IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නාගරික පරිසරයට කොහුබත්වල ඉඟුරු වගාවක්

බඳුන්වල වගාකළ ඉඟු‍රු 


  • නව ක්‍රමවේදයෙන් සාර්ථක ඉඟු‍රු අස්වැන්නක්
  • එක බඳුනකින් ඉඟු‍රු කිලෝ   3 ත් 4 ත් අතර අස්වැන්නක්
  • මහල් නිවාස වල ජිවත් වන ජනතාවට නාගරික කුඩා බිම් කොටසක ජීවත්වන ජනතාවට මේ ක්‍රමය වඩාත් සුදුසුයි
  • ව්‍යාපාරයක් ලෙස ඉඟු‍රු වගාව කරන අයකුට වුණත් මේ ක්‍රමවේදය වඩාත් යෝග්‍යයි
  • ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා බොහෝ අවස්ථාවලදී විදේශීය රටවලින් ඉඟු‍රු ආනයනය කරනවා
  • ඕස්ට්‍රේලියාව වගේ රටවල මහා පරිමාණයෙන් ඉඟු‍රු වගා කරන්නේ කොහු බත් යොදාගෙන

 

සඳලංකාව හේමලතා ඩී. හේවගේ

 

පැට්‍රික් ජයකොඩි
 
රවීන් ජයසුන්දර

පොල් ගසින් ඉවතලන කිසිවක් නොමැති බව අප කවුරුත් දන්නා කරුණකි. එම නිසාම පොල් ගසට කප්රුක යන නාමය පට බැඳී ඇත. දේශීය හා විදේශීය වෙළෙඳ පොළට මෙම පොල් ගසේ විවිධ කොටස් උපයෝගී කරගනිමින් නිෂ්පාදන රැසක් කර අප රටට ඩොලර් ගනු ලබයි.

පොල්ලෙලිවලින් කොහු බත් නිෂ්පාදනය කර ඒවා විදේශීය රටවලට අපනයනය කරන කර්මාන්තශාලා විශාල ගණනක් අප රට තුළ ස්ථාපිත කර ඇත. අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරන මෙම කොහුබත් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගනිමින් ඒවා පිළිබඳ පර්යේෂණ කරමින් හඳුනා ගත් මෙම නව ක්‍රමවේද ජනතාව අතරට ගෙනයාමට දංකොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ පදිංචි පැට්‍රික් ජයකොඩි මහතා කටයුතු කර ඇත.

ව්‍යවසායකයකු ලෙස හා කර්මාන්තකරුවකු ලෙස විවිධ පර්‌යේෂණ සිදුකර පේටන් බලපත්‍ර රැසකටද හිමිකම් කියන මොහු කොහු බත්වල සාර්ථක ලෙස ඉඟු‍රු වගා කරන ආකාරය පිළිබඳව හඳුන්වා දෙනු ලබයි. මෙම නව ක්‍රමවේදයෙන් සාර්ථක ඉඟු‍රු අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු පවසා සිටි.

පාරම්පරික ක්‍රමවේද තුළ ඉඟු‍රු වගාව සිදු කිරීම සඳහා විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය වුවද මෙම ක්‍රමවේදයෙන් නාගරික පරිසරයේ කුඩා බිම් කැබැල්ලක හෝ මහල් නිවාස තුළ වුවද ඉඟු‍රු වගාකළ හැකි බවද පැට්‍රික් ජයකොඩි මහතා පැවසීය. 

කොහු බත් යොදා බඳුන් ගත ක්‍රමයෙන් (නව තාක්ෂණික ක්‍රමවේදයකට අනුව) සාර්ථක ඉඟු‍රු වගාව සිදු කළ හැකි ආකාරය පිළිබඳව පැට්‍රික් ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පොල් ගසෙන් ගනු ලබන පොල් ලෙල්ලට විදේශ රටවලින් හොඳ ඉල්ලු‍මක් තියෙනවා. ඒ ඔවුන් කොහු බත් හා පොල්ලෙළි කැබලි කෘෂිකාර්මික වගා මාධ්‍යයක් ලෙස භාවිත කරන නිසා. අද බොහෝ රටවල කොහු බත් පොල්ලෙළි කැබලි විශාල ප්‍රමාණයෙන් කෘෂිකාර්මික වගා කටයුතු සඳහා යොදා ගන්නවා.

අපේ රටේ මේ ක්‍රමයට වගා කරන පිරිස බොහොම අඩුයි. ඒක නිසා තමයි මම කොහුබත් යොදා ගනිමින් සාර්ථක ඉඟු‍රු වගාවක් සිදුකළ හැකි බව ජනතාවට හඳුන්වා දීලා තියෙන්නේ. මේක දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක්. මේ ක්‍රමයෙන් තමන්ගේ නිවසට අවශ්‍ය ඉඟු‍රු ප්‍රමාණය තමන්ටම වගා කරගන්න පුළුවන්. එක බඳුනකින් ඉඟු‍රු කිලෝ 3 ත් 4 ත් අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. යොදන පොහොර ප්‍රමාණය, ජලය ප්‍රමාණය අවමයි. කෘමි හානි වැළකෙනවා. විශේෂයෙන් මහල් නිවාස වල ජිවත් වන ජනතාව, නාගරික කුඩා බිම් කොටසක ජීවත්වන ජනතාවට මේ ක්‍රමය වඩාත් සුදුසුයි.

ව්‍යාපාරයක් ලෙස ඉඟු‍රු වගාව සිදු කරන අයකුට වුණත් මේ ක්‍රමවේදය වඩාත් යෝග්‍යයි කියන එකයි මගේ අදහස. වගාව තුළ වල් පැළෑටි නෙළීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඟු‍රු වගාව සඳහා යොදා ගන්නා භූමියේ ප්‍රථමයෙන් විශේෂිත ඉටි කොළයක් එළලා ඒ මතයි ඉඟු‍රු බඳුන් අසුරන්නේ. කොහු බඳුන්වලට වේයන්ගෙන් සිදුවන හානිය මෙතුළින් වළක්වා ගන්න පුළුවන්.

අපේ රටට අවශ්‍ය ඉඟු‍රු ප්‍රමාණය අපේ රටේම හදාගන්න පුළුවන්. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා බොහෝ අවස්ථාවලදී විදේශීය රටවලින් ඉඟු‍රු ආනයනය කරනු ලබනවා. මෙවැනි නව ක්‍රමවේදයකට, නව තාක්ෂණයකට ඉඟු‍රු වගා කරනවනම් පිටරටවල් වලින් ඉඟු‍රු ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව වගේ රටවල මහා පරිමාණයෙන් ඉඟු‍රු වගා කරන්නේ කොහු බත් යොදාගෙන මෙවැනි ක්‍රමවේදවලට. මෙවැනි නව ක්‍රමවේද ජනතාව අතරට ගෙනියන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා නම් අපේ රට් අවශ්‍ය දේවල් අපේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන්.

මීගමුව ප්‍රදේශයේ පදිංචි රවීන් ජයසුන්දර මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

මම කෘෂි කර්මාන්තයට ගොඩක් ආසයි. පෞද්ගලික ආයතනයක තමයි රැකියාව කන්නේ. විශේෂයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් බෝග වගාවක් සිදුකරන්නේ කොහොමද කියලා අත්හදා බැලීමක් විදිහටයි පැට්‍රික් ජයකොඩි මහත්මා සමග සම්බන්ධ වෙලා මේ ඉඟු‍රු වගාව සිදු කරන්නේ.

පර්චස් 25ක මේ භූමිය මීගමුව නගරයට යාබදවයි පිහිටලා තියෙන්නේ. සම්ප්‍රදායික ක්‍රමයට අවස්ථා කීපයකදී මේ භූමියේ වගා කටයුතු සිදු කළා. එහෙත් ඒවායෙන් ලැබණෙ ප්‍රතිඵලය අවමයි. ඒක නිසයි නව තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ඉඟු‍රු වගා කරන්න ඕනෑයි කියන අදහස මට ආවේ. මේ ක්‍රමයට මගේ නිවසේ ඇති භූමියේ ඉඟු‍රු වගා කරලා අත්හදා බැලු‍වා. ඒකෙ හොඳ ප්‍රතිඵල තිබුණා. ඒක නිසයි මේ පර්චස් 25 භූමියේ ඉඟු‍රු වගා කරන්න ගත්තේ. මේක නගරයේ ජීවත් වන අයටත් ලොකු ආදර්ශයක්. මොකද මෙවැනි බිම් කැබලි නගරයේ බොහෝ තැන්වල තියෙනවා. ඉඩම් හිමියෝ කරන්නේ මාසයකට සැරයක් මුදල් වියදම් කරලා තණකොළ කපන එක විතරයි. මම ඔවුන්ට ආරාධනා කරනවා මෙවැනි කෘෂිකාර්මික රටාවකට වගා කටයුතු ආරම්භ කරන්න කියලා. එතකොට අමතර ආදායමකුත් ලැබෙනවා. පරිසරයත් පිරිසුදුව තබාගන්න පුළුවන්.

 

ඉඟු‍රු වගා කිරීම සඳහා අවශ්‍ය කොහු බත් කැටය නිෂ්පාදනය කරන අයුරු

කොහු බත් කැටය දැමූ බඳුනේ සිටුවීම සඳහා ඉඟු‍රු කැබලි දමා ඇති අයුරු.



අදහස් (0)

නාගරික පරිසරයට කොහුබත්වල ඉඟුරු වගාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site