පසුගිය අප්‍රියෙල් දෙවැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා ලංකාවද ඇතුළුව රටවල් 180 කට අදාළව නව තීරුබදු අනුපාත ප්‍රකාශ කරන ලදී. එහිදී ඇත්තවශයෙන්ම සිදු වුයේ එතෙක් ඇෙමරිකානු වෙළෙඳපොළට භාණ්ඩ අපනයන කිරීමේදී අයකරනු ලැබු තීරුබදු අනුපාත ඉහළ දැමීම සිදු විය. සෑම රටකටම අදාළවම තීරුබදු අනුපාත ඉහළ දැමූ අතර, ඒ අතරින් ලංකාව විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා නව බදු අනුපාතය සියයට 44 දක්වා වැඩි කරනු ලැබීය. එසේ වැඩි කිරීමට මත්තෙන් ලංකාවේ අපනයන සඳහා සාමාන්‍යයක් ලෙස සියයට 12.5 වැනි බදු අනුපාතයක් ඇෙමරිකාව විසින් අය කරන ලදී. ඇෙමරිකාවේ ගණනය කිරීම්වලට අනුව ලංකාව විසින් ඇෙමරිකානු භාණ්ඩ සඳහා සියයට 88 තීරුබදු අනුපාතයක් අයකරනු ලබන අතර, ඉන් හරි අඩකට සමාන අගයක් ලෙස නව තීරුබදු අනුපාතය ලංකික අපනයන සඳහා බලපැවත්වෙන බව ප්‍රකාශ කරන ලදී.
වඩාත් පුදුමයට කරුණ නම් ලංකාවට අදාළව, අනෙකුත් කලාපීය රටවලට සාපේක්ෂව, ඉතා ඉහළ තීරුබදු අනුපාතයක් පැනවීම වන අතර, ගෝලීයව ගත් කල හතරවැනි ස්ථානයට ඉහළතම තීරු බදු අනුපාතයක් පනවන ලද රට ලංකාව වීමය. ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන ප්‍රමාණයෙන් (ඇමෙරිකානු ඩොලර් බිලියන 12.7 - 2024) සියයට 27ක පමණ (ඇමෙරිකානු ඩොලර් බිලියන 3 පමණ) ඇමෙරිකානු වෙළෙඳපොළට අපනයනය කරනු ලබන අතර, ඒ අතර රෙදිපිළි සහ ඇඟලුම්, සම්භාණ්ඩ, රබර් නිෂ්පාදන සහ තේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. ඒ අනුව ගත්කල ඇෙමරිකානු නව තීරුබදු අනුපාත ආකාර කීපයක් ඔස්සේ ලංකික ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වන්නේ එම බලපෑම් පිළිබඳව සහ එම බලපෑම හැකිතාක් දුරට අවම කිරීම සඳහා ගතයුතු පියවර මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම වේ.
ඇමරිකාවේ තීරුබදු පැනවීමත්, ඊට ප්‍රතිචාරිකව අනෙකුත් රටවල් ගනු ලබන පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් යම් පිළිගත් මූලධර්ම සහ නීති/රීති පද්ධතියක් තුළ දශක ගණනාවක් අඛණ්ඩව පුළුල් වෙමින් පැවති ගෝලීය වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහ බිඳවැටීම සිදුවෙමින් පවති. ලෝක ඉතිහාසය තුළ මෙවන්නක් සිදු වුයේ 1930 ගණන්වල වන අතර, එහිදී ඇති වූ වෙළෙඳ ගැටුම් කෙළෙවර වුයේ ලෝක යුද්ධයන්වලිනි. ලෝක බලවතා වන ඇමරිකාව පිළිගත් මූලධර්ම සහ නීති/රීති පද්ධතියක් තුළ සිදු වූ වෙළෙඳාම වෙනුවට එක් එක් රටක් සමග වෙන් වෙන් වශයෙන් සලකනු ලබන ආකෘති තුළ වෙළෙඳාම සහ ආයෝජන කටයුතුවලට පිවිසීමට උත්සුක වන බවක් පෙනෙන අතර, මෙහිදී ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට දැඩි අපහසුතාවලට මුහුණ පෑමට සිදුවීම වැළැක්විය නොහැක.
පහළ ආදායම් ලබන ආසියාවේ සහ අප්‍රිකාවේ බොහොමයක් කුඩා රටවල් ඉතා ඉහළ තීරුබදුවලට යටත් කොට ඇති බවක් ඉතා පැහැදිලිව දිස්වන අතර, මීට පෙර ඇමරිකානු ආධාර වැඩ සටහන් ඇතහැර දැමීමෙන්ද මෙම රටවල්වලට දැඩි බලපෑමක් එල්ල විය. සංවර්ධනය කරා යන ගමනේදී මෙම කුඩා පහළ ආදායම් ලබන රටවල් දැඩි දුෂ්කරතාවලට ඉදිරි වසරවලදී මුහුණ දීමට සිදුවීම අනිවාර්ය වේ. ඉදිරි කාලයේ දී විශාල රටවල් අතර ඇතිවන ගැටුම්කාරි වෙළෙඳ සහ වෙළෙඳ නොවන ගැටුම්වලට මෙම රටවල් මැදිවන අතර, එමගින් කුඩා රටවල්වලට දැඩි පීඩාවක් ගෙන එනු ඇත. එවන් වටපිටාවක් තුළ කුඩා ආර්ථික කෙසේ කටයුතු කළයුතු ද යන්න ඉතා කල්පනාකාරීව තේරුම් ගතයුතුව ඇත. දැනටමත් ලොව ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළවල් බිඳවැටීම අරම්භ වී ඇති අතර, එමගින් දිස් වන්නේ ලෝක ආර්ථිකය පැහැදිලි කඩාවැටීමක් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
තීරුබදු ඉහළ දැමීමේ හේතුවෙන් ලංකාව විසින් අපනයනය කරනු ලබන භාණ්ඩවල මිල ඇෙමරිකානු වෙළෙඳපොළේ ඉහළ යා හැකි වන අතර, ඒ හේතුවෙන් ලංකාවේ අපනයන පහත වැටීමට වැඩි ඉඩකඩක් පවතී. මෙම තත්වය වඩාත්ම අයහපත් වන්නේ ශ්‍රී ලංකාව සමග තරගකාරීව අපනයනයේ නියුතු රටවලට අදාළව සාපේක්ෂව පහත තීරුබදු අනුපාතයක් අයකිරීම වේ. උදාහරණයක් වශයෙන් බංගලාදේශයට අදාළව අයවන නව තීරුබදු අනුපාතය සියයට 37ක් වන අතර, ඉන්දියාවට අදාළව එම අනුපාතය සියයට 26 කි. තවත් බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවලට අදාළව සාපේක්ෂව අඩු තීරුබදු අනුපාත අයවේ. මේ හේතුවෙන් මෙතෙක් ලංකාවෙන් මිලදී ගත් භාණ්ඩ සාපේක්ෂව මිල අඩු රටවල්වලින් මිල දී ගැනීමට ඇෙමරිකානු සමාගම් කටයුතු කිරීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. ලාංකේය අපනයන පහත වැටීමට බලපෑ හැකි තවත් කරුණක් නම්, ඇමරිකාව ද ඇතුළුව ගෝලීය ආර්ථීකය තුළ සිදු වෙතැයි අපේක්ෂිත ආර්ථික කඩා වැටීම වේ. විශේෂයෙන්ම යුරෝපා කලාපය තුළ ඇතිවිය හැකි ආර්ථික අවපාතයක් ලංකික අපනයන කෙරෙහි අහිතකරව බලපෑ හැකි බව අවධාරණය කළයුතුව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව, පිළිගත් බොහෝ ජාත්‍යන්තර ආයතනවලට අනුව තීරුබදු ඉහළ දැම්මේ ඇෙමරිකානු ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක ආර්ථිකය තුළ අවපාත තත්වයක්, නැතහොත් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහත වැටීමක් සිදු වීමේ වැඩි ඉඩකඩක් පවතින අත, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපනයන භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම පහත වැටීමක් සිදුවනු ඇත. එසේම දැනටමත් රටවල් බොහොමයක් ඇමරිකානු තීරුබදු ඉහළ දැමීමට ප්‍රතිචාරිකව එම රටවල් ද තීරුබදු ඉහළ දැමීමේ තීරණවලට පිවිසීමේ හැකියාව පවති. උදාහරණයක් ලෙස චීනය දැනටමත් ඇෙමරිකානු භාණ්ඩ සඳහා අය කරනු ලබන තීරුබදු අනුපාතය සියයට 34 දක්වා ඉහළ දමන ලද අතර, එය මේ මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වේ. මින් ගම්‍ය වන්නේ ලෝක වෙළෙඳපොළ ක්‍රමයෙන් ආවෘත වීමක් සිදු වෙමින් පවතින අතර, ඇමරිකාවට පමණක් නොව අනෙකුත් රටවලට ද අපනයන කිරීමේ හැකියාව ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවයි. දැනට සිදුකර ඇති ගණනය කිරීම්වලට අනුව 2025 වසර තුළදී ඇෙමරිකානු වෙළෙඳපොළට අදාළව ලාංකේය අපනයන සියයට 20-30 අතර ප්‍රමාණයකින් පහත වැටෙතැයි අපේක්ෂා කරනු ලබයි. මෙම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300-600 ත් අතර විය හැකිය. කෙසේ වෙතත්, සමස්ත අපනයන පහත වැටීම මීට වැඩිවීමට ඉඩකඩක් පැවතිය හැකි බවද සඳහන් කළයුතු වේ.
ගෝලීය වෙළෙඳාම සමග නිරන්තරයෙන්ම අත්වැල් බැඳගත් අනෙකුත් ප්‍රවාහ වුයේ ගෝලීය ආයෝජන සහ ආධාර වැඩසටහන් විය. ගෝලීය ආධාර වැඩසටහන් මෙන්ම ගෝලීය ප්‍රාග්ධන ප්‍රවාහ ද ගෝලීය වෙළෙඳ යාන්ත්‍රණය බිදවැටීමේ ප්‍රතිඵලයක් ලෙස අඩාල වීමට වැඩි ඉඩකඩක් පවති. සංවර්ධිත රටවලට භාණ්ඩ අපනයනය ඉලක්ක කරගනිමින් බොහෝ පහළ ආදායම් රටවලට විදේශ ආයෝජන ගලා ආ අතර, වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ අභිලාශ සහිතව විදේශ ආධාර වැඩසටහන් දියත් විය. ඇමරිකානු නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකවලට පැමිණෙන විදේශ ආයෝජන මෙන්ම විදේශ ආධාර ද කාලීනව පහත වැටෙනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තාක්ෂණය ගලා ඒම මෙන්ම, අනෙකුත් අත්‍යවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් ප්‍රවර්ධනයට ඇති ඉඩකඩ සීමිත වීම සිදුවිය හැකිය.
ගෝලීය ආර්ථිකයේ කඩාවැටීමක් මෙන්ම ගෝලීයව ඉහළ උද්ධමනකාරී තත්වයක් නැවත ඇති වුවහොත් එවැන්නක් දැනට යහපත් මට්ටමින් ක්‍රියාත්මක වන සංචාරක කර්මාන්තයට මෙන්ම, විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ කෙරෙහිද අහිතකර ලෙස බලපෑමට වැඩි ඉඩකඩක් පවතින බව අවධාරණය කළ යුතුය. විදේශ විනිමය ඉපයීම්වල පහත වැටීමක් ගෙවුම් ශේෂය මත දැඩි පීඩනයක් ගෙනදීම හේතුවෙන් විනිමය අනුපාත අවප්‍රමාණය වීම දක්වා ද ගමන් කළ හැකිය. මෙවැනි සංදර්භයක් තුළ පවත්නා විදේශ සංචිත ආරක්ෂා කිරීම මෙන්ම තවදුරටත් විදේශ සංචිත ඉහළනංවා ගැනීම යහපත් විය හැකිය. ණය අර්බුදවලට මුහුණ දුන් බොහොමයක් රටවල් ඉන්පසුව පැමිණි දේශීය හෝ ගෝලීය අර්බුද හේතුවෙන් නැවතත් අර්බුද කරා ගමන් කිරීම සිදුවිය. උදාහරණයක් ලෙස ලතින් ඇමරිකානු රටවල් 1980 දශකයේ මුහුණ දුන් අර්බුදකාරී තත්වයෙන් ගොඩඑමින් පැවති වකවානුවේ දී ආසියානු මූල්‍ය අර්බුදය හේතුවෙන් යළිත් අර්බුදකාරී තත්වයක් හෝ අර්බුදයෙන් ගොඩඒම ප්‍රමාදවිය. එවන් පසුබිමක වර්තමානයේ ලංකික ආර්ථිකය තුළ ඇති අවදානම් තත්වය (Vulnerability) හොඳින් තේරුම්ගෙන ඊට සරිලන අයුරින් අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වේ.
දැනට ගෝලීයව සිදු වෙමින් පවත්නා වෙළෙඳ ආරක්ෂණවාදය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට කළ හැකි දෑ අල්ප වේ. කළ හැකි එක් දෙයක් වන්නේ ඇමරිකාව සමඟ මෙන්ම අනෙකුත් ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කොට වඩාත් වාසි සහගත වන අයුරින් වෙළෙඳාමට අදාළ බාධා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම වේ. එම සාකච්ඡා හුදෙක් වෙළෙඳාමට පමණක් නොව අනෙකුත් කේෂත්‍ර ද ආවරණය කරමින් සිදු කිරීමෙන් වඩාත් හොඳින් ඇමරිකානු අරමුණ තේරුම් කරගත හැකිවනු ඇත. මෙතෙක් කලක් නිදහස් සහ සාධාරණ ලෝක වෙළෙඳාමක් වෙනුවෙන් පෙනී සිට ඇමරිකාවේ වර්තමාන හැසිරිම තුළ වෙළෙඳාමට ඔබ්බට ගිය භූ දේශපාලනික කරුණු පවා පැවතිය හැකි අතර, ඊට අමතරව සමහරක් කේෂත්‍රවල අවස්ථා ලබාගැනීම ද පැවතිය හැකි වේ. ලොව සමහරක් රටවල් ඇමරිකාවේ වර්තමාන හැසිරීම කලින්ම දුටු අතර, ඊට අනුරූපීව කල්තියාම අවශ්‍ය පියවර ගන්නා ලදී. උදාහරණයක් ලෙස ඉන්දියාව වඩාත් උපක්‍රමශීලී ලෙස කටයුතු කරමින් සාපේක්ෂව පහළ තීරුබදු වැඩි වීමක් ලබා ගන්නා ලදී. අපනයන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැන් පවත්නා ආයතනික ව්‍යුහයේ ඇති දුර්වලතා හඳුනාගෙන නව ආයතනික ව්‍යුහ ආර්ථික පරිවර්තන පනත තුළ යෝජනා වුවත්, ඒවා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ආර්ථික කොමිසමක්, Zone-ශ්‍රී ලංකා, Inves-ශ්‍රී ලංකා, පලදායීතාව කාර්යංශයක්, මෙන්ම විදේශ වෙළෙඳාම ප්‍රවර්ධනය සදහා ජාත්‍යන්තර වෙළෙඳ කර්යාලයක් (office of International Trade) ආර්ථික පරිවර්ථන පනත තුළ යෝජනා විය. එවැනි ව්‍යුහ වත්මන් අර්බුද නිසි පරිදි කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය වන බව පමණක් අවධාරණය කළයුතු වේ.
වඩාත්ම වැදගත් වන ඊළඟ පියවර වන්නේ දේශීය ආර්ථිකයේ පලදායීතාව සහ තරඟකාරීත්වය ඉහළ නැංවිම වේ. ඒ සඳහා කේෂත්‍ර ගණනාවක් ආවරණය කරමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළයුතු වේ. පවත්නා දත්ත අනුව පෙනීයන කරුණක් වන්නේ පසුගිය දශක දෙකක කාලය තුළ ලංකේය ආර්ථිකය තුළ මුළු පලදායීතාව (Total Factor Productivity) සහ ශ්‍රම පලදායීතාවේ පැහැදිලි ඉහළ යාමක් සිදුව නොමැති බවයි. ඊට බලපෑ හේතු අතර ආර්ථිකය තුළ පවත්නා ව්‍යුහාත්මක ගැටලු පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම, ශ්‍රම වෙළෙඳපොළට අදාළව ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින්ම සිදුවිය යුතුය. එත් එක්කම පොදු ප්‍රවාහනය, රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍යවන රැඩිකල් පියවර ගත යුතුය. එසේම නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ලිහිල්කරණය මෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අංශවල ද ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සදහා කඩිනමින් පියවර ගත යුතුව ඇත.
දැනට ක්‍රියාත්මකව පවත්නා බදු ප්‍රතිපත්තිය බදු ආදායමට බලපෑමක් නොවන අයුරින් සංශෝධනය කළයුතු අතර, එහිදී අපනයන අංශයට අදාළව ඇති බදුබර පහත හෙළීමට අවශ්‍ය පියවර කඩිනමින් ගතයුතුව ඇත. ආර්ථිකයේ ශ්‍රම සාභාගීත්වය පහළ වැටෙමින් පවතින අතර, ඊට හේතු ගණනාවක් පවතී. ඒ අතරින් දැනට ක්‍රියාත්මක සුබසාධන ප්‍රතිපත්ති ද බලපා ඇති බව අධ්‍යයන මගින් පෙන්වාදී ඇත. දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව ද නැවත සිතා බැලීම ඉතා අත්‍යවශ්‍ය වන්නකි. ඉහත යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් දැනට පහළ පලදායීතාව යටතේ සිරවී ඇති නිෂ්පාදන සාධක ඉන් මුදාගෙන ඉහළ පලදායීතාවකින් යුතු අංශවලට ගොවිතැන් කිරීම දිරිගැන්විය යුතුය. එවැන්නකින් තොරව ආර්ථිකයේ පලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ දැමීම කළ නොහැකි බව අවධාරණය කළයුතුව ඇත.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ඇති අත්‍යවශ්‍ය බව කාලයක් තිස්සේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ දේශපාලන නායකත්වයට පෙන්වා දුන්නද ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් වර්තමාන ගෝලීය අර්බුදය තුළ වඩාත් අවාසි සහගත තත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇත. විශේෂයෙන්ම ආර්ථික ස්ථායීකරණයෙන් පසුව තිරසාරව ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා සහ ආර්ථිකයේ කම්පනවලට ඔරෝත්තුදීමේ හැකියාව ඉහළනැංවීම සඳහා ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් තුළ ආර්ථිකයේ තරගකාරීත්වය සහ ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම සඳහා පියවර ගතයුතු බව බොහෝ පාර්ශ්ව අවධාරණය කරන ලදී. අවාසනවකට කරුණ නම් තවමත් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීමය. උදාහරණයක් ලෙස අයෝජන, ශ්‍රම සාභාගීත්වය, තරගකාරීත්වය, සහ පලදායීතව ඉහළ නැංවීම අරමුණුකොට ඉදිරිපත්ව ඇති ආර්ථික පරිවර්ථන පනත පාර්ලිමේන්තුව තුළ සම්මතව ඇතත්, එහි යෝජනා කිසිත් මෙතෙක් ක්‍රියාත්මක තත්වයේ නොමැත. අප තවදුරටත් කල්මැරිය යුතු නොවේ. අවම වශයෙන් දැන්වත් ක්‍රියාත්මක විය යුතුව ඇත.
ට්‍රම්ප්ගේ තීරුබදු ලාංකික ආර්ථිකයට කෙසේ බලපාවිද?