“අනාගතය සඳහා අයවැයකරණය - ඇතුළත් කිරීම සහ සාධාරණත්වය ප්‍රමුඛ කිරීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය දේශපාලනඥයන්, විද්වතුන්, පර්‌යේෂකයන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.
එහිදී ආරම්භක දේශනය පැවැත්වූ Coalition for Inclusive Impact (CII) අධ්‍යක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ දේශීය අධ්‍යක්ෂ සංජේ විග්නරාජා, 2025 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සහ ආදායම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව සාකච්ඡා කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර ඇති බව පැවැසීය.
ඇඩ්වොකාටා, අරුත, දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය, වෙරිටේ රිසර්ච් යන ආයතන විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට “ඩේලි එෆ්ටී” පුවත්පත මාධ්‍ය අනුග්‍රහය ලබාදී තිබුණි.
“සාකච්ඡා මත පදනම්ව ප්‍රධාන නිර්දේශ කෙටුම්පත් කර ඒවා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය නියමු වැඩසටහනක් ලෙසින් පසුගිය වසරේද සිදුකළා” යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.
“අඛණ්ඩතාවෙන් යුත් අයවැයකරණය: අතීතයෙන් පාඩම් සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ග” යන මැයෙන් සිය දේශනය කළ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා, වඩා හොඳ අයවැයකරණය සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් පෙන්වා දුන්නේනේය. ඉන් පළමු වැන්න අඛණ්ඩතාව, එනම් අයවැයේ තොරතුරු ගැටලුය. දෙවැන්න වගවීම, එනම් අයවැයෙන් පසුව බොහෝ දුරට සිදුවන අයවැයේ හැසිරීම් ගැටලුය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කරන විට සහ අයවැය පිළිබඳ වාර්තා ලියන විට ලද අත්දැකීම් උදාහරණවලට ගත් ඔහු, අයවැයක සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙනස්කම් පැහැදිලි කරමින් පැවැසුවේ අයවැයක දත්තවල අනුකූලතාව නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි.
අයවැය - රජයේ මූල්‍ය සැලැස්ම
“හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් අයවැයක් වෙන්කර හඳුනා ගන්නේ, රජය ඉදිරිපත් කරන අදහස් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සැලැස්මක් ඇති තැනිනුයි. සංඛ්‍යා නොමැති අයවැයක් ලැබුණහොත්, ඇත්ත වශයෙන්ම අයවැයක් නොමැති බවට සංඛ්‍යාවල හිඩැසක් ඇති බවට ප්‍රශ්නයක් තියෙනවා” යැයි ඔහු පැවසුවේ ඓතිහාසිකව 2019 සිට අයවැයෙන් ඉදිරිපත් කරන නව යෝජනා පිළිබඳ අදහස්වලට අංකයක් අමුණා නොමැති බවත්, ඒ නිසා ඒවා සැබවින්ම ප්‍රශ්නකාරී බවත්ය.
ආචාර්ය ද මෙල්ට අනුව, 2002 දී අතුරු අයවැයේ යෝජනාවලින් සියයට 100 කටම සංඛ්‍යා නොතිබුණද, ඒවා යෝජනා සඳහා ඉහළ ප්‍රතිශතයක් සම්බන්ධ කර තිබුණි.
“අපගේ අයවැය වාර්තාවල ඇති මෙම ප්‍රවණතාව ඉස්මතු කරමින් මේවා විසඳා ගත යුතු බව රජයට අවධාරණය කරනවා. ඒකට හේතුව තමයි, සංඛ්‍යා නොමැති යෝජනා විශාල සංඛ්‍යාවක් සහිත අයවැයක් ඔබට ලැබෙන්නේ නම්, එයින් අදහස් වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජය තරමක් අස්ථාවර බවයි’’ යැයි අවධාරණය කළේ, අයවැය ලේඛන තුනක සංඛ්‍යා නොගැළපීම පිළිබඳ ගැටලුව ඉස්මතු කරමිනි.
“පසුගිය වසර අට තුළ සෑම වසරකම විවිධ ලේඛනවල දක්වා ඇති සංඛ්‍යා නොගැළපෙන බව අපට පෙනී ගොස් තියෙනවා. ඒවා වෙනස් ලෙස ව්‍යුහගත කර ඇති අතර, මෙම සංඛ්‍යා එකතු කිරීම සඳහා විවිධ වර්ගීකරණයන් භාවිත කරනවා. එම ලේඛනවල දක්වා ඇති සංඛ්‍යා පමණක් නොව, එකම වාර්තාවේ සංඛ්‍යා පවා එකිනෙකට පරස්පරයි. මම කියන්නේ මෙතැන ඇත්තටම වෘත්තීයභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා” යැයි ඔහු අවධාරණය කළේය.
අයවැය කතාවේ වාර්තාවන පළාත් සභා වැටුප් සහ සහ වේතන, කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවේ මාරු කිරීම් ලෙස වාර්තා කර ඇති නිසා අයවැය යනු කුමක් දැයි තේරුම් ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ව්‍යාකූල වන අතර, එය විවිධ ආකෘතිවලින් වාර්තා කර ඇති නිසා, මුදල් අමාත්‍යාංශය ඔවුන්ට අමතර තොරතුරු ලබා නොදෙන්නේ නම් ඒවා සැසඳීමට ඔවුන්ට කිසිදු ක්‍රමයක් නොමැති බවත් ආචාර්ය ද මෙල් තවදුරටත් පෙන්වා දුන්නේය.
අවංකකම ඇසෙන්නේ කලාතුරකින්
ආචාර්ය ද මෙල් පවසන පරිදි, අයවැය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ කිසිසේත්ම අසන්නට නොලැබෙන අවංකකමයි. ඊට හේතුව ඒවා වැරදි ලෙස නිරූපණය කිරීමට හැකිවීමයි. COPE රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැවැති අයවැය සාකච්ඡාවකදී අවංකභාවය පිළිබඳ ලත් උදාහරණයක් ගෙනහැර දක්වමින් ඔහු පැවැසුවේ, සූදු සහ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 1 දක්වා සංශෝධනය කරන ලද නමුත්, එහි බලපෑම නිසා ආදායම රුපියල් මිලියන 10 කින් වැඩිවන බවට අයවැයෙන් සඳහන් කර තිබූ බවයි.
අවංකකම කලාතුරකින් ඇසෙන බවත් අයවැයේ වගවීම එහි නොමැති බවත් ඔහු පැවසීය. “මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඒ ගැන දැන සිටියේ නැහැ. මේවා සිදුවන්නේ දේශපාලන මට්ටමින් නොවේ, නිලධාරිවාදී මට්ටමින්” යැයි ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව සුවිශේෂී අවස්ථා දෙකක් වාර්තා කළ බවත්, ඒවා වන්නේ ප්‍රාථමික වියදම් සඳහා නිරපේක්ෂ සීමාවක් ඇති ලෝකයේ එකම රට සහ ප්‍රාථමික වියදම් පදනම් කරගත් රීතියක් ඇති ලෝකයේ එකම රට හෝ ප්‍රාථමික වියදම් අනුව ලෝකයේ අඩුම රට බවද ආචාර්ය ද මෙල් පැවසීය. “මේ දේවල් රටට අහිතකරයි, මන්ද ඒවා සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය වැනි හොඳ වියදම් සඳහා තියෙන මුදල් රජයෙන් ඵලදායී ලෙස උදුරා ගන්නා නිසා”. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ප්‍රතිපාදන යටතේ බදු වෙනස් කිරීමට අමාත්‍යවරුන්ට ලබා දී ඇති අධික අභිමතය හානිකර බවත් සීනි සහ බැඳුම්කර වංචාවල මෙන් දූෂණයට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙය තේරුම් ගෙන, අපි කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව, පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව බදු වෙනස්කම් හඳුන්වා දීමට අමාත්‍ය අධිකාරිය සීමා කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කළා. ඊට හේතුව එය බොහෝ දූෂණයට හේතු වන නිසා. රජයට 2024 ජුනි මාසය වන විට එම ක්‍රියාමාර්ගය සම්පූර්ණ කළ යුතු නමුත් එය සිදු වුණේ නැහැ. පසුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමාලෝචනය කරන ලද වැඩසටහන සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, මෙම කැපවීම ඉවත් කළා” යැයිද ඔහු අවධාරණය කළේය.
ආචාර්ය ද මෙල් සිය ඉදිරිපත් කිරීම අවසන් කළේ අයවැය අඛණ්ඩතාව සහ වගවීම පවත්වා ගැනීම සඳහා නිර්දේශ හතරක් ඉදිරිපත් කරමිනි. ඒවා උපකල්පන සහ යාවත්කාලීන කිරීම් සහිත ආධාරක ලේඛන මගින් සහාය දක්වන හොඳින් සකස් කරන ලද යෝජනා විය. ඒම යෝජනා වන්නේ වඩා හොඳ මූල්‍ය හැසිරීම් සහ ප්‍රතිඵල සීමා කරන නීති සහ රෙගුලාසි සංශෝධනය කිරීම, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අයවැය ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම සහ අයවැයට බලපාන කරුණු වලදී අධික අභිමතය පරිදි ඉඩ ඉවත් කිරීම ය.
අයවැය සකස් කිරීමේදී මුහුණ දෙන සැබෑ අභියෝග
ඩේලි එෆ්ටී පුවත්පතේ ප්‍රධාන කර්තෘ නිස්තාර් කාසිම් විසින් මෙහෙයවන ලද කමිටු සාකච්ඡාවේදී, ජාතික සංවර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අයවැය සකස් කිරීමේදී සහ පූර්ව උපදේශනවලදී ඇති සැබෑ අභියෝග මොනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, වත්මන් රජය ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔවුන්ගේ යෝජනා කිහිපයක් හෙළි කරන නමුත්, අවාසනාවකට ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ සැබෑ අයවැය අතර බොහෝ විට පරතරයක් ඇති බව පැවසීය. “වැඩි ඇතුළත් කිරීම් නොමැති අතර, පෞද්ගලික අංශයේ නියෝජනය යම් දුරකට තිබිය හැකි නමුත් කිසි විටෙකත් සිවිල් සමාජයේ නියෝජනයක් සිදුවෙන්නේ නෑ. භාණ්ඩාගාරය මහජන නිර්දේශවලට ආරාධනා කරන ආකාරය අතීතයේ දී අපි දැක තියෙනවා. ඒත් ඔවුන් ඔවුන්ගේ නිර්දේශ සැබවින්ම සැලකිල්ලට ගන්නවාද” යැයි ඔහු විමසීය.
සෑම වසරකම ජූලි මාසයේදී අයවැය චක්‍රය ආරම්භ වන අතර, සියලු තොරතුරු ලබා දී, අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වියදම් ආයතන, අමාත්‍යාංශ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ යෝජනා ලබා දෙන ලෙස ආරාධනා කළද, නව යෝජනා ලබා දීමට හෝ දේශපාලන අධිකාරිය ආරම්භ කර ඇති යෝජනා පිළිබඳව අදහස් දැක්වීමට සූත්‍රගත කිරීමේ අදියරේදී ලේඛනගත ක්‍රියාවලියක් නොමැති බව ඔහු පැවසීය. එසේ නම් නව යෝජනා සකස් කළ හැකි නමුත් තොරතුරු නොමැතිකම තවමත් බරපතළ ගැටලුවක් ලෙස පවතී.
වසර 35 කට පෙර ස්ථාපිත කළ හැකිව තිබූ සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයක් තිබීමේ තීරණාත්මක අවශ්‍යතාව වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
“මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට යෝජනාවක් තිබුණා. මම මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඔවුන් ඒ සැලැස්ම පිළිබඳ පත්‍රිකාවක් ගෙනාවා. ව්‍යාපෘතිය ඇගයීමට ලක් නොකළ අතර එය දේශපාලන න්‍යාය පත්‍රයක් මගින් මෙහෙයවනු ලැබුවා. ව්‍යාපෘති ඇගයීමක් තිබුණා නම්, එහි පිරිවැය සහ ප්‍රතිලාභ ලැබෙන්නේ කවදාද යනාදිය ගැන එවකට රජයට දැන ගැනීමට හැකි වෙනවා. එය කළ නොහැකි නිසා, මම සම්පූර්ණයෙන්ම ආර්ථික විද්‍යාව සහ ප්‍රතිලාභ මත පදනම්ව එය ප්‍රතික්ෂේප කළා. එහෙත් ඔවුන් එය ඉදිරියට ගෙන ගියා” යැයි පවසමින් ඔහු වැඩිදුටත් පෙන්වා දුන්නේ, එය විද්‍යාත්මක පදනම අනුගමනය නොකළ එක් උදාහරණයක් පමණක් බවය.
අයවැය සකස් කිරීමේ සීමිත හැකියාව
ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ අවධාරණය කළේ අයවැය සකස් කරන අයගේ සීමිත හැකියාව ද කනස්සල්ලට කරුණක් බවයි.
රාජ්‍ය අංශයට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අවශ්‍යතාව ඉස්මතු කරන අතරම, ධාරිතා වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහාය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව වෙත යොමු වී ඇති බව ඔහු පැවසීය.
හරිත අයවැයකරණය, තිරසාර සංවර්ධන ඉලක්ක අයවැයකරණය සහ සාමාන්‍ය අයවැයකරණය වැනි අයවැයකරණයේ නව ප්‍රවේශයන් පිළිබඳව කඩෝනෝ පැහැදිලි කළ අතර, රජයේ අරමුණු සහ ඉලක්ක සහ ජනතාවගේ ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැය සකස් කළ හැකි වන පරිදි එම ප්‍රවේශය ගෙන ඒමට මෙය හොඳ අවස්ථාවක් බවද පෙන්වා දුන්නේය.
අයවැයකරණයේදී සංස්කෘතියට සහ සම්ප්‍රදායන්ට වෙනස්කම් ගෙන ඒම අවධාරණය කරමින් ආචාර්ය ද මෙල් මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශයට දක්ෂ මානව සම්පත් ඇති බවත්, ඔවුන්ට වෙනස් සංස්කෘතියක් හෝ ක්‍රියා කිරීමේ ක්‍රියාවලියක් ලබා දෙන්නේ නම්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔවුන් ඵලදායී ලෙස ක්‍රියා කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.
අයවැයක් ඉදිරිපත් කිරීම පහසු කාර්යයක් නොවේ
මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය සහ ආර්ථික විද්‍යාඥ කබීර් හෂීම් මහතා පැවසුවේ, ඕනෑම රජයකට අයවැයක් ඉදිරිපත් කිරීම පහසු නොවන බවයි. විශේෂයෙන් ආදායම, වියදම අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සීමා පනවා ඇති විට සහ රජයට වැඩ කිරීමට ඇති සීමා පනවා තිබියදී එය තවත් දුෂ්කර වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙය ජාතික ජන බලවේගය රජයේ පළමු අයවැය බැවින් ඔවුන් තම රජයේ ප්‍රතිපත්තිමය දිශානතිය රටට පෙන්විය යුතුදැයි මණ්ඩලය විමසූ විට ඔහු පැවැසුවේ, නාගරික අංශයෙන් ග්‍රාමීය අංශයට මාරුවීම සඳහා සාධාරණ බෙදාහැරීමක් සඳහා රජය අයවැය ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බවය.
“උපාධිධාරීන් බඳවා ගැනීමට සහ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ යුතු බව ඔහු සිතනවා. එහෙත් මේ සියල්ල එකට එකතු කළාම ශ්‍රී ලංකාව ඉතා අවදානමට ලක්විය හැකි තත්වයක පැවැතීමේ ක්‍රියාවලියකට ගෙන එනවා. මෙම අයවැයෙන් පිළිබිඹු වන්නේ රට නිවැරදි මාවතකට ගෙන ඒමට රජය සැබවින්ම නිවැරදි පියවර ගන්නා බවද?” යැයි ඔහු ප්‍රශ්න කළේය.
මෙය අතුරු අයවැයක් වනු ඇති බවත්, සාමාන්‍යයෙන් යෝජනාවලට සංඛ්‍යා නොතිබූ අතර, අතුරු අයවැය සඳහා ඉහළ අපේක්ෂා නොතිබූ බවත් ආචාර්ය ද මෙල් පැවසීය.
“සැබෑ අයවැය මාස අටකට පසුව පැමිණෙන්න ඉඩ තියෙනවා. ප්‍රාථමික වියදම සිසසට 13 ක් විය යුතු බවට පෙර රජය විසින් සම්මත කරන ලද නීතියක් තියෙනවා. රජය එහි මුල් අවධියේදී එම නීතිය උල්ලංඝනය කරනු ඇතැයි සිතන්න බැහැ” යැයි ඔහු පැහැදිලි කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකාවේ හිටපු විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා විසින් “වඩාත් ඇතුළත් සහ සාධාරණ බදු ක්‍රමයක් නිර්මාණය කිරීමේ ආදායම් ප්‍රතිසංස්කරණ” යන මැයෙන් මෙහෙයවන ලද තවත් මණ්ඩල සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තාසා ජැෆර්ජි විදේශ ආයෝජන සඳහා බදු සහන ලබා නොදීම පිළිබඳව අවධාරණය කළේය.
ලාබ ඉපැයීමේ හැකියාව
“බදු ඉවත් කිරීම මූලිකයි. වැදගත් වන්නේ බදු සහන හෝ බදු ඉවත් කිරීම හෝ කිසිදු ආකාරයක ක්ෂයවීමක් නොවේ. වැදගත් වන්නේ ලාබ ඉපැයීමේ හැකියාවයි. නව පරිපාලනය පැමිණීමෙන් පසු, නව රෙගුලාසි පැමිණ තිබෙනවා. ඊළඟ ගැටලුව නම්, ඔබ කිසි විටෙකත් ආයෝජනයේ ප්‍රමාණය අනුව බදු සහන ලබා නොදිය යුතුයි. මන්ද බොහෝ අවස්ථාවලදී වියදම්වලින් සියයට 99 ක් රටින් පිටතට යනවා. ඔබ බදු සහන ලබා දිය යුතු එකම හේතුව ඔබට එම නිෂ්පාදනයෙන් වැඩි යමක් අවශ්‍ය වීමයි. දෙවනුව, ශ්‍රී ලංකාවේ නොපවතින නමුත් විදේශ ආයෝජන සමඟ ඇති දැනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබට බදු සහන ලබා දිය හැකියි” යැයි ඔහු පැහැදිලි කළේය.
වෙරිටේ රිචර්ච් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන් දුම්කොළ කර්මාන්තයේ බදුකරණය පිළිබඳව කතා කළේය. ආදායම් යෝජනා සංවර්ධනය කිරීමේදී ප්‍රධාන මූලධර්ම මොනවාද සහ වත්මන් රජයට එහි සමාජ ආර්ථික ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා වක්‍ර බදුකරණයෙන් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, දුම්කොළ බදු සඳහා තාර්කික ක්‍රමයක් අවශ්‍ය බව එක් යෝජනාවක් යැයි ඔහු පැවසීය.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
අනාගතයට අයවැයකරණය සාධාරණත්වයට මුල් තැන