අර්බන් ඇග්‍රි පෞද්ගලික සමාගමේ හිමිකරුවන් වන සනුජ කුරේ, අනීෂන් ත්‍යාගරාජා සහ ආශිෂ් අද්වානි
සඳලංකාව හේමලතා ඩී හේවගේ
පාරම්පරික කෘෂිකර්මාන්තය වෙනුවට නව තාක්ෂණය මුසුකරගත් වගා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අප රටේ ගොවි ජනතාවටද දැන් කාලය එළැඹී ඇත. අපනයන කෘෂිකාර්මික ආර්ථිකයක් මත ගොඩනැගුණු මෙරට ආර්ථිකය අද වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යමින් පවතී.
![]() |
අර්බන් ඇග්‍රි පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කළමනාකාරිණී නෙරුනි සිරිවර්ධන |
මඩ සෝදා ගත් පසු ගොවියා රජකමටත් සුදුසු යැයි පැරණි කියමනක් පැවතියද අද වන විට කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිත කිරීමට තරුණ පරපුර නැඹුරුවී ඇත. නව තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත්තද ඒ සඳහා අවශ්‍ය දැනුම නොමැතිකම නිසා එහි නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට ඔවුනට නොහැකි වී ඇත.
එය එසේ වුවද නව තාක්ෂණයේ යොදාගනිමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කරගෙන යන සලාද වගාවක් ආරම්භ කිරීමට තරුණ ව්‍යවසායකයන් තිදෙනෙක් සමත්ව සිටිති. දංකොටුව ලීහීරියාගම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම සලාද ගොවිපොළ අති නවීන ශීතාගාරයක් තුළ පවත්වාගෙන යනු ලබයි.
අර්බන් ඇග්‍රි පෞද්ගලික සමාගම නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන සනුජ කුරේ, අනීෂන් ත්‍යාගරාජා සහ ආශිෂ් අද්වානි යන මෙම තරුණ ව්‍යවසායකයන් තිදෙනා ආරම්භ කර ඇති මෙම සලාද වගාව හයිඩ්‍රොපොනික් ක්‍රමයට මෙරට වගා කර ඇති එකම ගොවිපොළ බවද සඳහන් කරයි.
කෘෂිකර්මාන්තය සඳහා සුදුසු භූමි හැර නාගරික පරිසරය ඒ සඳහා යොදා ගැනීමේදී භූමියේ හිඟකම ප්‍රධාන ගැටලුවක්ව පවතී. නවීන තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමාන ලෝකය මෙම භූමි ගැටලුවට විසඳුමක් ලෙස හයිඩ්‍රොපොනික් වගාව හඳුනාගෙනන ඇත. අක්කර පනහක භූමියක වගා කරනු ලබන බෝග මෙම ක්‍රමය යටතේ අක්කරයක භූමියක වගා කිරීමට හැකියාව ඇත.
පස් භාවිතයකින් තොරව ජලය මත වගා කරනු ලබන මෙම හයිඩ්‍රොපොනික් ක්‍රමය යටතේ සීමිත භූමි ප්‍රමාණයකින් විශාල අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
අති නවීන තාක්ෂණය යොදා ගනිමින් හයිඩ්‍රොපොනික් ක්‍රමයට සලාද වවන අර්බන් ඇග්‍රි පෞද්ගලික සමාගමේ සාමාජික සනුජ කුරේ මහතා මෙම වගා ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අපි තමයි ප්‍රථම වරට මෙරට තුළ ගෘහස්ථ ශීතාගාරයක මෙවැනි වගාවක් ආරම්භ කරලා තියෙන්නේ. සාමාන්‍ය පරිසරයෙන් ලැබෙන ආලෝකය, සුළඟ, ඇතුළු සියලු දේ මෙම ශීතාගාරය තුළදී වගාවට එල් ඊ ඩී ලයිට්, විදුලි පංකා මගින් කෘතිමවල අපි ලබා දෙනවා. කිසිම කෘමි නාශක, වල්නාශක ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතභාවය උපරිමයි.
සාමාන්‍ය පරිසරයේදී සලාද කොළ කිලෝ එකක් වන්න වතුර ලීටර් සීයයක් යනවා නම් අපිට මේ ක්‍රමය යටතේ යන්නේ වතුර ලීටර් එකයි. මෙහිදී විශේෂයෙන් ජලය අපතේ යන ප්‍රමාණය අවමයි. තට්ටු ක්‍රමයට වගා කරන නිසා අක්කර 50 ක භූමියක වගා කරන භෝගයක් අක්කර එකක වගා කරන්න පුළුවන්.
මෙහි තිබෙන සුවිශේෂීම දේ තමයි ලෝකයේ කොහේ රටක හිටියත් ජංගම දුරකථනය භාවිතයෙන් මෙම වගාව සඳහා යොදා ඇති සියලු තාක්ෂණික උපාංග හසුරවන්නන පුළුවන්. සියලුම දත්ත ජංගම දුරකථනය හා සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වගා භූමියේ සියලුම දේවල් ඒ ක්‍රමයට තමයි සකස් කරලා තියෙන්නේ.
අපි මේ වන විට දේශීය වෙළෙඳපොළට අපේ නිෂ්පාදන ලබා දෙනවා. විශේෂයෙන් සුපිරි වෙළෙඳසැල්, තරු පන්තියේ හෝටල්වලට. ඒ වගේම විදේශීය වෙළෙඳපොළ සඳහා මෙවැනි වගා භූමි නිෂ්පාදනය කරලා අපනයනය කරලා තියෙනවා. මාලදිවයිනට මෙවැනි ගොවිපොළවල් විශාල ප්‍රමාණයක් යවලා තියෙනවා. අපේ බලාපොරොත්තුව තමයි මැද පෙරදිග ඇතුළු තවත් රටවලට මෙවැනි ගොවිපොළවල් අපනයනය කිරීම. ඒ සඳහා අපි මේ වන විට සැලසුම් සකස් කරලයි තියෙන්නේ.
මෙවැනි වගා භූමියක් නිෂ්පාදනය කරන්න විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. අපේ බලාපොරොත්තුව තමයි ඉදිරි වසර 05 ඇතුළත මේ ව්‍යාපාරය තුළින් වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයා ගැනීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සලාද බීජ වලින් ලබාගත් පැළ
අර්බන් ඇග්‍රි පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කළමනාකාරිණී නෙරුනි සිරිවර්ධන මහත්මියද මෙම වගාව සම්බන්ධයෙන් පැවසුවේ මෙවන්නකි.
මම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. උසස් පෙළ සමත් වෙලා පසුව වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ උපාධියක් ලබා ගත්තා. ඒ ලබාගත් දැනුමත් සමග මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. දැන් වසර 07 කට ආසන්නයි. හොඳ වැටුපක් ලැබෙනවා. කිසිම කරදරයක් නැතුව රැකියාව කරගෙන යනවා.
විශේෂයෙන් මෙම වගාව සම්බන්ධයෙන් කියනවනම් සෞඛ්‍ය ආරක්ෂිත බවින් පරිපූර්ණ ආහාරයට ගත හැකි සලාද වර්ග තමයි මෙතන වගා කරන්නේ. වර්ග නමයක් වගා කරලා තියෙනවා. සාමාන්‍ය පරිසරයේදී වගාවකින් ලබා ගත හැකි අස්වැන්නට වඩා පස් හය ගුණයක අස්වැන්නක් මෙම ක්‍රමය යටතේ ලබාගන්න පුළුවන්. ඒ වගේම වගාවට කිසිම ස්වාභාවික හානියක් සිදුවෙන්නේ නැහැ. අපේ මේ වර්ග අඩි 4000 වගේ භූමියෙන් මසකට ටොන් 5 1/2 ක් 06 ක් අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගන්නවා. සීමිත සේවකයන් පිරිසක් තමයි වැඩ කරන්නේ. මට වගේම සේවය කරන අනිත් පිරිසටත් ආයතනයේ කළමනාකාරීත්වය විසින් හොඳ වැටුපක් ලබා දෙනවා. අපි හරි තෘප්තියෙන් තමයි මේ ආයතනයේ සේවය කරන්නේ. අපේ බලාපොරොත්තුවත් මේ ආයතනය දියුණු වෙනවා දැකීමයි.
අස්වනු නෙළාගත් සලාද සේවකයන් විසින් අසුරන අයුරු
නෙළා ගත් සලාද අස්වනු ඇසුරුම් කිරීම සඳහා රැගෙන එන අයුරු
සේවකයකු විසින් අලෙවියට සුදුසු තත්වයේ සලාද කොළ අස්වනු නෙළන අයුරු
ඉහළ ආදායමකට නව තාක්ෂණයේ කෘෂි වගා ක්‍රමයක්