කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
ඉසුරු සම්පත්
|
රටක දියුණුවට බලපාන සාධක රැසකි. ඒ අතරින් කර්මාන්ත ශාලාවලට හිමිවන තැන ඉහළය. කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කෙරෙන දෑ රටේ දියුණුවට දෙයාකාරයකට හේතු වේ. රටට අවශය දෑ රට තුළම නිෂ්පාදනය කිරීම අත්‍යාවශ්‍ය කාරණාවකි. රටේ ස්වයංපෝෂිතභාවයට එයින් ලැබෙන පිටුවහල ඉමහත්ය. එය රටක් දියුණුවීමට ඍජුවම බලපාන කාරණයක් වුවත් කර්මාන්ත ශාලාවකින් නිෂ්පාදනය කෙරෙන අතිරික්තය අපනයනය කිරීමට හැකිනම් එම රට සංවර්ධනය වන්නේ පිම්මේය.
කර්මාන්ත පුරවලින් සහ ගම්මානවලින් නිෂ්පාදන පමණක් නොව රටේ රැකියා විරහිතභාවය නැති කිරීමටද ප්‍රබල සාධකයකි. අපේ රටේත් කර්මාන්ත ශාලා ගම්මාන අල්ප වුවත් කර්මාන්තපුර බිහි කෙරේ. එය කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි අපි නොදනිමු.
කරන්දෙණියේ කර්මාන්තපුරය ආරම්භ වන්නේ මේ කියන අරමුණු ඔස්සේය. කරන්දෙණිය කර්මාන්තපුරය ආරම්භ කෙරෙන්නේ කරන්දෙණිය ඌරගස්මංහන්දිය යටගල ප්‍රදේශයේය. ඒ 1996 වසරේදී පමණය. එහි නිර්මාතෘවරයා වනුයේ හිටපු කැබිනට් අමාත්‍ය දිවංගත ගුණරත්න වීරකෝන් මහතාය.
රජයට අයත් අක්කර පනහක පමණ භූමි භාගයක් මේ සඳහා එවකට සිටි රජය ප්‍රයෝජනයට ගත්තේය. එහි ඉලක්කය වී තිබුණේ කර්මාන්ත ශාලා තිහ හතළිහක් වුවත් ඒ මට්ටමට යාමට මේ කර්මාන්තපුරයට නොහැකි වූයේ අදාළ බලධාරීන්ගේ නොහැකියාව නිසාය. මෙහි ඉලක්කගත රැකියා සංඛ්‍යාව දෙදහසක් වුවත් එය තවම දහසේ ආසන්නයටවත් පැමිණ නැත්තා සේය. නවසියයවත් පසුකර යාමට අපොහොසත් වී ඇත.
කරන්දෙණිය කර්මාන්තපුරයට මේ නස්පැත්තිය සිදුවී ඇත්තේ ඇයි? අද මේ කර්මාන්තපුරය ඇත්තේ දැඩි අවදානමකය. වැසී යාමේ තර්ජනයකය. එදා කර්මාන්ත ශාලා තිහකට ආසන්නව තිබුණත් මේ වනවිට එම සංඛ්‍යාව විසිදෙක දක්වා අඩු වී තිබේ. ඉදිරියේදී මීටත් වඩා කර්මාන්ත ශාලා අඩුවිය හැකි බව එහි කර්මාන්ත කරගෙන යන අය කියති. එක කර්මාන්ත ශාලාවක් වැසුණොත් එමගින් රටට ගමට වන පාඩුව හානිය සුළුපටු නම් නොවේ. එමගින් අහිමිවන රැකියා සංඛ්‍යාවද නොගැනිය හැක්කක් නොවේ. එහෙත් මේ වනවිට කරන්දෙණිය කර්මාන්තපුරයෙන් කර්මාන්ත ශාලා කිහිපයක්ම වැසී ගිය බවද මුසාවක් නොවේ.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගාමිණී අමරවංශ මහතා:-
“එවකට කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාට තමයි කරන්දෙණියේ කර්මාන්තපුරයක් ආරම්භ කරන්න ඕනෑ කියන සංකල්පය එන්නේ. ඒ අනුව ඒ මහතා කරන්දෙණිය ඌරගස්මංහන්දිය යටගල මේ සඳහා තෝරා ගන්නවා. ඒ රජයට අයත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබුණු අක්කර පනහක පමණ වපසරියක් මේ කර්මාන්තපුරය සඳහා වෙන් කරගන්නේත් ගුණරත්න වීරකෝන් මහතායි. ඒ මහතාගේ අවංකවම චේතනාව තිබුණේ ගමේ කර්මාන්ත නංවාලීම වගේම ගමේ තරුණ, තරුණියන්ට රැකියා ලබාදීමයි. ඒ වගේම අපනයන කර්මාන්තත් මේ කර්මාන්තපුරයේ ආරම්භ කරලා රට දියුණු කරන්නත් ලොකු අදහසක් තිබුණා. කොහොම හරි මේ ඉඩමේ කර්මාන්තපුරයක් ආරම්භ කළා.
ඇඟලුම් කර්මාන්ත ශාලා. පාවහන් කර්මාන්ත ශාලා, සැමන් කර්මාන්ත ශාලා, කුරුඳු කර්මාන්ත ශාලා, කොන්ක්‍රීට් ගල් කර්මාන්ත ශාලා වගේ කර්මාන්ත ශාලා තිහක් පමණ ආරම්භ කළා. ඒ විතරක් නෙමෙයි එම කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කම්කරුවන්ද සොයා ගත්තේ කරන්දෙණියෙන් වීමත් විශේෂ දෙයක්.
එදා මේ කර්මාන්තපුරය හොඳට කෙරීගෙන ගියා. එසේ තිබුණු අපේ කර්මාන්තපුරය දැන් කඩා වැටෙමින් පවතිනවා. ඒ අඩුපාඩු කිහිපයක්ම මෙහි තිබීම නිසයි. ඒ වගේම මේ කර්මාන්තපුරයේ තවත් ඉඩම් කිහිපයක්ම තියෙනවා මුඩුබිම් ලෙස. මේ ඉඩම් ටිකත් ආයෝජන සඳහා ගන්න පුළුවන්. ප්‍රයෝජනයට නොගත් ඉඩම් කට්ටි ටික ටිකෙන් ටික කැලෑවට යනවා. මේක ජාතික අපරාධයක්.”
එම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලබන ඉසුරු සම්පත් මහතා:-
අපි මේ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි කිහිපයකම අපේ කර්මාන්තය කරගෙන ගියා. සෙරෙප්පු නිෂ්පාදනය තමයි අපේ කර්මාන්ත ශාලාවෙන් කරගෙන ගියේ. ඉවතලන ප්ලාස්ටික්වලින් අපි වෙසක් පහන් කූඩුත් නිර්මාණය කළා. කාලයක් යද්දී පහසුකම් නොලැබීම නිසා අපේ කර්මාන්ත ශාලාව අඩපණ වුණා. කාලයක් අපි මෙයින් ඈත්වෙලා හිටියා. දැන් ආයෙමත් පොඩියට වැඩ පටන් ගත්තා.
මේ ස්ථානය කර්මාන්ත ශාලාවක් කරගෙන යාමට ඉතාමත් යෝගය තැනක්. අධිවේගී මාර්ගයට ඒ තරම් දුරක් නැහැ. කොළඹින් බඩු ගේන්නත් කොළඹට බඩු ගෙනියන්නත් උපරිම පහසුමක් තියෙනවා අධිවේගී මාර්ගයට කිට්ටු නිසා. ඒ වුණාට කර්මාන්ත පුරයේ මාර්ග රෑට කලුවරේ. කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවිකාවන්ට රෑ කලුවරේ තමයි යන්න වෙලා තියෙන්නේ. වීථි පහන් සියල්ලම පාහේ විනාශ වෙලා. කර්මාන්තපුරයේ මාර්ග පද්ධතිය කලුවරේ තිබිලා කොහොමද සේවිකාවන් තනියම නිවෙස්වලට යන්නේ. ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා.
ජල පහසුකම් නිසි ආකාරයෙන් නොලැබීමත් අපේ කර්මාන්ත ශාලාවලට බලපාලා තියෙන තවත් ලොකු ගැටලුවක්. වතුර එන්නේ සමහර වෙලාවට විතරයි. සමහර දවස්වල අපේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය වෙලාවට වතුර නැහැ. නිසි ආරක්ෂාවක් මේ කර්මාන්තපුරයට නැති එකත් ලොකු අඩුවක්. කර්මාන්තපුරයක් වුණාම මොනතරම් පහසුකම් තියෙනවද.ඒකට මේ කර්මාන්ත පුරයේ අඩුපාඩු වැහිවැහැලා.
කරන්දෙණිය කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් පෙරේරා මහතා:-
“අපි සංගමයක් හැටියට මේ කර්මාන්තපුරයේ අඩුපාඩු තුරන් කිරීමට විශාල මහන්සියක් ගත්තා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. කර්මාන්තපුරයේ මාර්ග සියල්ල කාපට් කිරීම ඒ අතරින් ප්‍රධානයි. කර්මාන්තපුරයේ පිවිසුම අලංකාර ලෙස හදාගැනීමට ද අපිට පුළුවන් වුණා. තවත් ගැටලු රැසක්ම තියෙනවා. ගිය ආණ්ඩුවලින් අපි මේ කර්මාන්තපුරය සංවර්ධනය කිරීමට උපරිම සහයෝගය ගත්තා. ඒ ඒ ආණ්ඩු සහයෝගය දුන්නා. අපි මේ අලුත් ආණ්ඩුවටත් අපේ යෝජනා දුන්නා. එහෙත් අදාළ බලධාරීන් මුනිවත රකිනවා. මේක ජාතියේ අවාසනාවක්.
මේ කර්මාන්තපුරයේ විදුලිය සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා. මෙහි කර්මාන්තකරුවන්ට එන විදුලි බිල දරාගන්න බැහැ. විදුලියට කිසිම සහනයක් නැහැ. මේ නිසාද මෙහි කර්මාන්තකරුවන්ට කර්මාන්තයක් කරගෙන යාමට දැඩි බලපෑමක් එල්ල වෙලා. ඒ වැඩිවන නිෂ්පාදන වියදමත් එක්ක තමයි භාණ්ඩයේ මිල තීරණය වන්නේ.”
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා:-
“කරන්දෙණියේ කර්මාන්තපුරය කාලයක් කරන්දෙණියටම ආලෝකයක් වෙලා තිබුණා. එම කර්මාන්තපුරයේ කර්මාන්ත ටික එදා හොඳට කෙරීගෙන ගියා. අපේ ගම්මානවල ළමයි මේ කර්මාන්ත ශාලාවල වැඩට ආවා. එමගින් ඔවුන්ගේ පවුල්වල බඩ කට පිරුණා. එහෙත් අදාළ බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහෙන්න ගිලිහෙන්න මේ කර්මාන්තපුරයේ අඩුපාඩු වැඩි වෙන්න පටන් ගත්තා. එතනින් තමයි ප්‍රශ්නය පටන් ගත්තේ. එතනින් තමයි කර්මාන්ත වැහෙන්න පටන් ගත්තේ.
මේ වගේ කර්මාන්තපුරයක් රටක සංවර්ධනයට දායාද කරගන්න පාලකයෝ දක්ෂ වෙන්න ඕන. මේ කර්මාන්තපුරයේ ඉන්න කර්මාන්ත ශාලා හිමිකරුවන්ට ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඒ අතරින් කර්මාන්ත ශාලා දුවන්න බැංකු ණය මුදල් ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉතාම වැදගත්. සමහර කර්මාන්ත ශාලා හිමිකරුවන් අතේ තියෙන සේසතම වැය කරලා කර්මාන්ත ශාලාව පටන් ගන්නවා. එහෙත් ඒක දුවන්න මුදල් නැහැ. ඒ නිසා මුදල් සොයා ගැනීමට හැකි ක්‍රමවේදයක් තියෙන්නම ඕන.”
ඉදිකිරීම් නිපුණතා පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශයේ සභාපති සමන් ප්‍රියන්ත මහතා:-
“කරන්දෙණියේ කර්මාන්තපුරය තව තව කර්මාන්තවලින් පුරවන්න ඕන. තියෙන ටිකත් වැසීලා යනවනම් ඒක හරිම කනගාටුදායක තත්වයක් නොවිය යුත්තක්. කර්මාන්ත නැතිව රටකට ඉදිරියට යන්න නම් බැහැ. අපි බොහෝම ආශාවෙන් හිටියා මේ කර්මාන්තපුරය දිනෙන් දින දියුණු වෙනවට. ඒත් වුණේ දිනෙන් දිනම පරිහානියට යන එකයි. මේ කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ට වැටෙන්නෙ දෙන්න හොඳ නැහැ. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ කර්මාන්තපුරය වැහෙන්න නොදී රැකලා දෙන්න කියලයි.”
කරන්දෙණිය කර්මාන්තපුරයට කුඩම්මාගේ සලකිලිද?