IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අපනයන ඉලක්ක අභියෝගය

ආර්ථික පරිවර්තනය සඳහා අපනයන අංශයේ දියුණුව වැදගත්ය. රටට ඇති ගැටලුව පිටතින් ධනය එකතු නොවීම බව පැහැදිලි කරුණකි. බැහැරගත මාර්ගවලින් රටට ආදායම නොලැබෙන අතර රටට අවශ්‍ය පිරිවැය සඳහා රට ඇතුලතින් මුදල් සොයා ගන්නට සිදු වී තිබේ. බදු පැනවීම එහි ප්‍රතිඵලයකි. විදේශීය විනිමය නොලැබෙන අතර එයට විකල්පයක් වශයෙන් වාණිජ ණය ගන්නට සිදු වී තිබේ. අලුත් යුගයකට ඇතුළුවන අවස්ථාවේ දී ආදායම උපයා ගැනීමේ මාර්ගයක් වශයෙන් අපනයන අංශය කෙරෙහි සියුම් අවධානයක් යොමු කළ යුතුය. වේගයෙන් සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ තරඟකාරී නිෂ්පාදන ක්‍රමවේදයකට ඇතුළු වූ අතර නිපැයුමෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කරන ලද බව සඳහන් කිරීම අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය පහත වැටී තිබේ. නිදහස ලැබූ කාලයේ සිට අද දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම අඩු වී ඇත. මුල් වකවානුවේ දී තේ, රබර් සහ පොල් යනාදිය මෙරට අපනයන අංශයෙහි වැඩිම ආදායමක් සපයන ලද බව සිහිපත් කළ යුතුය. විනිමය ඉපැයීම ඉදිරියේ මැද පෙරදිග ඇතුළු රටවලට කරන ශ්‍රමයෙන් උපයන ධනය මෙරට ප්‍රධාන විනිමය ඉපැයීම බවට පත්ව තිබේ. දෙවැනුව ඇඟලුම් කර්මාන්තයයි. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන විනිමය ආදායම ඉහළ යන නමුත් ඒ හා සමානව විනිමය බැහැරවීමක් සිදුවේ. නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ආනයනයට සැලකිය යුතු මුදලක් වෙන්කරන්නට සිදුවේ. තුන්වැනි අංශය බවට තේ කර්මාන්තය පත්ව තිබේ. මෙම රාමුව වෙනස් කරන අලුත් ක්‍රමවේද ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.


2030 දී ඇමරිකානු ඩොලර් බිලියන තිස් හයක ඉලක්කයක්
පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපනයන සංවර්ධන කවුන්සලය මුණ ගැසී තිබේ. එහි දී නාවික, වෙළෙඳ, වැවිලි, කෘෂිකාර්මික, කර්මාන්ත, ඇගලුම්, ධීවර, මුල්‍ය හා විද්ශ කටයුතු ඇතුළු අමාත්‍යංශවල ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇත. රටට අවශ්‍ය විනිමය සම්පාදනය සඳහා අපනයන අංශයෙහි වැදගත්කම මෙහි දී අවධාරණය කරන ලද බව දැක්වේ. වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් මෙහි දී ඉලක්ක කර ඇත. 2024 වසරේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 16.1 ක් වී ඇති අතර 2025 වසරේ දී එය ඇමරිකානු ඩොලර් බිලියන 18.2 ක් දක්වා වැඩි කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අනාවරණය වේ.
මෙම කරුණු අනුව තවත් වසර පහක් තුළ අපනයන ආදායම සියයට සියයකින් වැඩිකරගැනීමට සැලකිය යුතු ප්‍රයත්නයකට යා යුතුව ඇත. මේ අතර අගමැතිනිය ද ඇඟලුම් කර්මාන්තයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන අදහස් දක්වා තිබේ. ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන අටක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාව අගමැතිනිය තව දුරටත් දක්වා ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිනිය මෙරට ආර්ථිකයේ පසුබිම අධ්‍යයනය කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ආණ්ඩුව මුහුණ පා ඇති අභියෝග හඳුනාගෙන ඇති බව පෙනේ. අපනයනය ඉතාම වැදගත් අංශයක් සේ සලකන තීරණයක් අනුව අදහස් දැක්වීම එහි ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාව සීමිත ඉඩම් ප්‍රමාණයක් සහිත රටකි. අනෙක් අතට ශ්‍රම බලකාය ද සීමා සහිතය. අපනයනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ දී මෙම අංශ දෙක ඉතාම ගැඹුරින් සලකා බැලීම අවශ්‍යය. අලුතින් ආයෝජනය කළ හැකි අංශ ගැන ද සලකා බැලීම තීරණාත්මකය. ආයෝජකයන් වශයෙන් දේශීයව හඳුනාගැනීම හා විදේශික ආයෝජකයන් කෙරෙහි අවධානය යන පැති දෙකම එක හා සමාන වැදගත්කමක් සහිතය. දෙස් විදෙස් ආයෝජකයන් අපනයනය අරමුණු කරගත් ක්ෂේත්‍ර සඳහා යොමු කරන්නේ කෙසේ ද යන්න පරීක්ෂා කිරීම නිලධාරීන්ගේ වගකීමකි.


කෘෂි අපනයන තරගකාරීත්වයට මතු වී ඇති බාධා 
වැඩිම තේ නිෂ්පාදනයක් කරන රට වශයෙන් ශ්‍රී ලංකාවට තැනක් හිමි වී තිබුණි. එය 1965 වසරේ දී ය. අද වන විට හතරවැනි තැනට පත්ව සිටී. චීනය, ඉන්දියාව හා කෙන්යාව ශ්‍රී ලංකාව අභිබවා ඇත. තවදුරටත් තේ වගා කරන ඉඩම් රහිත අතර දකුණ, සබරගමුව ඇතුළු පළාත්වල සැලකිය යුතු ශ්‍රම හිඟයක් තිබේ. රබර් කර්මාන්තය ද එම නරක දසාවට යටත්ය. රබර් කිරි නිෂ්පාදනය සඳහා කාලගුණය සැලකිය යුතු බලපෑමක් කරයි. පසුගිය වසරේ මැද සිට අද දක්වා කඩින් කඩ වැටෙන වැසි කර්මාන්තයට නරක ලෙස බලපා තිබේ. රබර් කිරි කැපීම සඳහා කම්කරුවන් සොයා ගැනීම පහසු නැති බව වැවිලි වතු පාලක අංශ දක්වයි. පොල් කර්මාන්තය මුහුණ දී ඇති ඉරණම අද වෙළෙද පොළේ දත්ත දක්වයි. නිෂ්පාදනය පහත වැටී ඇත. අපනයන ඉල්ලුම තිබෙන නමුත් නිෂ්පාදනය අඩුය. 
වැවිලි කර්මාන්තය තුළ ඉඩම් කැබැලිකිරීම ද ප්‍රශ්නයකි. පෞද්ගලික අංශයේ වතු සමාගම්වල සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් වගා නොකර තිබේ. හේතුව පිරිවැය බව සඳහන්ය. කුඩා වතු හිමියන් ඉඩම් කට්ටිකර විකුණන අතර එය වැවිලි ක්ෂේත්‍රයේ ආදායම සම්බන්ධ ගැටලු බව පෙනේ. සෑම වතු හිමියෙක්ම ශ්‍රමය, පොහොර වියදම, අස්වැන්නට සිදුවන හානි, වෙළෙඳ පොළ සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කරුණු හුවා දක්වති. අලුත් පරපුර වැවිලි අංශයට සූදානමක් නැති අතර පැරණි වගාකරුවන් ගේ පරම්පරාව අවසන් වූ පසු තවත් නරක දසාවක් ඇති විය හැකිය. තේ. රබර් හා පොල්වලට වඩා සියයට එකසිය හතළිහක් ආදායම වැඩිපුර උපයා දෙන ෆාම් ඔයිල්වගාව ජනප්‍රිය කරන්නට උත්සාහ කරන ලද නමුත් පරිසර ප්‍රශ්න මතුකරමින් එය තහනම් කළේය. අද වන විට වැඩිම ආදායමක් උපයන ෆාම් ඔයිල් වගාව අනාගතයක් නැති තැනට පත්ව තිබේ. එහි නඩත්තු වියදම අඩු අතර ශ්‍රී ලංකාවට ගැළපෙන කෘෂි අපනයන භෝගයක් බව පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ අපනයන සම්බන්ධයෙන් තවත් පැත්තක් ඇති අතර අමුද්‍රව්‍ය වශයෙන් අතරමැදියන්ට අපනයනය කිරීම වෙනුවට වටිනාකම එකතුකරන ලද නිෂ්පාදන වශයෙන් යැවිය හැකිය. තේ අපනයනයේ දී සුළු කොටසක් එසේ අපනයනය කෙරේ. රබර් වැඩි කොටසක් අමුද්‍රව්‍ය වශයෙන් වෙළෙඳ පොළට සැපයේ. පොල් වගාවේ දී කොහුබත් ආශ්‍රිතව අලුත් නිමි අපනයන අංශයක් නිර්මාණය වී ඇති අතර සුපුරුදු පරිදි කොප්පරා හා දිසිදි පොල් අපනයනය කරන බව වෙන්දේසියේ තොරතුරු දක්වයි. මේවා වෙනස් කළහොත් ආදායම තවත් ඉලක්ක කරගත හැකිවේ.


ඇඟලුම් කර්මාන්තයේ ඉදිරි පිම්මක් වෙනුවෙන්
ශ්‍රී ලංකාව 1900 ගණන්වල ඇඟලුම් කර්මාන්තයෙන් ඉදිරියෙන් සිටියේය. ඇමරිකාව ලබා දුන් බහු කෙඳි ගිවිසුම අනුව තරගකාරීත්වයෙන් බැහැර අපනයන කෝටාවක් ලැබුණි. එහෙත් පසුව මෙම තත්වය වෙනස් වීය. ලෝකයේ අනෙක් රටවල් එනම් බංගලාදේශය, වියට්නාමය හා මලයාසියාව වැනි රටවල් අඩු මිලකට උසස් තත්වයේ ඇඟලුම් අපනයනයට දක්ෂ වූ පසු ශ්‍රී ලංකාවට ඉතිරි වූයේ කාන්තා ඇඟලුම් හා තෝරාගත් සුළු අනන්‍ය අංශ කිහිපයක් පමණකි. 
මෙහි දී නිෂ්පාදන පිරිවැය ප්‍රධාන සාධකයක් සේ පැන නැගිණ. ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදිපිළි ආනයනය කළ යුතුවේ. විනිමය අනුපාතිකය අනුව එය වියදම ඉහළ යන අංශයකි. විදුලිය, ප්‍රවාහනය, වැටුප් වියදම, සහ බදු අනුපාත අනුව ඇඟලුම් කම්හල් පාඩු ලබන ව්‍යාපාර බවට පත්ව තිබේ. විශේෂයෙන් නැගෙනහිර හා දකුණු පළාත් ඇතුළු මෙරට සෑම ප්‍රදේශයකම වසා දමන ලද කම්හල් ගණනාවක් තිබේ. මේවායේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා නැවත පණ ගැන්වුවහොත් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන අටක් උපයාගැනීමේ අගමැතිනියගේ සැලැස්ම අපහසු නැත. පිරිවැය කළමනාකරණය අවශ්‍යය. අලුත් තාක්ෂණය හඳුන්වා දිය යුතුවේ.
ඇඟලුම් කර්මාන්තය අනුව වෙළෙඳ පොළ ඉල්ලුමට වහාම සැපැයිම අවශ්‍යය. නිර්මාණය අනුමත කළ පසු දින ගණනක් ඇතුලත සැපයිය යුතුවේ. එහි දී තත්වය, උසස් නිමාව කෙරෙහි ගැනුම්කරුවෝ සැලකිල්ල යොමුකරති. පසුගිය කාලයේ පැවැති උද්ඝෝෂණ හා වැඩ වර්ජන ඇගලුම් කර්මාන්තයට සියුම් බලපෑමක් කළේය. දැනටත් අමුද්‍රව්‍ය ගෙන්වීම හා නිමි ද්‍රව්‍ය වරාය දක්වා ප්‍රවාහනය ඉතාම සංකීර්ණ කටයුත්තකි. වරායෙන් කන්ටේනර් නිදහස් කරගැනීමට ඇති අපහසුව හා එහි සිදුවන දූෂණ ඇමැතිවරුන්ට පෙන්වා දී ඇත. පසුගිය දිනවල පැවැති තදබදය හේතු කරගෙන දින අටක් දක්වා කන්ටේනර් අතරමග තිබුණි. අපනයනයට සූදානම් කර තිබුණ නිෂ්පාදන දින අටක් පවතින පසු ඒවා පටවා ගැනීමට ඇති නැව් මග හැරේ. ගැනුම්කරු බලාපොරොත්තු අත්හරී. ලෝකයේ වෙනත් රටකින් ඇඟලුම් ඇණවුම් කිරීම සුදුසු බව හිතන්නට පෙළඹේ. කර්මාන්තය මුහුණ දී ඇති විවිධ අපහසුතා ගැන අවබෝධයක් ඇති පිරිසක් පරීක්ෂා කර රජයට කරුණු ඉදිරිපත් කළ යුතු අතර එයින් බැහැරව ගන්නා තීරණවලින් වාසියක් අත්පත් වෙන්නේ නැත.


අලුත් වෙළෙඳ පොළ සොයා ගැනීමේ අභියෝග
කෘෂි භෝග හෝ ඇඟලුම් සඳහා අලුත් වෙළෙඳ පොළ ඉතාම වැදගත්ය. සම්ප්‍රදායික වශයෙන් මෙරට අපනයනවලින් සියයට අසූවක් පමණ බටහිර ඉලක්ක කර ඇත. පසුගිය දා මෙරට අපනයනකරුවන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර එහි දී ඕස්ට්‍රේලියානු වෙළෙද පොළට අවශ්‍ය කරන පසුබිම සොයාබලා තිබේ. මෙවැනි සංචාර ගණනාවක් පසුගිය කාලය තුළ සංවිධානය කර තිබුණි. ලෝකයේ වැඩිම ජනගහනය ඉන්දියාවේ ය. අනතරුව වැඩිම ජනගහනය චීනයේ බව සඳහන් කළ යුතුය. මෙම රටවල් දෙක ශ්‍රී ලංකාව සමග සමීප සම්බන්ධතා පවත්වයි. වත්මන් ආණ්ඩුව මෙම රටවල් දෙක සමග සමාන්තරව ක්‍රියා කරන්නට සූදානම් බව අඟවා ඇත. අපනයනය කරන දේවලින් ඉන්දියාවට හෝ චීනයට යැවෙන්නේ සියයට පහකට අඩු සුළු ප්‍රතිශතයක් බව දැක්වේ. 
වෙළෙඳ අපනයන අංශයෙහි සියයට 3.49 ක පසුබැසීමක් 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී ඇත. අවුරුද්දකට කලින් කාලයට වඩා මෙම අඩුවීමට බලපා ඇති සාධක සොයා ගත යුතුවේ. තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙහි අඩුවීමක් තිබේ. ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රික් අංශවල ද අපනයනය පහත වැටී ඇත. මාළු අපනයනය ද අඩුවීමක් පෙන්නුම් කරන බව දැක්වේ. මාළු මිලදී ගැනීමේ දී යුරෝපා රටවල් වෙනම ප්‍රමිති දක්වයි. වරින්වර මේවා ගැන සාකච්ඡා කර ඇත. නිලධාරීන් අවස්ථා ගණනාවක දී යුරෝපා වෙළෙඳ පොළේ ඇති අභියෝග හා ගිවිසුම් යාවත්කාලීන කළ යුතු පැති ගැන සොයා බලා ඇත. මෙම අදහස් විවෘතව සාකච්ඡාකර අලුත් තීරණ ගත යුතු අතර අපනයන වර්ධනය අරමුණු කරගෙන පහසුවෙන් කටයුතු කළ හැකි අංශ අතර තිබේ. 


තරගකාරී පදනමක් අනුව අපනයනයෙන් විනිමය 
ශ්‍රී ලංකාව ලෝක තරගකාරීත්වයට ඇතුළු විය යුතුය. මෙම තරගකාරීත්වය තුළ මිල, තත්වය හා ඉක්මනින් සැපයුම යන අංශ වැදගත්ය. මෑත කාලය තුළ තොරතුරු අනුව සංකීර්ණ තත්ව ඇති වී තිබේ. ප්‍රතිපත්ති තීරණ මෙහි දී සලකා බැලිය යුතුවේ. ආණ්ඩුව සිය අය වැය ලේඛනය ඉදිරිපත්කරන සූදානමක පසුවේ. ඇමරිකානු ඩොලර් බිලියන තිස් හයක ඉලක්කයක් සඳහා ආයෝජකයන් පොළඹවන පසුබිම සකස් කිරීම කෙරෙහි යෝජනා ඉදිරිපත් කිරීම සුදුසුය. සෑම රටක්ම අපනයන වර්ධනය අරමුණු කරගෙන ජවය ගෙන දෙන රාමුවෙන් පිටත තීන්දු ගෙන ඇත. ඉන්දියාව හොඳ උදාහරණයකි. අවුරුදු දහයකට කලින් අන්ද්‍ර ප්‍රදේශය කර්මාන්ත බහුල තැනක් නොවේ. ප්‍රාන්ත ආණ්ඩුව සපයන ලද ඉඩම්, බදු සහන හා තවත් දිරිගැන්වීම් හේතු කොටගෙන කර්මාන්ත විශාල ප්‍රමාණයක් පසුගිය වසර දහය තුළ ආයෝජනය කර ඇත. ලෝකයේ වැඩිම ඖෂධ නිෂ්පාදකයා සහ අපනයනකරු බවට පත්ව ඇත. පසුගියදා ලෝකයේ ප්‍රධානම පාවහන් නිෂ්පාදන සමාගමක් ඉන්දියාවේ ආයෝජනය කළ අතර එයට සපයන ලද දිරිගැන්වීම ශ්‍රී ලංකාවේ දී නම් වෙනම කොමිසමක් අනාගතයේ දී ස්ථාපිතකර දඬුවම් දෙන තරමට සංකීර්ණය.
මෑත කාලය තුළ පරිගණක පද්ධති හා මෘදුකාංග අපනයන අංශයෙහි ප්‍රගතියක් තිබේ. 2023 වසරේ දී එම අංශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයාගෙන ඇති බව දැක්වේ. සැපයුම් චක්‍රය හා මෘදුකාංග අපනයනය වැනි අංශ රටට ගැළපේ. ශ්‍රී ලංකාවේ මානව සම්පත ඉහළ මටට්මක පවතින අතර සම්ප්‍රදායික ඉඩම් වගාකරන හා ඇඟලුම් කර්මාන්තය වැනි අංශවලට වඩා මෘදුකාංග අපනයන කර්මාන්තවලට නැඹුරු කළ හැකිවේ. 
අලුත් පැති සොයා ගත යුතුය. දක්ෂ ශ්‍රී ලාංකිකයන්ට ව්‍යවසායක අවස්ථා තිබේ. අවස්ථා අහිමිවීම තුළ දක්ෂ පිරිස් විදේශ රැකියා සොයා පිටත්ව යති. දකුණු කොරියාව දියුණුවන මුල් කාලයේ අපනයනය සඳහා පරිගණක උපාංග, ගෘහ විදුලිය උපකරණ යන අංශය තෝරා ගත්තේය. සිංගප්පූරුව බොරතෙල් නැති රටකි. එරටට ගෙන්වන බොරතෙල් පිරිපහදුකර නැවත අපනයනයට නැඹුරු විය. සිංගප්පූරුව ගප්පි මාළු සුරතලයට ඇතිකරන්නන්ට අපනයනය කරන ලද හෙයින් ගප්පි කිංඩම් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. දැන් අරවානාන මසුන් ඉතා අධික මිලකට චීනයට අපනයනය කරමින් සිටී. අපනයන ඉලක්ක වැදගත්ය. අලුතින් ඇතිකරන අංශ, ආයෝජකයන් බිහි කිරීම ඔවුන්ට පහසුකම් සැපැයීම යනාදිය ගැන ද සොයා බැලිය යුතුවේ. පසුගිය ආණ්ඩු ඉලක්ක සම්පාදනය කරන ලද නමුත් යටිතල පහසුකම් ගැන අවධානයක් දැක්වූයේ නැත. අවසානයේ රටට විනිමය හිඟයක් ඇති විය. අලුතින් සිතන්නට හා අලුත් තීරණ ගන්නට පසුබිමක් දැනට ඇති අතර ජනතාව එයට බල කර ඇති බව ආණ්ඩුව වටහා ගත යුතුව තිබේ. 

සාරා කන්දෙගොඩ



අදහස් (0)

අපනයන ඉලක්ක අභියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site