IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB

  • මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සියයට 3.4 ක මධ්‍යස්ථ වර්ධන වේගයක්
  • මෙම වසරේදී උද්ධමනය සියයට 3.1 ක් දක්වා ඉහළට. එය ලබන වසරේදී සියයට 4.5 ක්
  • ඇමෙරිකන් බද්දෙන් දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය මෙම වසරේදී සියයට තුනකින් පහළට
  • බද්ද ක්‍රියාත්මක වුවොත් ඇතැම් ඇමෙරිකානු ඇණවුම් අවලංගු කිරීමේ අවදානමක්
  • පසුගිය වසරේ ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය හා සමාන සහායක් මෙම වසරේදීද ලබාදීමේ අපේක්ෂාවක්

විමුක්ති එස් රුද්‍රිගු


නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ

ජ්‍යෙෂ්ඨ ආර්ථික සහකාර නිලධාරී දිනුක් ද සිල්වා

ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීනි ලීලියා ඇලෙක්සැන්යන්

ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීනි ලක්ෂිණී ප්‍රනාන්දු

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සියයට 3.4 ක මධ්‍යස්ථ වර්ධන වේගයක් ළඟා කරගනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත.
එසේම මෙම වසරේදී උද්ධමනය සියයට 3.1 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 4.5 ක් දක්වා වර්ධනය වනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකතනය කර තිබේ.
ආසියානු සංවර්ධන ඉදිරි දැක්ම 2025 නවතම වාර්තාව ඊයේ (09) ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ අතර එහිදී මෙරට සංවර්ධන ඉදිරි දැක්ම පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කොළඹ එන්.එච් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉදිරි දැක්ම ”‍බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබුණත් තවමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම්”‍ ලෙස නම් කර තිබිණ.
එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීනි ලීලියා ඇලෙක්සැන්යන් මහත්මිය පවසා සිටියේ ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි ආර්ථික දැක්මේ ඇතුළත් පුරෝකථන පිළිබඳව අවසන් නිගමනයකට පැමිණ ඇත්තේ ඇමෙරිකාව පසුගිය 2 වැනිදා පැනවූ ”‍අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ ප්‍රකාශයට පත් කිරීමට පෙර බවය. පුරෝකථනවලට එළැඹ ඇත්තේ එම අවස්ථාවේ පැවැති බදු ප්‍රතිශත මත බවද ඇය පෙන්වා දුන්නාය.
ඇමෙරිකාව නිවේදනය කර පරිදි එම තීරු බදු ක්‍රියාත්මක කළහොත් දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය මෙම වසරේදී සියයට තුනකින් සහ ලබන වසරේදී සියයට එකකින් අඩුවනු ඇතැයි ඇය පැවැසුවාය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ප්‍රතිශතයක් ලෙස නිශ්චිතවම ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවේ නොහැකි බවද ඇය සඳහන් කළාය.
ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බද්ද ක්‍රියාත්මක කළහොත් එය මෙරට ආර්ථිකය වර්ධනයට සෘණාත්මක අයුරින් බලපෑමක් එල්ල කරනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය. පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව පදනම් ලකුණු 125 කින් ප්‍රතිපත්ති පොලී අනුපාතය කපා හැර තිබෙන බවත් නව ආර්ථික වර්ධනයන් ශ්‍රී ලංකා මහ බැංකුවට අභියෝගයක් වනු ඇති බවත් ඇලෙක්සැන්යන් මහත්මිය පැවැසුවායා. ප්‍රතිපත්ති පොලී අනුපාතය ලිහිල් කිරීම මන්දගාමී වනු ඇතැයි බලාපොරොත්තු වීම ඊට හේතුව බවද ඇය ප්‍රකාශ කළාය.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ”‍අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල්වලට බවත් ඉහළම තීරුබදු ප්‍රතිශතයක් පැනවු රටවල් 10 අතරින් 5 ක් සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් බවත් ඇය සඳහන් කළාය. එම රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද අයත් වන බව ඇලෙක්සැන්යන් මහත්මිය පැවැසුවාය. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමෙරිකාව තුළ සමස්ත තීරු බද්දෙන් නිදහස් කිරීමක් ලැබෙන්නේ සියයට 0.1 ක අඩු ප්‍රතිශතයක් සඳහා පමණක් බවද ඇලෙක්සැන්යන් මහත්මිය සඳහන් කළාය.
එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීනි ලක්ෂිණී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙරට ඇඟලු‍ම් අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳපොළ ඇමෙරිකාව බවත් ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 44 ක තීරු බද්ද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් ඇතැම් ඇමෙරිකානු ගැනුම්කරුවන් මෙරටට ලබාදී ඇති ඇණවුම් අවලංගු කිරීමේ අවදානමක් තිබෙන බවයි. 
ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් මෙක්සිකෝව, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි ඇමෙරිකාව අඩු තීරු බදු ප්‍රතිශතයක් පනවා ඇති රටවලට යොමු වීමේ ඉඩකඩක් පවතින බව ලක්ෂිණී ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය. 
සියයට තීරු 44 ක තීරු බද්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් විශේෂයෙන් මෙරට ඇඟලු‍ම් සහ රබර් අපනයන පහත වැටෙනු ඇති බවත් එවිට නිෂ්පාදන ධාරිතාව අඩුවීම හේතුවෙන් අපනයන මුල් කරගත් නිෂ්පාදන අංශය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය. ඉන් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය අඩු වෙතැයි අපේක්ෂා කරන බවත් එවිට මෙරටට ලැබෙන සෘජු විදෙස් ආයෝජන පහළ යා හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. එවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා දේශීයව ව්‍යාප්ත වීම පහළ යනු ඇති බවත් එය අවසානයේ පිරිවැය අවම කර ගැනීමේ ක්‍රම පිළිබඳව සිතීමට සමාගම් යොමු කරනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලාවල සේවය කරන සේවක පිරිස අඩු කිරීම පිළිබඳව සමාගම් තීරණයක් ගත හැකි බවද ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. 
ශ්‍රී ලංකාව අර්බුදයෙන් හිස එසවූවා පමණක් බවත් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම පහළ යා හැකි බවත් සේවකයන්ට රැකියා අහිමිවුවහොත් රජයේ සමාජ ආරක්ෂණ වියදම්ද ඉහළ යා හැකි බවත් ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.
එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික සහකාර නිලධාරී දිනුක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථික වර්ධනයට දායකත්වය සපයන ඉදිකිරීම් අංශය මෙම වසරේදීත් අඛණ්ඩව ධනාත්මක මාර්ගයක ගමන් කරනු ඇති බවත් ඒ සඳහා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහායක් වනු ඇති බවත් ඔහු පැවැසුවේය. කෙසේ නමුත් මෙම වර්ධන වේගයද පසුගිය වසරේ ඉදිකිරීම් අංශය ලැබූ වර්ධන වේගය සමග සංසන්දනය කිරීමේදී මන්දගාමී ස්වරූපයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. එසේම සේවා අංශයද මෙම වසරේදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවත් එයට ප්‍රධාන වශයෙන් සංචාරක ක්ෂේත්‍රය දායකත්වය සපයනු ඇති බවත් සිල්වා මහතා පැවැසුවේය.
මහ බැංකුව පොලී අනුපාත පහළ දැමුවත්, රජය වැටුප් වැඩි කිරීම් ලබා දුන්නත් දේශීය ඉල්ලු‍ම මන්දගාමී ස්වභාවයක් ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය. මිලදී ගැනීමේ හැකියාව දුර්වලවීම හේතුවෙන් දේශීය ඉල්ලු‍ම සිමා වනු ඇති බවද ඔහු පැවැසුවේය. සම්මත කරගත් අයවැයට අනුව මූල්‍ය හිඟය අවම කිරීමට සහ ණය ක්‍රමානුකූලව අඩු කිරීමට හැකිවන පරිදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව පෙනී ගියත් ආදායම ශක්තිමත් වීමත් සමග වියදම වැඩිකර ගැනීමටද ඉඩකඩක් ලැබෙන බව සිල්වා මහතා ප්‍රකාශ කළේය.
බාහිර අංශය පිළිබඳ කතා කරන විට මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග ආනයන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන නිසාවෙන් සහ බාහිර ණය සඳහා පොලී ගෙවීම ආරම්භ කිරීම හේතුවෙන් මෙම වසරේ සහ ලබන වසරේ ශ්‍රී ලංකාව ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරනු ඇතිබව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇතැයි සිල්වා මහතා ප්‍රකාශ කළේය. 
බාහිර ණය සඳහා පොලී ගෙවීම ආරම්භ කිරීමත් සමග විදේශ විනිමය පිටතට ගලායාම ඉහළ යනු ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස රුපියල යම් ප්‍රමාණයකට අවප්‍රමාණය වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉදිරිදැක්ම ගැන කතා කරනවිට එයට ප්‍රධාන අවදානම් කීපයක් තිබෙන බවද ඔහු පැවැසුවේය. ඒ අතර මෙරට මූල්‍ය තත්වය නැවත සෘණාත්මක වීම, ප්‍රාග්ධන වියදම් ඉලක්ක කළ අයුරින් කිරීමට නොහැකි වීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගම්‍යතාව නැතිවීම සහ පසුගිය 2 වැනිදා ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම තිබෙන බව සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ආසියා සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණ ඇතත් තවමත් මෙරට ආර්ථිකයට අවදානමක් තිබෙන බවය. පසුගිය වසරේ ආසියානු සංවර්ධන බැංකුව මෙරට ව්‍යාපෘති 7 සඳහා ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 808 සමාන සහායක් මෙම වසරේදීද ලබාදීමට අපේක්ෂා කරන බවත් එය නිශ්චිතව මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවැසුවේය. 

 



අදහස් (0)

ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site