IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව අද මෙතැන තිබෙන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඇසුවහොත් පිළිතුර මෙහි තිබේ.

එකක් අප විදේශ සංවර්ධන ව්‍යාපෘතිවලට දක්වන  පොදු බියයි. දෙක අමාරුවෙන් හෝ එවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහොත් ඒ ගැන විවිධ කතන්දර ගොතා එහි දීප්තිය ඉවත්කොට එය ගර්හාවට ලක් කිරීමයි. වරාය නගරය, අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් කුලු‍න ආදි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පසුගිය කාලයේ රටේ සමස්ත සංවාදය දෙස අවධානය යොමන්න.

එම සංවාදය පූර්ණ වශයෙන් පිරී ඇත්තේ සංවර්ධනයට එරෙහි ආකල්පවලිනි. කෙසේ වෙතත්, ඉරණම්කාරී සත්‍ය නම් අප අනිත් පැත්තෙන් සංවර්ධනය හා ඉහළ ජීවන මට්ටමක් ද ඉල්ලා සිටීමයි. අපට පෞද්ගලිකව කාපට් ඇතිරූ මාර්ගයක් අත්‍යවශ්‍ය වේ. එහෙත් අනිත් පැත්තෙන් ඒවාට එරෙහිව සමාජ මතයක් ද අවශ්‍ය වේ. අපට රැකියා අවශ්‍ය වේ. එහෙත් විදේශ ආයෝජන අවශ්‍ය නොවේ. පැය 24 පුරා විදුලිය අවශ්‍ය වේ. එහෙත් විදුලි බලාගාර නම් එපා ය. මේ උභතෝකෝටිකය තේරුම්ගත නොහැකි ය.

ඉහත උභතෝකෝටික මානසිකත්වයෙන් උමාඔය ව්‍යාපෘතිය බේරුණේ අනූනවයෙනි. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ හරියට ම මාසයකින් එය නවතා දැම්මේ ය. ඒ ඉතා දුෂ්කර අභියෝග මැද ව්‍යාපෘතිය කරමින් යන විට ය. විශේෂයෙන් ව්‍යාපෘතියට අරමුදල් සපයමින් සිටි ඉරානයට ඇමරිකාව 2009 වසරේ දී සම්බාධක පනවන විට යාන්තම් එරටින් ලැබීමට තිබූ ඩොලර් මිලියන 450න් පළමු වාරිකය පමණක් ලැබී තිබුණේ ය. ව්‍යාපෘතිය නවතා දැමීමට පවා කටයුතු සිදුවෙමින් පැවති අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය අරමුදල් සහිතව එය කරගෙන යාමට අදිටන් කරගත්තේ ය. ගිවිසුම්ගත ව තිබුණේ ඩොලර් මිලියන 450ක් ඉරානයෙන් ද තවත් ඩොලර් මිලියන 79ක් ලංකාවේ මුදලින් ද වශයෙනි. කෙසේ වෙතත්, පැනනැගි තත්වය මත සියලු‍ මුදල් සොයා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එම අභියෝගය ජයගෙන ඉදිරියට එන විටයි සුපුරුදු දේශපාලන විරෝධතා මත 2015 පෙබරවාරි 13 වැනි දින ව්‍යාපෘතිය නවතා දමන්නේ.

බොහෝ අය සිතන්නේ ව්‍යාපෘතිය නවතා දැම්මේ කණිමින් පැවති උමග නිසා බණ්ඩාරවෙල ප්‍රදේශ කිහිපයක ළිං ජලය සිඳීයාම හා නිවාස ඉරිතැලීම නිසා කියා ය. ඇත්ත වශයෙන් ම කළමනාකරණ මට්ටමේ පැවති එම ජලකාන්දු අර්බුදය උග්‍ර වන්නේ ව්‍යාපෘතිය හිටි හැටියේ නවතා දැමීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් උමගක් යන විට එහි බලපෑම ඊට ඉහළින් ඇති ජල තට්ටුවට බලපෑම් ඇති කරයි. මන්ද අඩු පීඩන තත්වයක් නිර්මාණය වන ජලය උමග දෙසට ඇදීයාම හේතුවෙනි. ඊට තිබෙන විසඳුම නම් උමග කණින අතරම එහි බිත්ති කොන්ක්‍රිට් දමා මනාව ආවරණය කරමින් ඉදිරියට යෑමයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය නවතා දැමීමෙන් සිදු වූයේ එසේ කොන්ක්‍රීට් දමා ආවරණය කරමින් තිබූ උමං මාර්ගයේ කටයුතු නවතාලීමෙන් ඉහළ ඇති සියලු‍ ජලධාරා ඒ තුළට ඇදී ඒමයි. ඇතැම් විට මීට එරෙහි පිරිස් මෙය වහා නවතා දැම්මේ ම මේ අර්බුදය පාලනය කළ නොහැකි අන්තයකට තල්ලු‍ කරනු පිණිස ය. එවිට ජනතාව තව තවත් කුලප්පු කොට ව්‍යාපෘතිය නවතා දැමිය හැකි ය.

ජාතියේ වාසනාවට උමාඔය බේරාගත්ත ද සාම්පූර් බලාගාරය ජාතියට නැත්තටම නැතිවී ගියේ ය. ඉන්දියානු රජයේ තර්මල් පවර් කෝපරේෂන් සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව පනහට පනහේ හිමිකාරිත්වය යටතේ සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට තීරණය වී තිබුණි. පළමු අදියරේ දී මෙගාවොට් 500ක් ද දෙවැනි අදියරේ දී තවත් මෙගාවොට් 500ක් ද වශයෙන් මෙගාවොට් 1000ක එම ව්‍යාපෘතියෙන් රටේ සමස්ත විදුලිබල ඉල්ලු‍ම තවත් වසර ගණනාවකට සපිරීමට නියමිතව තිබුණි. විශේෂයෙන් ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම්, අදවන විටත් ක්‍රියාත්මක වන තාප බලාගාර සියල්ල විශ්‍රාම ගැන්වීමේ හැකියාව තිබුණි. විදුලිබල මණ්ඩල වාර්තාවලට අනුව, මෙරට පෞද්ගලික තාප බලාගාරවල ධාරිතාව මෙගාවොට් 600කි. ඒ අනුව, සාම්පූර් ව්‍යාපෘතියේ පළමු අදියරෙන්ම ලැබෙන මෙගාවොට් 500න් සියයට 90ක තාප බලාගාරවල අවශ්‍යතාව අහෝසි වී යයි. එහි අර්ථය නම් මෙම බලාගාර සඳහා ඩීසල් හා දැවිතෙල් ගෙන්වීමට වසරකට විදේශයන්ට ඇදෙන ඩොලර් බිලියන එකක මුදල ද රට තුළ ඉතිරිවීමයි.

අනෙත් කරුණ නම් විදුලිය නිෂ්පාදනයේ දී ජල විදුලියට පසු අඩුම වියදම වන්නේ ගල්අඟු‍රු වීමය. විදුලිබල මණ්ඩල දත්තවලට අනුව ජලයෙන් විදුලි මෙගාවොට් පැයක් ජනනය කිරීමට දළ වශයෙන් රුපියල් 2.65ක් වැයවන විට ගල්අඟු‍රුවලින් රුපියල් 9.60ක් වියදම් වේ. තාප බලයෙන් විදුලි ජනනය සඳහා වැයවන රුපියල් 30ක පමණ මුදල සමග මෙය සසඳා බැලීමෙන් වෙනස සිතාගත හැකි ය.

දකුණු ආසියාවේ විදුලිබිල වැඩිම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකු දත්තවල සඳහන් වේ. හේතුව දැන් පැහැදිලි ය. එනම් අපගේ විදුලියෙන් හරි සැලකියයුතු ප්‍රමාණයක් නිපදවන්නේ අධිකම වියදම් සහිත තාප ඉන්ධන මගිනි. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව නිතර දෙස් දෙවොල් තබන කාරණයකි. ඊට ප්‍රධානතම හේතුව නම් පෞද්ගලික තාප බලාගාරවලින් වැඩිමිලට විදුලිය මිලට ගෙන පාරිභෝගිකයාට අඩුමිලට සැපයීමයි. නොරොච්චෝල ලක්විජය ගල්අඟු‍රු බලාගාරය විවෘත කිරීමෙන් පසු එවක ආණ්ඩුව විදුලි බිල සියයට 25කින් පහත දැමීමෙන් හා වසර ගණනාවකට පසු විදුලිබල මණ්ඩලය ශුද්ධ ලාබයක් ලැබීමෙන් මේ කරුණ තහවුරු වේ.

එවන් වාසි රැසක් රටට අත්වීමට නියමිතව තිබූ සාම්පූර් බලාගාරය 2016 දී යහපාලන ආණ්ඩුව විසින් නවතා දමන ලදී.

විදුලිබල ඇමැතිවරයා නොබෝදා විදුලිබල මණ්ඩල දත්ත පදනම් කරගෙන මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ උමාඔය ප්‍රමාද කිරීමෙන් වසරකට රුපියල් බිලියන 9ක් රටට අහිමි වූ බවයි. 2016 දී විවෘත කිරීමට හැකි වී නම් අද වන විට ගතව ඇති කාලය වසර 9ක් වන අතර ඉන් අහිමිව ඇති මුදල රුපියල් බිලියන 81කි. කෝටි 8100කි. මේ ජාතික ධනය නොවේ ද? මේ අතර, ඇමතිවරයාට අනුව, සාම්පූර් අහිමිවීමෙන් වසරකට අහිමි වන මුදල රුපියල් බිලියන 32කි. 2017 සිට එය රටට අහිමි වීනම් මේ වන විට වසර 7ක් ගත වී ඇති අතර සමස්ත අහිමිවීම බිලියන 224කි. එනම් කෝටි 22,400කි. බලාගාර දෙකෙන් අහිමි වූ මුදල රුපියල් කෝටි 30,500කි.

මේ සියල්ල අහිමි වන්නේ කිසිදු සැලකිය යුතු හේතුවක් නොමැතිව හුදු දේශපාලන සටන් පාඨ නිසා ය. කනගාටුව එයයි. සාම්පූර් ගැන ඉදිරිපත් කළ පරිසර සාධක සියල්ල ව්‍යාජ ඒවා ය. එම සාධකම නොරොච්චෝල ගැන ද ඉදිරිපත් කෙරුණි. කෙසේ වෙතත්, අද නොරොච්චෝලය ජනනය කරන මෙගාවොට් 900 නැති නම් රටෙන් අඩක් අඳුරේ ය.

ලංකාව සාම්පූර් අතහැරීමෙන් පසු ඉන්දියාව විසින් එය බංගලාදේශයට පිරිනැමූ අතර, 2023 වසරේ දී එය ඉන්දියානු-බංගලාදේශ මිත්‍රත්ව බලාගාරය ලෙස අගමැති මෝදි හා අගමැති ෂීක්හසීනා විසින් ජාතික පද්ධතියට එක් කරනු ලැබුවේ මෙගාවොට් 1330ක බලාගාරයක් ලෙස ය. එම රටවල් ලංකාවට සෝපහාසයෙන් සිනාසෙනු ඇති බව නිසැක ය.

විදුලිය සම්බන්ධ මීළඟ ඛේදවාචකය නම් 2021 දී ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුම්ගත වූ LNG හෙවත් ද්‍රව වායු සැපයුම් පද්ධති ආයෝජනයයි. මෙමගින් අපේක්ෂා කළේ බටහිර වෙරළේ පාවෙන එල්.එන්.ජී. ගබඩා සංකීර්ණයක් පිහිටුවා නළ පද්ධතියකින් ද්‍රව වායුව කෙරවලපිටිය තාප බලාගාරයට සැපයීම හරහා එම බලාගාරය එල්එන්ජී බවට පත් කිරීමයි. අදාළ බලාගාරය ද්විත්ව චක්‍ර හෙවත් තාප ඉන්ධන හා එල්එන්ජී යන දෙකෙන්ම බලගන්වන ලෙස නිර්මාණය කර තිබේ. ඊට අමතර ව, මෙම සමාගම මගින්ම සොබාදනවි බලාගාරයට ද්‍රව වායු සැපයීමට ද සැලසුම්කොට තිබුණි. LNG යනු ඉතා පිරිසුදු විදුලි ජනන මූලාශ්‍රයක් වන අතර තාප ඉන්ධවලට වඩා බෙහෙවින් ලාබදායක ය. අවාසනාවක මහත වන්නේ මීට එරෙහිවූවෝ ගෝඨාභය ආණ්ඩුවේම සිටි බලශක්ති ඇමති ගම්මන්පිල, කර්මාන්ත ඇමති විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන ඇමතිවරුය. විවිධ බොරු බේගල් කියා අදාළ ආයෝජකයා රටින් පන්නා ගත්තේ ය. මෙම ආයෝජකයා මේ වන විට වියට්නාමයේ මෙම ව්‍යාපෘතිය කරගෙන යන බව වාර්තා වේ.

ඉහත සියලු‍ කරුණු සැලකිල්ලට ගත්විට අප මුහුණ දෙමින් සිටි රටේ ආර්ථික අර්බුදයේ සැබෑ හේතු සොයාගත හැකි බව පැහැදිලි ය. එක් අතකින් අප ආණ්ඩුවලට පමණක් බැන වදින අතර ජනතා සහායෙන් එම ආණ්ඩුවලට රිංගා හෝ පිටින් සිට රටේ ජාතිකත්වයේ නාමයෙන් ජාතිය විනාශ කරන බලවේග සිය සැලසුම් ක්‍රියාත්මක කරනු අපෙන් මගහැරී යයි. එම වළට නැවත නොවැටී, රටේ පදනම් විනාශ කරන පදාසයක් හඳුනා ගැනීමට ඉහත කරුණු යොදාගන්නා ලෙස සියලු‍ බුද්ධිමත් පුරවැසියන්ට ආරාධනා කරමු.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (8)

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ

wedage Friday, 26 April 2024 01:02 PM

කථිකාචාර්යතුමා දන්නවාද ලොකු ප්‍රෙද්ශයක් නාය ගිහිල්ලා කියලා මහජනතාව සොයාබැලුවේ නැතිනම් මේ සොරුන් විසින් සංවර්ධනය කියලා ලොකු බොරු තමයි තරන්නේ...

:       63       28

සමන් විමල් Friday, 26 April 2024 04:02 PM

මෝඩකමට බෙහෙත් නැත .

:       1       45

චන්දිම ෆොන්සේකා Saturday, 27 April 2024 11:08 AM

එක මහාචාර්ය කෙනෙක් ඉන්නවා හැමදාම පොහොට්ටුවට අදින. තව හිටපු මහාචාර්ය කෙනෙක් ඉන්නවා හැමදාම රනිල්ට අදින. ඔහොම තමයි ඉතින් එක එක්කෙනාගේ දේශපාලන අරමුණු තමයි පොදු අරමුණු බවට පෙරලන්න හදන්නේ සුරංගනා රචනා වලින්...!

:       36       21

හරිහමන් Monday, 29 April 2024 05:07 PM

ඇත්ත බොරුව බවටත්, බොරුව ඇත්ත බවටත් හරවන රටක් මේක... උගතා ඒ වැඩේ හොඳටම කරනවා. අයියෝ නිදහස් අධ්‍යාපනය බිහිකළ උගත්තු දේශපාළුවන්ගේ වන්දිභට්ටකම් කෙරිල්ල...

:       3       17

nalin Thursday, 02 May 2024 12:41 PM

මේක ලියල තියෙන්නෙ මහින්ද පතිරණ. අම්මෝ නම දැක්කම ඇති ආයේ වෙන මොනවත් කියන්න ඕනෙ නෑ.

:       1       5

බද්රානි Thursday, 02 May 2024 02:03 PM

කටාචාරියා මනෝ විකාරෙන් ලියාපු ප්‍රලාපයක් කියා නම්, හොඳටම පැහැදිලියි. ඇස් දෙකට පේන දේ මේ පල් හෑලි වලින් වහන්න පුලුවන්ද..? උගත් කියලා ලේබල් ගහගෙන දේශපාලකයින්ට වන්දිබට්ටකම් කරන්න මේ හාදයට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද...? ඒ මදිවට, මත්තල පාළු ගුවන් ගබඩාවේ හා නෙලුම් කුළුනේ චයි වරුනෙත් කියනවා මෙතන..? ඕවා වල නඩත්තු වෙනුවෙන් කරන වියදම් සහ ආදායම අතර වෙනස මේ උන්නැහේ දන්නවද...?

:       3       7

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 03 May 2024 09:59 AM

සංවර්ධනය පස්සට දාන එක මා කිසිසෙත් අනුමත නොකරමි. සංවර්ධනය තියා කිසිදෙයක් පස්සට දාන එක අපෙ සංස්කෘතියට විරුධයි. මා එයට තරයේ විරුද්ධ වෙමි.

:       0       5

saman Friday, 03 May 2024 02:53 PM

2015-2019ගව පාලනය අනුව කිසිම සංවර්ධන වැඩක් කලේ නැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 157 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 286 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1101 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 528 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 183 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site