IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දියර කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිතද?

 

ජගත් කිරි නිෂ්පාදනය සියයට 77කින් ඉහළට
2023 නිපදවා ඇත්තේ මුළු අවශ්‍යතාවෙන් සියයට 30.86ක්
සියයට 43.34ක් ආනයනය කරලා
2023 දියර කිරි නිෂ්පාදනය ලීටර් 9,678,585කින් අඩු වෙලා
වැඩිම කිරි නිෂ්පාදනය මධ්‍යම පළාතෙන්
2023 දී එළ ගවයන් 23,499ක් සහ මී ගවයන් 10,480ක් අඩු වෙලා


හාරිස්පත්තුව - මොහොමඩ් ආසික්


එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලෝක ආහාර සහ කෘෂිකර්ම වැඩසටහන පවසන ආකාරයට, ලොව පුරා පවුල් දසලක්ෂ 150ක් (කෝටි 15ක්) ඍජුවම දියර කිරි නිෂ්පාදනයේ නියැළී සිටී. සංවර්ධිත රටවල දියර කිරි නිෂ්පාදනයේ යෙදී සිටින්නේ වැඩි වශයෙන් සුළු සහ මධ්‍යම මට්ටමේ නිෂ්පාදකයන් බවත් එහි සඳහන් වෙයි. 

එම සංවිධානය පවසන ආකාරයට, පසුගිය දශක තුනක කාලය තුළ ජගත් දියර කිරි නිෂ්පාදනය සියයට 77කින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය. 1992 වසරේ වාර්තා වී ඇති ටොන් දසලක්ෂ 524ක ප්‍රමාණය 2022 වන විට ටොන් දසලක්ෂ 930 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

කිරි ආශ්‍රිත ජගත් වෙළෙඳපොළ ගැන අවධානය යොමු කිරීමේදී ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ, 2023 වසරේ ලෝක කිරි වෙළෙඳපොළ ඩොලර් බිලියන 893ක් පමණ වූ බවත්, එය 2028 වන විට ඩොලර් බිලියන 1,243ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණනය කර ඇති බවත්ය. 

මෙම ජාත්‍යන්තර දත්ත සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයේ තත්වය කෙබඳු ද? පසුගිය වසරවල කිරි සඳහා තිබූ හිඟය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත අනුව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත විමර්ශනය කර බැලීමේදී පෙනී යන්නේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි ලීටර් දසලක්ෂ 1,200න් (ලීටර් කෝටි 120ක්) ශ්‍රී ලංකාව තුළ 2023 වසරේ නිෂ්පාදනය කර ඇත්තේ, ලීටර් දසලක්ෂ 370.32ක් හෙවත්‌ අවශ්‍ය මුළු කිරි ප්‍රමාණයෙන් සියයට 30.86ක් පමණක් බවය. ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් සියයට 43.34ක් හෙවත් ලීටර් දසලක්ෂ 520.08ක් ආනයනය කර තිබේ. 

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබා දී ඇති දත්ත අනුව, 2022 වසරේදී දේශීයව නිෂ්පාදනය කර ඇති මුළු දියර කිරි ප්‍රමාණය ලීටර් 380‌,002,467 (තිස්අට කෝටි දෙදහස් හාරසිය හැටහතක්) වන අතර, 2023 වසරේ නිෂ්පාදය කර ඇති මුළු දියර කිරි ප්‍රමාණය ලීටර් 370,3‍23,882 (තිස්හත් කෝටි තුන් ලක්ෂ විසිතුන් දහස් අටසිය අසූ දෙක) කි. 2022 වසරේ නිෂ්පාදනය කළ දියර කිරි ප්‍රමාණයෙන් ලීටර් 9,678,585ක් 2023 වසරේදී අඩු වී ඇති බව එම දත්ත අනුව පෙනී යයි.

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පශු සම්පත් සැලසුම් හා ආර්ථික) වෛද්‍ය කේ.එම්.එච්.ජී. සරත් ප්‍රියන්ත මහතා ලබා දී ඇති තොරතුරු අනුව, 2023 වසරේ ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික් මට්ටමින් දියර කිරි නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයන් මෙසේය. 

කොළඹ දිස්ත්‍රික්කයේ ලීටර් 6,325,833ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ලීටර් 17,106,742ක්, කළුතර දිස්ත්‍රික්කයේ ලීටර් 10,891,098ක් වශයෙන් බස්නාහිර පළාතේ දියර කිරි ලීටර් 34,323,673ක් නිෂ්පාදනය කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ලීටර් 10,638,940ක් නිෂ්පාදනය කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කය් ලීටර් 10,571,598ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 53,828,234ක් ඇතුළුව මධ්‍යම පළාතේ කිරි ලීටර් 75,039,067ක් 2023 වසරේ නිෂ්පාදනය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 8,424,978ක්, මාතර දිස්ත්‍රික්කයේ ලීටර් 5,031,282ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලීටර් 15,190,860ක් ඇතුළුව දකුණු පළාතේ ලීටර් 28,647,120ක් නිපදවා තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ලීටර් 17,044,922ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ලීටර් 5,852,921ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ ලීටර් 1,974,909ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ ලීටර් 13,321,132ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 6,927,892ක් ඇතුළුව උතුරු පළාතේ දියර කිරි ලීටර් 45,121,776ක් නිපදවා ඇති බව තොරතුරුවල සඳහන්ය. 

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 5,176,627ක් නිෂ්පාදනය කර ඇති අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලීටර් 9,027,214ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලීටර් 12,862,342ක් ඇතුළුව නැගෙනහිර පළාතේ කිරි ලීටර් 27,062,183ක් නිෂ්පාදනය කර ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 43,565,746ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 13,518,207ක් ඇතුළුව වයඹ පළාතේ කිරි ලීටර් 57,083,953ක් නිෂ්පාදනය කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 51,128,081ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලීටර් 14,365,485ක් ද ඇතුළුව උතුරු මැද පළාතේ 2023 වසරේදී දියර කිරි ලීටර් 65,493,566ක් නිපදවා තිබේ. 

බදුල්ල දිස්ත්‍රික්කයේ කිරි ලීටර් 19,605,339ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ලීටර් 11,699,543ක් ද ඇතුළුව ඌව පළාතේ 2023 වසරේදී කිරි ලීටර් 31,304,882ක් නිපදවා ඇති බවත් එහි සඳහන් වෙයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ලීටර් 3,771,625ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලීටර් 2,476,037ක් ද ඇතුළුව සබරගමුව පළාතේ කිරි ලීටර් 6,247,662ක් නිපදවා ඇති බවත් තොරතුරුවල සඳහන් කර තිබේ.

දිවයිනේ පළාත් වශයෙන් ගත් විට වැඩිම දියර කිරි ප්‍රමාණයක් 2023 වසරේදී නිෂ්පාදනය කර ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර, එම ප්‍රමාණය ලීටර් 75,039,967ක් වෙයි. දෙවැනි ස්ථානයට උතුරු මැද පළාතෙන් කිරි නිෂ්පාදනය වී ඇති අතර, එම ප්‍රමාණය ලීටර් 65,493,566ක් වෙයි. තෙවැනි ස්ථානයට දියර කිරි නිෂ්පාදනය කර ඇත්තේ වයඹ පළාත වන අතර, එම පළාතෙන් කිරි ලීටර් 57,083,953ක් නිපදවා තිබේ. 

2023 වසරේදී සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ දියර කිරි ලීටර් 370,323,882 (තිස්හත් කෝටි තුන් ලක්ෂ විසිතුන් දහස් අටසිය අසූදෙකක්) ක් නිෂ්පාදනය කර ඇති අතර, එය මුළු දේශීය අවශ්‍යතාවෙන් සියයට 30.86ක් වෙයි. තවත් සියයට 43.34ක් 2023 වසරේදී ආනයනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. 

කෙසේ නමුත්, ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේදී 2022 වසරට වඩා කිරි නිෂ්පාදනය අඩු වී ඇතත්, පළාත් හයක නිෂ්පාදනය වැඩි වී, පළාත් තුනක පමණක් නිෂ්පාදනය අඩු වී ඇති බව මෙම දත්ත අනුව පෙනී යයි.
සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරු අනුව, 2022 වසරේදී දිවයින පුරා එළ ගවයන් 782,470ක් සිටි අතර, මී ගවයන් 224,312ක් සිට තිබේ. එය 2023 වසරේදී එළ ගවයන් 758,971ක් සහ මී ගවයන් 213,832ක් වශයෙන් සිට තිබේ. මෙම සංඛ්‍යාව ගත් කල, 2022 වසරට වඩා 2023 වසරේදී එළ ගවයන් 23,499ක සහ මී ගවයන් 10,480ක අඩු වීමක් බව ද එම දත්තවලින් පෙන්නුම් කරයි. 2022 වසරට වඩා 2023 වසරේ කිරි නිෂ්පාදනයේ අඩු වීමක් ඇති වීමට මෙම කිරි ගවයන්ගේ අඩුව ද ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බව සිතිය හැකිය.

මෙම දත්ත අනුව පෙනී යන්නේ, දේශීය අවශ්‍යතා සඳහා දියර කිරි නිෂ්පාදනයට විශාල ඉඩක් තවදුරටත් පවතින බවයි. 



අදහස් (0)

දියර කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිතද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site