IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගෘහ කර්මාන්තවලට පණදෙන්න ආණ්ඩුවට පුළුවන්ද ?

දෙවැනි ලෝක මහා සංග්‍රාමයට පෙර ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත සීමාවී තිබුණේ වෙළෙඳාම පිණිස නොයෙක් කෘෂිකර්ම නිෂ්පාදන සකස්කර ගැනීමට පමණකි. ඒ හේතුවෙන් තේ වතුවල තේ නිෂ්පාදනයට ද රබර් වතුවල ක්‍රෙප් රබර් සහ සීට් රබර් සාදා ගැනීමට ද හැකිවන පරිදි යන්ත්‍රෝපකරණ සවිකර තිබුණේය.

මෙරට රබර් කර්මාන්තය දියුණු වුණේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවාත් සමගම ඇමරිකාව සහ චීනය කොරියානු යුද්ධයට පැටලීමෙනි. චීනයට වුවමනාවූ රබර් සැපයීමෙන් ලංකාවට මහත් ධනයක් එදා ගලා ආවේය. යුද්ධය අවසන් වූ පසු එම ආදායම ද  විශාල වශයෙන් අඩුවිය.
දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙද්දී පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත විශාල සංඛ්‍යාවක් රට තුළ දියුණු විය. පොල්තෙල් කර්මාන්ත ශාලා හා යන්ත්‍ර මගින් කපාපු පොල් නිෂ්පාදනයද කොහු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා හා පොල් රාවලින් අරක්කු පෙරීම මහා පරිමාණයෙන් සිදුවිය. බ්‍රිතාන්‍යයන් මෙරටින් නික්ම ගොස් දශක දෙකක් ගෙවී යන්නටත් පෙරම පොල් ගස ආශ්‍රිතව මහත් ආදායමක් ලැබුණු කර්මාන්තයට හෙනහුරා ලැබුවේය.

හම්බන්තොට කපු වගාව නූතන සමාජයට අසන්නට ආගන්තුක මාතෘකාවකි. වැල්ලවත්තේ තිබූ පෙහෙකම්හල සඳහා හම්බන්තොට හේන්වල වැවු කපු පුළුන් විශාල වශයෙන් සැපයීමෙන් කපු ගොවියාගේ අතමිට සරුවිය. වැල්ලවත්තේ මෝලෙන් රටට රෙදි ද විශාල පිරිසකට රැකියා ද ලැබුණේය. අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය යටතේ විසිදහසක පමණ ග්‍රාමීය ජනතාවක් එදිනෙදා ජීවිකාව සොයා ගත්හ. මේ සියල්ල වැසී ගියේ බ්‍රිතාන්‍ය පාලකයන් මෙරටින් නික්ම ගොස් දශක තුනක් ගතවන්නටත් පෙරාතුවය. කළුතර ඉඳිකොළ තොප්පි හා මලු පානදුර හා මඩකළපුවේ පන් පැදුරු, උඩ පහතරට ප්‍රකට වූ කිතුල් හකුරු වැනි ගෘහ කර්මාන්ත ද 1977 න් පසු වේගයෙන් ගලා ආ ආදේශක භාණ්ඩ නිසා විනාශ වී ගියේය.


වර්තමාන රජයටත් මෙම ගෘහ කර්මාන්තවලට යළි පණදිය නොහැක්කේ ඇයි?
විශාල නවීන කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ඊට අවශ්‍ය මූලික බලය ලංකාවේ නැත. ඒ සඳහා විශාල වශයෙන් විදුලි සැපයුමක් අවශ්‍ය වන අතර, ඒ සඳහා ගල් අඟුරු කැටයක්වත් ලංකාවේ පිහිටා නැත. එකම ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සපයා ගැනීමත් කෝටි ගණනක විශාල වියදමකි. ඉන්දියාවේ ගල් අඟුරු නිධි පිහිටා ඇති අතර එරටට එවැනි බලශක්ති ප්‍රශ්නයක් නැත.

මෙරට ඇති යපස් සම්පත ද ඉතා අල්පය. පොසිල ඉන්ධන ද මෙරට නැත. ගෑස් ද නැත.

කර්මාන්ත ඇරඹීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙරට නොමැති හෙයින් කර්මාන්ත අංශයෙන් මෙරටට ඉදිරි ගමනක් නැත.

එයට අමතරව මහා කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා කම්කරු  ශ්‍රමය ද මෙරට ප්‍රමාණවත්ව නැත. කම්කරු නීති හේතුවෙන් ලාබදායක කම්කරු ශ්‍රමය විකිණීමට මෙරට කම්කරුවා සූදානම් නොවීම එයට හේතුවය. ඉන්දියාව, චීනය වැනි රටවල ඉතා අවම මුදලකට තම ශ්‍රමය විකිණීමට සූදානම් කම්කරු පන්තියක් සිටියි. මේ නිසා එම රටවල කර්මාන්ත අංශය දිනෙන් දිනම දියුණු වේ.

ලංකාවේ සිදුකළ හැක්කේ බැර කර්මාන්ත නොව ලුහු කර්මාන්තය. 1960-70 දශකවල මෙරට යට ඇඳුම් (වෙලෝනා මේස් බැනියම්) මදුරු දැල්, සිසිල් බීම, බීර, ගිනි පෙට්ටි සහ සබන් ආදිය කුඩා කර්මාන්ත විශාල දියුණුවකට පා තැබුවේය. මේ සියලු කර්මාන්ත ඊළඟ දශකයේ සම්පූර්ණයෙන්ම පාහේ ඇද වැටුණි. එකල ගිනිපෙට්ටි නිෂ්පාදනය කෙරුණේ මෙරට වැවෙන අරටුවක් නැති ගස් ඉරා ගන්නා ලී පතුරෙනි. නූතනයේ ගිනි පෙට්ටි නිපදවන්නේ විදේශයෙන් ගෙන එන ඉටි යොදා ගැනීමෙනි. එය දේශීය කර්මාන්තයක් නොවේ.

දෙවැනි ලෝක මහා සංග්‍රාමය සමයේ නැව් ගමනාගමනය සීමා වීමෙන් ‘‘සියරට දේ සිරි සැපදේ’’ යන සංකල්පය මගින් මෙරට කුඩා කර්මාන්ත විශාල දියුණුවකට පත් විය. මෙරට දියුණුවේ මාර්ගය එය බව එකල බ්‍රිතාන්‍ය පාලකයන් තුළ තිබූ මතය වෙනස් වූයේ පසුකාලීනව බලයට ආ දේශීය  පාලක පන්තිය නිසාය.

බ්‍රිතාන්‍ය සමයේ පොල්ගස සැබැවින්ම කප්රුක ලෙසට සැලකිණි. පොල් ගසේ ද නිෂ්පාදන රට පටවා කපාපු පොල්, පොල්තෙල්, කොප්පරා, කොහු, පුන්නක්කු සහ ග්ලිසරින් යන පොල් ගස ආශ්‍රිත නිෂ්පාදන මෙරටට මහත් ආදායමක් ගෙන ආවද වර්තමානය වන විට කපාපු පොල්, පිටිකළ පොල් කිරි සහ දියර පොල් කිරි හැරෙන්නට ඉතිරි නිෂ්පාදන අඩපණවී තිබේ.

1960 වන විට ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන වාර්තාවක් සැපයූ ලෝක බැංකු ව්‍යාපාරය මෙරට ආරම්භ කිරීමට උත්සාහ කළ කර්මාන්ත ගණනාවක්ම අතහරින ලෙස උපදෙස් දුන්නේය. වානේ, පොහොර, කඩදාසි, එළවළු තෙල් එවැනි කර්මාන්ත කිහිපයකි. මේවා ආරම්භ කිරීමට අමුද්‍රව්‍ය හා පුහුණු ශ්‍රමය  ප්‍රමාණවත් නැති බව ඔවුන්ගේ මතය විය. පසුව ශ්‍රී ලනිප රජය විසින්ම රුසියානු හා සමාජවාදී රටවල ආධාරයෙන් මෙම කර්මාන්ත ශාලා ආරම්භ කළ ද වසර කීපයකට පසු වැසී ගියේ ලෝක බැංකු උපදෙස් සිහිගන්වමිනි.

ලෝක බැංකුව එදා පැවසූ විදුලි බලය, ඛනිජ තෙල් සහ ජලය හෝ බෙහෙවින් වුවමනා නොවන කර්මාන්ත තෝරා ගන්නැයි කළ නිර්දේශය නූතනයටද ගැලපෙයි. අදටද මෙරට ගෘහස්ථ පාරිභෝජනයට හැර කර්මාන්ත සඳහා ප්‍රමාණවත් විදුලි බල සැපයුමක් නැත. ජල මූලාශ්‍ර ප්‍රමාණවත් වන්නේ බීමට සහ ගොවිතැනට පමණකි. නියං සමයට එය ද ප්‍රමාණවත් නැත. ඛනිජ තෙල් මත දුවන කර්මාන්ත ඇති කිරීම තබා රථවාහන ටික ධාවනයට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කරන්නේද ඉතා අපහසුවෙනි. මේ නිසා එදා ලෝක බැංකුව උපදෙස් දුන්නේ මෙරට ආරම්භ කළ යුතු සියලු කර්මාන්ත ස්වදේශීය අමුද්‍රව්‍ය භාවිත කරන කර්මාන්තම විය යුතු බවය. එසේම එයින් නිපදවෙන ද්‍රව්‍ය පහසුවෙන් මෙරට ජනතාවට විකිණිය හැකි විය යුතුය. ලෝක බැංකු උපදෙස අද තත්වයට ද ඉතා ගැලපේ.

ඒ නිසා මෙරටට ගැලපෙන්නේ ලුහු (කුඩා) කර්මාන්ත මිස මහා පරිමාණ කර්මාන්ත නොවේ. පිටරටින් ආනයනය කරන අමුද්‍රව්‍ය යොදවා ආරම්භ කරන කිසිම කර්මාන්තයක් පාඩු ලබනවා මිස ලාබ ලබන්නේ නැත. මූලික අමුද්‍රව්‍ය සඳහා අතිවිශාල විදේශ විනිමයක් වැය කිරීමට සිදුවීම එයට හේතුවය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය ඇරඹු කර්මාන්ත යෝජනාක්‍රම කිහිපයෙන් පසු කිසිම රජයක් මහා පරිමාණ කම්හල් ආරම්භ කිරීමට උත්සාහ නොකිරීමට හේතුව ද එය ය. කුලියාපිටියේ මෝටර් රථ කම්හල වැනි දේශපාලන ‘‘ප්‍රහසන’’ අද වන විට අසාර්ථක වී ඇති ආකාරය හොඳින් දැකගත හැකිය. කළ යුත්තේ මෙරට වැවෙන සහ නිපැදෙන දෑ ඇසුරින් කුඩා කර්මාන්ත ජාලයක් යළි ආරම්භ කිරීමට උත්සාහ කිරීමය.

ආනයනික සීනි වෙනුවට කිතුල් සහ පොල් හකුරු, ගොවිතැන සඳහා අවශ්‍ය වන උපකරණ නිෂ්පාදනය, පොල් යොදා නිපැදවෙන බීර සහ අරක්කු කර්මාන්තවලට යළි පණ දිය හැකිය. විදේශයෙන් ආනයනය කරන එතනෝල් යොදා මහා පරිමාණයෙන් අරක්කු  නිපදවීම අද සිදුවේ. ඒ වෙනුවට දේශීය පොල් ගස ආශ්‍රයෙන් යටත් විජිත යුගයේ රත්මලාන සිට ගාල්ල දක්වා යහමින් සිදුවූ අරක්කු රේන්ද ව්‍යාපාරයට පණදීමට ශක්තියක් රජයට තිබේනම් අතිවිශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පැවැති ආණ්ඩු කී ලෙසටම දේශීය ආර්ථිකයක් ගැන මෙවර අයවැයේදී කතා කළද එය සඵල කරගත හැකි වන්නේ භාවිතයෙනි. ඒ සඳහා ධෛර්යය ජනාධිපතිවරයාට තිබේදැයි තවම පැහැදිලි නැත.



අදහස් (0)

ගෘහ කර්මාන්තවලට පණදෙන්න ආණ්ඩුවට පුළුවන්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site