සාරා කන්දෙගොඩ
ඛනිජ තෙල් වෙළෙඳාම සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධි පසුගිය දිනවල වාර්තා කෙරිණ. අවසන් නිගමනයක් රහිතව පවතින බව පෙනේ. ඛනිජ තෙල් සංස්ථාව හා තෙල් සිල්ලරට අලෙවි කරන පිරවුම්හල් හිමියන් අතර ගැටුමක් ඇත. විකිණීමේ දී ලැබිය යුතු කොමිස් මුදල සම්බන්ධයෙන් ගැටලුවක් හේතු කොටගෙන පසුගිය සති අන්තයේ දී පොදු ජනතාව නොසන්සුන් වූහ. තෙල් ඇණවුම් කිරීමෙන් වළකින අතර හිඟයක් ගැන කරුණු දක්වන ලද හෙයින් වාහන හිමියෝ වහාම තොග රැස්කරන පියවරකට අවතීර්ණ වූහ. රජය දිගින් දිගටම ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බව මාධ්‍යයට ප්‍රකාශ කළ අතර අද වන විට තෙල් ඇණවුම් කිරීමෙන් ඉවත්වීම පිටුපස කුමන්ත්‍රණයක් තිබේ ද යන්න ගැන රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
ඛනිජ තෙල් සංස්ථාව සමග ගනුදෙනු කරන පිරිසක් කුමන්ත්‍රණකරුවන් බවට හැඳින්වීම සැලකිය යුතු කරුණකි. ඛනිජ තෙල් ලබාගෙන ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ කොන්දේසි අනුව වෙළෙඳාම් කරන පිරිස ද මෙරට ව්‍යවසායකයෝය. සෑම පුද්ගලයකුටම දේශපාලන මතයක් දැරිය හැකිය. එසේ මතයකට අනුව කටයුතු කිරීම ව්‍යාපරවලින් නෙරපා හැරීමට හේතුවක් කරගත යුතු නැත. පැරැණි ආණ්ඩු කාලයේ ගුවන්තොටුපොළ ටැක්සි, බස් රථ ධාවනය කිරීමේ බලපත්‍ර, ගුවන් විදුලි නාලිකා ආදී වශයෙන් සෑම අංශයක්ම තමන්ගේ පාක්ෂිකයන්ට හරවන ක්‍රමවේද අනියම් ආකාරයකට අනුගමනය කරන ලද බව නොරහසකි. ජාතික ජනබලවේගය ආණ්ඩුව එවැනි පටු අදහස් අනුව තීරණ නොගන්නා බව ශපථ කර බලයට පත් නමුත් සෑම සිද්ධියක් පිටුපසම දේශපාලනය ගැන අඟවන්නට උත්සාහ කිරීම සුදුසු තත්වයක් නොවේ. ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික ව්‍යවසායන්ට අවස්ථා හිමිවිය යුතු අතර එවැනි අවස්ථාවලින් රැකියා උත්පාදනය, ආණ්ඩුවට බදු සහ මහජනතාවට උසස් සේවයක් හිමිවිය යුතුය.
ඛනිජ තෙල් අලාබ සමග අභ්‍යන්තරය පිරික්සීම
පසුගිය කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව දරුණු අලාබ ලැබූ ආයතනයකි. රජයේ වියදම් ඉහළ යන අතර ආර්ථිකය අර්බුදයකට පත් වූ පසු එයට මැදිහත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෙල් සංස්ථාව ඇතුළු රජයේ ආයතනවල වියදම කළමනාකරණය කිරීමේ නව විධි ක්‍රම කෙරෙහි බලකර ඇත. 2019 වසරේ දී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය ගෙන එන ලද යෝජනාවක් කරළියට එන්නේ එයින් ඉනික්බිතිවය. එවකට සිටි අධ්‍යක්ෂක මණ්ඩලට තෙල් සංස්ථාව සිය තෙල් පිරවුම්හල් හිමියන්ට ගෙවන කොමිස් මුදල විකිණුම් මිලට නොව සංස්ථාවේ පිරිවැය සලකා ගෙවිය යුතු බවට තීරණයක් ගෙන තිබුණි.
තෙල් තොග මෙරටට ගෙන එන මිල ජාත්‍යන්තර ඒකකයක් වන අතර පසුව එයට ගොඩබෑමේ ගාස්තු, ආණ්ඩුවේ බදු, කළමනාකරණ වියදම්, ලාබය හා තවත් අමතර වියදම් එකතු කෙරේ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ගණනය කර පාරිභෝගිකයන්ට සපයන බව හුවා දක්වන නමුත් අභ්‍යන්තරය වෙනස්ය. ඛනිජ තෙල් සංස්ථාවේ සියලුම අනවශ්‍ය පිරිවැය, නාස්තිය හා අකාර්යක්ෂමතාව මෙරට වැසියන් ගෙවන තෙල් මිලට ඇතුලත්ය. විශේෂයෙන් විදේශීය ණය දේශීය වාණිජ බැංකු අයිරා ඒවාට ගෙවන පොලිය පවා ඇතුළත්ය. ඒවා පාලනය කළහොත් යම් ප්‍රමාණයකට ඉන්ධන මිල අඩු කළ හැකිවේ.
ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉදිරිපත් කරන ලද මූලික තර්කය අනුව 2019 අගෝස්තු 15 වැනි දින සිට තෙල් සඳහා කොමිස් ගෙවීම මෙතෙක් කරන ලද අලෙවි මිලෙන් පෙට්‍රල් සඳහා සියයට තුනක් හා ඩීසල් සඳහා සියයට 2.5 ක් නොව අලෙවියට කලින් ලීටරයක් සඳහා සංස්ථාවේ මූලික වියදමෙන් එම ප්‍රතිශතය විය යුතු බව නිවේදනය කළ යුතු විය. එහෙත් විවිධ හේතු මත මෙම ප්‍රකාශනය ඉදිරියට එන්නේ නැත. 2022 මාර්තු මාසය දක්වා එම අධ්‍යක්ෂක මණ්ඩල තීරණය ක්‍රිියාත්මක වී නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාව දක්වයි. මෙම පසුබිම සලකා බලන ජාතික විගණකාධිපතිවරයා සංස්ථාවට 2022 ජූලි මාසය දක්වා සිදුවූ අලාභය රු. මිලියන 4349.93 ක් බව අවධාරණය කරයි. ඉන්ධන මිල අවම හා උපරිම සලකා සාමාන්‍ය ගාස්තුවක් කොමිස් මුදල වශයෙන් ගෙවීම ද වැරදි බව හුවා දක්වන විගණන වාර්තාව තවත් රු. මිලියන 1963.87 ක් ඉන්ධන අලෙවිසැල් හිමියන්ට ගෙවා ඇති අතර ඒවා ආපසු අය කරගත යුතු අතර එම සම්පූර්ණ මුදල රු. මිලියන 6,537.96 ක් බව පෙන්වා දී තිබේ.
ඉන්ධන වෙළෙඳාම අවදානම සමග ඉදිරියට
ඉන්ධන වෙළෙඳාම පහසු නැත. දැවැන්ත ආයෝජනයක් කළ යුතුවේ. සංස්ථාව අලාබ ලබන පියවර ආපසු හරවන තෙක් පිරවුම්හල් හිමියන්ට තෙල් තොගවලට චෙක්පත් නිකුත් කළ හැකි විය. තෙල් විකුණා ඒවා පියවන ක්‍රමවේදයකි. එහෙත් පසුව එම තීරණය ආපසු හැරවූ අතර ඇණවුම් කරන තෙල් තොග සඳහා කලින් මුදල් ගෙවීම අනිවාර්ය කර ඇත. නගරයේ ඉතාම ඉහළ වාණිජ වටිනාකමක් ඇති පර්චස් හතළිස් පහක ඉඩමක ඇප කොන්දේසි හා ආරක්ෂක පියවර සහිතව ඉන්ධන වෙළෙඳාමෙහි නිරතවීමට සිදුවේ.
අනාවරණය වන තොරතුරු අනුව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 234 ක් දැනට තිබේ. තෙල් සංස්ථාවේ නියෝජිතත්වය ඇති බෙදාහරින්නන් ගණන 674 කි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට සංස්ථාවට මුලින් අයිතිය තිබුණ පිරවුම් හල් සියයක් පවරා ඇති අතර තවත් පෞද්ගලික අලෙවි නියෝජිතයන් 149 කි. මෑතක දී ව්‍යාපාරයට ප්‍රවේශ වු සයිනොපැක් ආයතනයට සංස්ථාව සතුව කලින් තිබුණ පිරවුම්හල් 150ක් පවරා දී ඇත. ශ්‍රී ලංකාවේ අනුගමනය කරන තෙල් මිල නියම කිරීමේ සූත්‍රය තුළ තරගකාරී බවක් රහිතවීම පදනම් කරගෙන ඔස්ට්‍රේලියාවෙන් ආයෝජනය සඳහා සූදානම් වූ සමාගම ඉවත්ව ගියේය. එය මෙහෙයුම් ආරම්භ කළේ නම් සංස්ථාවේ අලෙවිසල් ගණන තවත් පහතට වැටේ.
සමස්ථයක් වශයෙන් ඉන්ධන පිරවුම්හල් එක්දහස් පනස් පහක් යනු දැවැන්ත ඉලක්කමක් නොවේ. ලෝකයේ අනෙක් රටවල ඉන්ධන බෙදාහැරීමේ ජාලා සහ අලෙවි සල් සමග සසඳන පසු කුඩා ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය දියුණු කිරීම හා විවිධාංගීකරණය අවශ්‍යය. ව්‍යාපාර සංකීර්ණ කරන තරමට රජයට, පළාත් පාලන ආයතනවලට ලැබෙන බදු ආදායම වැඩිවේ. වාණිජ බැංකුවල තැන්පත් හා ගනුදෙනු හේතු කරගෙන ඒවායෙන් ද ආර්ථිකය ශක්තිමත් කෙරේ. අලුතින් රැකියා ගණනාවක් සැපයේ. ආර්ථිකය සක්‍රීය කරන හේතුවකි. කොමිස් ප්‍රතිශතයක් ගැන තර්ක කරන නමුත් අවසානයේ දී මෙම ධනය ආර්ථිකයේ චක්‍රීයව හැසිරෙන බව කිසිසේත් අමතක කළ යුතු නැත.
කොමිස් මුදල ගැන ජාතික ප්‍රතිපත්තියක්
එකකට එකක් අනෙකකට තවත් එකක් වශයෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීම සුදුසු නැත. ගෑස් වෙළෙඳාම ද මෙයට සමානය. විදුලිය තොග විකිණීම් හා මිල දී ගැනීම් වෙනස් කරන්නේ කෙසේද? ආණ්ඩුවේ ඖෂධ සංස්ථාවෙන් බෙහෙත් තොග වශයෙන් මිල දී ගන්නා අයවලුන්ට බලපාන්නේ කෙසේද? සෑම අංශයකම අලෙවි මිල සලකා කොමිස් දෙන බව රහසක් නොවේ. බේකරියක නිෂ්පාදන මිල දී ගන්නා සුළු වෙළෙන්දෙකුට වටට්ම ලැබෙන්නේ අලෙවි මිලෙන් විනා ඔවුන් නිෂ්පාදනය කරන අතරතුර බදු හා වෙනත් පිරිවැය ඉවත්කර ශූද්ධ මිලෙන් නොවේ. ආනයන හා අපනයන අංශවලට බදු අයකරන අතර එය අවසාන මිලෙන් බව පැහැදිලිව දැක්වේ. ද්විත්ව බදු වැළැක්වීම සඳහා වැට් ක්‍රමය හඳුන්වා දී ඇති අතර අවසානයේ දී පාරිභෝගිකයාට හැර අනෙක් අතරමැදියන්ට නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ගෙවන බදු ආපසු අය කරගත හැකිය.
තවත් පැත්තක් මෙහි දී අමතක කළ යුතු නැතිව තිබේ. අලුත් නීති අනුව සියලුම පුරවැසියන් ආදායම් බදු ලිපිගොනුවක් නඩත්තු කළ යුතුවේ. ආදායම සලකා බලන පසු සියලුම මාර්ගවලින් එන ආදායම සලකා බැලේ. පෞද්ගලික අංශයේ වැඩකරන පිරිස උපයනවිට බදු ගෙවන අතර එයට නිවාස කුලී, වාහන කුලිය, ඉන්ධන පිරිවැය, වෛද්‍යාධාර, අතිකාල, වාර්ෂික ප්‍රතිලාභ පමණක් නොව දුරකතන ඇතුළු සියලුම ආදායම එකතුකර ප්‍රතිශත අනුව ගෙවන්නට නියම කර තිබේ. භාවිත කරන වාහනයට වැය කරන ඉන්ධන ආදායමක් වශයෙන් සලකන පසු එම බදු ප්‍රතිශතය ගෙවා දැමීමෙන් අනතුරුව ශුද්ධ ඉන්ධන දීමනාව පමණක් භාවිත කළහොත් විධායක ශ්‍රේණියේ ඇතැම් නිලධාරීන්ට දින ගණනක් වාහනය පැත්තකින් තබන්නට සිදුවේ. දුරකතන දීමනාව අනුව එහි ලාබයක් භාවිතකරන බදු ගෙවන නිලධාරීයාට නැති බව පැහැදිලි විය යුතුය. මෙකී කරුණු සලකා බලන පසු සෑම අංශයකම ප්‍රතිපත්තියක් නැති බව නිරීක්ෂණය වේ.
ආර්ථිකයට අධිකරණයෙන් නිර්වචන ලබාගැනීම සෑම අවස්ථාවකම ගැළපෙන්නේදරෑ කරුණු ඉදිරිපත් කරන පාර්ශවවල බලය අනුව සත්‍ය හඳුනාගැනීම වෙනස්ම පැතිවලට හැරෙන්නට පුළුවන. අතීතයේ ගත් තීන්දු ගණනාවකින් රටට ආර්ථික අවාසි සිදුවී ඇත. ඛනිජ තෙල් වෙළෙඳාම පමණක් නොව රජයේ සෑම අලෙවි හෝ සේවා කටයුත්තක දී ම කොමිස් වට්ටම් ගැන සලකා බලන සාධනීය ප්‍රතිපත්ති සකස් කිරීම සුදුසුය. මෙකී තීන්දු ගැනීම සඳහා සමත් විශේෂ නියාමනයක් ඇතිකළ හැකිය. විද්වත් කණ්ඩායමක් පත්කර සෑම පාර්ශවයකින්ම කරුණු විමර්ශනය කර තීන්දු ගැනීම ආර්ථික කටයුතුවල දී ගැළපේ.
ව්‍යවසායකත්වය නැංවීම: ඛනිජ තෙල් වෙළඳාම