IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සුර්ය බලශක්ති විවාදයට යෝජනා

අයි. එම්. ධර්මදාස, සොලිසිටර් නිලිමිණි රෝලෙන්ස් සහ සරෝජ් පතිරණ විසිනි


(මෙම ලිපියේ අරමුණ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කරන ලද සූර්ය බලශක්තිය පිළිබඳ කැබිනට් සාකච්ඡාව පිළිබඳව දැනුවත් කිරීමයි)

 

ශුද්ධ මිනුම්කරණය සහ පාරිභෝගිකයා

විවිධ ශුද්ධ මිනුම් යෝජනා ක්‍රම යටතේ “පාරිභෝගිකයා” ට (සූර්ය පැනල පද්ධතියක හිමිකරුවා) ගෙවිය යුතු ඒකක මිල අඩු කරන ලෙසට වන යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 
මෙහිදී පාරිභෝගිකයකු යනු නිෂ්පාදකයකු සහ පාරිභෝගිකයකු යන දෙඅංශයෙන්ම මිශ්‍රණයක් වන අතර, ඉන් අදහස් වන්නේ උත්පාදනය  කරමින් පරිභෝජනය කරන පුද්ගලයන් ගැනය. මෙය පදනම් වී ඇත්තේ ස්වයං හිමිකාරීත්වය ඇති සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදකයන් බොහෝ දෙනෙක් පාරිභෝගිකයින් ලෙස ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයට වඩා දෙගුණයක් විදුලිය ජනනය කරන බවට වන උපකල්පනය මතය. මේ අනුව, පාරිභෝගිකයාට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වීමට සහ ඔවුන් නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය සඳහා විදුලිබල මණ්ඩලයෙන් ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමයක් සඳහා මුදල් ලබා ගැනීමට හැකියාව ලැබේ.


මේ විවාදය කුමක් ගැනද?
මේ සම්බන්ධයෙන් දැනට යෝජනා ක්‍රම හතරක් තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2023 ඔක්තෝබර් මාසයේ රූෆ්ටොප් සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (PV) සම්බන්ධතා යෝජනා ක්‍රම මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියක රූෆ්ටොප් (වහළය මත)  සූර්ය විසඳුම් සම්බන්ධයෙන් විවිධ යෝජනා ක්‍රම පැහැදිලි කර ඇත. මින් වඩාත්ම කැපී පෙනෙන යෝජනා ක්‍රම දෙක වන්නේ “නෙට් ප්ලස්” සහ “නෙට් ප්ලස් ප්ලස්” යෝජනා ක්‍රමය.
නෙට් ප්ලස් ප්ලස් යෝජනා ක්‍රමය හරහා, ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයා කුඩා බලාගාර හිමියකු ලෙස සලකන අතර එමඟින් පාරිභෝගිකයාගේ අවශ්‍යතා ඉක්මවා වහල මත විදුලි උත්පාදනය උපරිම කරන අතර, අමතර වහල අවකාශයද උපරිම ලෙස භාවිත කරයි. මෙය විශාල ගොඩනැගිලි සහිත පාසල් සහ සමාගම් සඳහා හොඳින් ක්‍රියාත්මක වනු ඇත. කිලෝ වොට් 500 දක්වා පාරිභෝගිකයාට ඒකකයකට රු. 37 බැගින් ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් පියවර ගන්නා ලදී. මෙම ඒකක මිල 2022 ඔක්තෝබර් 26 සිට 2024 ජූලි 1 දක්වා ලබා ගත හැකි විය. කෙසේ වෙතත්, 2024 ජූලි 1 වන විට ඒකක මිල රු. 27 දක්වා අඩු කරනු ලැබීය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව යෝජනාවෙන් මේ යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව අප තේරුම් ගත යුතුය. 
සාමාන්‍ය ගෘහස්ත සඳහා වඩාත් ප්‍රවේශ විය හැකි සහ ජනප්‍රිය යෝජනා ක්‍රමය වන නෙට් ප්ලස් යෝජනා ක්‍රමයට අදාළව, ලංකා විදුලි බල මණ්ඩලයේ වත්මන් යෝජනාව වන්නේ කිලෝ වොට් 20 ට අඩු සූර්ය බලශක්ති පද්ධති සඳහා ඒකක මිල රු. 19 දක්වා තවදුරටත් අඩු කිරීමයි. කිලෝ වොට් 20-100 අතර ජනනය කරන ඒවා සඳහා ඒකක ආපසු ගෙවීම රු. 17 ක් වන අතර, කිලෝ වොට් 100 - 500 අතර ජනනය කරන ඒවා සඳහා ඒකකයකට රු. 15 ක් ලැබෙනු ඇත.
කිලෝ වොට් 5 සූර්ය පැනලයක ස්ථාපන පිරිවැය මේ වන විට රුපියල් මිලියන 1 ක් පමණ වේ. සූර්ය පැනලවල පිරිවැය ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් පුරා අඩු වී ඇති අතර, ඒකක ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. සූර්ය ඒකකයක ආයු කාලය අවුරුදු 22 සිට 25 දක්වා පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාකාරී සූර්ය සමාගම් 300 කට වඩා තිබෙන අතර, මෙය කාර්මික ශිල්පීන්, පරිපාලකයන් සහ ව්‍යවසායකයන් ලෙස ඉදිරි වසර ගණනාවක් තරුණ ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනකට රැකියා උත්පාදනය කිරීමේ අපේක්ෂාව සහිත වේගයෙන් වර්ධනය වන අංශයකි. සමකයට භූගෝලීය සමීපත්වය සැලකිල්ලට ගෙන, වසර පුරා පාහේ නොමිලේ ලබා ගත හැකි හිරු එළිය භාවිත කරමින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අංශයේ පුළුල් වර්ධනය ආර්ථිකයට ඇති විභව වාසි වේ.
එමගින් සිදුවන්නේ පාරිභෝගිකයාගේ විදුලි බිල්පත් අඩු කිරීම පමණක් නොවේ. මෙම හරිත බලශක්ති විසඳුම මඟින් ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයට වාර්ෂිකව බරපතල ලෙස බලපාන පොසිල ඉන්ධන ආනයනය කිරීමේ අධික වාර්ෂික පිරිවැය වළක්වා ගැනීමට ද අදහස් කෙරේ.
ගල් අඟු‍රු, ඩීසල් සහ න්‍යෂ්ටික බලශක්ති වැනි පරිසරයට හානි කරන බලශක්ති ප්‍රභව සඳහා අනවශ්‍ය අවශ්‍යතාව (එහි ආවේණික අන්තරාය සහ දැවැන්ත පිරිවැය සමඟ) වැනි කාරණා තවත් ණය බරක්, දේශගුණික අවදානම සහ දූෂණය වැඩි කිරීමේ අර්ථ විරහිත කාරණාවලට තුඩු දෙනු ඇත.


අන්තර්ගත තර්කය
පුනර්ජනනීය බලශක්තියේ අන්තර්ගත තර්කය වැරදි මග පෙන්වීමකි. සූර්ය හෝ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්තියේ සෘතුමය වෙනස්කම් නිසා ඒවා විශ්වාස කළ නොහැකි බවට තර්ක කළ හැකිය. ස්මාර්ට් ජාලයක ආයෝජනය කිරීමෙන් මෙය ඉතා පහසුවෙන් විසඳා ගත හැකිය. පවතින ට්‍රාන්ස්ෆෝමර් සහ ජාල රේඛා වැඩිදියුණු කිරීමෙන් මෙය කළ හැකිය. මෙම අරමුණ සඳහා ඕනෑම ලාබයක් නැවත ආයෝජනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දීම සඳහා කැබිනට් මට්ටමින් ප්‍රතිපත්තිමය තීරණයක් අවශ්‍ය වනු ඇත.


හරිත හයිඩ්‍රජන් යනු අනාගතයයි
සූර්ය බලශක්තියෙන් ජනනය වන බලශක්තිය, හරිත හයිඩ්‍රජන් විසඳුම් සඳහා ආයෝජනය කළ හැකි අතර, එයින් අදහස් කරන්නේ ලෝකයේ සෙසු රටවල් ප්‍රතික්ෂේප කරන පොසිල ඉන්ධන ආනයනකරුවකු වීම වෙනුවට, හිරු එළිය හිඟ උතුරු අර්ධගෝලයේ රටවලට හරිත හයිඩ්‍රජන් අපනයනය කරන්නකු බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි.
දේශගුණික අර්බුදය උග්‍ර කළ හැකි දූෂිත සහ මිල අධික ඉන්ධන ආනයනය මත යැපීමට වඩා, අපගේ දිවයින පරිසර හිතකාමී සංචාරක පාරාදීසයක් බවට පත් කර පිරිසුදු හරිත හයිඩ්‍රජන් අපනයනකරුවකු බවට පත් වුවහොත් එය ශ්‍රී ලංකා ආර්ථිකයට කළ හැකි දේ සිතා බැලිය යුතුය. 
හරිත හයිඩ්‍රජන් නිර්මාණය වන්නේ ජල අණු එහි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සංරචක බවට බෙදීමෙනි. හයිඩ්‍රජන් වායුව සම්පීඩනය කර අපනයනය සඳහා ගබඩා කළ හැකිය. ජල අණුව බෙදීම සඳහා අවශ්‍ය අවම වෝල්ටීයතාව වෝල්ට් 1.50 ඩීසී පමණ වන අතර, එය දැනට ලොව පුරා පරිමාණකරණය හා වාණිජකරණය වෙමින් පවතී.

 

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති දිවයිනක් ලෙස නැවත සන්නාමගත කිරීම
මෝටර් රථ සඳහා පොසිල ඉන්ධන ආනයනය සීමා කිරීම සඳහා, රජයේ මට්ටමින් ප්‍රතිපත්තිමය තීරණයක් මගින් සූර්ය වහල හිමියන්ට විදුලි මෝටර් රථ සඳහා සහන ලබා දිය හැකි අතර, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආරෝපණ මධ්‍යස්ථාන භාවිතය දිරිමත් කළ හැකිය. ශ්‍රී ලංකාව පිරිසුදු හා හරිත විදුලි මෝටර් රථ දිරිමත් කරන බැවින් පෙට්‍රල් සහ ඩීසල් ආනයනය සඳහා වාර්ෂික පිරිවැය අඩු කරනු ඇත.
ලෝකයේ සෙසු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත උනන්දුවෙන් යොමුවෙමින් සිටින අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ඇති කැපවීම් උල්ලංඝනය කරමින් පොසිල ඉන්ධන ආනයනය වෙත යොමු නොවිය යුතුය.
2015 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයට අත්සන් තැබීය. පැරිස් සමුළුවට පෙර ශ්‍රී ලංකාව සිය දේශගුණික ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ මෙසේ සඳහන් වේ: “මෙම ජාතික දේශගුණික සැලසුම්වල කිසිදු පසුබෑමක් සිදු නොවන බවට රටවල් එකඟ වී ඇති අතර, එයින් අදහස් වන්නේ කාලයත් සමග විමෝචනය අඩු කිරීමේ අභිලාෂයේ මට්ටම වැඩි වනු ඇති බවයි”.
ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති දිවයිනක් ලෙස නැවත සන්නාමගත කිරීමට සැබෑ අවස්ථාවක් තිබේ. මෙයින් අදහස් කරන්නේ එක්සත් ජාතීන්ගේ 25 වැනි දේශගුණික විපර්යාස සමුළුවේදී කරන ලද ප්‍රකාශය කරා ගමන් කිරීමයි. 2019 දෙසැම්බර් මාසයේදී මැඩ්රිඩ් හිදී පැවැති මෙම සමුළුවේදීශ්‍රී ලංකාවේ ප්‍රකාශය පහත දැක්වේ:
“ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ කාර්යභාරයේ වැදගත්කම හඳුනාගෙන පැරිස් ගිවිසුමේ පසු විපරම් ක්‍රියාමාර්ග අවසන් කිරීම සඳහා ඵලදායී හා නිශ්චිත පියවර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.
ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන වෙනස්කම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, වන වගාව, ජෛව විවිධත්වය, සමුද්‍ර හා ධීවර කර්මාන්තය, සංචාරක හා බලශක්ති (ජල විදුලිබල) අංශ වැනි ප්‍රධාන අංශ කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර ඇති අතර එමඟින් එහි ජනතාවට, පරිසර පද්ධතිවලට සහ ආර්ථිකයට විනාශකාරී බලපෑම් ඇති වී තිබේ. 2008 සිට 2018 දක්වා නිල සංඛ්‍යාලේඛනවලට අනුව, නියඟ, ගංවතුර සහ නායයෑම් නිසා මිලියන 15 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, මෙම විපත්වලින් ඇති වූ පාඩු සහ හානි ශ්‍රී ලංකාවේ ජාතික අයවැය මගින් දරනු ලැබ ඇත...
දේශගුණික විපර්යාසවල අවදානම් විසඳීම සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීම සඳහා, සියලු‍ දෙනා ඇතුළත් සහ සහභාගීත්ව දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටී.”
ඒකක මිල අඩු කිරීම ඉතා ප්‍රතිගාමී, හානිකර පියවරක් වන්නේ ඇයි?
මෙම අඩු කිරීම මගින් පිරිසුදු පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම අධෛර්යවත් කරනු ඇති අතර, එමඟින් ඉහළ ආනයන සඳහා සහ භයානක හා මිල අධික බලශක්ති ප්‍රභව වෙත යොමු වීමට ඉඩ ඇත.
ඒකක මිල අඩු කිරීමේ ප්‍රතිවිපාක පාරිභෝගිකයාට සිදුවන පාඩුවට වඩා බොහෝ සෙයින් දිගු වේ.
ලිතියම් බැටරි ගබඩා කිරීමේ විකල්ප යන්නෙන් අදහස් කරන්නේ රාත්‍රියේ හෝ වැසි සමයේදී හිරු එළිය බැබළීම නැවැත්වූ විට පවා සූර්ය පැනල නිපදවන ශක්තිය දිගටම භාවිතා කළ හැකි බවයි.
වත්මන් සූර්ය බලශක්ති සමාගම් සිය පැවැත්ම සඳහා විවිධාංගීකරණය වීමට සහ ලිතියම් බැටරි ගබඩා විසඳුම් සහ ඉන්වර්ටර් වෙත යොමු වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, එමගින් වසර පුරාවටම, ජාතික ජාලයට යොමු නොවී තම ගනුදෙනුකරුවන්ට පැය 24 පුරාම බලශක්තිය ලබා ගත හැකිය. පුද්ගලයන් සහ ආයතන ජාලයෙන් ඉවත් වන විට එය පෞද්ගලික අංශය භාර ගන්නා විට, විදුලිබල මණ්ඩලයේ ආදායම දිගු කාලීනව අඩු වනු ඇත.


කැබිනට් මණ්ඩලයට නිර්දේශ
ශ්‍රී ලංකා රජයට අපි පහත නිර්දේශ ඉදිරිපත් කරමු:
01. වර්තමානයේ අපට බිඳෙන සුළු ජාලයක් ඇති අතර, බලශක්ති කාන්දුවීම් අවම කිරීමට සහ දුර්වල ට්‍රාන්ස්ෆෝමර් සහ ජාල රේඛා ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජාලකය වැඩිදියුණු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය දැඩි උත්සාහයක් දැරිය යුතුය. එවැනි අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මඟින් සුළං සහ සූර්ය වැනි වරින් වර පුනර්ජනනීය බලශක්ති විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට හැකි වන පරිදි “ස්මාර්ට් ජාලයක්” කරා ගමන් කිරීමට අපට හැකියාව ලැබේ. 
02. වර්තමානයේ අප සතුව ජල විදුලියට සමාන පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 1500 ක් පමණ ස්ථාපනය කර ඇත. දිවා කාලයේ සූර්ය බලය බහුල වන විට, කිසිදු තාක්ෂණික දුෂ්කරතාවකින් තොරව ජල ප්‍රවාහය පාලනය කිරීමෙන් ජල විදුලිය අඩු කළ හැකිය. මෙය ජාල ශක්තිය සමතුලිත කරමින් බලශක්ති ගබඩා කිරීම සහතික කිරීමේ එක් ක්‍රමයකි.
03. මේ සඳහා තවත් විසඳුමක් වන්නේ පොම්ප කරන ලද ජල ගබඩා කම්හල් ය. කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පවතින එවැනි පියවර අනුගමනය කිරීම වැදගත් වේ.
04. අනාගත බලශක්ති වාහකයා වන්නේ සුළඟ සහ සූර්ය බලය යන දෙකම භාවිත කරමින් ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් නිපදවන හරිත හයිඩ්‍රජන් ය. ගෝලීය හරිත හයිඩ්‍රජන් විප්ලවයක් සිදුවෙමින් පවතින අතර, ඉන්ධන සෛල තාක්ෂණය භාවිතයෙන් වාහන ධාවනය කිරීමට හරිත හයිඩ්‍රජන් භාවිත කළ හැකිය. යුරෝපයේ හරිත හයිඩ්‍රජන් තාක්ෂණයෙන් දුම්රිය සහ බස් රථ ධාවනය කෙරේ. පොහොර නිපදවීම සඳහා හරිත හයිඩ්‍රජන් ඇමෝනියා සහ මෙතනෝල් බවට පරිවර්තනය කළ හැකි අතර අනෙකුත් කාර්මික භාවිතයන් සඳහා ද යෙදිය හැකිය. ශ්‍රී ලංකාව පසුපසට නොයා යුතුය.
05. ශක්තිය අවශ්‍ය විටෙක, විශේෂයෙන් රාත්‍රී කාලයේදී හරිත හයිඩ්‍රජන් ගබඩා කර දහනය කළ හැකිය. හයිඩ්‍රජන් දහනය කිරීමේදී කිසිදු වායු දූෂණයකින් තොරව ජල වාෂ්ප පමණක් නිපදවනු ලැබේ. ශ්‍රී ලංකාවේ දැනටමත් සෝබාදනවි ද්‍රව ස්වභාවික වායු බලාගාරය ඇති අතර, එය භාවිතයට සූදානම්ය. මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අප ද්‍රව ස්වභාවික වායු ආනයනය කළ යුතු බැවින්, දේශීයව නිපදවන හරිත හයිඩ්‍රජන් සමඟ ස්වාභාවික වායුව (මීතේන්) මිශ්‍ර කිරීමෙන් ද්‍රව ස්වභාවික වායු ආනයන පිරිවැය අඩකින් අඩු කර ගැනීමට අපට හැකි විය යුතුය. 
06. දේශීය සූර්ය බලශක්ති සමාගම් උසස් තත්වයේ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කළ යුතු අතර, ඔවුන්ගේ පෙරොන්දුවලට අනුකූලව “අලෙවියෙන් පසු සේවා” සැපයිය යුතුය.
07. නව රැකියා නිර්මාණය කිරීම සහ පද්ධතිවල මුළු පිරිවැය අඩු කිරීමට, ඉන්වර්ටර් සහ මෙම පද්ධති සඳහා අවශ්‍ය අනෙකුත් සංරචක වැනි උපාංග නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තු සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රකාශ වෝල්ටීයතා (PV) සමාගම් දිරිමත් කළ යුතුය.
08. ජාලගත සූර්ය වහලවලට අමතරව, ප්‍රකාශ වෝල්ටීයතා සමාගම් උණු වතුර පද්ධති සහ ජල පොම්ප පද්ධති ද අලෙවි කළ යුතුය. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය මත යැපෙන රටක් ලෙස, විශේෂයෙන් වියළි කලාපයේ සූර්ය ජල පොම්ප කිරීම සහ බිංදු වාරිමාර්ග පද්ධති, ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විශාල විභවයක් සපයයි.
09. බැටරි ධාරිතා වැඩිදියුණු වෙමින් පවතින අතර පිරිවැය අඩු වෙමින් පවතී. ජාලක යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කරන තෙක් මෙය දිරිමත් කළ හැකිය.
10. රජයේ අරමුදල් සහිත ව්‍යාපාර හරහා මහජන දැනුවත්භාවය වැඩි කිරීම වැදගත් වේ. ආනයනික හා මිල අධික පොසිල ඉන්ධන භාවිත කිරීමේ අන්තරාය සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමේ වැදගත්කම මහජනතාව හඳුනාගත යුතුය.
11. මහජනතාව විසින් පිරිසුදු පරිසරයක්, සෞඛ්‍ය ප්‍රතිලාභ සහ වැඩිදියුණු කළ ජීවන තත්වය තිබීමේ වාසි ද හඳුනාගත යුතුය.
12. අවශ්‍යතා ඇති ප්‍රජාව සවිබල ගැන්වීම, ඔවුන්ගේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම, දරිද්‍රතාව අවම කිරීම සහ දේශගුණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ‘‘සූර්ය ගම්මාන”‍ නමින් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් පසුගිය දශක දෙක තුළ සංවර්ධනය කර ඇත. සූර්ය ගම්මාන හතක් ස්ථාපිත කර ඇති අතර තවත් සූර්ය ගම්මාන තුනක් සඳහා අරමුදල් වෙන්කර ඇත.
  



අදහස් (0)

සුර්ය බලශක්ති විවාදයට යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site