සාරා කන්දෙගොඩ
2025 අයවැය යෝජනා අතර ව්‍යවසායකත්වය සංවර්ධනය කරන පෙරැළිකාර යෝජනාවක් තිබේ. රාජ්‍ය බැංකු සමග පරිපාලනය වන අලුත් ණය ඇපකර ආයතනයක් ස්ථාපිත කරනු ඇත. ඉකුත් මැතිවරණවලදී දේශපාලන පක්ෂයක් වශයෙන් ප්‍රචාරක කටයුතු කරන, ජාතික ජන බලවේගය ණය ගෙවාගත නොහැකි ව්‍යවසායකයන්ට අලුත් ණය ලබා දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත බලගන්වන බව කියා සිටියේය. කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් ඇති කරන ලද විපාක හා එයින් පසු ඇති වූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී සිටි මෙරට ව්‍යවසායකයන්ට එය හොඳ අදහසක් සේ දැනිණ.
ණයක් ගෙවාගත නොහැකි අතරවාරයේ තවත් ණයක් නිකුත්කිරීම අවදානමකි. සමුප්‍රදායික මුල්‍ය ආයතන එයට සූදානම් නැත. ඇතැම් වාණිජ බැංකු හා ෆිනෑන්ස් සමාගම් ගනුදෙනුකරු සමග සාකච්ඡාකර ව්‍යවසාය සඳහා ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම්ය. එහි දී නොගෙවූ කොටස, එයට අයවිය යුතු පොලිය හා සමහරවිට අධිභාරයක් එකතුකර එය අලුත් ණයක් සේ වාරික වශයෙන් ගෙවාගෙන යන්නට ගිවිසුම් අලුත් කරයි. එහි දී පවා ණය සඳහා ඇපකරය ප්‍රමාණවත් විය යුතුවේ.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය ජනතාවගේ ණය සාක්ෂතාව ප්‍රමාණවත් නැත. ණයක් ගැනීමට ව්‍යවසායකයෝ මුල්‍ය ආයතනවලට නිතර යන එන නමුත් ණය ගැනීමෙන් පසු සබඳතා දුරස්වේ. වාරික ගෙවීම අක්‍රමවත්වන පසු ණය නිකුත් කළ බැංකු එවන ලිපිවලට පවා පිළිතුරු දෙන්නේ නැත. මෙහි දී ද්වී පාර්ශ්වික අවබෝධය බිඳ වැටේ. එය පාඩමක් සේ සලකන බැංකු අලුත් ව්‍යවසායකයන්ට උපකාර කිරීම වෙනුවට සිය ධනය පහසු ආයෝජන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල යොදවන බව පෙනේ. එය ආර්ථිකයකට සිදුවන බරපතළ අවාසියකි.
ආර්ථිකයක වැදගත් තැනක් ගන්නා ව්‍යවසායකත්වය
ආසියානු සංවර්ධන බැංකුවට අනුව ආසියානු කලාපයේ රටවල් විස්සක තොරතුරු හුවා දක්වන අතර එම රටවල ව්‍යාපාරවලින් සියයට අනූ හයක් සුළු හා මධ්‍ය පරිමාණ වන අතර සියයට හැට දෙකක් එම රටවල රැකියා සපයන්නට දායක වී තිබේ. එහි වාර්තාවකට අනුව සියයට අසූවක් ව්‍යවසායකයෝ චීනයේ වෙළෙඳාමට දායක වෙති. ඉන්දියාවේ හා දකුණු කොරියාවේ එම ප්‍රතිශතය සියයට හතළිහකි. තායිලන්තයේ සියයට විසිනමයක ප්‍රතිශතයක් හා මලයාසියාවේ සියයට දහ හතක ප්‍රතිශතයක් වශයෙන් ව්‍යවසායකයෝ එම රටවල වෙළෙඳාමට සම්බන්ධ වන බව දැක්වේ.
ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය කොපමණ ද යන්න නිශ්චිත නොවේ. කෙසේ නමුත් මෙරට ව්‍යවසාය අංශය පැතිරී නැත. සුළු වශයෙන් යමක් ආරම්භ කරන ව්‍යවසායකයන් අතරින් බාධක මැඩගෙන ඉදිරියට යන කොටස සීමිතය. ගැටලු මතුවන පසු එය අත්හැර ස්ථිර රැකියාවකට ඇතුළුවීමට වෑයම් කරති. මෙකල බහුතරයක් දෙනා කෙසේ හෝ වෙනත් රටකට නික්මයෑමේ අදහසකින් පසුවේ. කුඩා ව්‍යවසායක් ආරම්භ කරන අතර ප්‍රාග්ධනය සොයාගැනීම පහසු නැත. නාගරික ප්‍රදේශයක ඉඩමක් මිල දී ගැනීම හෝ කුලී පදනමකින් ලබාගත් පසු එහි පිරිවැය අනුව අලුත් නිෂ්පාදනයක් හෝ සේවා අංශයක් කරා ඇතුළුවිම දුෂ්කරය. දුර බැහැර තැනෙක ව්‍යාපාරය ආරම්භ කළහොත් ප්‍රවාහන ගැටලු ඇතිවේ. ශ්‍රමය, අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණ මෙවලම්වලට කළයුතු ආයෝජනය කිසිසේත් පහසු නැත. ව්‍යාපාර හිතකරභාවය අවම බව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සඳහන් කළේය. එම රාමුව වෙනස් කිරීම ආණ්ඩුවේ අභිලාහය වී තිබේ.
ව්‍යවසාය පහසු කරන අරමුණ සහිත ක්‍රියාපටිපාටියක් වශයෙන් ඇපකර ආයතනයක සංකල්පය ඉතාම වැදගත්ය. ව්‍යවසායයක් ආරම්භ කරන ධෛර්යයක් සහිත තරුණන් සඳහා ඇප කොන්දේසි සාක්ෂාත් කරන විකල්ප පියවරක් වශයෙන් හඳුන්වාදෙන්නේ නම් සුදුසුය. ආරම්භයක් වශයෙන් වාණිජ බැංකු අතර එකඟතාවකින් මෙම ආයතනය අරඹන බව අය වැය යෝජනාවල කියැවිණ.
ජනසවිය ණය, සමෘද්ධි ණය, ගම් පෙරැළිය හා ක්ෂුද්‍ර මූල්‍ය ණය
ආණ්ඩු බලයට පත්වන පසු දේශපාලන ප්‍රචාරණ සැලැසුම් වශයෙන් ස්වයං රැකියා ණය යොජනා ක්‍රම විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ. නියම කරන පිළිවෙළ අනුව තෝරාගත් තරුණ තරුණියන්ට කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමටට ණය පහසුකම් සපයන අතර ඒවායෙන් විශාල ප්‍රමාණයක් අසාර්ථකය. ආණ්ඩුව පරාජයට පත් වන පසු රජයේ බැංකු ඒවා ආපසු හරවන අතර අලුත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි රාමුව සකස්කරයි. දස දහස් ගණනක් පිරිසකට යොදවන ණය අවසානයේ දී වෙනත් අංශවලින් ආවරණය කර ගැනේ. ණය ලබාගත් ව්‍යවසායකයන් පවා අධික පොලිය ගෙවාගත නොහැකිව ඇපකර පවා අහිමි කරගත් අවස්ථා තිබේ. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුරය, පොලොන්නරුව, යාපනය හා වව්නියාව වැනි ප්‍රදේශවල කාන්තාවන් ගොදුරු වී ඇති තරම මාධ්‍ය මගින් වරින්වර අනාවරණය කර ඇත. කාන්තාවන්ට සිදුවූ බලපෑම් හේතු කොටගෙන සිය දිවි නසාගත් කාන්තාවන් දුක්මුසු වාර්තා පවා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.
මෑත කාලීන දේශපාලනයේ ශෝකාන්ත අතර මෙකී ණය ගැන සිද්ධි විශාල ප්‍රමාණයක් ඇත. ණය ගෙවාගත නොහැකි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය දේපොල වෙන්දේසි කරන අතරවාරයේ මහත් වේදනාවට පත් වු අවස්ථා සහ ඒවා මැදිහත්ව බේරාගැනීමට කරන ලද උත්සාහ අවසානයේ දී මනුෂ්‍ය ඝාතන සිදු වූ බව ද මතක් කළ යුතුය. ණය ඇපකර ආයතනයක් පමණක් නොව ණය ආපසු ගෙවාගත නොහැකි පිරිස් ගැන සොයාබලා ඔවුන් වෙනුවෙන් කිසියම් ආකෘතියක් අලුතින් හඳුන්වාදීම පවා ඉතාම කාලෝචිතය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2024 පළමු කාර්තුවේ විරුකියා අනුපාතය සියයට 4.5 කි. මෙරට වයස අවුරුදු 20-24 අතර ජනකොටස විරැකියාවෙන් වැඩිම පීඩනයක පසුවේ. උසස් පෙළ සමත් තරුණන්ගෙන් සියයට 8.7ක් හා තරුණියන්ගෙන් සියයට 11 කට රැකියා නැත. 2025 අය වැය මගින් රජයේ සේවයට තිස් දහසක් බඳවා ගන්නා බව ප්‍රකාශ කළ නමුත් එය සම්පූර්ණ විසඳුමක් නොවේ. තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවිතයේ දීප්තිමත්ම අවධියේ ආර්ථික උත්පාදනයක් රහිත පසුබිමක ජීවත්වෙති.
ඇපකර ආයතනයක් හා එක නිෂ්පාදනයක් සංකල්පය
තායිලන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අතර වෙනස් සංකල්පයක් තිබේ. තෝරාගත් ප්‍රදේශයක පවතින සම්පත් හඳුනාගෙන එහි එක විශේෂිත සේවාවක් හෝ සුළු කර්මාන්ත ආරම්භ කෙරේ. එක ගමක් එක ව්‍යාපෘතියක් යන න්‍යාය හඳුන්වා දී ඇත. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ මහ ඇමැතිවරයා ද එය අනුගමනය කර ඇත. වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් යමක් නිපදවන බැවින් එහි සාමුහිකත්වයක් තිබේ. ජනාධිපතිවරයා අය වැය යොජනාවලදී කිරි නිෂ්පාදනය ගැන ප්‍රකාශ කරන ලද පරිදි සමුපකාර සමිති වැඩ පිළිවෙළ හා සමානය. එකම දෙයක් නිපදවන බැවින් මහා පරිමාණයෙන් වෙළෙඳ පොළට අවශ්‍ය පරිදි සැකසේ. තොග මිල දී ගන්නා පිරිසට එකවර භාණ්ඩ ප්‍රමාණයක් අත්පත් කරගත හැකි අතර එය අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය ප්‍රවාහන පිරිවැය ද සීමා කර ඇත. උසස් ප්‍රමිතියෙකින් නිපදවන දේ අපනයනය කෙරේ.
තායිලන්තයේ එක ගම්මානයක් පිටරටවලින් මැණික් ආනයනය කර කපා ඔප දමා නැවත අපනයනය කරන තරමට ශක්තිමත්ය. උත්තර ප්‍රදේශ් හි අතින් කරන ලද කඩදාසි අත්කම්, වූල් කාපට්, මෘදු සෙල්ලම් බඩු එක එක ස්ථානවල සකස්වේ. මේවා සඳහා ප්‍රාග්ධනය සැපැයීම පහසුය. අපකරුවන් එකිනෙකා සම්බන්ධ වී සිටී. තාක්ෂණික ප්‍රශ්න හමුවේ පොදුවේ තීරණ ගැනේ. නිලධාරීන්ට උපදෙස් සැපයීම පහසුය. ණය විපරම් කිරීම පවා එම කර්මාන්ත හෝ ව්‍යවසාය ගැන අවබෝධයක් ඇති පුහුණු නිලධාරීන් ලවා කළ හැකිය.
වෙළෙඳ පොළ ඉල්ලන ප්‍රමාණයට සැපැයිය නොහැකිවීම ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සම්බන්ධයෙන් ප්‍රශ්නයකි’. එක තැනෙක සුරතල් මසුන් ඇතිකරන අතර එය ගැන නොදන්නා බැංකු ඇප සහිතව හෝ ණය දෙන්නේ නැත. තවත් තැනෙක මල් වගා කරන නමුත් රක්ෂණයක් රහිතව ණය නිකුත් නොකෙරේ. තවත් තැනෙක කිරි දෙනුන් ඇතිකරන අතර තවත් ව්‍යවසායකයකු ඇඟලුම් නිෂ්පාදනයෙහි නිරතය. එක තැනෙක එකක් හා අනෙක් තැනෙක තවත් ව්‍යවසායක් හෙයින් උපදෙස් සැපැයීම හා නගාසිටුවන පුහුණු වැඩසටහන් පවා අධික පිරිවැයක් සහිතය. මෙම අංශ සාමුහිකත්වයට යොමු කර එක ප්‍රදේශකයකට ගැළපෙන එක දෙයක් සූදානම් කිරීම සුදුසු අතර එය ඇපකර ආයතනයකට ද අවස්ථාවකි.
ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වීමෙන් පසු තැන්පත් රක්ෂණයක් ක්‍රියාත්මකය. ආරම්භයේ දී පිළිගත් බැංකුවල රුපියල් ලක්ෂ හයක් දක්වා තැන්පත් සඳහා වගකියන රක්ෂණ අරමුදලක් ආරම්භ කළේය. දැන් එය සෑම තැන්පත්කරුවකුගේම රුපියල් මිලියනයක් දක්වා ආරක්ෂා කරන තරමට සංවිධිත වී ඇත. ණය ඇපකරණය ද එයට සමාන්තරව ආරම්භ කළ හැකිවේ. බැංකු කොටස් නිකුත් කර ඇපකර අරමුදලක් සම්පාදනය කළ හැකි අතර එයට වෙනම සංවර්ධන බැංකුවක් අවශ්‍ය නැත. දැනටමත් රටට අවශ්‍ය ප්‍රමාණයකටත් වඩා වාණිජ බැංකු තිබේ. මෙම බැංකු එකඟතාවෙන් යොදවන අරමුදලක් බිහිකළ පසු එහි ආවරණය මත තෝරාගත් ව්‍යවසායකයන් සඳහා ඇප රහිත ණය නිකුත් කළ හැකිවේ. සුදුසු ව්‍යවසායකයන් තෝරාගැනීමට මණ්ඩලයක් පත් කළ හැකිවේ. එක ගමක් එක නිෂ්පාදනයක් කළහොත් අපනයනයට ද අවස්ථාවක් තිබේ.
එක ගමකින් අපනයනයට ඉලක්ක හැදීම
ශ්‍රී ලංකාව මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් ඉලක්ක කරයි. පසුගිය වසරේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 13 සමග සසඳන පසු එය පහසු ඉලක්කයක් නොවේ. වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන තිස් හයක අපනයන ආදායමක් වත්මන් ආණ්ඩුව සැලසුම් කර ඇත. රටට අවශ්‍ය දේ ගෙන්වන අතර විදේශ ණය හා පොලිය ආපසු ගෙවීම සඳහා විනිමය සොයාගන්නට සිදුවේ. සංවර්ධන ණය ආපසු ගෙවන සැලැස්ම වසර 2028 වන විට අරඹන අවස්ථාවේ දී එයට ප්‍රමාණවත් විනිමය නොතිබුණහොත් රටට නැවත වටයකින් ගැටලු ඇති වන බව සැලකිය යුතුය. දැනටමත් ශ්‍රී ලංකාවේ විනිමය සංචිත ආනයනය සඳහා ඉතාම පරෙස්සමෙන් භාවිතකරන තැනක පවතී. මෙහි පීඩනය අවම කරන පියවරක් වශයෙන් වහාම විනිමය උපයන අලුත් ක්‍රමවේද සාකච්ඡා කළ යුතුය. අලුත් දේ නිපදවන අතර ඒ සඳහා වෙළෙඳ පොළ සොයාගත යුතුව තිබේ.
මෙහි දී ණය ඇපකර ආයතනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, අපනයන සැලසුම් හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති එකට ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. ඉන්දියාව, චීනය යන රටවල සැලකිය යුතු වෙළෙඳ පොළක් තිබේ. මෙරට කරන නිෂ්පාදනවලට මහා පරිමාණයෙන් ඉල්ලුමක් ඇත. ඇඟලුම් හා කුළු බඩුවලින්න පිටස්තර අලුත් දේ සොයාගත යුතුය. වෙළෙඳ ගිවිසුම් අලුතින් සකස් කරන්නට ආණ්ඩුව අවධානය යොමු කර ඇත. විදේශ රටවල තානාපති කාර්යාලවලට අපනයන වෙළෙඳ පෙළෙ සම්බන්ධ වගකීමක් පවරන්නට සූදානම් බව පෙනේ. හුදෙක් ඇපකර ආයතනයක් පමණක් නොව එය සංවිධානාත්මකව ඇතිකළහොත් පිටරටවලට අවශ්‍ය දේ සොයාබලා නිපදවන අතර ඒවා අලුතින් නිපදවන ගම්මානවලට ඇප රහිත ණය ක්‍රම හඳුන්වා දිය හැකිවේ. එය දැනට පවතින ආර්ථික රාමුවෙන් ඔබ්බට විහිදෙන අලුත් අවකාශයක් වනු ඇත.
ජාතික ණය ඇපකර ආයතනයක් කාටද