ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ ගතික හා නව්‍ය ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම මතය. රටේ 2025 වසර සඳහා වන දැක්මේ සැලැස්ම හරහා තරගකාරී, අපනයනය මත පදනම් වූ සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක අවශ්‍යතාව අවධාරණය කරයි.
පොහොසත් සංස්කෘතික උරුමයක් සහ වේගයෙන් විකාශනය වන ආර්ථික භූ දර්ශනයකින් සමන්විත වන ජාතියක් වන ශ්‍රී ලංකාව, තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී අවස්ථා සහ අභියෝග යන කාරණා දෙකටම මුහුණ දෙයි. ලෝකය වඩ වඩාත් අන්තර් සම්බන්ධිත හා තාක්ෂණය මත පදනම් වනවිට, ශ්‍රී ලංකාව අධ්‍යාපනික වශයෙන් පමණක් නොව නවෝත්පාදන, ආර්ථික වර්ධනය සහ සමාජ ප්‍රගතිය මෙහෙයවීමට අවශ්‍ය ව්‍යවසායක කුසලතාවලින් ද සමන්විත තරුණ පරම්පරාවක් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ පාසල් පද්ධතිය තුළ ව්‍යවසායක සංස්කෘතියක් පෝෂණය කිරීමයි, එය නවීන, ගෝලීයකරණය වූ ආර්ථිකයක ඉල්ලීම් සඳහා සිසුන් සූදානම් කරන පියවරකි.
පාසල්වල ව්‍යවසායකත්ව අධ්‍යාපනය යනු හුදෙක් ව්‍යාපාර ආරම්භ කරන ආකාරය සිසුන්ට ඉගැන්වීම පමණක් නොවන අතර, එය සිසුන් තුළ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීම, ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වාධීනත්වය පිළිබඳ මානසිකත්වයක් ඇති කිරීමක්ද වෙයි. මෙම වටිනාකම් අධ්‍යාපන පද්ධතිය තුළට ඇතුළත් කිරීමෙන්, ශ්‍රී ලංකාවට ජාතියේ වඩාත්ම දැවෙන අභියෝගවලට මුහුණ දීමට සහ එහි අද්විතීය අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති චින්තකයන් සහ නවෝත්පාදකයන්ගෙන් පොහොසත් පරම්පරාවක් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකාව තුළ නිර්මාණශීලීත්වයේ සහ නවෝත්පාදනයේ කාර්යභාරය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ගෝලීය ආර්ථිකය තුළ රට තරගකාරීව පවතින බව සහතික කිරීම සඳහා පාසල් තුළ නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. සංචාරක, කෘෂිකර්මාන්තය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැනි අංශ ජාතියේ ආර්ථික රාමුව තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බැවින්, ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීම හරහා සිසුන්ට සාම්ප්‍රදායික වෘත්තීය මාර්ගවලින් ඔබ්බට සිතීමට සහ මෙම කර්මාන්තවලට දායක විය හැකි ආකාරය සහ පරිවර්තනය කළ හැකි ආකාරය සලකා බැලීමට උපකාරී වේ.
ව්‍යවසායකත්වය සිසුන්ට තමන් වටා ඇති ලෝකය දෙස නැවුම් ඇසකින් බැලීමට දිරිගන්වයි. සාම්ප්‍රදායික අධ්‍යාපන පිළිවෙත් බොහෝවිට කටපාඩම් ඉගෙනීම සහ විෂය මාලාවට දැඩි ලෙස අනුගතවීමේ අවශ්‍යතාව අවධාරණය කරන රටක, ව්‍යවසායකත්ව අධ්‍යාපනය හරහා අත්හදා බැලීම, විවේචනාත්මක චින්තනය සහ නව්‍ය ගැටලු විසඳීම අගය කරන නව ගතිකයක් හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කරන බැවින්, නිර්මාණශීලීව සිතීමට සහ නව තාක්ෂණයට සහ ගෝලීය ප්‍රවණතාවලට අනුවර්තනයවීමට හැකියාව ඇති ශ්‍රම බලකායක් අවශ්‍ය වන බැවින් මෙම මාරුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.
උදාහරණයක් ලෙස, මෑත වසරවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ගෝලීය වෙළෙඳපොළේ ප්‍රධාන ක්‍රීඩකයකු වීමේ හැකියාව ඇත. කෙසේ වෙතත්, මෙය කළ හැක්කේ තරුණයින් නිර්මාණශීලීව සිතීමට, නවෝත්පාදනය කිරීමට සහ සැබෑ ලෝකයේ ගැටලු සඳහා තාක්ෂණය මත පදනම් වූ විසඳුම් සංවර්ධනය කිරීමට දිරිමත් කළහොත් පමණි. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන පාසල්වලට මෙම දක්ෂතා පෝෂණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි අතර, නවෝත්පාදනය ප්‍රධාන වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැනි කර්මාන්තවල දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ මානසිකත්වයෙන් සිසුන් සන්නද්ධ කිරීමට එම පාසල්වලට හැකියාවක් ඇත.
ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියක් තුළ තීරණාත්මක ජීවන කුසලතා ගොඩනැගීම
ශ්‍රී ලාංකික පාසල් සාම්ප්‍රදායිකව අධ්‍යයන කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරන අතර, ප්‍රායෝගික, සැබෑ ලෝක කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අඩු අවධානයක් යොමු කරයි. කෙසේ වෙතත්, ගෝලීය ආර්ථිකය වඩාත් කුසලතා මත පදනම් වනවිට, සාර්ථකවීමට නම් න්‍යායාත්මක දැනුමට වඩා වැඩි යමක් සිසුන්ට අවශ්‍ය බව පැහැදිලිය. ඕනෑම වෘත්තියක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන සන්නිවේදනය, කණ්ඩායම් වැඩ, කාල කළමනාකරණය සහ තීරණ ගැනීම වැනි වටිනා ජීවන කුසලතා සිසුන්ට ඉගැන්වීම හරහා මෙම පරතරය පියවීමට ව්‍යවසායක අධ්‍යාපනයට හැකියාව ඇත.
උගත් තරුණයන් අතර විරැකියාව වන ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම වර්ධනය වන කනස්සල්ලක් වන අතර, මූල්‍ය ස්වාධීනත්වය සඳහා විකල්ප මාර්ගයක් සැපයීමට ව්‍යවසායකත්ව අධ්‍යාපනයට හැකිය. අවස්ථා හඳුනා ගැනීම, ව්‍යාපාර සැලසුම් සංවර්ධනය කිරීම සහ සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සිසුන්ට ඉගැන්වීමෙන්, සාම්ප්‍රදායික රැකියා මාර්ග මත රඳා නොසිට තමන්ගේම රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය මෙවලම්වලින් ඔවුන්ව සන්නද්ධ කිරීමට පාසල්වලට හැකිය. රැකියා සෙවීමේ සිට රැකියා නිර්මාණය දක්වා අවධානය යොමු කිරීමේ මෙම මාරුව විරැකියාව අඩු කිරීම සහ වඩාත් ස්වයං පෝෂිත ආර්ථිකයක් පෝෂණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
එපමණක් නොව, ව්‍යවසායකත්ව අධ්‍යාපනය මගින් නායකත්ව කුසලතා ප්‍රවර්ධනය කරන අතර, සිසුන් වැඩිහිටියන් බවට පත්වීමේදී ඒවා ඔවුන්ට අතිශයින් වැදගත් වේ. ව්‍යාපාර, රජයේ හෝ සිවිල් සමාජයේ වේවා, ශ්‍රී ලංකාවේ අනාගත නායකයන්ට සහයෝගීව වැඩ කිරීමට, දැනුවත් තීරණ ගැනීමට සහ දැක්ම සහ අඛණ්ඩතාවෙන් නායකත්වය දීමට හැකියාව තිබිය යුතුය. ව්‍යවසායකත්ව මානසිකත්වයක් ප්‍රවර්ධනය කරන පාසල් විසින් මෙම නායකත්ව ගුණාංග වර්ධනය කරමින්, සිසුන් තම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා පමණක් නොව, ඔවුන්ගේ ප්‍රජාව තුළ වෙනස්කම් ඇති කරන්නන් ලෙස භූමිකා භාර ගැනීමට ද සූදානම් කරයි.
ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ආර්ථික ස්වාධීනත්වය සහ බලගැන්වීම
බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන් ශ්‍රී ලංකාවද ආර්ථික අසමානතාව සහ දරිද්‍රතාව ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙමින් සිටියි. කුඩා කල සිටම ව්‍යවසායකත්වය පෝෂණය කිරීමෙන්, තම තරුණ පරම්පරාවට නව්‍ය ව්‍යාපාර හරහා තම ප්‍රජාව පරිවර්තනය කිරීමේ හැකියාව ඇති වෙනසේ නියෝජිතයන් බවට පත්වීමට අවශ්‍ය කරන බලය ලබාදීමට රටට හැකියාවක් ඇත. සාම්ප්‍රදායික රැකියාවකින් නොලැබෙන ධනය නිර්මාණය කිරීමට සහ ආර්ථික ස්වාධීනත්වය සඳහා අවස්ථා ලබා දෙමින්, ව්‍යවසායකත්වය බොහෝ දෙනකුට දරිද්‍රතාවෙන් මිදීමට මාර්ගයක් සැපයිය හැකිය.
උදාහරණයක් ලෙස, කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස පවතින ග්‍රාමීය ශ්‍රී ලංකාව, ව්‍යවසායක පරිවර්තනය සඳහා සූදානම්ව සිටී. නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා ආකාරය, සැපයුම් දාම වැඩිදියුණු කරන ආකාරය සහ අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණය කරන ආකාරය සිසුන්ට ඉගැන්වීමෙන්, තරුණයන්ට ඔවුන්ගේ ආර්ථික අනාගතය පාලනය කිරීමට බලය ලබාදීමට පාසල්වලට හැකිය. ආර්ථික අවස්ථා සීමිත විය හැකි ප්‍රදේශවල මෙය විශේෂයෙන් වැදගත් වන අතර, දේශීය සංවර්ධනය මෙහෙයවීමට සහ ග්‍රාමීය-නාගරික සංක්‍රමණය අඩු කිරීමට ව්‍යවසායකත්වය හරහා මාධ්‍යයක් සපයයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහාය ලබා දීම සහ ඩිජිටල් නවෝත්පාදන දිරිමත් කිරීම වැනි විවිධ මුලපිරීම් හරහා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරා ඇත. කෙසේ වෙතත්, ව්‍යවසායක පරිසර පද්ධතියක් සැබවින්ම ගොඩනැගීම සඳහා, පාසල් මට්ටමින් මෙම මානසිකත්වය පෝෂණය කළ යුතුය. තරගකාරී වෙෙළඳපොළක් තුළ සාර්ථක වීමට අවශ්‍ය විශ්වාසය, කුසලතා සහ දැක්ම වර්ධනය කර ගැනීමට සිසුන්ට මුල් අවධියේදීම ව්‍යවසායක මූලධර්මවලට නිරාවරණය විය යුතුය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තුළ ඔරොත්තු දීමේ හැකියාව සහ අවදානම් ගැනීම දිරිමත් කිරීම
ශ්‍රී ලංකාව වැනි රටක, සමාජ අපේක්ෂා බොහෝ විට ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අවධාරණය කරන අතර, පාසල්වල ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීම සිසුන්ට වඩාත් නම්‍යශීලී සහ අනුවර්තනය වීමේ මානසිකත්වයක් වර්ධනය කිරීමට උපකාරී වේ. අවදානම් ගැනීමට සහ අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමට ඇති හැකියාව සඳහා ව්‍යවසායකයන් ප්‍රසිද්ධව ඇති අතර, මේවා ආර්ථික හා තාක්ෂණික වෙනස්කම් අවිනිශ්චිතතාවක් ඇති කළ හැකි ලෝකයක අත්‍යවශ්‍ය කුසලතාය.
ශ්‍රී ලාංකික සිසුන් බොහෝ විට හැදී වැඩෙන්නේ අධ්‍යයන සාර්ථකත්වය මූලික අවධානය යොමු කරන සහ අසාර්ථකත්වය අපකීර්තියක් ලෙසින් සැලකෙන පරිසරයකය. කෙසේ වෙතත්, ව්‍යවසායකත්වය මගින් උගන්වන්නේ අසාර්ථකත්වය යනු අවසානය නොව, ඉගෙනීමට සහ වර්ධනයවීමට අවශ්‍ය කරන අවස්ථාවක් බවයි. ව්‍යවසායකත්ව අධ්‍යාපනය ඒකාබද්ධ කරන පාසල් සිසුන්ට ගණනය කළ අවදානම් ගැනීමට, නව අදහස් අත්හදා බැලීමට සහ අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට දිරිගන්වයි.
තාක්ෂණය හා නවෝත්පාදනය හේතුවෙන් කර්මාන්ත කඩා බිඳ දැමීමක් සිදුවන, වේගයෙන් වෙනස් වන ගෝලීය භූ දර්ශනයක් තුළ අනුවර්තනය වීමේ හැකියාව ඉතා වැදගත් වේ. අවිනිශ්චිතතාවෙන් මිදීමට සහ පසුබෑම් වලින් ගොඩ ඒමට සිසුන්ට ඉගැන්වීමෙන්, ඔවුන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිත දෙකෙහිම ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා සූදානම් වීමට උපකාර කිරීමට පාසල්වලට හැකිය. ශ්‍රම බලකායට ඇතුළු වන තරුණයන් සඳහා අනපේක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ආර්ථික අස්ථාවරත්වය සහ දේශපාලන අස්ථාවරත්වයට හැකියාවක් ඇති ශ්‍රී ලංකාව තුළ මෙය විශේෂයෙන් වැදගත් වේ.
ජාතික ආර්ථික වර්ධනයට දායක වීම
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ ගතික හා නව්‍ය ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම මතය. රටේ 2025 වසර සඳහා වන දැක්මේ සැලැස්ම හරහා තරගකාරී, අපනයනය මත පදනම් වූ සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක අවශ්‍යතාව අවධාරණය කරයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව නවෝත්පාදන මෙහෙයවිය හැකි සහ නව කර්මාන්ත නිර්මාණය කළ හැකි තරුණ ව්‍යවසායකයන්ගේ පරම්පරාවක් ඇති කළ යුතුය.
මෙම උත්සාහයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට පාසල්වල ව්‍යවසායකත්ව අධ්‍යාපනයට හැකිය. නවෝත්පාදන සංස්කෘතියක් පෝෂණය කිරීමෙන්, ජාතික ආර්ථික වර්ධනයට දායක වන ව්‍යාපාර ආරම්භ කිරීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමට පාසල්වලට සිසුන්ට උපකාර කළ හැකිය. උදාහරණයක් ලෙස, ඩිජිටල් සේවා සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන තාක්ෂණික අංශයට, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නව නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කළ හැකි නව්‍ය ව්‍යවසායකයන්ගේ ස්ථාවර ප්‍රවාහයක් අවශ්‍ය වනු ඇත.
එපමණක් නොව, රටේ වඩාත්ම දැවෙන සමාජීය හා පාරිසරික අභියෝග කිහිපයකට මුහුණ දීම සඳහා ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් සමාජ ව්‍යවසායකත්වය, දරිද්‍රතාව, අසමානතාව සහ පාරිසරික හායනය වැනි ගැටලු විසඳීම සඳහා ව්‍යාපාරික මූලධර්ම යෙදීමට සිසුන්ට මාර්ගයක් ලබා දෙයි. සමාජයට දායක විය හැකි ආකාරය පිළිබඳව ව්‍යවසායක ලෙස සිතීමට තරුණයන් දිරිමත් කිරීමෙන්, ශ්‍රී ලංකාව සැමට වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමට කැපවී සිටින සමාජීය වශයෙන් සවිඥානක නායකයන්ගේ පරම්පරාවක් බිහි කිරීමට උපකාර කිරීමට පාසල්වලට හැකිය.
කුසලතා පරතරය පියවා ගැනීම සහ අනාගතයට සූදානම් වීම
ගෝලීය ආර්ථිකය අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින විට, සාර්ථක වීමට අවශ්‍ය කුසලතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද කුසලතා පරතරයකට මුහුණ දෙන අතර, එහිදී සිසුන් පාසලේදී ඉගෙන ගන්නා කුසලතා සහ සේවා යෝජකයන්ට අවශ්‍ය කුසලතා අතර නොගැළපීමක් පවතී. ශ්‍රම බලකායට සෘජුවම අදාළ වන ප්‍රායෝගික, සැබෑ ලෝක කුසලතාවලින් සිසුන් සන්නද්ධ කිරීමෙන් මෙම පරතරය පියවා ගැනීමට උපකාරී කිරීමට ව්‍යවසායකත්ව අධ්‍යාපනයයට හැකියාවක් ඇත.
තරඟකාරීව සිටීම සඳහා නවෝත්පාදනය අත්‍යවශ්‍ය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවලදී සාර්ථක වීමට ව්‍යවසායකත්ව කුසලතා ඇති තරුණ තරුණියන්ට හොඳ අවස්ථාවක් ඇත. විවේචනාත්මකව සිතීමට, නිර්මාණශීලීව ගැටලු විසඳීමට සහ සහයෝගීව වැඩ කිරීමට සිසුන්ට ඉගැන්වීමෙන්, අනාගත රැකියා සඳහා ඔවුන් සූදානම් කිරීමට පාසල්වලට හැකිය. එපමණක් නොව, ස්වයංක්‍රීයකරණය සහ කෘතිම බුද්ධිය සාම්ප්‍රදායික කර්මාන්ත කඩාකප්පල් කිරීමට පටන් ගන්නා විට තමන්ගේම අවස්ථා නිර්මාණය කර ගැනීමට වටිනා විකල්ප මාර්ගයක් ව්‍යවසායකත්වය සිසුන්ට ලැබෙනු ඇත.
අවසාන වශයෙන්, ඔරොත්තු දෙන, නව්‍ය සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් තුළ ව්‍යවසායක සංස්කෘතියක් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. නිර්මාණශීලිත්වය, විවේචනාත්මක චින්තනය සහ අවදානම් ගැනීම ප්‍රවර්ධනය කිරීමෙන්, නූතන ලෝකයේ අභියෝග සහ අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීමට පාසල්වලට හැකිය. එසේ කිරීමෙන්, ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනයට මඟ පෑදීමට පමණක් නොව, රටේ සමාජීය හා පාරිසරික යහපැවැත්මට දායක වීමට ද හැකියාව ඇති තරුණ පරම්පරාවක් බිහි කළ හැකිය.
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
ලාංකික පාසල්වලට ව්‍යවසායකත්ව සංස්කෘතිය