සටහන හා ඡායාරූප කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි
කළුතර, නාගොඩ හතර මං හංදියෙන් නෑබඩ දෙසට දිවෙන මාර්ගයේ මද දුරක් ගියවිට “කළුතර ෆුලර්ටන් කර්මාන්ත පුරය” හෙවත් “කළුතර ෆුලර්ටන් කාර්මික හා ආරක්ෂිත කලාපය” හමුවේ. වර්ෂ 2005 දී ආරම්භ කරන ලද එහි මුළු භූමි ප්‍රමාණය අක්කර 50 කි. මේ වනවිට එහි කර්මාන්තශාලා 40 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඒවායේ සේවය කරන අය 1500 කට වැඩිය.
මෙම කර්මාන්තපුරයේ විවිධ ආකාරයේ කර්මාන්තශාලා රැසක් ඇති අතර ඒවායේ හිමිකරුවන් එක්ව ගොඩ නගා ගත් “කළුතර ෆුලර්ටන් කර්මාන්ත හා ආයෝජකයන්ගේ සගමය” ට මේ වනවිට වසර 17 කි.
එම සංගමයේ 17 වැනි මහ සභා රැස්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කළුතර වස්කඩුව, සිට්‍රස් හෝටලයේය.
රටේ ආර්ථිකයට දායකවීම සහ ජනතාවගේ ජිවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා මෙම කලාපය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළද මෙම කලාපය නඩත්තු කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳව සංගමයේ උප ලේකම් මහේන්ද්‍ර පෙරේරා මහතා නියෝජ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු කළේය.
එසේ අවධානය යොමු කරවූ ගැටලු මෙසේය.
01. මෙහි කර්මාන්තශාලා 40 ක් හා සේවකයන් 1500 කට අධික සංඛ්‍යාවක් සිටියද අවශ්‍ය පපරිපාලන ගොඩනැගිලි හා පොදු ආපන ශාලාවක් නොමැත. දැනටමත් පරිපාලන ගොඩනැගිලි හා ආපන ශාලාවක් සඳහා ඉඩමක් වෙන් කර ඇති අතර ආපන ශාලාව ඉදි කිරීමට අප සංගමය සූදානම් ය. පරිපාලන ගොඩනැගිල්ල රජයෙන් ඉඳි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
02. ගිනි ආරක්ෂණ පද්ධතිය වැදගත් වන අතර ඒ සඳහා අනුමැතිය හා අරමුදල් සැකසීමද අවශ්‍යවේ. හදිසි ගිනි නිවන ඒකකයක් පිහිටුවීම කලාපයේ සියලු කර්මාන්තශාලා සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම හදිසි අවශ්‍යතාව සලකා සියලු කර්මාන්තශාලා ආරක්ෂා කර ගැනීමට ඉහත වෙන් කර ඇති ඉඩමේ තාවකාලික ගිනි නිවන ඒකකයක් ඉඳි කිරීමට අප කමිටුව තීරණය කර තිබෙනවා. මීට සති කීපයකට පෙර එක් කම්හලක් ගිනි ගෙන විනාශ වුණා.
03. කම්හල් පරිශ්‍රය වටා ඇති ආරක්ෂක වැටට හානි සිදුවී ඇති හෙයින් සොරකම් ඇතුළු ආරක්ෂක ගැටලු මතුවී තිබෙනවා. ගම්වාසීන් අනවසරයෙන් ඇතුළු වීමේ අවදානමක් ද තිබෙනවා. ඒ අනුව මායිම් බැම්මේ හානියට පත් කොටස් පිළිසකර කර අනවශ්‍ය මාර්ග වසා දැමීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් මුදල් ලබා දෙන ලෙස ඉල්ලනවා.
04. කාලෝචිත රසායනාගාර වාර්තා සහ කර්මාන්තශාලා තුළ අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතා පවතී. එබැවින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී වන මෙම ක්‍රියාවලීන් කාර්යක්ෂමව හැසිරවීමට කඩිනම් පද්ධතියක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිනවා.
05. ආනයනික භාණ්ඩවල මිල අඩු කම හා ගුණාත්මකභාවය වැඩි වීම කලාපයේ කර්මාන්තකරුවන්ට අභියෝගයක්වී තිබෙනවා. මෙම විසමතාවට පිළියම් යෙදීම සඳහා ඉක්මනින් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
06. මෙම ආයෝජන කලාපය මගින් වාර්ෂිකව ඉඩම් බද්ද වශයෙන් රුපියල් මිලියන 10 ක පමණ මුදලක් කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයට ලබා දෙනවා. එහෙත් ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය මන්දගාමීයි. ව්‍යවසායකයන්ට යම් බැංකු පහසුකම් ලබා ගැනීමට මෙන්ම රජයටද විශාල ආදායමක් ලබා ගැනීමට ඉවහල් වන මෙම ඔප්පු අත් පත් කර ගැනීම සඳහා වඩාත් ක්‍රමානුකූල සහ කඩිනම් ක්‍රියාවලියක් අප ඉල්ලා සිටිනවා. එසේම දිගු කාලීන බදු ගැටලු ඇති අතර ආයෝජකයන් සඳහා ඉඩම් අයිතිය ලබා දිය යුතු තැන්වලදී මෙය විසඳිය යුතුයි.
07. ගොඩනැගිලි ඉඳි කිරීමක් ඉල්ලා සිටි විට සුදුසු අනුමත කිරීමේ ක්‍රියාවලියක් තිබිය යුතුය. මෙය සැලකිල්ලට ගනිමින් කාර්මික කලාප ව්‍යාපාර සඳහා වේගවත් අනුමැති පද්ධතියක අවශ්‍යතාවක් පවතින අතර ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා පියවර අඩු කිරීම අවශ්‍යවේ.
08. ජාත්‍යන්තර වෙෙළඳපොළට ප්‍රවේශ වීමද වැදගත් අංගයක් වන අතර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සහනාධාර සහ පූර්ණ අරමුදල් සහිත සහභාගිත්වය අවශ්‍යවේ. විශේෂ දීමනා සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ආධාර වැඩසටහනක්ද ඉල්ලා සිටින ප්‍රතිඵලයකි.
09. විශේෂයෙන්ම සහතික කිරීමේ අවශ්‍යතා හා විගණන පිළිබඳ පුහුණු වැඩසටහන් සඳහාද රජයේ සහය අවශ්‍යවේ. එසේම සහතික සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමේ අවශ්‍යතාවක් පවතී.
10. කාර්මික විද්‍යාල හා පුහුණු මධ්‍යස්ථාන කලාපය සමග සම්බන්ධ කිරීම අවශ්‍යවේ. කලාපයට ආසන්න ආයතනවල කෙටිකාලීන පාඨමාලා අභිරුචිකරනය කිරීමද ප්‍රයෝජනවත් වනු ඇත.
11. විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඔවුන්ගේ නිබන්ධන සඳහා ව්‍යවසායකයන් සමග සම්බන්ධ කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සහ අදාළ නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා නවීන තාක්ෂණය රජය විසින් අනුගමනය කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ආයෝජන කලාපයේ අඛණ්ඩ සාර්ථකත්වය සහ සුබසාධනය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
මීට අමතරව පරාටේ නීතිය ගැනද සඳහන් කළ උප ලේකම් මහේන්ද්‍ර පෙරේරා මහතා මාර්තු දක්වා ලබාදී ඇති කාලය තුළ අදාළ බැංකු සමග එකඟතාවට ඒමට බොහෝ ව්‍යවසායකයන් අපොහොසත් වී ඇති බවත් ඒ අනුව ඔවුනට වහා සහනයක් ලබා දිය යුතුව ඇති බවත්‍් කීය.
මෙහිදී සංගමය මගින් ඉදිරිපත් කළ ගැටලුවලට සාවධානව සවන් දුන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෙසේ පැවසීය.
කළුතර කර්මාන්තපුරයේ ගැටලු විසඳන්න අපි මැදිහත් වෙනවා. ඒත් රටේ කර්මාන්තපුර කර්මාන්ත අමාත්‍යාංශයට අයිති නැහැ. ඒවා බොහොමයක අයිතිය එක්කො ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. නැත්නම් ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට. මේවා සැලසුමක් නැතිව කළ දේවල්. ඉදිරියේදී මේවා නිවැරදි විය යුතුයි. කළුතර කර්මාන්තපුරයෙන් රුපියල් මිලියන 10 ක් වාර්ෂිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවනවා නම් පහසුකම් සැලසීමත් එතැනින් කෙරෙන්න ඕන.
ඒත් අපි දැන් අමාරුම දේ කරගෙන තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයට යෑම සඳහා අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන් කරගෙන තිබෙනවා. ඩිජිටල්කරණය ආවාම පහසුකම් වැඩි වෙනවා. එවැනි ආයෝජනයක් මින් පෙර තිබිල නැහැ.
නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ආංඩුවට වුවමනාවක් තිබෙනවා. විදුලි බිල සියයට 30ක් අඩුවී තිබෙනවා. තවත් අඩු විය යුතුයි. පුනර්ජනනීය බල ශක්තියට අප වේගයෙන් ගමන් කරමින් සිටිනවා.
සම්ප්‍රදායෙන් බැහැරව අවශ්‍ය ශ්‍රම සම්පත අනුව අධ්‍යාපනය සකස් වෙනවා. නව පර්යේෂණ සඳහාද මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.අලුත් කර්මාන්තපුර සඳහා ද මුදල් වෙන්වී තිබෙනවා. කර්මාන්තපුර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ජාතික පලදායිතා ලේකම් කාර්යාලය කර්මාන්ත සඳහා උදව් කරන ආයතනයක්. ඉන් කර්මාන්තකරුවන් ප්‍රයෝජන නොගැනීම කනගාටුවට කරුණක්. අප සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.
දේශීය නිෂ්පාදන මත පනවා ඇති වැට් බද්ද අඩු කරන්න බැහැ. ආදායම් බදු මේ වසරේදීත් අඩු වන්නේ නැහැ. වසර 2-3 යනවිට බදු අඩු කර ගන්න පුළුවන්.
තවදුරටත් මහ බැංකුව කරන අයුක්ති සහගත පවරා ගැනීම්වලට අපි විරුද්ධයි. සමහරු මිලියන 300 ක් වටිනා ඉඩමට මිලියන 150 ක් ණය අරන්. ඒ ඉඩම පවරා ගත්තාම කර්මාන්තය නැති වෙනවා. කළ යුත්තේ තවත් මුදලක්දී කර්මාන්තය නගා සිටුවීමයි. පළපුරුදු අත්දැකීම් බහුල ව්‍යවසායකයන් ඉවත් කර අලුත් ව්‍යවසායකයන්ගෙන් පමණක් නිෂ්පාදන ආර්ථිකයකට යන්න අමාරුයි. ඒත් සමහර කර්මාන්තවල කළමනාකරණ ගැටලු නිසා ගොඩ දා ගන්න අමාරුයි. සංචාරක හා ගොඩනැගිලි ක්ෂෙත්‍රයත් අපහසු තැනක තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපරවල ණය ප්‍රශ්න තිබෙනවා. ඉතා හොඳින් දුවපු කර්මාන්ත ණය අර්බුදයට ගිහින්. අප කර්මාන්ත සඳහා බලවත් දිස්ත්‍රික් කමිටු පත් කරගෙන යනවා. එවිට මීට වඩා වේගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්.
මෙම රැස්වීම අමතා කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා තිවංකා ප්‍රේමරත්න, කළුතර ෆුලර්ටන් කර්මාන්ත හා ආයෝජකයන්ගේ සංගමයේ සභාපති සුරේෂ් පෙරේරා, ලේකම් චින්තක දයානන්ද හා භාණ්ඩාගාරික චනුක පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කීප දෙනෙක්ම කතා කළහ.
කළුතර කර්මාන්ත පුරයේ ගැටළු රැසක්