IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එරට ආදායම් එකතු කිරීම සහ එම ආදායම් කළමනාකරණ ක්‍රියාවලිය එරට ආර්ථික සංවර්ධනය වීමට හේතුවනු නොඅනුමානය. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය, ක්‍රියාත්මක වීම රඳාපවතිනුයේ පාර්ලිමේන්තුව සතු බලතලයක් වන අතර, ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන නීතිරීතිවලට අනුකූලව පනවනු ලබන බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම බලාත්මක කිරීම හා අය ක්‍රියා මාර්ග ගැනීම රටක බදු පරිපාලන ආයතනවලින් ජනතාව මෙන්ම ව්‍යවස්ථාදායකයද අපේක්ෂා කෙරේ. රාජ්‍ය බදු ආදායම ඉහළ නංවාගැනීම රටේ සමස්ත ජනතාවට ප්‍රතිලාභ ගෙනදෙන කාර්ය බැවින් බදු ගෙවිය යුතු සියලු‍ දෙනාම බදු ක්‍රමය තුළට ඇතුළත් කොට බදු අනුකූලතාව ඉහළ තබා ගැනීම සංවර්ධනය සහ සංවර්ධනය වෙමින් පවත්නා සියලු‍ රටවල මූලික ක්‍රියාවලි බව පැහැදිලිය.
 
බදු අනුකූලතාව යනුවෙන් අදහස් වනුයේ බදු ගෙවීමට යටත් සියලු‍දෙනා බදු සඳහා ලියාපදිංචි වීම, නීතියට අදාළ වාර්තා හා ප්‍රකාශන නිසි පරිදි සම්පුර්ණ කිරීම, ගෙවිය යුතු බදු නියමිත දිනයේදි නියමිත අයුරින් ගෙවීම් සිදු කිරීම, තමන් සතු ආදායම්, වියදම් වත්කම්, වගකීම, බැරකම් පිළිබඳ නිසි ප්‍රකාශයක් නියමිත බලධාරීන්ට අදාළ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම් ආදී බහුවිධ කාර්යවල සමස්ත ප්‍රතිඵලය වේ. මේ අනුව පුරවැසියකු ලෙස නිවැරදිව බදු නීතිරීති වලට අදාළව කටයුතු කිරීම බදු අනුකූලතාවේදී අදහස් වේ.
 
ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ලියාපදිංචියට අදාළ නෛතික විධිවිධාන 
බදු ගෙවන්නකු ලෙස සලකන්නේ කුමන පුද්ගලයකු ද යන්න 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 195 වගන්තියේ දක්වා ඇත. එම වගන්තිය ප්‍රකාර “බදු ගෙවන්නා යනු තක්සේරු වර්ෂයක් සඳහා ශූන්‍ය අය කිරීමේ හැකියාවක් ඇති හෝ බදු අය කළ හැකි ආදායමක් ඇති හෝ අලාභයක් ඇති යම් තැනැත්තකු ද ඇතුළුව මෙම පනත යටතේ, බදු ගෙවීමට නියමිත තැනැත්තකු: හෝ බද්ද රඳවාගෙන එය දෙපාර්තමේන්තුවට ගෙවීමට නියම කරනු ලැබ ඇත්තාවූ යම් තැනැත්තකු වේ”. 
 
බදු ගෙවීම සඳහා ලියාපදිංචි වීමට අදාළව කටයුතු කිරීම සම්බන්ධ 2017 අංක 17 දරණ දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙහි සඳහන් වන පරිදි,
 
දැනටමත් ලියාපදිංචි නොවූ, එහෙත් තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තෙකුම එම වර්ෂය සඳහා වන පදනම් කාල පරිච්ඡේදය අවසන් වීමෙන් පසු දින තිහකට නොවැඩි කාලයක් තුළ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදංචි විය යුතුය.
 
මෙම පනතේ 103 වගන්තියේ සඳහන් වනුයේ ඒ ඒ බදු ගෙවන්නන් වෙනුවෙන් ඔවුනට අනන්‍යවු හඳුනාගැනීමේ අංකයක් ලබාදීමට අදාළ ක්‍රියාවලිය වේ. ආදායම් පනතේ 103 වගන්තියේ සඳහන් වනුයේ පහත පරිදිය.
මේ පනත පරිපාලනය සම්බන්ධයෙන් අදාළ වන සියලු‍ ලිපි ගනුදෙනු වලදී භාවිත කළයුතු, අනන්‍ය වූ ඔෂභ අංකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් සෑම බදු ගෙවන්නකුම වෙත ම දෙනු ලැබිය යුතුය.
එසේම පනතේ 102(3) වගන්තියේ සඳහන් වනුයේ කොමසාරිස් ජනරාල්වරයාගේ කැමැත්ත ඇතිව අමාත්‍යවරයා විසින් බදු ලියාපදිංචිය සඳහා අතිරේක තැනැත්තන් පන්ති නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි බවය.
 
රටක මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා බදු අයකිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් වැය කරන ලද රාජ්‍ය වියදම්ද ඉතා වැදගත් සංරචකයක් වේ. මෙම ක්‍රියාවලියෙන් ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්ථායිතාව, නිෂ්පාදනය ඉහළ යාම ආදායම් බෙදීයාමේ පරතරය අඩුකරලීම මුඛ්‍ය පරමාර්ථය වේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය හා සමාජ සුරක්ෂිත වැඩසටහන් සඳහා රජය ලබාදෙන ප්‍රමුඛතා බදු ආදායම් වර්ධනය සමගම වැදගත් වනු ඇත. මෙවන් පසුබිමක බදු ආදායම වර්ධනය සඳහා සැමගේ සහයෝගය දායකත්වය රජය අපේක්ෂා කරයි.
 
නූතන ප්‍රවණතා
2024 අයවැය ලේඛනයේ පරිදි පහත සඳහන් ක්‍රියාකාරකම් නිරත අය සඳහා TIN ලබාගැනීම අනිවාර්යය වී ඇත.
 
I. බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම.
II. නිවාස සැලැස්මක් අනුමත කර ගැනීම
III. මෝටර් රථයක් ලියාපදිංචිය හා එහි බලපත්‍රය අලු‍ත් කර ගැනීම.
IV. ඉඩමක් ලියාපදිංචිය හා ඔප්පු ලියාපදිංචි කාර්යය
 
මේ සඳහා වන නීතියේ ඇතැම් දේශීය ආදායම් පනතට සංශෝධනයක් ලෙස නුදුරේදීම බලාත්මක වේ. 
 
බදු අනුකූලතාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා 2023 මැයි මස අංක 2334/21 යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව වෘත්තීයවේදීන් 14ක් ලැයිස්තුගත කොට එම වෘත්තිකයන් සඳහා TIN ලබාගැනීම අනිවාර්ය වී ඇති අතර එහි දෙවැනි කොටසේ සඳහන් පරිදි විශේෂ පන්ති හඳුන්වා දී ඇත. ඒ අනුව 2023 දෙසැම්බර් 31 දිනට වයස 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 දිනට අනුව වයස 18 සම්පූර්ණ පුද්ගලයන් ඇතුලත් වේ. ඒ අය සඳහා TIN ලබාදීම අනිවාර්ය වේ.
 
එමෙන්ම රඳවා ගැනීමේ බද්දට යටත් පොලී ආදායමක් සහිත නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති වාසික පුද්ගලයන් පොලී ගෙවීම මත රඳවා ගැනීමේ බදු සහනය ස්වයං ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන විට එම සියලු‍ම ප්‍රකාශකයන් සතුව TIN අංකයක් තිබිය යුතු වේ. 
 
දැනට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් TIN ලබාගත හැකි ක්‍රමවේද පහත සඳහන් ආකාර 4 යටතේ සිදු කරනු ලබයි.
 
I. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙබ් ද්වාරය හරහා ඊ සේවාව‍ට ඇතුලත්වීමෙන් 
II. දේශිය අදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බදු සේවා අංශයට පැමිණ හෝ අපගේ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණ ලබාගැනීම.
III. TIN අංකයක් ලබාගැනීමට අදාළ මූලික තොරතුරු තැපැල් මගින් ලද පසු අදාළ අංශ වලට යොමුකොට අදාළ තැනැත්තන් වෙත තැපැල් මගින් TIN අංකයක් ලබා දීම.
IV. තොරතුරු හා නෛතික ප්‍රතිපාදනවලට අනුව දෙපාර්තමේන්තුවේ බලාත්මක ලියාපදිංචි කිරීම් අංශයෙන් TIN සහතික නිකුත් කිරීම.
 
ලෝක තත්වය
බදු අනුකූලතාව ඉහළ තබාගැනීම සඳහා ලෝකයේ සෑම රටක්ම විවිධ ක්‍රියාමාර්ග නවීන සහ තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරයි. රටවල පවත්නා ආර්ථික ගැටලු‍ විශේෂයෙන්ම අදායම් බදු විෂමතා අවම කොට යහපත් ආර්ථික පරිසරයක් උදා කිරීම උදෙසා බදු බැඳියාවට යටත් තැනැත්තන් බදු ලියාපදිංචිය සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය වී ඇත. පහත සඳහන් වනුයේ රටවල් කිහිපයක මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු කාර්යඅ සඳහා ලියාපදිංචි වූවන් පිළිබඳ තොරතුරු වේ.
 
රට

ජනගහනයෙන් 

ප්‍රතිශතයක් ලෙස 

ආදායම් බදු සඳහා 

ලියාපදිංචිවූ

ඔස්ට්‍රියාව 100
කොරියාව 25
පින්ලන්තය 100
කොස්ටාරිකාව 10
නෝර්වේ 94
ආර්ජනටිනාව 10
ඔස්ට්‍රේලියාව 90
කොලොම්බියාව 10
ඩෙන්මාර්ක් 90
ඉන්දුනීසියාව 8
ස්විඩනය 80
තුර්කිය 8
කැනඩාව 80

 

බදු ලියාපදිංචි ප්‍රවේශ වීම උදෙසා බදු ලියාපදිංචිය සඳහා ජනතාවට වඩාත් හොඳ පහසුකම් සලසා දිය යුතුව ඇත. වර්තමානයේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය යටතේ බදු ලියාපදිංචියට අදාළ මංපෙත් විවර කළ යුතුය. ඒ අනුව ලෝකයේ දැනට බදු ලියාපදිංචිය කාර්යය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නා ක්‍රමවේද පහත පරිදිය.

On line, Email. ෆැක්ස්, ලියාපදිංචි තැපෑල, දුරකථන, කාර්යාල වලට පැමිණ ලබාගැනීම
 
ලෝකයේ පවතින තාක්ෂණික ක්‍රමවේද අතරින් ඒ ඒ රටවල් බදු ලියාපදිංචි හා අනුකූලතාව වර්ධනය සඳහා යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද කිහිපයක් පහත සඳහන් පරිදිය.
 
බදු ලියාපදිංචි කාර්ය සඳහා ලෝකයේ බොහෝ රටවල කෘතිම බුද්ධිය (AI තාක්ෂණය)
ආරක්ෂිත ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද ( Service Access Digital Identity)
තෙවැනි පාර්ශ්වයක තොරතුරු හුවමාරුවෙන් කටයුතු කිරීම (Third Party Information of Exchange)
ස්වයං බලාත්මක හැදුනුම්පත් ක්‍රමය (Self-Sovereign Identity)
තනි ලිපිගොනු (Single Tax Register) ක්‍රමවේද
 
බදු වගකීමක් නොව යුතුකමකි
රටක මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා බදු අයකිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් වැය කරන ලද රාජ්‍ය වියදම්ද ඉතා වැදගත් සංරචකයක් වේ. මෙම ක්‍රියාවලියෙන් ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්ථායිතාව, නිෂ්පාදනය ඉහළ යාම ආදායම් බෙදීයාමේ පරතරය අඩුකරලීම මුඛ්‍ය පරමාර්ථය වේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය හා සමාජ සුරක්ෂිත වැඩසටහන් සඳහා රජය ලබාදෙන ප්‍රමුඛතා බදු ආදායම් වර්ධනය සමගම වැදගත් වනු ඇත. මෙවන් පසුබිමක බදු ආදායම වර්ධනය සඳහා සැමගේ සහයෝගය දායකත්වය රජය අපේක්ෂා කෙරේ. TIN (ටින්) අංකයක් ලබාගත් පමණින් තැනැත්තකු බදු ගෙවීමට යටත් නොවන අතර බදු ගෙවීමට අවශ්‍යය මූලික ලියාපදිංචිය පමණක් අදහස් වේ. 
 
එහෙත් ඔබ බදු ගෙවීමට යටත් වන ආදායමක් ලැබ ඇත්නම් එනම් 2025.03.31 දිනෙන් අවසන් වන තක්සේරු වර්ෂය දක්වා තක්සේරු වර්ෂයක් සඳහා තක්සේරු කළ හැකි ආදායම රුපියල් 1,200,000.00 හෝ 2025.04.01 දින සිට මසකට රුපියල් ලක්ෂ යක් හෝ ඉන් පසුව මසකට 150,000.00 ආදායමක් හෝ වාර්ෂික තක්සේරු කළ හැකි ආදායම රුපියල් 1,800,000.00 තිබේනම් පුද්ගල ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතුය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාලයෙන් TIN අංකයක් ලබාගැනීමේ පහසුකම් වේගවත්කර ඇත. එසේම ව්‍යාපාර උපදේශන අංශය, බදු උපදෙස් අංශය, ප්‍රාථමික ලියාපදිංච් අංශ ආදී බදු උපදෙස් හා සේවා ලබාදෙන අංශ තුළින් බදු ගෙවීමට පහසුකම් සලසාදීම වෙනුවෙන් කාර්ය රාශියක් අප දෙපාර්තමේන්තුව නිර්මාණය කර ඇත. 
නිගමනය 
 
සංවර්ධන හෝ සංවර්ධිත වෙමින් පවතින ආදි ලෙස කුමන කරුණු අරභයා සැලකුවද බදු අනුකූලතාව ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා සෑම රටක්ම දිගු කාලීන, කෙටි කාලීන මධ්‍ය කාලීන ප්‍රවේශය කරා යොමු වෙමින් පවතී. බදු ගෙවන්නා උදෙසා බදු සේවාකරණය පුළුල් කිරීම, නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය, අනවශ්‍යය ප්‍රමාදය වළක්වා ගනිමින් කටයුතු කිරීම, බදු ගෙවීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, බදු මුදල් වල ප්‍රතිලාභ, විනිවිදභාවය දූෂණයෙන් තොරවීම හා කාර්යක්ෂමතාවකින් යුතුව කටයුතු කිරීම බදු අනුකුලතාව ඉහළ දැමීමට හේතුවන සමාජයීය සාධක බව පැහැදිලි කළ හැක.
 
Source – Tax Administration 2023Comparative Information on OECD and other Advanced And Emerging Economy. OECD Publications.



අදහස් (0)

බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site