ශ්‍රී ලංකාවාසීන් දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි 2025 අයවැය යෝජනාව නම් වන පැන්ඩෝරා පෙට්ටිය යාන්තම් පසුගිය පෙබරවාරි 17 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විවෘත කරන ලදී. මෙවර අයවැය මහජනතාව අතර ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිචාර ඇති කර තිබේ. මගේ පෞද්ගලික මතය නම් පවතින අභියෝගාත්මක තත්වය යටතේ මෙයට වඩා නැණවත් සහ ප්‍රයෝගික අයවැයක් කිසිදු රජයකට සම්පාදනය කළ නොහැකි බවයි.
විශ්‍රාමික බදු නිලධාරියකු මෙන්ම දැනට බදු උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටින මා මෙම ලිපියෙන් පාඨකයන්ගේ අවධානය ගෙනෙන්නට අදහස් කරන එක් සුවිශේෂී කරුණක් ඇත. එය නම් බදු අභියාචනා කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නන්ට පනවන්නට යෝජනා කර ඇති දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියයට 25 ක මුදල් තැන්පතුවක් රඳවා ගැනීමේ අනිවාර්ය කොන්දේසියයි. විශේෂයෙන් රජයේ නිලධාරිවාදී දූෂණයට එරෙහිව සටන් කිරීම සහ බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නට අදහස් කරන ජනපති අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග රජය මෙවැනි යෝජනවාක් සලකා බලනු ලැබීම මා විමතියට පත් කර ඇත.
බදු ගෙවන්නන්ගේ අමිල දායකත්වය
බදු අභියාචනා කොමිසම් පනතට යෝජනා කර ඇති සංශෝධන අතුරින් අහිතකර කාරණා ගවේෂණය කිරීමට පෙර, දැයේ සංවර්ධනය සඳහා බදු ගෙවන්නන්ගේ අතිමහත් දායකත්වය ඇගයීමට ලක් කිරීම සුදුසු යැයි සිතමි. දශක ගණනාවක දේශපාලන වැරදි කළමනාකරණය සහ ආර්ථික කැළඹීලි තිබෙන විටම රටේ යටිතල පහසුකම්, බුද්ධිමය ප්‍රාග්ධනය සහ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ආදායම් විෂයයෙහි බදු ගෙවන්නන් තම දායකත්වය අඩු වැඩි වශයෙන් නොකඩවා ලබා දෙමින් සිටිනු දැකිය හැකි විය.
සමාන හෝ වැඩි වටිනාකමක් ඇති දෙයක් ආපසු ලැබෙන්නේ නම් මිස, තමන්ගේ කිසිවක් අන් කෙනකුට දෙන්නට මනුෂ්‍යයන් මැලි වීම ස්වාභාව ධර්මයෙන්ම මිනිසාට පිහිටවා ඇති ගුණාංගයකි. ආදායම් බදු ගෙවීම්ද මෙම ගුණාංගයෙන් බැහැර කරුණක් නොවේ.
මෙහි ඇති උභතෝකොටික ප්‍රශ්නය වන්නේ බදු ගෙවන්නන්ට ඔවුන් එසේ ගෙවන මුදලට ආපසු ලැබෙන්නේ කුමක්ද යන්නයි.
කෙනකු රජයට අදායම් බදුගෙවන විට එය අගය කරනු වෙනුවට බොහෝ විට සිදුවන්නේ ඔවුන්ට රජය තවත් හිරිහැර ගෙන දීමයි. විගණනය, අධි තක්සේරුව, දඩ ආදි ලෙසින් මෙම හිරිහැර සිදු කරනු දැකිය හැකිය.
බදු ගෙවන්නන්ගේ අයිතින් සුරැකීමේ අවශ්‍යතාව
අනාදිමත් කාලයක සිට, පාලක බලධාරීන්ගේ ස්වභාවය හෝ තරාතිරම නොසලකා බදු ගෙවන්නන් තම දේශප්‍රේමී සහ සමාජීය වගකීම් නිසි ලෙස ඉටු කර ඇත. ඔවුන් මෙම දායකත්වය ලබා නොදුන්නේ නම්, අද මේ රට මෙයටත් වඩා අයහපත් තත්වයකට පත්ව තිබෙනු නිසැකය.
එනිසා මුළු රටම බදු ගෙවන්නන්ට ණයගැතිය. මන්ද රටේ ආර්ථිකය සහ යටිතලපහසුකම් පවත්වාගෙන යාමට මෙන්ම ජාතික ආරක්‍ෂාව, සංවර්ධනය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය හා රටට උගතුන් සහ වියතුන් බිහි කරන අධ්‍යපානය ඇතුළු සියලු කටයුතුවලට ඔවුන්ගේ දායකත්වය අතිශය වැදගත් හෙයිනි.
එනමුත් එම වටිනා අගනා බදු ගෙවන සමුහයා සැමදා සිටින්නේ නොසතුටිනි. සහ රජය විෂයයෙහි කලකිරීමෙනි. මේ අතර මොවුන් අතරින් මහා පරිමාණ වෙළෙඳ කටයුතුවල නියුතු ධනවත් ව්‍යාපරිකයන් කිහිප දෙනකු සහ සංසද එක්ව රජයේ හිරිහැර අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින නමුත් බහුතරයක් සාමාන්‍ය බදුගෙවන්නන් නම් තවම සිටින්නේ අසරණ තත්වයකය. රජයද බදු ගෙවන්නන් දෙස කවදත් බලන්නේ හැකි පමණ අඩුවෙන් බදු ගෙවමින් හෝ පුළුවන් නම් ශතයක් හෝ නොගෙවා රජය මුළා කරන්නට මාන බලමින් සිටින කපටින් ලෙසය. තත්වය එසේ හෙයින් බදු අය කිරීමේ ක්‍රියාවලිය සාධාරණ විනිවිද හා කාර්යක්‍ෂම ලෙසින් සිදු කිරීම විෂයයෙහි පියවර කිසිවක් ගන්නට රජයද කටයුතු කරන්නේ නැත. මෙයින් වන එක් ප්‍රධාන හානියක් නම් බදු අය කරන නිලධාරින් සහ පාලකයන් අතර සිටින දූෂිතයන් මෙන්ම එවැනිම වු කෛරාටික ව්‍යාපාරිකයන් එක්ව රජයට හෙවත් දේශයට අලාභ ඇති කිරීමයි.
මෙවන් තත්වයක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් ක්‍රියාවලියේ නිර්දේශයකට අනුකූලව හිටපු දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයකු බදු ගෙවන්නන්ගේ අයිතීන් සුරැකීමට පහත පරිදි ලියවිලි හතරක් සම්පාදනය කිරීමට පියවර ගැනීම සැබවින්ම පැසසුමට ලක් විය යුත්තකි:
1. බදුගෙවන්නන්ගේ ප්‍රඥප්තිය - 2023 ජුනි 23
2. අතිරේක හෝ සංශෝධිත ඇස්තමේන්තුවක් නිකුත් කිරීම සඳහා වන නිර්දේශය -2023 ජුනි 22
3. පරිපාලන සමාලෝචනයේ විහිදුම (අභියාචනා) - 2023 ජුනි 22
4. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දුෂණය පිටු දැකීම - 2023 අගෝස්තු 24
කෙසේ වෙතත් ලබා දී තිබුණු සහතිකයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දෙවැනි සහ තෙවැනි ලියවිලි දෙක තවමත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර නැත. එහෙත් කනගාටුව දනවන කරුණක් නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උක්ත මුලාරම්භ මගින් බදුගෙවන්නන්ගේ මැසිවිලි නිසියාකාරව ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම බදුගෙවන්නන් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් නිසි ලෙස ඉස්මතු කර නොතිබීමයි.
දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත සියයට 25 ක අනිවාර්ය මුදල් තැන්පතුවක් තැබීමේ අයවැය යෝජනාව
මෙවර 2025 අයවැය යෝජනාව නව නිර්දේශයක් යෝජනා කරනු දැකිය හැකිය. එය නම් බදු අභියාචනා කොමිසම වෙත බදු සම්බන්ධ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පෙර මතභේදයට තුඩු දී ඇති බදු මුදලේ වටිනාකමින් සියයට 25 ක් (දඩ සහ පොලිය ඇතුළුව) මුදල් තැන්පතුවක් දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ලබා දිය යුතුය යන්නයි. මෙම නිර්දේශයේ අරමුණ වන්නේ කල් මැරීමට ඉදිරිපත් කරන අභියාචනා වැළැක්වීම සහ බදු ආදායම් එකතු කිරීම වේගවත් කිරීමයි. බැලූ බැල්මට මෙම නිර්දේශය නැණවත් හා සාධාරණ එකක් යැයි පෙනෙන්නට තිබුණද, ගැඹුරු විශ්ලේෂණයක් සිදු කළ විට සැලකිය යුතු ගැටලු කිහිපයක් මෙහි ගැබ්ව තිබෙනු පෙනී යයි.
බදු ගෙවන්නෝබොහෝ විට අත්තනෝමතික හා අධික තක්සේරු කිරීම්වලට ඉලක්ක වෙති, ඉන් සමහරක් පෞද්ගලික පළිගැනීම් හෝ දූෂණ අරමුණු ඇති ඒවාය. තවත් විමතියට තුඩු දෙ කරුණක් නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව, අතිරේක සහ සංශෝධිත බදු තක්සේරු කිරීම්වලින් සියයට 80 ක් ලස මතභේදාත්මකව පැවතීමයි. පැහැර හරින ලද බදු ප්‍රමාණය වන රුපියල් බිලියන 904 න් රුපියල් බිලියන 163 ක් (19%) පමණක් අයකර ගත හැකි යැයි සලකනු ලැබූ අතර, රුපියල් බිලියන 741 ක් (81%) ආරවුල්වලට යටතේ පැවතුනි. මෙවන් සංඛ්‍යා මගින් බදු තක්සේරු කිරීම්වල පද්ධතිමය දෝෂ ඇති බව පෙනී යන හෙයින් සාධාරණ හා විනිවිදබාවයෙන් යුත් අභියාචනා ක්‍රියාවලියක අවශ්‍යතාව මෙය තව තවත් වැඩි කරයි.
අභියාචනා සඳහා මූල්‍යමය බාධකයක් පැනවීමෙන් අවංක ලෙස අභියාචනා ඉදිරිපත් කරන්නන්ටද හිරිහැර ඇති කරනු ලැබ ඔවුහු අදිරිමත් වෙති. එමඟින් බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ දූෂණය සඳහා ඇති අවස්ථාද උත්සන්න වනු වැළකිය නොහැකිය. මෙනිසා අසාධාරණ සහ අධික බදු තක්සේරු කිරීම් යන මූල හේතුවලට විසඳුම් සෙවීම වෙනුවට යෝජිත සංශෝධනය මඟින් සිදු වනු ඇත්තේ බදු ගෙවන්නන් මත තවත් අනවශ්‍ය බර පැටවීමයි.
අභියාචනා ක්‍රියාවලිය සරල සහ කඩිනම් කිරීමෙන් විශේෂයෙන් පහළ මට්ටමින්- දූෂණ සිදු වීම වැළැක්විය හැකිය. අනෙක් අතට ඉහත සඳහන් ආකාරයේ අනිවාර්ය නිර්දේශ වැනි බාධක සහ වැට කඩුළු පැනවීම නිසා දූෂණයට පහසු වාතාවරණයක්ද නිර්මාණය විය හැකිය.
ඒ අනුව බාධක පැනවීම වෙනුවට බදුගෙවන්නන්ගේ අයතීන් සුරැකීමට පහත පියවර ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායී වනු ඇත යයි ජනපති අනුර දිසානායක ප්‍රමුඛ ජනබලෙව්ග රජයට යෝජනා කරනු කැමැත්තෙමි:
1. පිළිගත් නෛතික ක්‍රියාපටිපාටිවලින් මග පෙන්වීම් ලබා ගැනීම
2010 අංක 16 දරන පැහැර හැරී බදු (විශේෂ විධිවිධාන) පනතෙහි අසාධාරණ බදු තක්සේරු කිරීම් පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායී මාර්ගෝපදේශ දැනටමත් පවතී. පැහැර හැරී බදු පෙර වසරේ මුළු බදු එකතුවෙන් සියයට 3 කට වඩා අඩු ප්‍රමාණයකට දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සීමා කළ යුතුය යැයි මෙම පනතේ 12 වැනි වගන්තිය අවධාරණය කරයි. තවද පනතේ 13 වැනි වගන්තියට අනුව මෙම සීමාව ඉක්මවා ගියහොත්, මාස හතරක් ඇතුළත දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා වන හේතුද විස්තර කර නිවැරදි කිරීමේ පියවරද ඉදිරිපත් කර තිබිය යුතුය.
මෙම විෂයයෙහි ඇති තවත් අවාසනාවන්ත දෙයක් නම් බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයන් පමණක් නොව බදු නිලධාරීන් පවා මෙහි වැදගත්කම හරිහැටි වටහා නොසිටීමයි. බදු අභියාචනා සම්බන්ධ ජගත් පිළිගැනීම ලබා ඇති මෙම විශිෂ්ට චර්යාවලට රැඩිකල් වෙනස්කම් යෝජනා කරනු වෙනුවට සාධාරණත්වය සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කරන වත්මන් නීති ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැනීම වඩාත් උචිතය.
2. ඇස්තමේන්තුව සඳහා ලබා දී ඇති කාල සීමාව අඩු කිරීම
බදු ආදායම් එකතු කිරීම කඩිනම් කිරීම ගැන රජය ඇත්තෙන්ම අවංක නම්, වඩාත් ප්‍රායෝගික විසඳුමක් වනුයේ 2018 අප්‍රේල් 1 වැනි දිනට පෙර මෙන්, අතිරේක හෝ සංශෝධිත තක්සේරු නිකුත් කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත කාල සීමාව මාස 30 සිට මාස 18 දක්වා අඩු කිරීමයි. දැනට බදු නිලධාරීන් බොහෝ විට අවසාන මොහොත දක්වා බදු තක්සේරුව ප්‍රමාද කරන අතර එමඟින් බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව අඩපණ වේ.
ලබා දී ඇති දිගු වසර හෝ මාස ගණන නොසලකා, ව්‍යවස්ථාපිත කාල සීමාව පරයමින්, බදු නිලධාරීන් එකොළොස්වන පැයේදී තක්සේරු නිකුත් කරන බවද ප්‍රසිද්ධ රහසකි.
එබැවින්, තක්සේරුව නිකුත් කිරීම සඳහා මාස 30 ක කාල සීමාව මාස 18 දක්වා අඩු කිරීම සහ එමඟින් බදු ගෙවන්නන් අපහසුතාවට පත් කරන අභියාචනා ක්‍රියාවලිය වෙනස් කිරීම වෙනුවට, පැහැර හැර ඇති නියමිත බදු එකතු කිරීම වේගවත් කිරීම සඳහා මාස 12 ක් ඉතිරි කර ගැනීම වඩා නැණවත්ය යනු මගේ මතයයි.
3. දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ඓතිහාසික චක්‍ර ලේකඛන ද්විත්වය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් ක්‍රියාවලියේ නිර්දේශයේ කොටසක් ලෙස 22.06.2023 දින දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැදගත් චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇත. මෙම මෙම චක්‍රලේඛ මගින් අනවශ්‍ය සහ අසාධාරණ බදු තක්සේරු කිරීම් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මෙන්ම මාස හතක් ඇතුළත ආදායම් බදු අභියාචනා විසඳීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් විස්තර කරයි. එසේ වුවද මෙම උපදෙස් නිසි ලෙස අනුගමනය කරන බවක් නම් නොපෙනේ.
එවැනි තක්සේරු නිකුත් කරන බදු නිලධාරීන් කිසිදු දඬුවමක් නොමැතිව ගැලවෙන අතර, අභියාචනා ඉදිරිපත් කරන බදු ගෙවන්නන්ට තක්සේරුවේ වැරදි බව ඔප්පු කිරීම පිණිස අනවශ්‍ය මූල්‍ය හා මානසික පීඩාවලට මුහුණ දීමටද සිදුවේ.
විගණනය සඳහා බදු ගොනුවක් තෝරා ගැනීම දූෂණයට දොරටුවක් ලෙස ක්‍රියා කළ හැකිය. මෙයට පෙර, මෙම තේරීම බදු නිලධාරීන්ගේ අභිමතය පරිදි සිදු වූ අතර, එවිට ඔවුන්ට සාධාරණ විගණනයක් පවත්වා නිසි බදු එකතු කිරීමට හෝ බදු ගෙවන්නන් බ්ලැක්මේල් කිරීමෙන් පෞද්ගලික ලාබය සඳහා ක්‍රියාවලිය ගසාකෑමට ඔවුන්ට හැකියාව ලැබුණි. දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙම ඒකාධිකාරි බලතල සීමා කරමින් චක්‍රලේඛ දෙකක් නිකුත් කළේ එවැනි අපයෝජන වැළැක්වීම සහ බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාය.
නිල විගණනවලින් ලැබෙන අතිරේක තක්සේරු කිරීම් හරහා එකතු කරන බදු සියයට 10 ට වඩා අඩු බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර, බදු ආදායමෙන් සියයට 90 කට වඩා ලැබෙන්නේ ස්වේච්ඡාවෙන්ම බදු ගෙවන්නන් විසින් සිදු කරන ලද ස්වයං තක්සේරු ගෙවීම් මගිනි. මෙම තත්වය නිසා සියයට 10 කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට සියයට 90 ට ප්‍රමුඛත්වය දීමෙන් වැඩි බදු ආදායමක් ලබා ගත හැකි බව පැහැදිලි කරුණකි.
එබැවින්, බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් නිසි ලෙස ආරක්ෂා කරන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
4. බදු ඔම්බඩ්ස්මන්වරයකු පත් කිරීම
බදු පරිපාලනයේ සාධාරණත්වය, විනිවිදභාවය, ඉහළ බදු අනුකූලතා අනුපාතය සහ වගවීම සහතික කිරීම මගින් බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීනව ක්‍රියා කරන කාර්යක්ෂම බදු ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් ස්ථාපිත කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම බදු අය කරන නිලධාරීන් ගැන මෙන්ම බදු ගෙවීම පැහැර හරින්නන් සහ හිඩැස්වලින් රිංගා යමින් දෙපාර්තමේන්තුව මුළා කරන්නට තැත් කරන්නන් ගැන විමසිලිමත්වීමද මෙම කාර්යාලය හරහා සිදු කළ හැකිය.
මෙයට අමතරව බදු ගෙවන්නන් සහ බදු නිලධාරීන් එකිනෙකාට නීතියට අනුකූලව සහ නිසි ගෞරවයෙන් තම භූමිකා ඉටු කරන හා නිසි පරිදි බදු ගෙවන්නන්ට හිතකර පරිසරයක් සහතික කිරීම විෂයයෙහිද යෝජිත ඔම්බුඩ්ස්මන් කාර්යාලයට පහත සඳහන් පරිදි වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය:
බදු අණ පනත්, වෙනත් අදාළ මාර්ගෝපදේශ, චක්‍රලේඛ සහ ආදායම් කොමසාරිස් ජනරාල්වයා මෙන්ම අනෙකුත් අදාළ බලධාරීන් විසින් ලබා දෙනු ලබන ලද උපදෙස් අකුරටම පිළිපදිනු සහතික කිරීම
බදු අණ පනත් මගින් ලබා දී ඇති බලතල අනිසි ලෙස භාවිත නොකිරීම සහතික කිරීම
හිරිහැර කරනු ලැබීමෙන් බදු ගෙවන්නන් ආරක්‍ෂා කිරීම හරහා ඔවුන්ට සාධාරණ ලෙස සලකනු ලැබීම සහතික කරනා අතරම, අනවශ්‍ය දඩවලට ඔවුන් යට කිරීම වළකා බදු නීති වැරදි ලෙස අර්ථකථනය නොකරනු ලැබීමද සහතික කිරීම
බදු පරිපාලනයෙහි දූෂණය, අකාර්යක්ෂමතාව හෝ පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවට ලැබෙන චෝදනා නිසියාකාරව විභාග කිරීමෙන් දෙපාර්තමේන්තුවේ කටයුතුවල විනිවිදභාවය වැඩි දියුණු කිරීම.
නිලධාරිවාද දූෂණය සහ දේශපාලන දූෂණය
මෙම දූෂණ වර්ග දෙකම හානිකර වුවත්, නිලධාරිවාදී දූෂණය බොහෝ විට වඩාත් උපක්‍රමශීලී හා වැළැක්වීමට අපහසු විය හැකිය. එය සිදු වන්නේ ක්‍රියාන්විත මට්ටමින් වන අතර නිලධාරීන්ට ලබා දී ඇති පද්ධතිමය හිඩැස් සහ බලතල හේතුවෙන් මෙම අක්‍රමිකතා අනාවරණය කර ගැනීමද දුෂ්කරය.
අවාසනාවකට මෙන්ම බොහෝ වෘත්තීය සමිති, දැනුවත්ව හෝ නොදැනුවත්ව, රාජ්‍ය ආදායම ආරක්ෂා කිරීමේ හෝ තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් තම සේවා ස්ථානවල දූෂණය ආරක්ෂා කරති. තවත් කණගාටුදායක කරුණක් නම් දේශප්‍රේමය වෙනුවට අවස්ථාවාදයට ප්‍රමුඛත්වය දෙමින් හා දේශපාලන වාසි තකා බොහෝ විට මෙම දූෂිත වෘත්තීය සමිති සමඟ විපක්ෂ දේශපාලන පක්ෂද අත්වැල් බැඳ ගැනීමයි. මෙයට හොඳ හා සමීපතම උදාහරණයක් වන්නේ රේගු දේපාර්තමේන්තුව තුළ ගැඹුරට මුල් බැසගත් දූෂණය සහ අක්‍රමිකතා මැඩපැවැත්වීමට රජය උත්සාහ කළ විට මෙම අගනා මෙහෙයුමට විරෝධය පාමින් රේගු වෘත්තීය සමිති විසින් ඇති කරන ලද කලබල සහ රජය අසීරුතාවට පත් කරන අකුරට වැඩ කිරීමේ’ ව්‍යාපාරයයි.
නිගමනය
බදු ගෙවන්නන් යනු මෙම දේශයේ සහ එහි සංවර්ධනයේ කොඳු නාරටියයි. එනමුත් ඔවුන්ගේ එම අගය නොවටහා රජය විසින් ඔවුන්ව කොන්කර හිරිහැර කරනු සහ දූෂිත නිලධාරින් විසින් අපයෝජනය කරනු දැකිය හැකිය. එමෙන්ම යෝජනා කර ඇති සියයට 25 හේ මුදල් තැන්පතුවද බදු ගෙවන්නන්ට අනවශ්‍ය මුල්‍යම මෙන්ම මානසික කරදරයක් ඇති කරනු පැහැදිලිය. මෙය යුක්තිසහගත මැසිවිලි අධෛර්යවත් කර තවත් දූෂණවලට මග පාදනු නිසැකය.
ඒ වෙනුවට පවතින බදු අණ පනත් තවත් බලාත්මක කිරීම, තක්සේරු කාල සීමා අඩු කිරීම සහ බදු ගෙවන්නන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම ආදියට රජය යොමු විය යුතුය. එමෙන්ම බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් සහ වගබැඳියා යන දෙකම සාධාරණව, විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවෙන් යුතුව ආරක්ෂා කරන පසුබිමක් නිර්මාණය කිරීමට රජය කටයුතු කළ යුතුය. අපට සැබවින්ම සාධාරණ හා තිරසාර බදු ක්‍රමයක් අත්කර ගත හැක්කේ එවිටය හා එවිට පමණි.
බදු ගෙවන්නන් පිඩාවට පත් කරන ප්‍රතිපත්ති