බුල්නෑව ප්‍රදීප් රණතුංග
තඹුත්තේගම, තලාව ආදී මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව මුර්ති නිර්මාණකරණයේ සහ විහාර සිතුවම්කරණයේ යෙදෙමින් දිවි ගෙනයන ශිල්පීන් විවිධ සමාජ හා ආර්ථික ගැටලු හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔවුහු පවසති. තීන්ත, සිමෙන්ති, කම්බි, වැලි, ගඩොල්, පින්සල් ආදියෙහි මිල ඉහල යෑම හේතුවෙන් සිය නිෂ්පාදන මිල ඉහල දැමීමට සිදුව ඇති බව මෙම කලාකරුවෝ සඳහන් කරති. මෙම පසුබිම තුළ සිය කර්මාන්තයට අලුත් නිර්මාණකරුවන් එකතු වීම මගහැරී ඇති බවද ඔවුහු පවසති. නිර්මාණකරුවකු වන තඹුත්තේගම, පයින්ඩිකුලම ගමේ රශ්මික විභීෂ මහතා සිය අර්බුදය පිළිබඳව මෙසේ පැවසුවේය.
“පන්සල්වල චිත්‍ර, මුර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. විහාරවල චිත්‍ර අඳින කට්ටිය දැන් හරි අඩුයි. ඉන්නේ බොහෝම ටික දෙනයි. ඒ ටිකදෙනා තමයි මේ කර්මාන්තය පවත්වගෙන යන්නේ. ඒ ටික දෙනත් නැතිවෙලා ගිය දවසට කවුද මේ වැඩ කරන්නේ කියන ප්‍රශ්නේ දැනට තියෙන්නේ. දැන් හැමදේම ගණන්. ඒත් සමහරු අපෙන් පිළිම ඉල්ලන්නේ පරණ ගාණට. එහෙම දීලා මේ කර්මාන්තේ කරන්න බෑ.”
අනුරාධපුරයේ, තලාව ගමේ, සුනාමි හන්දියට වී සිය නිර්මාණ කලාවෙහි නියැලෙන රසිකා දමයන්ති දෙදරු මවකි. දමයන්ති බුද්ධ ප්‍රතිමා නිර්මාණය, විසිතුරු කැටයම්, මනබඳින සිතුවම් ඇදීම, දේව ප්‍රතිමා නෙළීම ආදියෙහි නියැලෙමින් සිය සැමියාගේ ජීවනෝපායට සහාය වන්නීය. ඇය පැවසුයේ මෙවැනි කරුණු පෙළකි.
“මං මහත්තයාගෙන් තමයි පිළිම නෙළන කලාව ඉගෙන ගත්තේ. මේක තමයි අපේ පවුලේ ආදායම. මහත්තයා කාලයක් තිස්සේ මේ කර්මාන්තේ කරනවා. මහත්තයා ගොඩක් වෙලාවට පිට පන්සල්වලට ගිහින් වැඩ කරනවා. මෙතැන වැඩපොළේ වැඩ ටික කරගෙන යන්නේ මං. මට මගේ නෑනා උදව් කරනවා. ලොකු ආදායමක් නෑ. ඉස්සර වෙසක්, පොසොන් මාසවල ඉවර කරගන්න බැරි තරම් වැඩ එනවා. දැන් එහෙම නෑ. මිනිස්සු හැමෝම ජීවත් වෙන යුද්දෙක පැටලිලා ඉන්නේ.”
ග්‍රාමීයව සිටින මෙම ශිල්පීන් රැකගැනීම උදෙසා නිසි වැඩපිළිවෙළක් නැතිකමේ කටුක යථාර්ථය හේතුවෙන් මේ දුර්ලභ කලා හැකියාවෙන් යුතු සමහරෙකු ඉන් ඈත්ව යෑම වැළකිය නොහැකි වී තිබේ. එහෙයින්ම තරුණ පිරිස මෙම ශිල්පය සඳහා යොමු කරගැනීම අසීරු වී ඇත. සමන්එලිය ගම්මැද්දේ ආනන්ද බණ්ඩාර ද විහාර සිතුවම්කරණයේ සහ මුර්තිකරණයේ නියැලෙන නිර්මාණකරුවෙකි. නිර්මාණකරුවකු ලෙස සමන්එලිය ගම්මැද්දට වී නිහඩ, හුදකලා වෑයමක නියැලෙන ආනන්ද මෙසේ පැවසුවේය.
“ඇත්තටම අපිට මේ කරන වැඩවලින් ආදායමක් තියෙනවා. ඒත් මේ ටිකේ අපේ ආදායම හොඳටම බැස්සා. අපිට පුළුවන් කාලයක් අපෙන් වැඩ ගන්න මිනිස්සු ඉදියි. ඒත් අපෙන් පස්සේ මේ කර්මාන්තේ රැකගන්න අත දෙන්න කවුරුවත් නෑ. මොනවා වුණත් අපි වගේ සාම්ප්‍රදායික නිර්මාණ කරන අයට තියෙන තැන නැතිවෙන්නේ නෑ. ඩිජිටල් ප්‍රින්ටින් තිබුණ කියලා බුදු මැදුරුවල චිත්‍ර අදින්න ඒ තාක්ෂණේට බැහැ. ඒත් අපෙන් පස්සේ මේ කලාව කරන්න කියලා අපේ දරුවකුටවත් කියන්නේ කොහොමද මේ තියෙන ප්‍රශ්නත් එක්ක. අවුරුද්දකට සැරයක් සම්මාන දෙන උත්සව තියලා විතරක් කලාකරුවෝ රැකගන්න බෑ.”
සිය පවුලට සවියක් වෙමින් නිර්මාණකරණයේ යෙදෙන දෙදරු මවක වන තලාවේ අනෝමා ප්‍රියදර්ශණි ඒකනායක මහත්මිය විහාර කර්මාන්තයට අදාළව විවිධ තේමා ඔස්සේ දැකුම්කළු සිතුවම්කරණයේ සහ මුර්තිකරණයේ නියැලෙන්නීය. ඇය සිය පවුල ජීවත් කරවීම උදෙසා මේ මාහැඟි කලාව සමග වෙහෙසෙන්නීය. ඇය මේ පිළිබදව මෙසේ කරුණු කීවාය.
“මං කාගෙන්වත් විශේෂයෙන් කියලා මේ කර්මාන්තේ ඉගෙනගත්තේ නෑ. දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ වැඩ කරගෙන යනවා. මේ කලා හැකියාව මං හිතන්නේ අපේ පවුලේ දායාදයක් කියලා. පන්සල්වලට, දේවාලවලට එහෙම ඕන කරන චිත්‍ර, මුර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. මේ රස්සාව කරන ගෑනු අය ගොඩක් අඩු නිසා අපි මේ කර්මාන්තේ පවත්වගෙන යන එක ගැන සමහරුන්ට පුදුමයි. මේ රස්සාව නිදහස්. අපේ හැකියාවෙන් ආදායමක් හොයා ගන්නවා. එදිනෙදා වියදම් පියවගෙන ජීවත් වෙනවා. හොයන මුදල මදි. ඒත් කරන්න දෙයක් නෑ. අපිට කාගෙන්වත් කියලා විශේෂ උදව්වක් නෑ. අපේ පාඩුවේ රස්සාව කරගෙන අපි ජීවත් වෙනවා.”
ගම්මැදි තුළට වී මාහැඟි කලාවකට ජීවය දෙන මෙවැනි කලාකරුවන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න පවා වගකිව යුතු සමහරෙකු නොදන්නා තරම්ය. ඔවුහු හුදකලාව සිය කර්මාන්තය පවත්වාගෙන යති. එහෙත් හෙටක් පිළිබද පැහැදිලි අදහසක් ඔවුනට නැත. ඔවුනගෙන් පසු මෙම කලාව ඉදිරියට ගෙන යෑමට දෙවැනි පෙළක් නිර්මාණය නොවන බවද ඔවුහු පවසති. අවම වශයෙන් මෙවැනි කලාකරුවන් පිළිබදව නිසි සංගණනයක් කොට යම් සහනයක් සලසන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරති.
අර්බුද රැසකට මැදිවුණ මහවැලියේ චිත්‍ර , මුර්ති ශිල්පියෝ