IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


රාජ්‍යයේ අත්තිවාරම් දෙදරවන්නෝ

මෙවර “කිවිදා දැක්ම” මා උපයෝගී කරගන්නේ පසුගිය දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කළ ප්‍රධාන සිදුවීම් දෙකක් නිමිති කොටගෙන ලංකාවේ දේශපාලන ආණ්ඩුකරණය පිළිබඳ සාකච්ඡා කිරීමට ය. එම සාකච්ඡාව වැදගත් වන්නේ ඒ මගින් හෙළිදරව් කරගත හැකි දේශපාලන සමාජ ආර්ථික  ඇත්ත සමාජයට පාඩමක් උගන්වන නිසා ය. ඉන් එකක් අලි සබ්රි රහීම් සිද්ධිය ය. අනෙක ජනක රත්නායක සිද්ධිය ය.

මේ දෙක අතර සම්බන්ධයක් ඇතිවා සේම, ඒවා රාජ්‍යයක් ලෙස රටේ පැවැත්ම සහ ආණ්ඩුකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන සිදුවීම් දහස් ගණනක් අතර නො දුරක වූ සිදුවීම් ය. එනම් යහපත් ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ වටිනාකම් සහ සමාජ දේශපාලන විනය මේ රට තුළ ඇදවැටී ඇති ඛේදනීය තත්ත්වය සුපැහැදිලිව පිළිඹිබු කරන සිදුවීම් ය. එසේම රටේ ආර්ථිකය සහ බලවතුන් නොවන අයගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම අරබයා වූ පෞද්ගලික ආර්ථිකය එනම් දිළින්දන්ගේ සහ දිළිඳුකරණයට ලක්වෙමින් සිටින්නන්ගේ ආර්ථික ජීවිතය මෙවන් ඛේදනීය තත්ත්වයකට ඇදවැටීමට බලපෑ ආණ්ඩුකරණ දුබලතා තේරුම් ගැනීම සඳහා පාවිච්චි කළ හැකි සිදුවීම් ය.  

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පන්නා දැමීමෙන් පසු ඔහු පුවත් සාකච්ඡාවක දී කියූ ප්‍රකාශයක් කෙරෙහි පළමුව අපගේ අවධානය යොමු කරමු. “මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත් වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා.” ජනක රත්නායකගේ  අරමුණ නො වැදගත් වුවත් ඔහුගේ ප්‍රකාශය අපට වැදගත් ය.

ඔහු සඳහන් කරන ‘සමස්ත ජනතාවටම වූ පරාජය’ කුමක්ද කියා අප සොයා බැලිය යුතු ය. ඇතැමෙකුට අනුව මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන කොමිෂන් ගොඩට අදාළ වෙන්නේ නැතිලු‍. මේ ගැන කීමට ඇත්තේ කොමිෂන් පමණක් නොව සියලු‍ මහජන ආයතන ස්වාධීන ඒවා බවය. එනම් අනිසි බලපෑම් වලින් ස්වාධීන ඒවා ය. ඒවා ස්වාධීන නො වන්නේ රාජ්‍යයෙන් රාජ්‍ය නීතිවලින් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් ය. එහෙත් ඒ ජනසම්මත රාජ්‍ය නීති සහ ප්‍රතිපත්ති බලවතුන් විසින් අනිසි ලෙස තම වාසියට හරවා නො ගන්නා සීමාවක ය. මන්ද කොමිෂන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ක්‍රියාවට නගන්නේ ජනතාව විසින් දෙන ලද අධිකාරි බලයක් නිසා ය.    

ජනරජය, ජනරජ ආයතන, සහ ආණ්ඩු යන ඒකාබද්ධ සංවිධාන ව්‍යුහ වඩ වඩාත් ප්‍රශස්ථ කර ගැනීම සඳහා වූ ව්‍යායාම වඩාත් ප්‍රගතිශීලී වන්නේ ඒවා ජනතා කේන්ද්‍රීය ජන සහභාගිත්ව ජන මිතුරු ජනරජ මුලධර්ම මත පදනම් වන්නේ නම් පමණි. එසේම එම ව්‍යුහ පිළිබඳව විධිමත්ව සිදුවන විමර්ශන සහ අධ්‍යයන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම වඩාත් නිරෝගී කරයි. ආණ්ඩුවක් යනු ජනරජයක එක ආයතනයක් මිස අනෙකුත් ජනරජ ආයතන මත මුළුමනින්ම ආධිපත්‍යය පැතිරවීමට අයිතිය ඇති, හැකි සහ පැතිරවිය යුතු ආයතනයක් නොවේ. අනෙකුත් ආයතනවලට ආණ්ඩුවෙන් සාපේක්ෂව ස්වායත්ත වීමේ අයිතියක් ඇත සහ එය ආණ්ඩුවක් විසින් පිළිගත යුතු ය, තහවුරු කළ යුතු ය.

එහෙත් එම ආයතනවල එනම් ආණ්ඩු ද ඇතුළුව, ජනරජයෙන් සාපේක්ෂව වත් ස්වායත්ත විය නොහැකිය. මන්ද ඒවා සියල්ල අනුගමනය කළ යුත්තේ සහ ක්‍රියාකළ යුත්තේ ජනරජ අභිලාෂ නිසා ය. එසේම ඒ අභිලාෂ අනිවාර්යයෙන්ම ජන සුබ සෙත සඳහාම හේතු විය යුතු ය. කොමිෂන් සභා වැනි ජනරජ ආයතනවල ස්වාධීනත්වය යනු අර ඉහත කී සාපේක්ෂ ස්වාධීනත්වය ය. ඒ කොමිෂන් සභාවලට කිසිදු හේතුවක් නිසාවත් ජනරජයෙන් ස්වාධීන විය නොහැකිය. එහෙත් ආණ්ඩුවකින් සාපේක්ෂ ස්වාධීනත්වයක් ඒවාට තිබිය යුතු ය. ඒ ජනරජය වෙනුවෙනි. එහි උත්තරීතර භාවය වෙනුවෙනි. එසේම එකී ජනරජ ආයතන ඒ ස්වාධීනත්වය භාවිත කළ යුත්තේ පක්ෂග්‍රාහීව, විරෝධීව, අත්තනෝමතිකව, අලසව සහ උඩඟු‍‍ව නොවේ. ඒවා ක්‍රියා කළ යුත්තේ බල-දේශපාලනයෙන් මිදී වඩාත් ප්‍රශස්ත ජනරජයක් ගොඩනගා ගැනීමේ සහ ශක්තිමත් කිරීමේ අරමුණු සහිතව ය. එසේ වන විට ඒවා ට ජනසමාජයේ-ජනරජයේ ගෞරවයත් ආණ්ඩුවල රැකවරණයත් ලැබෙනු ඇත. ලැබිය යුතු ය.

බල දේශපාලනය සහ පරිපාලනය එකිනෙකට වෙනස් කලාප දෙකක් බැවින් ඒවා අතර අනිසි සබඳතා දූෂණයට පිටිබලයක් වනබව ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, ආණ්ඩුකාරයකු සහ ජනාධිපතිවරයකු වූ වුඩ්රෝ විල්සන්ය. ඒ 1887 දී ය.

එම කථිකාව ලෝකයේ විවිධ රටවල විවිධාකාරයෙන් මතු වුවත් රටක ආණ්ඩුකරණය බල දේශපාලනයෙන් මැර දේශපාලනයෙන් සහ අනිසි බලපෑම්වලින් ස්වාධීනව පවත්වාගෙන යා යුතු බව ඒ හැම එකකම පොදු පිළිගැනීම විය. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සිදුවන්නේ එවැනි ප්‍රතිමාණාත්මක පදනමක ය. සමාජ සම්මුති මත පදනම් වූ නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන රටක ආණ්ඩුකරණය වඩාත් විධිමත්ව සහ ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා රාජ්‍යය ආයතන බල දේශපාලනයෙන් ඈත් කිරීම අරමුණු කොටගෙන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනු ලැබේ. එය ක්‍රියා පටිපාටිමය සහ හරයාත්මක යන ප්‍රජාතන්ත්‍රවාදී කලාප දෙකම යහපත්ව පවත්වාගෙන යාමට උපකාරී වන්නකි.

යම් යම් රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තුවලට නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, විනය කටයුතු, මාරු කිරීම් සහ අස්කිරීම් පිළිබඳ බලතල දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ට නොව ස්වාධීන ඒකක වෙත පැවරීම කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ ය. එසේම රාජ්‍ය ආයතන බල දේශපාලනයේ, නිලධාරිවාදයේ, සහචරවාදයේ සහ ඥාතිවාදයේ ග්‍රහණයට හසු නොවී නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට අනුකූලව ජනතාවගේ යහපැවැත්ම සඳහාම ක්‍රියාත්මක කරවීම කොමිෂන් සභා පිහිටුවීමේ සහ ඒවා ස්වාධීනව ක්‍රියාත්මක කරවීමේ ප්‍රධානතම සමාජ අරමුණ ය.

‘ස්වාධීන කොමිෂන් සභා’ යන වචනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ, පනත් තුළ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක් තුළ හෝ දක්නට නො ලැබේ. එහෙත් රාජ්‍ය සේවය, පොලිසිය, අධිකරණය සහ මැතිවරණ ක්‍රියාවලිය ස්වාධීන කිරීම අරභයා වූ කතිකාව තුළ නිරන්තරයෙන්ම සඳහන් වූයේ ස්වාධීන කොමිෂන් සභා යන්න ය. එබැවින් ජනමාධ්‍ය තුළ, දේශපාලන සාකච්ඡා තුළ, සිවිල් සමාජ සංවාද තුළ සහ පොදු ජන ව්‍යවහාරය තුළ ජනප්‍රිය භාවිතය වූයේ ස්වාධීන කොමිෂන් සභා යන්න ය. එසේම එම ස්වාධීන කොමිෂන් සභා යන්න ව්‍යවහාර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති කොමිෂන් සභා සඳහා පමණක් ය. එහෙත් යහපත් ආණ්ඩුකරණයක් සඳහා සෑම රාජ්‍ය ආයතනයක් ම රාජ්‍යයෙන් නොව ආණ්ඩු ඇතුළු අනෙකුත් ආයතන, සංවිධාන, සහ කල්ලි කණ්ඩායම්වල අනිසි බලපෑම්වලින් ස්වාධීන විය යුතු ම ය. ඒ ස්වාධීනත්වය මහජන උපයෝගිතා කොමිසමට ද අදාළ ය. මේ කොමිෂන් යනු රාජ්‍යයක අත්තිවාරමේ ගල් මිස බල ලෝභී ආණ්ඩුවල අතකොලු‍ නොවේ ය.

එසේ නම් මේ අනුව ආණ්ඩුව නිරතව සිටින්නේ රාජ්‍යය රැකීමේ දේශපාලන ආණ්ඩුකරණයක නොව එහි අත්තිවාරම පතුලෙන්ම හාරා ගිල්වා දැමීමේ දේශපාලන ආර්ථික ආණ්ඩුකරණයක බව අපට පැහැදිලිය. එය එක අතකට ගෝලීය පීඩක බලවතුන්ගේ අණසකට යටත් වී ඇති ආණ්ඩුවකට අනිවාර්යයෙන්ම කරන්න වන දේ ය. ආර්ථික විද්‍යාඥයකු වන ඩැනි රොඩ්රික් (Dani Rodeik, 2000) පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික පරමාධිපත්‍යය සහ ගෝලීය ආර්ථික ඒකාබද්ධතාව එකවිට එකට පවත්වාගෙන යා නොහැකි ත්‍රිත්වයකි. ලංකාවේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික පරමාධිපත්‍යය දෙකම නොසලකා ගෝලීය ආර්ථික ඒකාබද්ධතාවක් වෙනුවෙන් කැපවීමට අවනත වී ඇති පසුබිමක කොමිෂන් ගණන් නොගැනීම තේරුම් ගැනීම අපහසු නැත. මතක තියාගන්න, ආණ්ඩුව ජනතාව හෝ ජාතික පරමාධිපත්‍යය ගණන් ගන්නේ නැත.  

ජනක රත්නායක පන්නා දැමීමට විරුද්ධව ඡන්දය දුන් අලිසබ්රි රහීම් පිළිබඳ පුවතකට දැන් අපේ අවධානය යොමු කරමු. “තමන් විපතට පත් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකළ නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව රත්තරන් තොගයක් නීති විරෝධිව දිවයිනට රැගෙන ඒමේ චෝදනාවට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් පවසයි.” යනු එම පුවතය.

මින් කියවෙන්නේ කොමිෂන්වල ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමක් නොව පෞද්ගලිකව තමන්ට බලවතුන්ගේ සහය නො ලැබීම නිසා ජනක රත්නායකට පක්ෂව ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් බවය. මේ අනුව ආණ්ඩුව ගෙනා යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අය එසේ කළේ ජනක රත්නායකට විරුද්ධව නොව ආණ්ඩුවට පක්ෂව ය. ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අලි සබ්රි රහීම් ප්‍රමුඛ කණ්ඩායම එසේ කළේ ජනක රත්නායකට පක්ෂව නොව ආණ්ඩුවට විරුද්ධවය. මේ කවරෙකුවත් යහපත් දේශපාලන ආර්ථික පරිපාලන සමාජ ආණ්ඩුකරණයක් වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කොට නැත. ජනසමාජය, සහ රාජ්‍යය යහපත් ආණ්ඩුකරණයකට කැඳවා ගෙන යන්නේ නැති එවැනි පාර්ලිමේන්තුකාරයන් නඩත්තු කිරීමට ජනයා සතු අධිකාරි බලය සහ සම්පත් වැය කිරීම ගඟට ඉණි කැපුවා මෙනි.

අප සතු අධිකාරි බලය ඔවුන්ට දුන් විට ඔවුන් එය යොදවන්නේ අප නිර්ධනීකරණයට සහ දුගීකරණයට පත්කොට පීඩාව සහ දුක වැඩිකිරීමට නම්, ඔවුන්ගේ සුඛවිහරණය සඳහා නම්, සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවහල් බව අතුරුදහන් වී ගෝලීය ආර්ථිකයේ සතිපොළක් හෝ ගාලක් බවට රට පත්වීම තවතවත් තහවුරු වනවා ය යන්න  මෙවර මගේ කිවි දා දැක්ම’ ය.

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
රාජ්‍ය ප්‍රතිපත්ති හා දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක



අදහස් (1)

රාජ්‍යයේ අත්තිවාරම් දෙදරවන්නෝ

චන්දිම ෆොන්සේකා Friday, 02 June 2023 12:14 PM

මහත්මයා ඔබට මතකද අර කුවේට් ආයෝජකයාට පහරදුන් පිරිස ගැන. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණාද? තවමත් එහෙම වෙලා නැත්නම් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන විදියටද? ඒ ගැනත් ඔබ ලියනු ඇතැයි සිතමි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 275 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1100 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 182 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2121 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site