IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


අර්බුද රැසකර මැදිවූ වටාපත් කර්මාන්තය

 

  • අමු ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමෙන් කර්මාන්තකරුවෝ දැඩි අපහසුතාවක
  • අමු ද්‍රව්‍ය මිල ඉහළ ගියාට වටාපතක මිල ඉහළ යන්නෙ නැහැ
  • ගම්මානයේ පවුල් 190 ක් වාසය කරන අතර ඉන් පවුල් 160 ක් පමණ‌ ජීවිකාව වටාපත් කර්මාන්තයයි
  • දැනට වසර දෙකකට පමණ පෙර සිට මෙම කර්මාන්තයෙන් හොඳ ආදායමක් ලැබුවා
  • ගම්මානයට මගී බස් රථ පහසුකම් නැහැ
  • කර්මාන්තය නගාසිටුවීමට වත්මන් රජයෙවත් අවධානය යොමුකරන්න
  • කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් පැමිණ තොරතුරු ලබාගත්තත් මේ දක්වා කිසිම සංවර්ධනයක් වෙලා නැහැ
  • පුහුණු මධ්‍යස්ථානයට එදා කාන්තාවන් විශාල පිරිසක් පැමිණියත් අද පැමිණෙන්නේ සුළු පිරිසක්

අලව්ව සිසිර අබේකෝන්


වනිතා දෑතින් නිමාවන වටාපත් කර්මාන්තයෙහි තොරතුරු සොයා අපි පසුගිය දිනක ඓතිහාසික දඹදෙණිය රාජධානියේ ගලතරය ගම්මානයට ගියෙමු. කඳු සහිත බිමක පිහිටි ගලතරය ගම්මාන වැසියෝ එදා රජ දවස සිට පරම්පරා ගණනාවක් වටාපත් හා තල කොළ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නිරත වුවෝය.
වර්තමානයේ ද ඔවුන් මෙම කර්මාන්තයේ යෙදී සිටියත් කර්මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා ඔවුහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම ගම්මානයේ පවුල් 190 ක් වාසය කරන අතර ඉන් පවුල් 160 ක් පමණ‌ වටාපත් කර්මාන්තය තම ජීවිකාව බවට පත් කර ගෙන සිටිති. ගෘහස්ථ කර්මාන්තයක් ලෙස වටාපත් කර්මාන්තයේ කාන්තාවන් නියැලී සිටින අතර තල ගොබ ඇතුළු අමු ද්‍රව්‍ය පිරිමින් විසින් සොයා දෙනු ලබයි.


වටාපත් කර්මාන්තයේ නියුක්ත එම්.එච්.ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
ගලතරය ගම්මානය ස්වභාව සෞන්දර්යෙන් පිරිපුන් උස් බිමක තවත් කදු දෙකක් අතර පිහිටි ඓතිහාසික ගම්මානයකි. මේ ගමේ එදා අපේ මුතුන් මිත්තන්ගෙ කාලයේ සිට මෙම කර්මාන්තයේ යෙදී සිටිනවා. අද අපි ජීවත් වන්නෙත් මේ කර්මාන්තයෙන්ය. දැනට වසර දෙකකට පමණ පෙර සිට මෙම කර්මාන්තයෙන් හොඳ ආදායමක් ලැබුවා. ඒත් අද අමු ද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් බොහෝ දිනවලදී නිෂ්පාදන වියදමවත් සොයා ගැනීමට නොහැකි අවස්ථා උදාවෙනවා. මේ ගම්මානයේ එදා රජ දවස වගා කළ තලපත් උයන නමින් අක්කර දහතුනකටත් අධික භූමියක තලගස් වගාකර තිබුණා. ඒ තලපත් උයන අද තිබුණත් විනාශයට පත්වෙලා.
වටාපත් කර්මාන්තයට තල ගසේ හිරිගොබය තමයි අවශ්‍ය වෙන්නෙ. තල ගොබ සොයා ගල්ගමුව, කන්දෙගෙදර, මහරච්චිමුල්ල, විල්ගමුව, නුගවෙල ඇතුළු ගම්මාන වලට යනවා. ඒවා මිලදී ගෙන පාපැදි යතුරු පැදි වලින් තමයි තමයි රැගෙන එන්නෙ. අපේ ගම්මානයට මගී බස් රථ පහසුකම් නැහැ. අලව්ව නාරම්මල මාර්ගයේ සිට කිලෝ මීටර තුන හතරක් පා ගමනින් තමයි බොහෝ දෙනෙක් යන්නෙ.


මෙම කර්මාන්තයේ නියුක්ත ඩී.කේ.ධම්මිකා රණසිංහ මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.
වටාපත් නිෂ්පාදනය කරන්නෙ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයටයි. පසුගිය කාලයේ වටාපත් නිෂ්පාදනය කරල ඉවර කර ගන්න බැරි තරමට හොඳ ඉල්ලු‍මක් තිබුණා. අද ඉල්ලු‍ම හොඳටම අඩු වෙලා. මෙම නිෂ්පාදනය සඳහා තල හිරිගොබය අඩි එකේ කෑලිවලට කපා ගෙන විශාල මුට්ටියක තම්බා අව්වෙ වියළා ගෙන එක එක හැඩ තලයන්ට කපා ගෙන නූල් මගින් මසා කැටයම් කරනවා. කැටයම් කල ලී මිටකට වටාපත සවිකර පොලිෂ් කර වෙළෙදපොළට නිකුත් කරනවා. රිබන්, ස්ප්‍රේ, රේන්ද, නෝමල්, තල කොළඅත්ත යනාදී වටාපත් වර්ග වශයෙන් නිෂ්පාදනය කරන අතර රු.300 ක් රු.400 ක් වැනි මිලකට අලෙවි කරනවා. වටාපත් නිෂ්පාදනයටම රු.300 ක් විතර වැය වෙනවා. අපට මහ ලොකු ලාබයක් නැහැ. වෙන රස්සාවක් නැති නිසා පුරුද්දට වගේ කරනවා. 


වටාපත් නිෂ්පාදිකාවක් වු ඒ.එදිරිසිංහ මහත්මිය,
වටාපත් නිෂ්පාදනයට වූල්, ඉරටු, රේන්ද, රිබන්, බෝඩර, කැටයම් කළ ඇට්ටෝනිය ලී ඇතුළු අමු ද්‍රව්‍ය රැසක් අවශ්‍ය වෙනවා. සෑම අමු ද්‍රව්‍යයකම මිල ඉහළ ගිහිල්ලා. අමු ද්‍රව්‍ය මිල ඉහළ ගියාට වටාපතක මිල ඉහළ යන්නෙ නැහැ. බොහෝ වෙළෙන්දන් පෙර තිබු මිලටමයි ඉල්ලන්නෙ. පොඩි ලී මිටක් රු.50 ක් වෙනවා. අතීතයේ දී හොද මිලක් තිබුණා. ඒත් අද ඒ ආදායම ලබන්න බැහැ. මෙම කර්මාන්තය නගාසිටුවීමට වත්මන් රජයෙවත් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.


වටාපත් නිෂ්පාදිකාවක් වු පී.පද්මිණී මහත්මිය පැවසුවේ මෙවැන්නකි.
ඓතිහාසික කර්මාන්තයක් වශයෙන් සැලකෙන මෙම නිෂ්පාදන එදා රජ දවස සිට පැවත ආවත් අද වන විට යම් පසුබෑමකට ලක්වෙමින් පවතිනවා. ලංකාවේම වටාපත් නිෂ්පාදනය කරන්නෙ අලව්ව, ගලතරය ගම්මානයේවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි. අවුරුද්දකට දෙතුන් වතාවක් වටාපත් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් පැමිණ තොරතුරු ලබාගෙන මෙම කර්මාන්තය දියුණු කිරීමට යැයි අපට පවසා යනවා විතරයි. මේ දක්වා කිසිම සංවර්ධනයක් වෙලා නැහැ.
ගලතරය ගම්මානයේ පවුල් සිය ගණනකගේ ජීවන වෘත්තිය වටාපත් කර්මාන්තය බැවින් මෙම කර්මාන්තය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස වත්මන් රජයෙන්වත් ඉල්ලා සිටිනවා. අද පවතින නිෂ්පාදන අමු ද්‍රව්‍ය මිල ඉහළයාම නිසා ද නිෂ්පාදකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.
මෙම ගම්මානයේ තල කොළ නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර එහි ස්ථානභාර නිලධාරීනී එල්.ඒ.ඒ ලියනගේ මහත්මිය මෙසේ කීවාය.
අතීතයේ දී මෙම පුහුණු මධ්‍යස්ථානයට කාන්තාවන් විශාල පිරිසක් පැමිණියා. අද පැමිණෙන්නෙ සුළු පිරිසක් පමණයි. මෙම පුහුණු පාසල අතීතයේ ආරම්භ වුවක්. එබැවින් මෙම පාසල සංවර්ධනය කර ගැනීමට වගකිවයුතු අංශ වල අවධානය යොමුකර ක්‍රමවත් වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටිනවා.
වටාපත් කර්මාන්තය පිළිබඳ අප කළ විමසුමකට වයඹ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම් මහානාම ගුණසේන මහතා මෙසේ පැවසීය.
වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසුරිය මහතාගේ අදහසකට අනුව සංචාරක ආකර්ෂණය සදහා අලව්ව ප්‍රදේශයේ ස්ථාන දාහතක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් එක් ස්ථානයක් ඓතිහාසික ගලතරය ගම්මානයයි. එම ගම්මානය ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශයක්. මෙහි වැසියෝ පරම්පරා කීපයක සිට වටාපත් ඇතුළු තල කොළ නිෂ්පාදනයේ නිරතව සිටින බැවින් ඉදිරියේ දී සංචාරකයන් පැමිණෙන බැවින් නිතැතින්ම මෙම කර්මාන්තය සංවර්ධනය වන අතර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කරනවා.



අදහස් (0)

අර්බුද රැසකර මැදිවූ වටාපත් කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site