IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


LOLC සමූහයට රු. බි. 57ක විශිෂ්ට බදු පෙර ලාභයක්

LOLC සමාගම් සමූහය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වසර තුළ වාර්තාගත ක්‍රියාකාරිත්වයක් සටහන් කරමින්, පෙර නොවූ විරූ ලාභදායීතාවක් අත්කරගෙන තිබේ. සමූහය එහිදී රු. බි. 57ක බදු පෙර ලාභයක් සහ රු. බි. 53ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත්තේ එම ඉලක්කය කරා ළඟා වූ දිවයිනේ ප්‍රථම පෞද්ගලික අංශයේ ආයතනය ලෙසිනි. ශ්‍රී ලංකාවේ ආයතනික අංශ ඉතිහාසයේ අති දැවැන්ත පරිමාණයේ ලාභදායීතාවක් මෙලෙස අත්කරගැනීමෙන් LOLC සමූහය, මෙරට ඉහළම ලාභදායීතාවක් සහිත සමාගම් සමූහය ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් සිය ප්‍රමුඛස්ථානය යළි තහවුරු කර ගනු ලැබීය. එමඟින් LOLC ලොව විශාලතම ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) වේදිකාවක් ලෙස ස්ථාපිත වී තිබේ.

LOLC හි මෙම අද්විතීය ක්‍රියාකාරිත්වයෙන් මව් සමාගමේ කොටස් හිමියන් වෙත වෙන් කළ හැකි ලාභය රු. බි. 28ක් දක්වා ඉහළ නංවා තිබේ. සමූහයේ ප්‍රතිඵල මගින් කොටසක මිල ඉපයුම පෙර වසරේ වාර්තා වූ රු. 22.93 ට සාපේක්ෂව සිත්ගන්නා සුළු රු. 59.01 ක් ලෙස සටහන් කර තිබේ. ඒ අනුව සමස්ත විස්තීර්ණ ආදායම රු. බි. 81ක් වන අතර, එයින් රු. බි. 37ක් මව් සමාගමේ කොටස් හිමියන් වෙත වෙන්කළ හැකි බව එම සමාගම කියයි. කොටසකට වෙන්කළ හැකි සමස්ත විස්තීර්ණ ආදායම රු. 77.84 කි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර අවසානයේ දී කොටසක ශුද්ධ වත්කම් වටිනාකම පසුගිය වසරේ වාර්තා වූ රු. 194.72 ට සාපේක්ෂව රු. 286.23 ලෙස දැක්වෙන්නේ සමාප්ත වූ මූල්‍ය වර්ෂය තුළ සමූහය විසින් නිර්මාණය කළ සුවිශේෂී වටිනාකම පිළිබිඹු කරමිනි.

ජපානයේ ඔරික්ස් (ORIX) කෝපරේෂන් සහ International Finance Corporation (IFC) සමඟ එක්වී 1980 වසරේ පිහිටුවන ලද පුරෝගාමී ලීසිං සමාගමක් වන LOLC, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSME) අනාගතය පිළිබඳ විප්ලවීය වෙනසක් සිදු කළ අතර, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) ලෙස දැවැන්ත පෞරුෂයකින් වර්ධනය විය. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ආකෘතියක් ස්ථාපිත කළ LOLC සිය විශේෂඥතාව ආසියාකරයේ කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, පාකිස්තානය මෙන්ම අප්‍රිකාවේ සැම්බියාව සහ නයිජීරියාව ඇතුළු ගෝලීය වෙළඳපොළ වෙත අපනයනය කළේ ආදායම් පිරමීඩයේ පහළම මට්ටමේ ජනතාව වෙත සශ්‍රීකත්වය රැගෙන එමිනි. ඊට අමතරව සමූහය මේ වනවිට මාලදිවයිනේ සහ සියෙරා - ලියොන්හි මූල්‍ය නොවන සේවාවන්හි සිය පිය සටහන් ස්ථාපිත කර තිබේ.

LOLC සමූහය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වතු වැවිලි, විවේක - සංචාරක, සුනිත්‍ය බලශක්ති, ඉදිකිරීම්, නිෂ්පාදන හා වෙළඳ, තොරතුරු තාක්‍ෂණ සේවා මෙන්ම පර්යේෂණ හා නවෝත්පාදන ඇතුළු එහි ප්‍රමුඛ සේවා අභිබවා ගිය ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොරෝනා වසංගතයෙන් 2020 වසර තුළ ඇතිවූ බලපෑම මෙන්ම එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ පසුබෑම හමුවේ වුවද, මෙම ව්‍යාපාර සියල්ල 2020/21 මුල්‍ය වර්ෂයේදී ලාභදායිතාවයේ ඉහළ ප්‍රවණතාවක් වාර්තා කිරීමට සමත්විය. ගෝලීය ආර්ථික පසුබෑමක් මෙම කාලවකවානුව තුළ අත්දැකිය හැකි වුවද, LOLC සහ එහි මෙහෙයුම් සමාගම්වල දේශීය හා ගෝලීය මෙහෙයුම් සඳහා ශක්තිමත් අරමුදල් ප්‍රවාහකයක් පැවතුනි.

මූල්‍ය සේවා සමාගම්වල ක්‍රියාකාරිත්වය සමස්තයක් ලෙස, LOLC මූල්‍ය සේවා රු. බි. 17.3 ක ශුද්ධ ඉපයීමක් වාර්තා කළ අතර ඒ අවදානම් අවම කිරීම උදෙසා රු. බි. 30 ක ශක්තිමත් අගරු හා සැක සහිත ණය වෙන්කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. ඒ සඳහා පසුගිය වසරේ වෙන් කෙරුණේ රු. බි. 17 ක මධ්‍යස්ථ සංචිතයකි. සෑම ක්ෂේත්‍රයකම ජනතාවගේ ජීවනෝපාය කොරෝනා ගෝලීය වසංගතයේ අහිතකර බලපෑම්වලට ලක්වූ අතර, සෑම රටකම නියාමනයේ ඉල්ලීම පරිදි සමූහයේ මූල්‍ය සේවා සමාගම් එලෙස බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් වෙත ණය පමා සහන ලබාදීමට කටයුතු කළේ ඔවුන්ට රැකවරණයක් වෙමිනි.

මෑත ඉතිහාසයේ අවම පොලී අනුපාත පැවතුනද, ශ්‍රී ලංකාවේ LOLC මූල්‍ය සමාගම් වෙත ශක්තිමත් ලෙස තැන්පතු ගලා ඒමක් දක්නට ලැබිණ. LOLC සමූහයේ ප්‍රමුඛ මූල්‍ය සමාගම වන LOLC Finance PLC (LOFC) රු. බි. 170 ක මුළු වත්කම් පදනමක් සමඟ, රු. බි. 4.4 ක බදුවලට පසු ලාභයක් වාර්තා කළේය. රු. බි. 77 ක මුළු වත්කම් පදනමක් සහිත Commercial Leasing & Finance PLC (CLC) ද ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය කරමින් 2020/ 21 මූල්‍ය වර්ෂය සඳහා රු. බි. 2.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. එමෙන්ම මුළු වත්කම් සංචිතය රු. බි. 19 ක් වන LOLC Development Finance PLC (LODF) වාර්තා කළ බදුවලට පසු ලාභය රු. මි. 155කි.

සෙලාන් බැංකුව 2020 මූල්‍ය වර්ෂය සඳහා රු. බි. 3 ක ස්ථාවර බදුවලට පසු ලාභයක් වාර්තා කරමින් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. බැංකුවේ තැන්පතු සංචිතය සියයට 9.9 කින් සහ ණය අත්තිකාරම් සියයට 4 කින් ඉහළ ගිය අතර ජංගම සහ ඉතුරුම් ගිණුම් තැන්පතු (CASA) අනුපාතය සියයට 33 ක් ලෙස පැවතින.

LOLC ගෝලීය සාර්ථකත්වය ඇරඹුණේ 2007 වසරේදී කාම්බෝජයේ PRASAC ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ සිදුකළ ආයෝජනයක් සමඟිනි. වසර 12 කට අඩු කාලයකදී එය ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් සහිත සමාගමක් ලෙස වර්ධනය විය. එහි සියයට 70ක කොටස් කොරියානු ජනරජයේ විශාලතම වාණිජ බැංකුවක් වන Kookmin Bank මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 603 කට මිලදී ගනු ලැබීය. එය සමූහයේ සමස්ථ ලාභදායීතාවට දායක වෙමින් ශේෂ පත්‍රය ශක්තිමත් කළ අතර, ඉතිරි කොටස් අලෙවි කිරීමේ විකල්පයක් 2021 දෙසැම්බරයට යෙදී තිබේ.

LOLC විදේශ මූල්‍ය සේවා ආයතන 2020/ 21 මූල්‍ය වර්ෂයේ සමූහයේ ලාභදායිතාවට ශක්තිමත් දායකත්වයක් දැක්වූ අතර මුළු වත්කම් පදනම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන LOLC Cambodia ඉන් පෙරමුණ ගත්තේ ඩොලර් මිලියන 45 ක ශුද්ධ ලාභයක් වාර්තා කරමිනි. වෙළඳපොළ තත්ත්වය අනුව කාම්බෝජයේ, සිව්වන විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම මෙන්ම PRASAC හැරුණු කොට කාම්බෝජයේ වඩාත් ලාභදායී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය වන LOLC Cambodia හි සියයට 97 ක කොටස් තවදුරටත් LOLC සතුවේ.

LOLC Myanmar Microfinance සමාගම, ආයතන 176 ක් අතුරින් එරට හතරවන විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම බවට පත්ව ඇති අතර, වත්කම් සංචිතය ඇ.ඩො.මි. 175 ක් සහ ඇ.ඩො.මි. 126 ක ආයෝජන කළඹකින් මෙන්ම ඇ.ඩො.මි. 20 ක වර්ධනය වන තැන්පතු සංචිතයකින් සමන්විත වේ. ඇ.ඩො.මි. 3 ක ශුද්ධ ලාභයක් සමඟින් LOLC Myanmar 2020/ 21 මූල්‍ය වර්ෂයේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කළේය.

2017 වසරේදී LOLC පාකිස්ථානයට පිවිසුණේ, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ හවුල් ව්‍යාපාරයක් වූ Pakoman ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවේ (POMB) ආයෝජනයක් සමඟිනි. සමූහය 2018 වසරේදී ඉන්දුනීසියාවට පිවිසුණේ PT Sarana Sumut Ventura (SSV) සමාගමේ පාලිත කොටස් අත්පත් කරගනිමිනි.

නැගී එන අනෙකුත් අසල්වැසි වෙළඳපොළ තරණය කරමින් LOLC මිලියන 110 ක ජනගහනයකින් යුත් පිලිපීනයේ, LOLC ASKI Finance සහ සකසුරුවම් බැංකුවක් වූ LOLC Bank Philippinesහරහා 2019 වසරේදී ආයෝජනයට පිවිසුණි.

ඇගයීමට ලක්වූ වසර තුළ LOLC, අප්‍රිකානු කලාපයේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ආයෝජනය සිදුකළ අතර, එහිදී නයිජීරියාවේ FinaTrustක්ෂුද්‍ර මූල්‍ය බැංකුවේ පාලන බලය සහිත කොටස් අත්පත් කරගන්නා ලදී. ඍජු විදේශ ආයෝජන මෙහෙයුමක් ලෙස LOLC Finance Zambiaසංස්ථාපිත කරමින් සමූහය සැම්බියාවේ මෙහෙයුම් ආරම්භ කළේය.

LOLC හි රක්ෂණ සමාගම් දෙක වන LOLC General Insurance Limited සහ LOLC Life Assurance Limited ගෝලීය වසංගතය සහ අනෙකුත් සමාජ - ආර්ථික විපත්තීන්ගේ පෙර නොවූ විරූ බලපෑම්වලට එරෙහිව ප්‍රබල ප්‍රතිරෝධයක් පෙන්නුම් කරනු දක්නට ලැබිණ. LOLC Life Assurance රු.බි. 3.2 ක දළ රක්ෂණ වාරික වාර්තා කළේ වසර 10කට අඩු කාලයකදී එම ඉලක්කය කරා ළඟා වූ ක්ෂේත්‍රයේ ප්‍රථම රක්ෂණ සමාගම බවට පත්වෙමිනි. දළ රක්ෂණ වාරිකවල (GWP) සියයට21ක වර්ධනයක් සටහන් කළ LOLC Life Assuranceපළමු වසර වාරිකවල සියයට 59 ශක්තිමත් වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, LOLC General Insurance Limited ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වසර 10කට අඩු කාලයකදී රු.බි. 6ක දළ රක්ෂණ වාරික එක්රැස් කළ රක්ෂණ සමාගම බවට පත්විය.

ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන LOLC Securities Limited 2020/ 21 මූල්‍ය වර්ෂය තුළ සිය වෙළඳපොළ ප්‍රතිශතය සියයට 7 සිට සියයට 9.5 දක්වා පුළුල් කිරීමට සමත් විය.

වසර 146ක ඉතිහාසයකට උරුමකම් කියන Brown & Company PLC සහ එහි ආයෝජන හස්තය වන Browns Investments PLC (BI) යටතේ LOLC මූල්‍ය නොවන සේවා ව්‍යාපාර ව්‍යුහගත කර ඇති අතර, ඇගයීමට ලක්වූ වසර තුළ එමගින් නොසැලෙන ක්‍රියාකාරිත්වයක් වාර්තා කර ඇත. සාර්ව ආර්ථික පරිසරය මුහුණ දුන් අභියෝග සහ දැඩි තරගකාරීත්වය මැද Browns වෙළඳ ව්‍යාපාර සියයට 45ක වර්ධනයක් සහිත ඉහළම ආදායමක් වාර්තා කිරීමට සමත් විය. 2020/ 21 මූල්‍ය වර්ෂය සඳහා දළ ලාභ සියයට 47කින් ඉහළ ගිය අතර, රු.බි. 1.8 ක බදුවලට පසු ලාභයක් වාර්තා කර තිබේ.

බ්‍රවුන්ස් සිය විශිෂ්ට ව්‍යාපාරික හැකියාවන් උපයෝගී කර ගනිමින් සමාගම TAFE ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් සහිත ට්‍රැක්ටර් සන්නාමය බවට පත් කිරීමට සමත් විය. අද Massey Ferguson සහ TAFE සියයට 50 ක වෙළඳපොළ ප්‍රතිශතයක් භුක්ති විඳියි. ජපාන මාදිලියේ ඉහළම තේරීම වන Yanmar Combined Harvester සියයට 60 ක වෙළඳපොළ ප්‍රතිශතයක් දරන අතර එහි චීන සගයා 'SOMO'’ එම අංශයේ සියයට 50 කට වැඩි වෙළඳපොළ ප්‍රතිශතයක් දරයි.

වාහන බැටරි වෙළඳපොළේ සියයට 75 ක වෙළඳපොළ ප්‍රතිශතයක් හිමිකර ගැනීමට බ්‍රවුන්ස් සමත් වූයේ 'Exide, Lucas සහDagenite' යන විශිෂ්ට සන්නාම පරාසයකිනි. තවද, ශ්‍රී ලංකාවේ අංක එකේ රේඩියේටරය 'RADCO' වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස සියයට50 ප්‍රතිශතයක් දරයි.

බ්‍රවුන්ස් ප්‍රමුඛ පෙළේ ගෝලීය පශු සන්නාම වන Zagro, MSD සහ Eukanuba සමඟද හවුල්කාරිත්වයක් පවත්වාගෙන යයි.

සමූහයේ දේශීය වැවිලි අංශය මතුරට සහ ගල්ඔය වතු වැවිලි සමාගම් හරහා ක්‍රියාත්මක වන අතර, එම ව්‍යාපාර දෙකම ඇගයීමට ලක්වූ වසර තුළ ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා කුරුඳු සඳහා පවතින ඉහළ ඉල්ලු‍ම හමුවේ ගෝලීය වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීම සඳහා අගය එකතු කිරීමේ කුරුඳු නිෂ්පාදන සංවර්ධනය කිරීමේ අරමුණෙන් මෙරට කුරුඳු අපනයනකරුවකු වන Tropical Island Commodities පෞද්ගලික සමාගමේ සියයට 67 ක කොටස් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමූහය විසින් අත්පත් කර ගන්නා ලදී. වසර තුළ ‘මතුරට’ ඓතිහාසික ක්‍රියාකාරීත්වයක් සටහන් කරමින් සමූහයේ ලාභදායීතාව සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූයේ රු. මි. 382 ක ශුද්ධ ලාභයක් වාර්තා කරමිනි.

ගල්ඔය වතු වැවිලි සමාගම උක් වගාව සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව කටයුතු කරන අතර, දේශීය ඉල්ලු‍ම සපුරාලීමේ අරමුණින් හිඟු‍රාන සීනි කර්මාන්ත ශාලාව ද පුළුල් කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මෙරට ප්‍රථම උපයෝගිතා පරිමාණයේ ප්‍රථම සූර්ය බලාගාරය, Sagasolar Power (පුද්ගලික) සමාගම 2016 වසරේ දියත් කිරීමෙන් පසු වසර 4කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමූහයට ස්ථාවර ලාභ ජනනය කරයි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි ඉදිකිරීම් හා ඉංජිනේරු හස්තය වන බ්‍රවුන්ස් ඉන්ජිනියරින්, විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් ප්‍රදර්ශනය කළ සමාගම රු.බි. 1.6 ක ආදායමක් සහ රු.මි. 361 ක බදුවලට පසු ලාභයක් වාර්තා කර තිබේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අනුබද්ධිත 'Browns Hotels & Resorts' විවේක සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් ලෙස රැඳී සිටි අතර, කාමර 158 කින් සමන්විත බෙරුවල Eden Resort & SPA, කාමර 67 කින් සමන්විත දඹුල්ලේ The Paradise, කාමර 76 කින් සමන්විත Dickwella Resort & Spa සහ කාමර 70කින් සමන්විත පාසිකුඩාහි The Calm Resort & Spa ඊට අයත් වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව රජය විසින් ගෝලීය වසංගතයේ බලපෑමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ කෙටිකාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කර තිබේ. සමූහය විසින් කාලානුරූපව මෙම හෝටල් විදෙස්ගතවූවන් මෙරටට යළි ගෙන්වාගැනීමේ පහසුකම් සපයන හෝටල් බවට පරිවර්තනය කිරීමෙන් මෙහෙයුම් ලාභ සහිත ස්ථාවර ආදායම් ප්‍රවාහයක් භුක්ති විඳීමට උපකාරී විය. Sheraton මගින් කළමනාකරණය කරන කාමර 172 කින් යුත් Sheraton Kosgoda Turtle Beach Hotel වසර තුළදී මෙහෙයුම් ආරම්භ කෙරිණ. තවත් තරු පහේ දේපළක් වන කාමර 365 කින් සමන්විත බේරුවල රිවරිනා රිසෝට්ස් ඉදිකිරීම් කටයුතු ද ආරම්භ වී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ මාලදිවයිනේ සිදු කළ කැපී පෙනෙන ආයෝජන සමඟින් සමූහයේ විවේක - සංචාරක පියසටහන් ගෝලීය තලයට ව්‍යාප්ත විය. කාමර 136 කින් සමන්විත 'Nasandhura Maldives' සුඛෝපභෝගී නාගරික හෝටලය නිවහන් 118 ක් සහ අතිනවීන සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් නිමාවෙමින් පවතී. ප්‍රමුඛතම දේපළක් වන මෙය මාලේ නගරයේ ප්‍රතිරූපය ඉහළ නංවන සුවිශේෂී සංවර්ධනයක් වනු ඇත. මාලදිවයිනේ Ari අටොළුවේ Bodhufarufinolhu දූපතේ කාමර 100 කින් යුත් තවත් හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර මේ වසරේ දෙසැම්බරයේ නිමාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ වරාය නගරයේ (CPC) උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති තත්ත්වය ලැබූ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (CIFC) මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පනි ලිමිටඩ් (CHEC) සමඟ වැදගත් ගිවිසුමකට එළඹුණි. මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කෙරෙන හෙක්ටයාර 6.8 ක භූමි ප්‍රමාණයකින් සහ ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන වටිනාකමකින් යුක්ත වේ. පළමු අදියර සඳහා වන මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වන අතර එය හෙක්ටයාර 3.06 ක භූමි ප්‍රමාණයක පැතිරේ.

LOLC සමූහයේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර

LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන



අදහස් (6)

LOLC සමූහයට රු. බි. 57ක විශිෂ්ට බදු පෙර ලාභයක්

sunanda Wednesday, 23 June 2021 04:12 PM

ගිනි පොලියට සල්ලි දීලා මිනිසුන් සුරා කන ව්‍යාපාර...

:       2449       1633

Pragiith RathnayakeThursday, 24 June 2021 08:42 AM

LOLC එක අනිත් සමාගම් නොකරන මානුෂීය සේවයක් කරනවා. මට මූල්‍යමය අමාරු වුණු වෙලාවේ අනිත් ලීසිං ආයතනවල බලුකම් ඉස්සරහා සෑහෙන අසරණ වුණා. ඒ වෙලාවේ මේ සමාගම නොතිබෙන්න මට වෙන්නේ වස බොන්න. මිනිස්සුන්ට එහෙම උදව් නොකරන්න, මූල්‍ය සමාගම් වලට පැවැත්මක් නෑ මහත්තයා...

:       1548       2347

sugathFriday, 25 June 2021 06:36 PM

ඔය මහත්තයා පොලිය කීයක් විතර ගෙවනවද? 35% විතර?

:       0       0

susantha Friday, 25 June 2021 03:30 PM

ඔච්චර ලාබ පෙන්නන බය නැද්ද?

:       64       5

andima Monday, 28 June 2021 09:01 PM

වෙනත් වචන වලින් කියනවා නම් අඩු වටිනාකමක් ඇති සේවා වලින් හෝ භාණ්ඩයක් ලබාදීලා ඒකට වැඩි වටිනාකමක් අය කිරීමෙන් ලැබුණු මුදල් අතිරික්තය නේද ලාභය කියන්නේ..?

:       488       111

බන්ඩාර Tuesday, 29 June 2021 09:26 AM

කෙටියෙන් කියනවා නම් බිලියන 57ක් දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය හූරගත්තු සල්ලි... ලොකු මිනිස්සු ඔය ආයතනයෙන් ණය ගන්නේ නැහැ.

:       625       107

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site