• සියයට පහක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ මානයට පැමිණිලා
• වියදම් අඩුකරමිනුත් අපේක්ෂිත ආදායම් ඉලක්කවලට යන්න පුළුවන්
• අයි.එම්.එෆ්. රාමුව
අැතුළේ තිබෙනවා ලංකාවේ ආර්ථිකයට ගැළපෙන වෙනස්කම් කරමින් ඉදිරියට යන්න පුළුවන්
• පෞද්ගලීකරණය නොකර ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ලාබ ලබන තත්වයට පත්කරන්න පුළුවන්
• රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය නොකරන බව රජයේ ස්ථාවරයයි
• අතිරේක බදු පැනවීමක් නැති බව බොහොම පැහැදිලියි
• ග්‍රාමීය ආර්ථිකය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට පියවර රැසක්
• ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි
රටේ වත්මන් ආර්ථික පසුබිම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව, ආදායම් ඉලක්ක සපුරාගත හැකි ද සහ මහජන බැංකුවේ ඉදිරිය සම්බන්ධයෙන් එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය - නාරද ප්‍රනාන්දු
|
Q: බංකොලොත්භාවයෙන් මිදුණු රට නව ආර්ථීක ගමනක් ආරම්භ කර තිබෙනවා. මේ වෙනස ගැන ඔබේ පැහැදිලි කිරීම කුමක්ද ?
මූලික කාරණා තුනක් ගැන මෙහිදී කියන්න පුළුවන්. දේශපාලනිකව ස්ථාවරත්වයක් අපට තිබෙනවා. ආර්ථික ස්ථායීතාවත් සමාජ ස්ථායීකරණයත් එම කරුණු තුනයි. මේ වනවිට දේශපාලන ස්ථාවරත්වය ළඟා කරගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන නැති වුවත් දේශපාලන ස්ථාවරත්වය සමග විදේශ ආයෝජන ලැබීම, දේශීය ආයෝජකයන් තම අරමුදල් ආයෝජනය කිරීම යනාදී හොඳ පැත්තක් දකින්න පුළුවන්. ලංකාව සම්බන්ධ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළයාම යනාදිය ආර්ථික වශයෙන් යහපත් ප්‍රවණතා. මෙයට ප්‍රධාන හේතුව දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහිතව ඉදිරියට යාමයි.
දිගු කාලීනව රැඳෙන්න බැරි නම් ආයෝජකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නැහැ. අවදානම, රජයේ ප්‍රතිපත්ති දෙස ආයෝජනයේ දී අවධානය යොමු වෙනවා. මේවායේ පවතින ස්ථාවරත්වයත් සමග ආර්ථීක ස්ථායීකරණයට හොඳ පිටුබලයක් ලැබී තිබෙනවා. අයි.එම්.එෆ්. වැඩ සටහනෙන් ගත් තීරණ මේවන විට ක්‍රියාත්මක කරමින් යනවා. මේවාට කවුරු අත්සන් කළත් ඒවාට එකඟවී තිබෙන්නේ රටක් හැටියට. ඒ අනුව මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම ධනාත්මක යොමුවක්. ආයෝජකයන්ට එය විශේෂයි.
සමාජ ස්ථායීකරණයේ දී යම් යම් කරුණු සම්බන්ධව තවම තිරසාර විසඳුමක් ලැබී නැහැ. එහෙත් දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වයට ළඟාවීම යන කාරණා අනුව සමාජ ස්ථාවරත්වයට යන්න අපට පුළුවන්. මෙයට යම් කාලයක් ගතවෙන්න පුළුවන්. ආර්ථිකය නියම මාවතට පිවිස තිබෙනවා. ඒ තුළ ඉදිරි ගමන් මග බොහොම පැහැදිලියි. රජයේ ප්‍රතිපත්ති පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා. මෙවැනි ගමනක දී ආර්ථීක ස්ථායීකරණයට යන්න පුළුවන්. සියයට පහක ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමේ මානයට පැමිණ සිටින බව දැනෙනවා.
Q: මේ සියල්ල සිදුවෙන්නේ අයි.එම්.එෆ්. රාමුවට අනුවයි. ඉදිරියටත් මේ ක්‍රමයෙන්ම අපට පැවැත්මක් තිබේද?
මීට පෙර 16 වතාවක් අයි.එම්.එෆ්. සමග එකඟතාවලට ගිහින් තිබෙනවා. එහෙත් එක් අවස්ථාවක දී හැර තිබූ අපහසුතා යම් පමණකට මග හැරුණු පසු එකී එකඟතාවලින් ඉවත්ව තිබෙනවා. පෙර එක් අවස්ථාවකදීවත් රට බංකොළොත් බව ප්‍රකාශ වී තිබුණේ නැහැ. මෙවර අයි.එම්.එෆ්. ගියේ රට බංකොළොත් කියා රටම පිළිගන්නා වෙලාවක. මෙවැනි ප්‍රකාශයක් කළාම තමන් බංකොළොත් යැයි කියන රටකට අරමුදල් සම්පාදනයට ණය, ආධාර සපයන ආයතන මැලිකමක් දක්වනවා. ඒ නිසාම අයි.එම්.එෆ්. රාමුව ඇතුලේම ඉදිරියට යන්න අපට සිදුවෙනවා. බදු අනුපාත වෙනස් කළ නොහැකි බවට අයි.එම්.එෆ්. මුලින් කියා තිබුණා. එහෙත් මෙවර අයවැයෙන් උපයන විට බදු ගෙවීමේ ආදායම් සීමාව වැඩි කළා. මේ රාමුව ඇතුළේ අපට හදාගන්න පුළුවන් තැන් තිබෙන බව ඒ අනුව පැහැදිලියි. බදු නැංවීම, නව බදු පැනවීම ආදියෙන් ආදායම් වැඩිකර ගැනීමක් මුලින් පෙන්නුම් කළා. එහෙත් වියදම අඩුකිරීමෙනුත් අපේක්‍ෂිත ආදායම් ඉලක්ක සපුරාගත හැකි බව සිතුවේ නැහැ. රජයේ වියදම් අඩු කරමින් ඉලක්කවලට යන්න පුළුවන්. මුලින් මේ පැති ගැන බැලුවේ නැහැ.
වර්තමානය වනවිට වියදම් පැත්ත පාලනය වෙනවා. ඉහළින්ම ලැබෙන පූර්වාදර්ශ සමග අනෙක් අයට ඒ තත්වයට යන්නට සිදුව තිබෙනවා. මේ බොහොම යහපත් ප්‍රවණතාවක්. මේ ඔස්සේ විනයකුත් ගොඩ නැගෙනවා. අයි.එම්.එෆ්. වෙතින් ඉදිරිපත් කර ඇති සියල්ල නරක දේවල් වශයෙන් මම දකින්නේ නැහැ. බොහොම හොඳ කාරණා තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායවලට දෙන ණය සීමා කරන්න කියා ඔවුන් කියනවා. සියයට 30 ක් සියයට 33 ක් මට්ටමට ගේන්න කියා ඔවුන් අපට යෝජනා කරනවා. ඉතිරි සියයට 70 වෙනත් ක්‍රමවලින් අවරණය කර ගැනීමට අපට සිදුවෙනවා. මේ හරහා ඔවුන් කරන්නේ පෞද්ගලික බැංකු සමග තරගකාරී මට්ටමකට රාජ්‍ය බැංකු පත් කිරීමක්. මේක හොඳ ප්‍රවණතාවක්.
2024 මැද භාගය තෙක් මහජන බැංකුව සියයට 56 ක් ණය දී තිබෙන්නේ රාජ්‍ය අංශයටයි. මේවායේ බර පැටවෙන්නේ රජයටමයි. මෙවැනි ක්‍රියා අධෛර්යවත් කිරීම අයි.එම්.එෆ්. යොමුව තිබෙනවා. රජය පැත්තෙන් මෙවැනි කොන්දේසි ආවානම් ක්‍රියාත්මක නොවීමටත් ඉඩකඩ තිබුණා. එහෙත් දැන් මේවා අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. එනිසා අයි.එම්.එෆ්. රාමුව මාර්ගෝපදේශයක් වශයෙන් හොඳයි. මේ තුළ ලංකාවේ ආර්ථිකයට ගැළපෙන වෙනස්කම් කරමින් ඉදිරියට යන්න අපට පුළුවන්. වඩාත් හොඳ ක්‍රමය එයයි.
Q: රාජ්‍ය ප්‍රතිපත්තියත් අයි.එම්.එෆ්. රාමුවත් අතර ගැටුමක් ඇති නොවී ඉදිරියට යන්න පුළුවන් ද? පරස්පරතා නැති ද? දේශීය අරමුණු ඉටුකර ගැනීමේ දී එකී ඉලක්ක මත රැඳිය හැකි ද?
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය කරන්න කියා අයි.එම්.එෆ්. යෝජනා කරනවා. ඒක ඔවුන්ගේ එක් විසඳුමක්. මේ ආයතනවලින් රජයට පැටවෙන බර සැහැල්ලු කරන්න කියා ඔවුන් කියනවා. පෞද්ගලිකරණයේ දී කාර්යක්‍ෂමතාව වැඩි වෙනවා. ඒ හරහා ලාබ ලබන ආයතන බවට පත් කිරීම අරමුණයි. යම් ආයතනයක් කාර්යක්‍ෂමකර ලාබ ලබන තත්වයට එම ආයතනය පත්කරන්න රජයට හැකිනම් අර කොන්දේසි අදාළ වෙන්නේ නැහැ. ඇතැම් ආයතන පෞද්ගලීකරණය කරන්න වේවි. යම් ආයතනයක් කොටස් වෙළෙඳපොළේ ලයිස්තු ගත කිරීම සහ පිට රටකට විකුණා දැමීම දෙකක්. මෙතැන වෙනසක් තිබෙනවා. රජයට යම් ප්‍රමාණයක් තබාගෙන කාර්යක්‍ෂමතාව නංවන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ආකාරයට අයි.එම්.එෆ්. මාර්ගෝපදේශ සකසා ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා.
Q: රාජ්‍ය බැංකුවල කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ සාකච්ඡා වූවා. එහෙත් විවිධ විරෝධතා, බාධා නිසා මේවා ක්‍රියාත්මක වුණේ නැහැ. රාජ්‍ය බැංකු එසේ ලැයිස්තු ගත කළ යුතුද? එසේ නොවිය යුතු ද? තරගකාරී මට්ටමට ගෙන ඒමට හැකිද? ඔබේ අදහස කුමක් ද?
රජයේ ප්‍රතිපත්ති මේවනවිට ප්‍රකාශ වී තිබෙනවා. රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය නොකරන බව පැහැදිලිව කියා තිබෙනවා. ආයතනයක් ප්‍රතිව්‍යුහගත කරන්නේ එම ආයතනය හරියට දුවන්නේ නැති වුණාමයි. කාර්යක්‍ෂම නොවූවිටයි. රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව නැතිවීමට බොහෝ දුරට හේතු වුණේ දේශපාලනයයි. ඒවා නැවැත්වීමට අපට හැකිනම් කාර්යක්‍ෂමතාව නංවන්න පුළුවන් නම් එතැන දී පෞද්ගලීකරණය කළා ද? නොකළා ද? යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. නිශ්චිත කාලයේ දී සියලු ගිණුම් විගණනය කර ලබා දෙන්න අපට පුළුවන් නම් මේ ආයතන පෞද්ගලීකරණය කළාද? නැද්ද? කියා වැදගත් නැහැ. එහෙත් ඉදිරියටත් ඒක කරගෙන යන්න බැරිනම් අලාභ ලබනවා නම් ඒ පවතින ගැටලුවට විසඳුමක් ලෙස පෞද්ගලීකරණයට යන්න පුළුවන්.
දැනට මහජන බැංකුවේ සේවකයන් 8500කට වැඩිය සිටිනවා. මේ ආයතනය පෞද්ගලීකරණය කළොත් ඉන්නේ මේ සේවකයන්මයි. කළමනාකරණයේ තනතුරු දෙක තුනක් වෙනස් වේවි. එවිට ලාබ ලබන්නෙත් එම ආයතනයමයි. එහෙම නම් ගැටලුව තිබෙන්නේ කළමනාකරණයයි. ගැටලුව තිබෙන්නේ රාජ්‍ය ද පෞද්ගලික ද කියන කාරණය නොවන බව එයින් පැහැදිලියි. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ඒ අවශ්‍ය වෙනස කෙරෙනවා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මාස හයෙන් මේවා අනෙක් පැත්ත හරවන්න බැහැ. පෞද්ගලීකරණයට මෙහා තැනක අපට වඩා හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන්.
වැඩියෙන් ශාඛා තිබෙන්නේ මහජන බැංකුවටයි. ඒ ගණන 751ක්. පෞද්ගලික අංශයේ අරමුණ ලාබයයි. මේ වසරේ තනි බැංකුව හැටියට රුපියල් බිලියන 25.8ක බදු පසු ලාබයක් ලබා තිබෙනවා. ශාඛා 751 න් 200 ක් පමණ වසා දැමුවොත් අපේ ලාබය දෙගුණ කරගන්න පුළුවන්. එහෙත් අපිට ඒ ඇතැම් ශාඛා වසා දැමුවොත් ජනතාවට මූල්‍ය අවශ්‍යතා සපුරාගන්න කිලෝ මීටර් තිහ හතළිහක් යාමට සිදු වෙනවා. සමස්තයක් විධියට අප ලාබ ලැබුවත් රට වැසියන්ට සේවා සැපයීමත් ඒ තුළ තිබෙනවා. මේ නිසාම ඇතැම් ආයතන රාජ්‍ය පරිපාලනය යටතේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. රජයත් එය අවබෝධ කරගෙන සිටිනවා. ලාබය අරමුණුකර නොගෙන ක්‍රියාත්මක කරන ඇතැම් සේවා තිබෙනවා. මේවාට පෞද්ගලික අංශය යොමු වෙන්නේ නැහැ. ඒ සඳහා රාජ්‍ය බැංකුවල අවශ්‍යතාවක් තිබෙනවා.
Q: වියදම් අඩුකර ආදායම් ඉලක්ක සපුරාගත හැකි බව ඔබ මුලින් ප්‍රකාශ කළා. එහෙත් මේ වසරේ ළඟා කරගත යුතු ආදායම් ඉලක්ක මූල්‍ය අරමුදල අපට ලබා දී තිබෙනවා. බදු පනවන්නේ නැතිව මේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තිබෙනවා ද?
අතිරේක බදු පැනවීමක් නැති බව බොහොම පැහැදිලියි. සංචාරක කර්මාන්තයේ පැහැදිලි වැඩිවීමක් තිබෙනවා. ඒ පැත්තෙන් අපට ආදායම් වර්ධනයක් තිබෙනවා. බදු දැලට හසුකර ගන්නා පිරිස වැඩිකර ගන්න පුළුවන් නම් ආදායම් වර්ධනයක් එතැන තිබෙනවා. නීත්‍යානුකූල නොවන ආර්ථීක කටයුතු ඇතැම් තැන්වල ක්‍රියාත්මක වෙනවා. ඒවා ආවරණය කරගත හැකිනම් ආදායම් උපයන්න පුළුවන්. රජය කෙරෙහි පවතින විශ්වාසය මත ඍජු විදේශ ආයෝජන ලැබෙනවා. මේවා හරහා ආදායම් වැඩිකර ගන්න පුළුවන්. අද මෙරට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. සියයට පහක ආර්ථීක වර්ධනයකට තවත් ඩොලර් බිලියන හතරකින් පහකින් දළ ජාතික නිෂ්පාදිතය ප්‍රසාරණය කරන්න වෙනවා. ඉහත කාරණා මත ඒ ප්‍රසාරණය කරගන්න අපට පුළුවන්.
ඩිජිටල්කරණය තවත් කරුණක්. සීගිරිය වගේ තැනක ආදායම් එකතු කිරීම් ඩිජිටල් ඇප් එකක් හරහා සිදු වෙනවා නම් ඒ ආදායම් වෙන වෙන තැන්වලට යන්නේ නැහැ. විදේශිකයකු ඩොලර්වලින් ටිකට් ගන්නා විට ඒ සම්පූර්ණ ඩොලර් ආදායම ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ටිකක් ලැබේවි. ඉතිරිය වෙනත් මාර්ගවල යන්න පුළුවන්. එහෙත් ඩිජිටල්කරණය හරියට ක්‍රියාත්මක කළොත් මේ කියන අඩුපාඩු හදාගන්න පුළුවන්. මේවායෙන් සිදු වෙන්නෙත් ආදායම් වැඩිවීමක්. මේ ක්‍රමවේද හරියට ස්ථාපිත කළොත් ඔය කියන ආදායම් ඉලක්කවලට යාමේ හැකියාව තිබෙනවා. අපට සැලසුම් හදන්න පුළුවන්. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ කැපවීම, විනය අවශ්‍යයි.
Q: බැංකු ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන අභියෝග මොනවාද?
ග්‍රාමීය ආර්ථීකය නගාසිටුවීමේ අවශ්‍යතාව අයවැයෙන් මතුකර තිබෙනවා. දැන් බැංකුවලින් ණය දෙන්නේ කුමක් හෝ ඇපයට තබා ගනිමින්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, අලුතෙන් අරඹන ව්‍යාපාර වර්ධනය කිරීමට ඇපයක් තබාගෙනම ණයදෙන ක්‍රමවේදය කරන්න බැරි වෙයි. ඇපයක් නොගෙන ණයක් දෙන්න බැහැ කීම දැනට තිබෙන සීමාවක් වගේ. යම් කෙනෙක් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය පදනම් කරගෙන ණය දීමට ඉදිරියේ දී අපට හැකිනම් එය වෙනත් තත්වයක් වේවි. මහා භාණ්ඩාගාරය පැත්තෙන් රුපියල් බිලියන 50 ක අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා. ඒ හරහා මේ ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේවා අභියෝග තමයි. පෞද්ගලික බැංකු වගේම මාර්කට් එකට ගිහින් තම ආදායම් ප්‍රභව වැඩි කරගන්න ඉදිරියේ දී රාජ්‍ය බැංකුවලටත් සිදු වෙනවා. මේවාට අවශ්‍ය පුහුණුවක් මේ දක්වා රාජ්‍ය බැංකුවල සේවකයන්ට ලැබී නැහැ. එනිසා තරගකාරී බැංකු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ අවශ්‍ය පුහුණුව විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවලට ලබා දෙනවා නම් ඒක විශාල ශක්තියක්. මේවාට යම් කාලයක් ගතවේවි. දැන් මේවා ආරම්භ වී තිබෙනවා. ඒ අනුව තිබෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් වේවි කියා මම සිතනවා.
Q: මහජන බැංකුව හැටියට ලබාගෙන තිබෙන ප්‍රගතිය කවරාකාර ද?
ලාබවලින් ගත්තත් අපි හොඳ තැනක ඉන්නවා. ආදායම් ලැබීම් අනුව බැලුවොත් මහජන බැංකුව, පීපල්ස් ලීසිං ආයතන, පීපල්ස් ඉන්ෂුවරන්ස් යන සියලු ආයතන රුපියල් බිලියන 400 ක පමණ ආදායම් ලබා තිබෙනවා. සමස්තයේ ලාබය රුපියල් බිලියන 28.8 ක්. බැංකුවේ ලාබය පමණක් රු.බි. 25.8 ක්. මේ ආකාරයට බැංකුවේ හොඳම අවුරුද්ද හැටියට 2024 නම් කර ගන්න පුළුවන්. මේ සාර්ථකත්වය තිබෙන්නේ බැංකුවේ සේවකයන්ගේ කැපවීම මතයි. දුෂ්කර කාලයක් පසුකර සෑහෙන ප්‍රගතියක් ලබා තිබෙනවා.
ග්‍රාමීය ආර්ථීකය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැංවීමට මේ වසරේ පියවර රැසක් ගෙන තිබෙනවා. සුවිශේෂී මූල්‍ය පහසුකම් නිර්මාණය කර තිබෙනවා. මේ වෙනුවෙන් වෙනමම නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයකු පවා පත් කළා. ඒ අනුව මේ ක්ෂේත්‍රයට වැඩි පහසුකම් සැපයීමට අරමුණු කරනවා. ආර්ථික වර්ධනයේ දී මේ ක්ෂේත්‍රය සුවිශේෂයි. බිලියන පහකින් පමණ දළ ජාතික නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමට මේ අංශයෙන් විශාල දායකත්වයක් දෙන්න පුළුවන්.
Q: ඩිජිටල් ආර්ථීකය ගැන නිරන්තර කතා වෙනවා. මේ කාරණයේ දී බැංකුව ඉන්නා තැන මොකක්ද?
ලංකාවේ තිබෙන වාණිජ බැංකු අතරින් වැඩිම ඩිජිටල් පාරිභෝගිකයන් ඉන්නේ මහජන බැංකුව සතුවයි. ඒ සංඛ්‍යාව මිලියන 3.3ක් පමණ වෙනවා. අපට ශාඛා 751 ක් තිබිලත් ඒ ශාඛාවල සෙනග වැඩියි. දැනට කරන ගනුදෙනුවලින් සියයට 80ක් 85 ක් පමණ සිදු වෙන්නේ ඩිජිටල් පදනමෙන්. ඩිජිටල්කරණය නොතිබුණා නම් මේ සියයට 85 එන්නෙත් ශාඛාවලට. එහෙම වුණා නම් ඒක දරාගන්න බැරි ප්‍රමාණයක්. ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව සහ දැනටම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති බව ඒ අනුව පැහැදිලියි. මැතක දී රජය ආරම්භ කළ ‘‘ගවු පේ’‘ වැඩසටහනේ ප්‍රධාන පහසුකම් සපයන්නකු ලෙස මහජන බැංකුව සිටිනවා. ඩිජිටල්කරණයම අරමුණුකර ගත් ඇප් හඳුන්වා දී තිබෙනවා. මේවා නිසා ආදායම් එකතු කිරීමේ ලීකේජස් නැති වෙනවා. කාසි හා නෝට්ටු භාවිතයෙන් ඈත්වන විට බදු එකතු කිරීම සම්බන්ධයෙන් ගත්තත් සියලුම ආදායම් වියදම් ඔටෝමැටිකලිම රෙකෝඩ් වෙනවා. කොහොම වුවත් ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් අපි කොතරම් ආයෝජනය කළත් ජනතාව ඒ වෙනුවෙන් යොමු වෙන්නේ නැති නම් ක්‍රියාත්මක කිරීමට බොහොම අපහසු වෙනවා. කිව්.ආර්. කේතය හරහා ගෙවීමේ ක්‍රමය මේ වනවිට මහජන බැංකුවේ තිබෙනවා. එහෙත් ව්‍යාපාරිකයන් ගත්තත් පාරිභෝගිකයන් ගත්තත් ඒ ක්‍රමයට යන්නේ බොහොම අඩුවෙන්. මේවාට ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ඉදිරි සැලසුම්වලදීත් අපේ ප්‍රමුඛතාව ඩිජිටල්කරණයට යොමුව තිබෙනවා. බැංකුවේ ඇතැම් කටයුතු ඩිජිටල් සහ මැනුවල් කියන දෙවිධියටම දැනට සිදු වෙනවා. මේ වසරේදී මේවා පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඩිජිටල්කරණය හරහා වැඩ පහසුකරමින් නව ව්‍යාපාර අවස්ථා සමගින් බොහොම ශක්තිමත් ගමනක් යාමට සැලසුම් කර තිබෙනවා.
සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
ආර්ථිකය නිසි මාවතට පිවිසිලා