උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ හෙක්ටයාර් තිස් අටදහසක බඩ ඉරිඟු වගා කර තිබේ. ගලෙන් බිඳුණු වැව, යකල්ල, මැදවච්චිය, ඇලයාපත්තුව, ගම්බිරි ගස් වැව, විලච්චිය, තන්තිරිමලේ ආදී ප්‍රදේශවල බඩ ඉරිඟු බහුල ලෙස වගා කර ඇත.
අක්කරයක බඩ ඉරිඟු වගාවකින් කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සීයක්, එක්දහස් හත්සීයක් අතර අස්වැන්නක් ලබාගැනීමට හැකියාව තිබේ. විදෙස් රටවලින් ගෙන්වන ලද දෙමුහුන් ප්‍රභේද මෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන එම්.අයි.එච්.වයි. 5 ප්‍රභේදයද ගොවීන් අතර විශාල ඉල්ලුමක් පවතී. දේශීය බඩ ඉරිඟු බීජ අඩු මිල ගණන් යටතේ පැවතියත් විදෙස් රටවලින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ සඳහා විශාල මුදලක් දැරීමට ගොවීන්ට සිදුව තිබේ. ඒ අනුව විදෙස් රටවලින් ගෙන්වන ලද බඩඉරිඟු ඇට කිලෝවක් රුපියල් තුන්දහස් පන්සියයක් පමණ වන මිල ගණන් යටතේ වෙළඳපළේ අලෙවි කෙරේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ අවශ්‍ය වන බව
උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පැවසීය.
එහෙත් දැනට ශ්‍රී ලංකාවේ වසරකට නිෂ්පාදනය කරනු ලබන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ විසි දහසක් පමණි. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට රජයට සිදුව තිබේ.
උතුරු මැද පළාතේ මෙවර යලකන්නයේ හෙක්ටයාර් විසි දහසකට වැඩි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. වැඩි ප්‍රමාණයක් කුඹුරු ඉඩම්වල වගා කිරීමට තමයි අදහස. මෙපමණ කාලයක් අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය ලබා දුන්නේ නෑ. ඒත් ලබන කන්නේ සිට බඩඉරිඟු වැනි අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදෙන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා කෘෂිකර්ම ඇමතිතුමාගේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒක ගොවීන්ට විශාල සහනයක් වෙයි. ඉදිරියේදී රජයේ මැදිහත්වීම මත බඩ ඉරිඟු මිලදී ගැනීමට වැඩපිළිවෙළකුත් සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හරහා බඩඉරිඟු මිලදී ගැනීමට තමයි අදහස. ඒත් එය තවම ක්‍රියාත්මක නෑ.
ගොවියකුට බඩ ඉරිඟු ඇට කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රමය සමග ගණන් බැලූ විට රුපියල් එකසිය දාහතරක පමණ මුදලක් වැය වෙනවා. ශ්‍රමය නැතිව රුපියල් අසූ පහක පමණ මුදලක් ඒ වෙනුවෙන් යොදවනවා. ඒ අනුව බැලූ විට ගොවියාගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ඔවුන්ට ලබාදිය යුතුයි. ඉදිරියේ දී දේශීය අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම අපේ රට තුළ නිෂ්පාදනය කර ගොවියා ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ යැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් යා කරන මායිමේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හීරළුගම සහ කටුගම්පලගම යන ගම්මානවල පදිංචි ගොවීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බඩ ඉරිඟු වගාව බවට පත්ව ඇති බවයි. ඔවුහු දැනට වසර දහයක පමණ කාලයක සිට බඩ ඉරිඟු වගාවට යොමුව සිටිති.
හීරලුගම පදිංචි කේ.එම්.සිරිල් විජේවර්ධන මේසේ පැවසීය.
මේ ගම්මාන දෙකේ පවුල් දෙසීයක් විතර බඩ ඉරිඟු වගාවට යොමුව සිටිනවා. ප්‍රදේශයේ අක්කර තුන් සියයක විතර බඩ ඉරිඟු වගා කර තිබෙනවා. එහෙත් මිලදී ගැනීමට ගැනුම්කරුවන් නෑ. අඩු මිල ගණන් යටතේ බඩඉරිඟු අලෙවි කිරීමෙන් ගොවියාට විශාල පාඩුවක් සිදුවෙනවා. මේ දවස්වල අමු බඩඉරිඟු කිලෝවක් රුපියල් අසූවයි. වියළි බඩ ඉරිඟු කිලෝවක් රුපියල් එකසිය තිස් පහයි. මම මේ ගණන්වලට බඩ ඉරිඟු කිලෝ තුන් දහසක් පමණ අලෙවි කළා.
ඒ ගැන හීරළුගම පදිංචි කේ.එම්. දිල්හානි සකුන්තලා පැවසුවේ
මෙවැනි අදහසකි. අපි කනකර බඩු උකසට තියලා බැංකුවලට ණය වෙලා තමයි ගොවිතැන් කළේ. බඩ ඉරිඟු බීජ ඇට කිලෝ ග්‍රෑම් පහක පැකට්ටුව රුපියල් දාහත් දහස් පන්සියයයි. තව තෙල් පොහොරවලට විශාල වියදමක් යනවා. හාන කුලියත් ඉතා විශාල ගණනක්. එහෙම බැලුවම අපිට ඉතුරු වෙන දෙයක් නෑ යැයි ඇය පැවසුවාය.
හීරළුගම පදිංචි කේ.එම්. අනුර සංජීව විජේවර්ධන මෙසේ පැවසීය.
බඩඉරිඟු ඇටේ බිමට දාපු දා ඉඳලා අපි දුක් විඳිනවා. මුලින්ම මීයෝ කනවා. පසුව ගහ හැදිලා එනකොට සේනා දලඹුවා හානි කරනවා. කරල් හටගන්නා අවස්ථාවේ ගිරවුන්ගෙන් හානි. එක රංචුවේ දහස් ගණනක් ගිරව් සිටිනවා. රෑට අලිංගෙන් ඌරන්ගෙන් හානි. මෙහෙම කරලා දුක් විඳලා නෙළා ගන්නා අස්වනුවලට නිසි මිලක් නොමැති වීමෙන් ගොවීන් වශයෙන් අපි අසරණ වෙනවා යැයි ඔහු පැවසුවේය.
කලාවැව අතුල බණ්ඩාර නෙළුම්පත්ගම
කුණුකොල්ලෙට විකිණෙන උතුරු මැද බඩඉරිඟු අස්වැන්න