නාඋල - ඉන්දික අරුණ කුමාර
වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායක
අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර
|
වර්ග කිලෝමීටර් 1993.9 ක් පුරා පැතිර පවත්නා මාතලේ දිස්ත්‍රික්කයේ වසර ගණනාවක් තිස්සේ පවත්නා වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගොවි ජනතාව නගන හඩට නිසි විසඳුමක් ලැබී තිබේ ද ? එය කිසිවකුගේ බලපෑමෙන් ඉදිරියට නොයන ව්‍යාපෘතියක් ද ? රටේ ආහාර අවශ්‍යතාවට ඝෘජුවදායක වන මාතලේ ගොවි ජනතාවට වන අලි හේතුවෙන් ඇතිවී තිබෙන බලපෑම් කවරේද? යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය දත්තවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 522316 කි.
මාතලේ දිස්ත්‍රිකයේ වනාන්තර හෙක්ටයාර් 69,513 කි. ඒ අතර ගෙවතු වගා කටයුතු සිදුකරන හෙක්ටයාර් ගණන 38,903 කි. අස්වද්දන ලද කුඹුරු හෙක්ටයාර් ගණන 23,013 කි. ප්‍රධාන ආර්ථික වැවිලි අතර තේ රබර් හා පොල් වගා හෙක්ටයාර් 10,185 කි. කාලීන බෝග හෙක්ටයාර් 8,754 කි.
අභ්‍යන්තර විශාල ජලාශ හෙක්ටයාර් 10,260 ක් පුරා පැතිර පවතියි.
මුඩු හා අත්හැර දමන ලද ඉඩම් ප්‍රමාණය හේක්ටයාර් ගණන 711 කි.
ලදු කැළෑ හා හේන් හෙක්ටයාර් 21,789 ක පුරා පැතිර පවත්නේය.
වනජීවි දෙපාර්තමේන්තුවට අනුව වන අලි ගම් වැදීම වැළැක්වීමට ඉදිකර ඇති අලි වැටේ දිග කිලෝමීටර් 110 කි.
එය නාඋල - ගල්බොඩ ග්‍රාමයෙන් ආරම්භ වී මොරගොල්ල, කෝන්ගහවෙල, පුබිබිලිය, හැලඹගහවත්ත, හාඩුව, නයාකුඹුර, අගුණවෙල් පැලැස්ස, වෑවල සහ සීගිරිය දක්වා ව්‍යාප්තව පවතින්නේය.
වසර ගණනාවක් පුරා පැවැති ආණ්ඩු මගින් මහා ධනස්කන්දයක් වැයකර ඉදිකර ඇති අලි වැටෙන් ප්‍රයෝජනයක් නැතැයි පවසන ගොවි ජනතාවගේ මැසිවිලි නැගීම් සම්බන්ධයෙන් අප පළමුව විමසීම් කළේ වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායක මහතාගෙනි.
වසර ගණනාවක් තිස්සේ ඒ මහතා වන අලි ගැටලුව සම්බන්ධයෙන් ඝෘජුව කරුණ ඉදිරිපත් කරයි.
මම මොරගහකන්ද ජලාශය හදන වෙලාවේ ඉදලම කිව්වේ ජලාශයට ආසන්න ගම්මාන වන ගල්බොඩ හා මොරගොල්ල ගම්මානවල ජනතාව ඉවත් කරලා වන අලින්ට ඉන්න තැනක් නිර්මාණය කරන්න කියලා. ඒ කාලේ හිටපු ප්‍රාදේශීය පාලකයන්ට තිබුණේ වෙන අවශ්‍යතාවක්. ඒ අයගේ ඡන්ද පදනමට මේ පිරිස් ඉවත් කිරීමෙන් බාධා වෙනවා කියලා තමයි හිතුවේ.
එහෙත් අද වන විට මේ ගම්මානවල ජීවත් වන ජනතාව අලින්ගෙන් පීඩා විඳිනවා. මම පැහැදිලිව කියනවා වන අලි පලවා හැරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. කොපමණ දුරකට වන අලි පැන්නුවත් ඒ අලි නැවත හිටපු තැන්වලට එනවා ඒක තමයි තත්වය. ඔය ජලාශ හදන්න ගිහිල්ලා අලි මංකඩවල් ඇහුරුණා. ඒ අයගේ ආහාර රටාව වෙනස් වුණා. අදටත් මින්නේරියට වන අලි යන්නේ මින්නේරියේ වැවේ තාවුල්ලේ වැවෙන කුඩා පැළෑට් කන්න.
ගම්මානවල කොස්, පොල්, අඹ, එළවළු පලතුරු වැවෙන්න පටන් ගත්තු නිසා වන අලි ඒවා කන්න ගම්වලට එනවා. අපි එදත් කීවා මේ සම්බන්ධයෙන් වෙනස් විදිහට හිතන්න ඕනේ කියලා. ඉතිරිවෙලා තියෙන වනාන්තර ටිකේ වන අලින්ට කන්න පුළුවන් කොස්, අඹ වගේ පලතුරු හදලා වතුර ටික ලැබෙන්න සැලැස්සුවානම් අලි ගම්වලට එන්නේ නෑ.
අනිත්කාරනේ තමයි අලි වැට. මේ අලිවැට නිසි ආකාරයෙන් නඩත්තු වෙන්නේ නැහැ.
මේ පිරිස වෙනුවෙන් වැයකරන අති විශාල මුදල ගමේ ගොවි සංවිධානවලට දීලා අලි වැට නඩත්තු කරවන්න පුළුවන්.
අනිත් කාරණේ තමයි අලි වැට නිතරම නඩත්තු වෙන්න ඕනේ. එහෙම ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවෙන්නේ නෑ. දැවැන්ත ප්‍රදේශයක් ආවරණය කරන්න ප්‍රමාණවත් නිලධාරීන් නැතිවුණාම ගැටලු රැසක් පැන නගිනවා. ඒ විතරක් නෙවෙයි අනෙකුත් යටිතල පහසුකම් නොතිබීම මේ සඳහා බලපාලා තියෙන කාරණා අතර කරුණු කිහිපයක් පමණයි.
මාතලේ දිස්ත්‍රික්කයේ දෛනිකව වැඩිම එළවළු ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සපයනු ලබන්නේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අඹන ගොවි සංවිධානය විසිනි. එහි වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නය.
අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන වයි.එම්.එස්. බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වන අලි ගම් වැදීමට මොරගහකන්ද - කළු ගඟ ජල ව්‍යාපෘති සෘජුව බලපා ඇති බවයි.
වසරකට කන්න තුනක් වගා කටයුතු සිදුකරනු ලබන අඹන මහ වෙල්යායේ වී වගාවට අමතරව බතල ඇතුළු එළවළු වර්ග රැසක් වගා කරයි.
‘ වගා කරලා තියෙන බෝග සේරම වගේ වන අලි විනාශ කරනවා. අලි විතරක්ම නෙවෙයි රිළව්, මොනරු, දඬුලේන්නු වගේ සත්තුත් දැන් වගාවලට කරන හානිය වැඩියි. අපි සංවිධානයක් විදිහට මේ සම්බන්ධයෙන් හෑම රජයකට කිව්වත් ඒවා ගණන් ගන්න කෙනෙක් නැහැ.
අලි වැටක් හරියට නෑ. අලි වෙඩිල්ලක් දෙකක් දීලා වනජීවි මහත්තුරු යනවා. ඒ මහත්තුරුන්ටත් කරන්න දෙයක් නෑ. පැවැති ආණ්ඩුවල අය මහා පරිමාණ විදිහට අලි වැටවල්වලට මුදල් වියදම් කළා. දැන් ඒ වැටවල් අක්‍රීයයි.
මේ දිස්ත්‍රික්කයේ වැවෙන එළවළු පලතුරු රටේ අනිත් පළාත්වලටත් ප්‍රවාහනය කරනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය රටේ ආර්ථිකයට බලපෑම් කරන්නේ අපි හදන එළවළු නිසා. මේ කාරණේ පාලකයන්ට තේරෙන්නේ නැහැ. මේ අලි වැටට අමතරව ගොවි බිම් ආරක්ෂා කරන්න ක්‍රමෝපාය රාශියක් ගොවි මහත්තුරුන් ළඟ තියෙනවා. එහෙත් ඒවට ඇහුන් කන්දෙන පාලකයෝ මේ රටේ නෑ.
මේ අලි ගැටලුව දිගින් දිගටම තවදුරටත් පැවතුණොත් ටොන් ගණනක් එළවළු නිෂ්පාදනය වන මාතලේ දිස්ත්‍රික්කයේ වගා කටයුතු ඇන හිටිනවා. එහෙම වුණොත් රටටම ඒ ගැටලුව බලපානවා. මාතලේ දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් බී ලූනු වගා කරනවා. බෝංචි, කරවිල, මෑ කරල්, වැටකොළු, මිරිස්, බණ්ඩක්කා, බතල, වම්බොටු වගේ එළවළු ප්‍රධාන වශයෙන් වගා කරනවා. හැම කන්නෙකම වී වගා කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි හේන් ගොවිතැන හරහා මුං, බඩ ඉඟුරු, කව්පි, උඳු, කුරක්කන් වගේ ධාන්‍ය වර්ග බහුලව මාතලේ දිස්ත්‍රික්කයේ වගා කෙරෙනවා. මේ හැම වගාවකටම වන අලි ඇතුළු වෙනත් සතුන්ගෙන් හානි සිදුවනවා. ඒ නිසා වහ වහා මේ වන සත්ව හානි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා.‘
වසර ගණනාවක් තිස්සේ මින්නේරිය හා ගිරිතලේ සොබා රක්ෂිතවලින් මොරගහකන්ද ජලාශය හරහා මාතලේ දක්වා ගමන් කළ වන අලින්ගේ සංචරන රටාව කෙරෙහි අවධානය යොමු නොකිරීම, අලි මංකඩ ඇහිරීම වැනි කාරණා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම වන අලි ගැටලුව මේ වන විට ඔඩු දුවා ඇත. මේ සඳහා තිරසාර විසඳුම් ලබාගැනීමට ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් පසුගිය සමය් දිගින් දිගටම අරගල කළ පිරිස් අද වන විට රටේ පාලක පක්ෂ බවට පත්ව සිටිති.
දැන් කළ යුත්තේ අතීතයට දොස් නැගීම පසෙක ලා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු සැපයීමය.
වන අලි ගැටලුවෙන් වැනසෙන මාතලේ කෘෂිකර්මාන්තය