ මානුෂයීය සමාජ සංස්කෘතියක් සඳහා උපකාරීවන ව්‍යවස්ථාවක් සම්පාදනය කොටගෙන ඊට අනුව ආණ්ඩුකරණය සිදු කිරීම ය. එහි දී ප්‍රජාතන්ත්‍රවාදයට සහ එහි පිළිවෙළට ව්‍යවස්ථා විරෝධී ලෙස බාධා කිරීමත් ව්‍යවස්ථානුකූල ලෙස බාධා කිරීමත් යන දෙකම වැරදි ය. එසේම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇගයුම් නොතකා, සහ මඟ හැර විවිධ සංශෝධන ගෙන ඒමත් වැරදි ය. ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති සහ ආයතන අවභාවිත කිරීමත් වැරදි ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් අප කළ යුත්තේ හැම විටම හැම කාර්යකදීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සහ සිද්ධාන්ත මත පිහිටා ඒවා මුල් කොටගෙන ක්‍රියා කිරීම ය.

නුතන සමාජ සන්දර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජනය යනු මානව අයිතියකි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු සහ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යාම ජනයාගේ අයිතියකි. එසේ වන්නේ සමාජයක සමාජයීය, දේශපාලන, සහ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන නිසා ය. නූතන සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැගෙන්නේ නියෝජනක්‍රම හරහා ය. එය නම් කෙරෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යන නමිනි. එබැවින් නියෝජන ක්‍රම සහ නියෝජිතවරණ සකස්විය යුත්තේ ඒ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු සහ වටිනාකම් මත පිහිටා ය. එසේ නැතිව කවුරුන් හෝ නියෝජිත ආයතනයකට පත් කරගන්නේ කවර සරළ ක්‍රමයක් යටතේ ද, කෙසේද යන කරුණු මත පදනම් වී නොවේ ය. මානව අයිතීන්ට සහ මූලික නිදහසට ගරු කිරීම, නිදහස් සහ සාධාරණ නියෝජිතවරණ පැවැත්වීම, දේශපාලන පක්ෂ සහ සංවිධානවල බහුත්වවාදී ගති ලක්ෂණ සුලබ වීම, එනම් සර්වාන්තරීය ගති ලක්ෂණ සුලබ වීම, බලතල නිසි ලෙස වෙන්කොට තිබීම, ආණ්ඩුවේ ආයතනවල ස්වාධීනත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩු විසින් හෝ මාධ්‍ය කොම්පැනි විසින් අවහිරකොට නොතිබීම, නීත්‍යානුකුලව ස්ථාපිතකොට ඇති සිවිල් එනම් පුරවැසි අධිකාරියට සියලු‍ රාජ්‍ය ආයතන අවනත වීම යනු එවැනි වටිනාකම් කීපයක් ය.

නියෝජිතවරණ යනු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන එක මාධ්‍යයක් පමණක් මිස එකම මාධ්‍යය නොවේ ය යන්න අප තේරුම් ගත යුතුම කරුණකි. ජනමත විචාරණ, ප්‍රාරම්භන, සහ නැවත කැඳවීම යනු තවත් ක්‍රමයෝ වෙති. පළාත්, ප්‍රාදේශීය, සහ ප්‍රජා මට්ටම දක්වා නියෝජන සංස්කෘතිය පුළුල් කිරීම සහ හරයාත්මක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සමාජය තුළ තහවුරු කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කළ යුතුම ය. එසේම නියෝජිතවරණ ක්‍රමවේද සූක්ෂම කරගැනීම මගින් පමණක් දියුණු ප්‍රජාතන්ත්‍රීය සමාජ සංස්කෘතියක් බිහි කරගත නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදයට පටිපාටිමය ක්‍රම අවශ්‍ය බව ඇත්තකි. එහෙත් හරයාත්මක වටිනාකම් නොමැති නම් ඒ පටිපාටි වලින් ලැබෙන මහා ප්‍රතිඵලයක් නොමැත. පටිපාටි ගොඩනගා ගත යුත්තේ හරයන් ලබා ගැනීමේ අරමුණින් මිස පටිපාටිවලින් නතර වීමට නොවේය.

මෙරට ආණ්ඩු දිගටම උත්සාහ ගෙන ඇත්තේ හරයන්ගෙන් වියෝ වුණු විසිරුණු සහ ඒකාබද්ධ නැති පටිපාටි එදිනෙදා බල අවශ්‍යතා සඳහා සකසා ගැනීමට ය. ඥානය සම්පාදනය පදනම් කර නො ගත් අධ්‍යාපන පටිපාටි නිෂ්පල වන්නේ යම් සේද ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තමය කරුණු සහ අරමුණු සාධනය සඳහා නොවන ‘මැතිවරණ’ පටිපාටිද නිෂ්පල බව ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව’ අනිවාර්යයෙන් ම තේරුම් ගත යුතු ය. එසේ නොවුණහොත් මේ රටේ දිගටම නඩත්තු වෙන්නේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ පන්නයේ ‘මැතිවරණ’ මිස නියෝජන සිද්ධාන්තය මත රට ගොඩ නගා ජනයාට ප්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිත ලබා දෙන හරයාත්මක ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතියක් නම් නොවේ ම ය. ඒ නිසා මෙවර ‘කිවි දා දැක්ම’ ලියවුණේ ඒ උදෙසා ය. අඩුම තරමින් දිනේෂ් ගුණවර්ධන මහතාවත් මේ කරුණ තේරුම් ගනී යැයි සිතමි‍.

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක

 



අදහස් (2)

මෙදා පොටේ දෙනව බැටේ

Sarasi Saturday, 17 July 2021 12:43 AM

අනේ මන්දා ඔය මොනවා කිව්වත් රටේ මහජනයාට රටට බරක් වෙන පාලක රොත්ත අඩු කරන විදිහක් තිබුණොත් හොඳයි.

:       0       0

NMSaturday, 17 July 2021 08:56 PM

පසුගිය දශක කිහිපය තුළ පක්ෂ දේශපාලනය නිසා මැතිවරණයෙන්, මැතිවරණයට අසරණ අපට අසන්නට ලැබුනෙත් සහ ලැබෙන්නෙත් එදා සැරේ දුන්න බැටේ සහ ‘මෙදා පොටේ දෙනවා බැටේ’ කියමින් කිසිඳු දේශපාලන වෙනසකින් තොරව රටවැසියා විසින් පක්ෂ දේශපාලනය මාරුවෙන් මාරුවට වෙනස් කිරීම පමණි. එසේ වෙනස් කළත් අපට දකින්නට ලැබුණේත්, මෙතෙක් දකිමින් සිටින්නේත් එකම කණ්ඩායමක් පමණි. එම කණඩායම් සෑම මැතිවරණයකටම පෙර එක්වී වෙනසක් වෙනුවෙන් කෑ මොරදී ජනතාව රවටා ඔවුන්ගේ වෙනස ඔවුන් ලබාගනී. එ් සඳහා ඔවුන්ගේ වාසියට පක්ෂ මාරුකිරීම ජයටම කරන නමුත් ජනතාවට වෙනසක් ලැබී තිබේද? ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරන්නට හේතුවක් ඇත. එයට හේතුව ජාති ආගම පසෙකලා ශ්‍රී ලාංකික බලවේගයක් නොමැතිකම නිසායි. එම ජනතා බලවේගය ඉදිරියේදී නිර්මාණය වනු ඇත. පසුබිම මේ වනවිට නිර්මාණය වෙමින් තිබේ... එ් සඳහා සියල්ලන්ටම කැපකිරීම් කිරීමට සිදුවේ. අප මේ පිළිබඳව කතා කලේ වසර 15කට පමණ පෙර සිටයි. මේ වෙනවිට භික්ෂූන් වහන්සේලා පවා අංශක 180*ට හැරී යථාර්තය අවබෝධ වෙමින් තිබේ. දේශපාලනීකරණය වී තිබෙන්නා වූ ශ්‍රි ලංකාවේ සියලු ආයතන එයින් මුදවා ගැනීම ඉදිරි රජයක, අලුත් කණ්ඩායමක පළමු කාර්යය වනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 592 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 870 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 441 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2399 6

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 246 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


රටට ඔබින පිරිසක් මැතිසබේට
2024 ඔක්තෝබර් මස 11 451 1

මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site