කතරගම විශේෂ කේ.ඩී.දේවප්‍රිය
කතරගමට පැමිණෙන වන්දනාකරුවන් කතරගම පිහිටි ස්ථානවල නවාතැන් ගැනීම සියයට අනූවකින් පමණ පහත වැටීම හේතුවෙන් නවාතැන් පොළ සියල්ල වැසී යාමේ තර්ජනයක් පවතින බව එම නවාතැන්පොළ හිමිකරුවෝ පවසති.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය. තිස්සමහාරාම පුදබිම. සිතුල්පව්ව. යාල ජාතික වන උද්‍යානය නැරඹිමට මෙන්ම අධ්‍යාත්මිකව කාලය ගත කිරීම පිණිස දෙස් විදෙස් සංචාරකයන් දෛනිකව දකුණු පළාතටත් ඌව පළාතටත් පැමිණීම අතීතයේ සිටම සිදු වන්නකි.
ලංකාවේ ගොවියන් ගේ පලතුරු මෙන්ම එළවළු වැනි බව භෝගද වැඩි වශයෙන්ම අලෙවි වන්නේ කතරගම ඇතුළු පුජනීය සිද්ධස්ථාන වෙත පැමිණෙන වන්දනා කරුවන් මුල් කොට ගෙනය.
කතරගම ජීවත් වන ජනයාගෙන් සියයට අනූවක් දෙනා සිය ජීවිකාව ලෙස කරනුයේ බැතිමතුන්ට සේවා හා භණ්ඩ, අලෙවි කිරීම, රසකැවිලි අලෙවිය, විසිතුරු භාණ්ඩ අලෙවිය හා පලතුරු පූජා වට්ට් අලෙවි කිරීමය.
මේ අතරින් වන්දනා කරුවන්ට හා සංචාරකයන්ට නවාතැන් ලබාදිම විශේෂ සේවාවකි.
මස් මාංශයෙන් තොරව පේවි එන වන්දනාකරුවන් කතරගම නැවති සිය බාරහාර ඔප්පු කිරිම කර කිරිවෙහෙර. වැඩසිටිකන්ද සෙල්ල කතරගම. තිස්සමහාරාමය. මෙන්ම යාල වැනි ස්ථාන දැක ගැනීමට නවාතැන් ගෙන සිටිම නිසා දකුණේ ඌවේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත්විය.
වර්තමානයේ පැමිණෙන වන්දනාකරුවන් කතරගම නවාතැන් ගැනීම සියයට අනූවකින් පමණ පහත වැටීම නිසා නවාතැන් පොළ සියල්ල වැටි පවතී.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමත් සමග බොහොමයක් වන්දනා කරුවන් කතරගමට පැමිණ මැණික් ගඟෙන් හෝ තාවකාලික එක් කාමරයක් ගෙන මුහුණ කට සෝදා දේවාලයට පූජා තබා නැවත සිය ගම්බිම් වෙත යෑම සිදුවේ.
මේ හේතුවෙන් කතරගම සංචාරක නවාතැන් රැසක් පවත්වා ගෙන යෑමට අසිරු තත්වයට පත් වීම නිසා නිවාඩු නිකේතන ආයතන විකුණා දැමීමට ද පියවර ගෙන තිබේ.
රජයේ සහ පෞද්ගලික අශයේ නවාතැන් පොළ 1256 ක් පමණ තිස්සමහාරාමය සිට කතරගමත් සෙල්ල කතරගම ආශ්‍රිතව දැනට පවතී.
මෙයට අමතරව කතරගම ජීවත් වන ජනයාද සිය නිවාස වන්දනා කරුවන්ට ලබා දී සෙනග වැඩි දිනවල දී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හුරුව සිටියහ.
වර්තමානයේ පවතින තත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෙල්ල කතරගම අක්කර 20 වැව ආසන්නයේ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන බන්දු නිෂාන්ත මහතා මෙසේ සඳහන් කළේය. මම වසර 05ක් පමණ නිවාඩු නිකේතනය පවත්වා ගෙන යනවා. මම විදේශගත වෙලා වසර ගණනක් හිටියා.
ලංකාවට ඇවිත් මේ ව්‍යාපාරය ආරම්භ කළා. මුලදි හොඳ ආදායම් තිබුණා. වන්දනාකරුවන් ඇවිත් දින දෙක තුන කතරගම ගත කළා. දැන් එය සියයට පනහකින් අඩුවෙලා.
මෙයට වසර 05කට පෙර කාමරයක් දුන්නේ රුපියල් 1500ක් වැනි මිලකට. රටේ පවතින අධික විදුලි බිල හමුවේ දැන් අඩු මුදලකට කාමරයක් දෙන්න බෑ. ඒවගේමයි වන්දනා කරුවන්ටත් පවතින ආර්ථික ප්‍රශ්න මත වැඩි මුදලක් දීලා කාමරයක් ගන්න බෑ. ඒ නිසා ඒ අය ඇවිත් එක් දිනකදී යන්න බලනවා.
වසර 15 ක් පුරා නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන ගිය සුසන්ත මහතා පැවසුවේ මෙවන් අදහසකි. මම කුලියට අර ගෙන නවාතැන් පොළක් කළා. රටේ ජනතාවට සල්ලි නෑ. එන අය ඉතාම අඩු මුදලකට තමයි කාමර ඉල්ලන්නේ. මහන්සි වෙලා කාමර දැම්මට වැඩක් නෑ. ජල බිලයි වතුර බිලයි ගෙව්වාම මහන්සියත් නෑ.
වන්දනාකරුවෝ දැන් ගෙදරින් කෑමත් හදාගෙන එනවා. වැවකට ගඟකට බැහැලා නාගන්නවා. දේවාලයට ඇවිත් වැඳලා යනවා. දැන් බැතිමතුන් ගොඩක් අය තමන්ගේ වාහනවලින් එන්නේ නැහැ. පාරේ බස් එකේ ඇවිත් යනවා. හයිවේ එක දැම්මාට පස්සේ නවාතැන්පොළවලුත් ඉවරෙටම ඉවරයි.
කතරගම හෝටල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.කේ.චන්ද්‍රසේන මහතා මෙසේ සඳහන් කළේය.
දැන් කතරගම නිවාඩු නිකේතනවලට ආදායම අඩුවෙලා. එකක් අධිවේගී මාර්ගයෙන් ඇවිත් වන්දනාකරුවන් එක් දිනකින් යන්න හුරුවෙලා. නිවාඩු නිකේතනවල සේවයට ගොඩක් පිරිස් සේවයට ගෙන තිබෙනවා. පළාතේ එළවළු පලතුරු ඇතුලු දේ මිල දී ගන්නවා. වර්තමානයේ වන්දනාකරුවන් ආහාර පාන පවා ගෙදරින් ගෙනෙනවා. වන්දනාකරුවන් නාවට හෝටල් පිරිසුදු කිරීම් ඇතුළු නඩත්තු කටයුතු කරන්න ඕන. අපි රජයෙන් ඉල්ලනවා විදුලිබිල ජලබිල, අඩු කරලා සහනයක් දෙන්න කියලා.
සිය නිවසේ කාමර ලබා දී ව්‍යපාරයක් කරන නූපේ ආරච්චි මහතා සඳහන් කළේ මෙවැන්නකි. වන්දනා කරුවන් එන්නට පෙර පස්දෙනෙක් ඉන්නවා කියල කාමර වෙන් කර ගන්නවා. අපුවහම පහළොස් දෙනෙක් පමණ එක කාමයේ ඉන්න බලනවා. ජලය විදුලිබිල එක්ක කාමරයක් අඩුවට දෙන්න බෑ. එන අය ඉල්ලන්නේ මුහුණ කට සෝදා ගන්න පමණයි.
බොහොමයක් නවාතැන් පොළවල් පවත්වා ගෙන යනු ලබනුයේ බැංකු ණය ගෙන බැවින් ආදායමක් නෙමැති කම මත මේ වන විට නිවාඩු නිකේතන 200 ඉක්ම වූ ගණනක් විකිණීමට දැන්වීම් දමා තිබේ.
කතරගම නවාතැන් වැසි යාමේ තර්ජනයක්