IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මනම්පිටිය වේවැල් කර්මාන්තයේ අර්බුදය

 

  • වේවැල් කැපීමටත් ප්‍රවාහනයටත් පවතින බාධා නිසා කර්මා‌න්තයේ දියුණුවක් නැහැ. 
  • නිෂ්පාදන ප්‍රවාහනය කළත් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න බැරි රටක් මේක.
  • ගම් රැසක පවුල් දහස් ගණනක ජීවනෝපාය.
  • පළාතේ ආර්ථිකයට හොඳ ශක්තියක්.
  • වනජීවියට මේවා තේරෙන්නේ නැහැ.
  • නීති වෙනස් කිරීම ආණ්ඩුවේ වගකීමක්.
  • රටට ඩොලර් උපයන්න පුළුවන් කාර්මාන්තයක්

මනම්පිටිය නිමල් ජයරත්න 


ඈත අතීතයේ සිටම පොළොන්නරුව මනම්පිටිය, ශ්‍රී ලංකාවේ හොඳම වේවැල්, ගඩොල්, වැලි කර්මාන්ත, සඳහා ‍ප්‍රසිද්ධව පවතින ප්‍රදේශයකි. එම නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිස් වේවැල්, ගඩොල්, වැලි, ලබාගැනීමට මනම්පිටිය ප්‍රදේශයට අද වන විටත් පැමිණෙමින් සිටිති.

 බලයට පත් විවිධ ආණ්ඩු මගින් මෙම කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම නිසාම එම කර්මාන්තවල නිරත වූ පිරිස් වලට ආර්ථික වශයෙන් ගොඩනැගීමට නොහැකි විය. පවතින නීතිරීති තත්වයද ඔවුනට බලපෑ හේතුවෙන් ස්වාභාවික සම්පත් වලින් ප්‍රදේශයටත් රටටත් ආර්ථික වටිනාකමක් ලබාදීමට එම කර්මාන්තකරුවන්ට නොහැකි වී තිබේ.

මනම්පිටිය ඇතුළු අවට ප්‍රදේශවල වේවැල් කර්මාන්තකරුවන්ගේ දෑතින් නිර්මාණය වන වේවැල් භාණ්ඩ වලට දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල ඉල්ලු‍මක් පවතී. එම භාණ්ඩ වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති බවද අමතක නොකළ යුතු කාරණාවකි. 

බලයට පත් විවිධ ආණ්ඩු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විවිධ ආයතන පිහිටුවා ඇති අතර විශේෂයෙන් ජාතික ශිල්ප සභාව, මෝස්තර මධ්‍යස්ථානය, ඇතුළු කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව හරහා විවිධ අවස්ථාවලදී ‍පළාත් සහ ජාතික මට්ටමින් ප්‍රදර්ශන සහ තරග පවත්වා ඇත. එම තරගවලට ඉදිරිපත් වූ මනම්පිටියේ කිහිප දෙනකු ජනාධිපති සම්මාන පවා ලබා, විදෙස් සංචාරවලට පවා සහභාගි වී ඇත්තේ මේ නිෂ්පාදනවල පවතින උසස් තත්වය හේතුවෙනි. එහෙත් අද වන විට මේ කර්මාන්තය විවිධ අභියෝගවලට මුහුණදී ඇති බව කිව යුතුය. 

මනම්පිටිය කුඩාවැව පදිංචි 56 වියති තිදරු පියකු වන එම්. ඩී. උදසිරි මහතා ද මේ වනවිට වේවැලෙන් විවිධ නිර්මාණ මවා ජනාධිපති සම්මාන පවා ලබා ඇති අයෙකි.

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මෙන්ම මහවැලි ගඟ දෙපස ඉබේ වැවෙන දේවලට පණ පොවා ඔහුගේ දෑතින් නිමවන අපූරු නිර්මාණ දෙස් විදෙස්, සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන හමාරය.

උදසිරි මේ වනවිට දිඹුලාගල අවට ගම්මාන රැසක තරුණ, තරුණියන්ට මෙන්ම දරු පවුල් වලට දෑතේ රැකියාවක් ලෙස වේවැල් වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීමට ගුරුහරුකම් ලබා දී තිබේ.

පසුගිය කාලවල ඇතිවූ කොරෝනා වසංගත තත්වයත් සමඟ මෙරටට විදේශිකයන් නොපැමිණීම හේතුවෙන් වේවැල් භාණ්ඩවලට කණ කොකා හැඬූ කාලයක් උදා වූවේය. වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයන් ප්‍රදේශයට පැමිණීමත් සමඟ යළිත් වරක් වේවැල් භාණ්ඩ සඳහා විශාල ඉල්ලු‍මක් පවතින බවද මේ පිළිබඳ අදහස් දක්වන උදයසිරි මහතා සඳහන් කළේය.

අවුරුදු දහඅටේදි වේවැල අතට ගෙන, වට්ටි, පෙට්ටි, කෑම වට්ටි, ඉඳිආප්ප තට්ටු, පමණක් නිර්මාණය කිරීමට හුරු පුරුදු වූ උදයසිරි මහතා අතින් මේ වනවිට අලංකාර විසිතුරු භාණ්ඩ රැසක් නිර්මාණය වෙයි.

මෙම නිසාම උදයසිරි මහතා 2000, 2004 සහ 2026 වසර වලදී ජනාධිපති සම්මාන ලබාගනිමින්, ප්‍රදේශයටත්, පළාතටත්, රටටත් ඉමහත් කීර්තියක් ගෙනදුන් කලාකරුවෙකි.

ඔහු අතින් විශාල පිරිසක්, වේවැල් භාණ්ඩ නිර්මාණය කිරීමට ගුරුහරුකම් ලැබූවද, එම කර්මාන්තකරුවන්ට වනාන්තරයෙන් වේවැල් කැපීමටත්, ප්‍රවාහනය කිරීමටත්, ඇති නීතිමය බාධාව නිසා මෙම කර්මාන්තය සංවර්ධනය වීමක් දක්නට නොමැත.

වේවැල් කර්මාන්තයෙන් මනම්පිටිය, කුඩාවැව, සොරුවිල, දළුකාන, මලියදේවපුර, නාමල්පොකුණ, මාගන්තොට, මුතුගල, මෙත්සිරිගම, සිංහඋදාගම, ඇතුළු අවට ගම්මාන රැසක පවුල් පන්දහසක් පමණ ජීවත් වන අතර ඔවුන් සඳහා එකම බාධාව වී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වේවැල් කැපීමට නිසි අවසරයක් නොමැති වීම සහ ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා නොදීමය.

“ලංකාවේ හොඳම වේවැල් තියෙන්නෙ මනම්පිටියේ, මේවා ගම්දෑලේ, ඇලේ දොළේ, වගේම වනාන්තරේ ඉබේ වැවෙනවා, කපන්න, කපන්න තමා මේවා වර්ධනය වන්නේ, ඉතිං වනජීවී නිලධාරීන් සහ උසස් නිලධාරීන් මේ ගැන දන්නේ නෑ. අපි එදා ‘වේවැල කපලා ඉඳිආප්ප වට්ටි, කෑම වට්ටි, වැලිකූඩ, හැදුවා. දැන් මේවා වැඩිදියුණු වෙලා තියෙනවා. 

වේවැල නිසා අපේ රට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ‘තියෙනවා. ගෘහයේ හැම භාණ්ඩයක්ම හදන තත්වයට පත්වුණා. මට වේවැල් වලින් ඕනෑම නිර්මාණයක් කරන්න පුළුවන්. 

ගොඩක් අයට භාණ්ඩ නිර්මාණය කරන්න පුරුදු පුහුණු කරලා තියෙනවා, ඉතා විශාල ආදායමක් ලබාගන්න පුළුවන් කර්මාන්තයක් මේක. රටටත් පළාතටත් හොඳ ආර්ථිකයක් ලබාගන්න පුළුවන් ස්වාභාවික සම්පතක් මේක. කොරෝනා දවස්වල රටට සංචාරකයෝ ආපු නැති නිසා මේ කර්මාන්තය බිඳ වැටුණා.

දැන් දෙස් විදෙස් සංචාරකයන් එන නිසා වේවැල් භාණ්ඩවලට ලොකු ඉල්ලු‍මත් තිබෙනවා. හැබැයි අපිට තියෙන එකම බාධාව තමයි කැලේ වේවැල් කපන්න බැරි එක. වේවැල් ප්‍රවාහනය කරන්න වනජීවී නිලධාරීන් ඉඩ නොදීම. 

වේවැල් වලින් නිර්මාණය කරන භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්, වේවැල් භාණ්ඩ වලින් ප්‍රදර්ශන කරන්න පුළුවන්. හැබැයි ‘වේවැල් කපන්න, ‘ප්‍රවාහනය කරන්න බැරි නීතියක් තියෙන රටක් මේක. ඉතින් රජය මැදිහත් වෙලා මේ කර්මාන්තය දියුණු කරලා අපිට වේවැල් කපන්නත් ප්‍රවාහනය කරන්නත්,අවසරයක් ලබාදෙනවා නම් මේ කර්මාන්තයෙන් රටට ඩොලර් උපයන්න පුළුවන් කර්මාන්තයක්. මං රැකියා නැති අයට වගේම තරුණ තරුණියන්ට ඕනෑම අවස්ථාවක වේවැල් භාණ්ඩ නිර්මාණය කරන්න පුරුදු කරන්න කැමැතියි. 

රැකියා නොමැති පවුල්වලට වේවැල් භාණ්ඩ නිර්මාණය කරන්න හුරු කරලා ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න කැමැතියි. ඉතින් ඒකට පවතින නීති රීති තත්වය වෙනස් වෙන්න ඕනේ, වර්තමාන රජය දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත සංවර්ධනය කරන්න වුවමනාවක් තියෙන බව අපට පේනවා. 

ඒ නිසා මේකට තියෙන නීතිරීති තත්වය ඉවත් කරලා, වේවල් කර්මාන්තය ‘වැඩිදියුණු කරලා, වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරලා රටට දෙස් විදෙස් සංචාරකයන් තවදුරටත් ගෙන්වාගෙන, ඩොලර් උපයන මාර්ගයක් බවට පත්කර ගන්න ජනාධිපතිවරයාත්, කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයාත් අවශ්‍ය පියවර ගනියි කියලා අපි විශ්වාස කරනවා.

 



අදහස් (0)

මනම්පිටිය වේවැල් කර්මාන්තයේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site