අනාගත අවශ්‍යතා සලකා වේගවත් පිමම්ක් සඳහා දැවැන්ත සූදානමක් ජාත්‍යන්තරයෙහි පවතී. ලෝකයේ සියලුම රටවල් තමන් අත්පත් කරගත යුතු ස්ථානය ගැන සිහින මවමින් සිටියි. විවෘත ආර්ථික ක්‍රමය අනුව වේගයෙන් තීන්දු ගත යුතුවේ. ඇතැම් විචාරකයන්ට අනුව විවෘත ආර්ථිකය සාහසික ක්‍රමවේදයකි. එහි තියුණු තීරණ අනුව ජනතාව අතරින් කොටසක් ක්‍රමයෙන් විතැන් වන අතර එසේ අතරමංවී පැත්තකට තල්ලුවන ජනතාව තෝරා ආධාර දෙන ක්‍රම සම්පාදනය කළ යුතුවේ. වේගයෙන් තීරණගෙන ඉදිරියට යන රටවල් ගණනාවක් මෑත භාගය තුළ දක්නට ලැබුණි. මේවායේ ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන ලක්ෂ ගණනක් ජනතාව මැදි ආදායම් තලයට එසැවී ඇත.
ශ්‍රී ලංකාව දශක ගණනක් තිස්සේ ඉදිරියට හා ආපස්සට ගමන් කරමින් සිටී. එහි විඩාව සමාජයට දැනේ. ඉදිරියට ගමන් කිරීම වෙනුවට පවතින ආර්ථික ක්‍රමවේද ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුකොටගෙන හිරිහැරදායක තත්ව ඇතිවේ. ඒවා උහුලාගනු නොහැකි සමාජය අරගල කරන අතර තවත් කොටසක් වහාම ගමන් බලපත්‍ර සකස් කරගෙන රටින් ඉවත්ව යන ප්‍රයත්නයක පසුවේ. පැති සියල්ල සලකා බලා අලුත් තීරණවලට ඇතුළුවිය යුතුවේ. ලෝකයේ අනෙක් රටවලට වඩා ඉහළින් තීරණ ගැනීමෙන් ආර්ථිකයෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති කරගත හැකිය.
ඩුබායි ලෝක නායකයන්ගේ සමුළුව උගන්වන පාඩම
ලෝකයේ තැනින් තැන ආර්ථික උත්පාදනය අරමුණු කරගෙන ජාත්‍යන්තර සමුළු සංවිධානය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී දොළොස්වැනි වතාවට මෙම සමුළුව පැවැත්වෙන අතර රටවල් හතළිහක නායකයන් සහභාගීවන බව දැක්වේ. ඉකුත් පෙබරවාරි 11 වැනි දා ආරම්භ වූ එහි අවසන් සැසිය අද පැවැත්වේ. ඉන්දුනීසියාව, පෝලන්තය, ශ්‍රී ලංකාව, කොළෝම්බියාව, ගෞතමාලා, ක්වෙට්, පකිස්තානය, කෙන්යාව, ජෝර්ජියා සහ බංගලාදේශය නායක මටට්මින් සහභාගී වූ අතර රටවල් අසූවක රාජ්‍ය නායක නියෝජිතයන්, අන්තර් ජාතික සංවිධාන 140 ක නියෝජිතයන් සහ හයදහසකට අධික සහභාගිකයන් පැමිණ සිටි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. මෙහි දී අමාත්‍ය මණ්ඩල මටට්මේ සාකච්ඡාවට තිහක් සංවිධානය කර තිබුණ අතර එයට හාරසියයක් පමණ නියෝජනය කළහ. මෙම ලෝක නායක සමුළුව අවසන්වන විට එහි පුරෝකථන, අපේක්ෂා සහ අනාගත ලෝකයේ හැඩතල විදහා දක්වන වාර්තා තිහක් එළි දක්වන්නට නියමිතය.
මෙම සමුළුව පවත්වනන ඩුබායි නගරයේ අනාගත කෞතුකාගාරයක් ඇත. ඇතැම් සැසිවාර එහි පැවැත්වෙයි. මහල් හතකින් යුත් මෙහි අනාගතයේ දී අපේක්ෂා කළ හැකි ලෝකය නිර්මාණය කර තිබේ. විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදනය වැනි අංශවලින් ලෝකයේ බිහිවෙන අනාගත පැතිකඩ නිර්මාණය කර තිබේ. අතීතය දෙස බලන නොව අනාගතය වෙත නැඹුරුවන ස්ථානයක් සේ සැලකෙන මෙහි වසර 2071 වන විට කාලයේ ලෝකයේ තිබිය හැකි තත්වය නිර්මාණය කර තිබේ.
මෙහි අරමුණ අනුව සූදානම්වන නිර්මාපකයෝ තැනින් තැන සිදුවන වෙනස්කම් අනුව අලුතින් යාවත්කාලීන වන ස්වරූපය සඳහා පෙළ ගැසෙති. එක්සත් අරාබි එමීර් රාජ්‍ය විශාල ධනයක් ඇති ස්ථානයක් වන අතර ඛනිජ තෙල් වෙළෙඳාමෙන්, සංචාරක කටයුතුවලින් ලැබෙන ධනය අනාගතය නිර්මිත කරනු සඳහා පදනමක් වශයෙන් සකස් කර ඇත.
ඉදිරියට මතුවන අභියෝග ගැන යමක්
මෙරට ජන ප්‍රජාව සැලකිය යුතු පීඩනයක පසුවේ. පසුගිය කාලය තුළ ඇති වූ ආර්ථික අර්බුදය විසින් ජනතාවගේ සැලසුම් විනාශ කර ඇත. අලුතින් හිතන, අලුත් නිෂ්පාදනයක් කරා යොමුවන ජන කොටස පසෙකට වී සිටිති. නවෝත්පාදන අංශ ගැන නිතර සඳහන්වන නමුත් ඒවා ප්‍රායෝගිකව වෙළෙඳපොළට එන්නේ නැත. ශ්‍රමය, ප්‍රාග්ධනය, යටිතල පහසුකම්, රජයේ නීතිරීති සහ රජයේ බදු ඇතුළු සෑම අංශයකින්ම අලුත් යමක් කරන්නට උත්සාහ කරන තරුණ කොටස් කෙරෙහි පීඩනයක් ඇති කරන බව සඳහන් කළ යුතුය.
පසුගිය කාලය තුළ වාහන නිෂ්පාදනය කළ පිරිස් අප අතර සිටි අතර, ඩ්‍රෝන නිර්මාණය කළහ. එකිනෙකට වෙනස් අලුත් උපාංග තනා විද්‍යා ප්‍රදර්ශන හා නව නිපැයුම් සඳහා ඉදිරිපත් කළ බව සිහිපත් කළ හැකිය. ආධාර ලැබුණ රොකට් නිෂ්පාදනයක් ගැන ද විස්තර තිබේ. වාහන ධාවනයට ගන්නා ඉන්ධන සම්බන්ධයෙන් අලුත් පර්‌යේෂණ සුළු වශයෙන් හෝ ඉදිරියට පැමිණියේය. එහෙත් මෙම සංකල්ප පුවත්පතක පළ වූ පසු පසෙකට විසිවේ. ඒවා කෙරෙහි අවධානය තුරන් වේ. අනාගතය මැවෙන ආකාරය ගැන උද්දීපනය කරන කෞතුකාගාරයක් ඇති කළහොත් රටට වැඩදායකය. මේවායෙන් අදහස් ජනිතවන අලුත් පරපුර නවතම නිර්මාණ ලෝකයට හඳුන්වා දෙන්නට උත්සාහ කරනු ඇත.
අනෙක් අතට නව නිපැයුමක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන පසු එයට අවශ්‍ය කරන මුලික රාමුව සඳහා පසුබිම සකස් කළ යුතුවේ. රජයේ නිලධාරීහු විශාල පිරිසක් සිටිති. කළ හැකි සුළු පෙළඹවීම පවා කැබිනට් මණ්ඩල අනුමැතිය තෙක් දීර්ඝව ක්‍රියාදාමයකට හසුවේ. තැනින් තැනට යන නිර්මාපකයන් අවසානයේ දී තමන්ගේ ප්‍රයත්නය අත්හරින බව පසුගිය කාලයේ දැකගත හැකි විය. එය සුදුසු තත්වයක් නොවේ.
වාණිජ වෙනුවට ආයෝජන බැංකු අවශ්‍ය කෙරේ
ශ්‍රී ලංකාවට බැංකු විශාල සංඛ්‍යාවක් ඇත. වාණිජ බැංකු වශයෙන් පවත්වාගෙන යන මෙම ආයතන අලුත් අදහස්වලට අවස්ථා සම්පාදනය සඳහා එපමණ සුදානමක් නැත. ව්‍යවසායකත්ව අදහස සොයාබලන බැංකු කරුවෝ ඒවායේ අවදානම සලකා ප්‍රාග්ධනය සපයන්නට මැලිකමක් දක්වති. ගූගල්, ෆේස් බුක්, එක්ස් වැනි සංකල්ප පමණක් නොව දැනට බහුලව භාවිතවන භාණ්ඩ හෝ සේවා සඳහා පහසුකම් සපයන ආයතන මුලින් සංකල්පවලට පමණක් සීමා වී තිබුණි. වාහනයක් නැති, කුලියට දෙන්නට නිවසක් නැති පිරිස් ඒවා කුලියට දෙන ආයතන වශයෙන් දැවැන්ත සේවා අංශයක් නිර්මාණය වන තෙක් වාණිජ බැංකු මෙම අංශ අවදානමක් සහිත ස්ථානන වශයෙන් හඳුනාගෙන සිටියේය. මෙම ව්‍යවසාය සඳහා පහසුකම් ඉල්ලන අවස්ථාවල ප්‍රාග්ධනය සපයන්නට බැංකු සූදානම් වූයේ නැත.
කෙසේ නමුත් වාණිජ බැංකුවලට අමතර බැංකු ක්‍රමයක් ලෝකයේ තිබේ. ඒවා ව්‍යවසායකත්ව බැංකු හෝ ආයෝජන බැංකු වශයෙන් හැඳින්වේ. මෙම ප්‍රමය මගින් ව්‍යවසායකයන් සමග සමීපව කටයුතු කරන අතර අලුත් අදහසක කොටස්කරුවෝ බවට පත්වෙති. හුදෙක් ණයක් දී ඒවා වාරික වශයෙන් පොලිය සමග ගෙවන තැනට තල්ලු කිරීම වෙනුවට කාර්යයක් සාර්ථක වනතුරු පසුබිමින් සක්‍රීයව සිටින කණ්ඩායමක් මෙම බැංකු ක්‍රම තුළ තිබේ.
ව්‍යවසායකත්ව බැංකු මගින් පොලිය අය කිරීම වෙනුවට ලැබෙන ලාබය සඳහා කොටස්කරුවන් වශයෙන් පෙනී සිටීමට සූදානම්ය. ව්‍යවසාය දියුණු වූ පසු එම කොටස් ද මිල දී ගෙන තනි ගමනකට ඉඩ දෙන්නට ද ව්‍යවසායකත්ව අදහස් අනුව ඉඩ දෙන ජාත්‍යන්තර බැංකුවල අදහස බව දැක්විය යුතුවේ. ලෝකයේ වෙනස්කම් ඇති කරන්නට මෙම ක්‍රමවේද ගැළපේ. නවෝත්පාදන අදහස් ප්‍රදර්ශනය කරන අතර අලුත් බැංකු ක්‍රම මගින් අලුත් අදහස් ඇති තරුණන්ගේ කොටස්කාරීත්වය ලබාගන්නා ව්‍යවසායකත්ව බැංකු ක්‍රමයක් ඇති කළහොත් ඉතා ප්‍රයෝජනවත්ය. වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ දී එම අදහස ප්‍රකාශයට පත් කර තිබේ. ව්‍යවසායකයන් අසාර්ථක වූ පසු නැවතත් ගොඩනැගෙන්නට අලුත් ණයක් දෙන බව ආණ්ඩුවේ වගකිවයුතු අංශ එදා ප්‍රකාශ කළේය. එය අසාර්ථක වුවහොත් අධිකරණයේ නඩු පවරා අය කැරගැනීම වෙනුවට අලුතින් අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න තක්සේරු කරන විද්‍යාත්මක ක්‍රමවේද ඇති කරන බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ අනාගතය දෙස සලකා බලන පසු ලෝකයේ වෙනස්කම් අනුව අලුත් යුගයකට ඇතුළු විය යුතු අතර ව්‍යවසායකත්වයෙන් හා නවෝත්පාදනයෙන් ඉදිරි තීරණ ගත යුතුව තිබේ.
අධික පොලිය සහ අනුමැතිය ගත යුතු තැන් ගණන
ආයෝජන වර්ධනය කරන ක්‍රම ගැන ඉතාම උන්නදුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු දක්වා තිබේ. ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා ආයෝජනය කරන්නට අපේක්ෂා කරන ව්‍යවසායකයකු රජයට සම්බන්ධ එකිනෙකට වෙනස් ස්ථාන අසූ දෙකකින් අවසර ගත යුතු බව පෙන්වා දී තිබුණි. එයින් ස්ථාන එකොළහක් පරිසරයට සම්බන්ධ ආයතන බව හුවා දක්වා ඇත. මෙම කටයුතු සඳහා වසර දෙකහමාරක් පමණ ගත වන අතර එය කිසිසේත් ආයෝජන හිතකර තත්වයක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ව්‍යාපාර හිතකර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් ලෝකයේ ඇති අතර ඒ අනුව ආයෝජකයන්ට රටකට ඇතුළුවීමේ දී මුහුණ දෙන්නට සිදුවන බාධා ගැන හැඟීමක් ඇතිවේ. පසුගිය කාලය තුළ ආණ්ඩු ගණනාවක් මෙම බාධා ඉවත් කිරීමට වෑයම්කරන ලද නමුත් එය දියුණුවක් ඇති කළේ නැත. ජනාධිපතිවරයාය මෙම වසර දෙකහමාරක අවසර ගත යුතු කාලය අඩු කරන අතර ආයෝජන හිතකර රටක් බවට පත් කරන බව දක්වා ඇත. එය ඉතාම වැදගත්ය. ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් තමන්ට අනන්‍ය අලුත් ව්‍යවසායවලට ඇතුළුවන සූදානමක සිටිති. ඔවුන්ගේ සැලැසුම්වලට අවසර දෙන අතර වාණිජ බැංකුවලින් පහසුවෙන් ප්‍රාග්ධනය ලබාගත හැකි විය යුතුවේ. වාණිජ බැංකුවලින් ණය ඉල්ලන පසු පැරණි අසාදු ලේඛන හේතුවෙන් ඇපකරුවන්ට පවා අත්සන් කළ නොහැක. ඉඩකඩම් හෝ දේපොළ ඇප වශයෙන් ඉල්ලා සිටී. අවසානයේ දී ලිපි ලේඛනවලටත් අය කරන අතර අධික පොලී අනුපාතයක් අය කෙරේ. ව්‍යවසායකත්වයක් අපේක්ෂා කරන රටක මෙම පොලී අනුපාත සුදුසු නැත. ආනෙක් අතට ආයෝජන අංශ කැඳවූ පසු අඩු පොලී අනුපාතවලට ප්‍රාග්ධනය සපයා ගත හැකි අවස්ථා තිබිය යුතුවේ.
පැරැණි ආකෘතිය ඉදිරියේ දී වලංගු නැත
වාණිජ බැංකු දැනටමත් තරුණ හා කාන්තා වශයෙන් ව්‍යවසාය අවස්ථා සඳහා ණය දෙන බව ප්‍රසිද්ධ කරමින් සිටී. වාණිජ බැංකු මගින් ප්‍රාග්ධනය සපයා ගැනීම පහසු කාර්යයක් නොවන බව මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කර ඇත. තවත් පැත්තක් ද තිබේ. එනම් ව්‍යවසායකත්වයෙහි අලුත් ව්‍යුහයක් අපේක්ෂා කිරීම අවශ්‍යය. තව දුරටත් කොසු ඉදල් කර්මාන්තය හෝ ගරාජ් සේවා, පලක් නැත. තාක්ෂණික යුගයේ දී ශ්‍රම භාවිතය අවම කරන මෙවලම් සඳහා ඉඩක් ලැබේ. තවත් වැ ඩිපිරිසක් නිරත අංශවලට ඇතුළු වී තරගකාරීත්වයක් වෙනුවට අලුත් යමක් කෙරෙහි නැඹුරු විම සුදුසුය. වාණිජ බැංකුවලට ණය ඉල්ලුම් කිරීම සඳහා ලැබෙන අයැදුම්පත්‍රවල ඇති හරය වටහා ගැනීම සඳහා තාක්ෂණික අවබෝධය ඇති කිරීම ආණ්ඩුවේ වගකීමකි.
ගරාජ් දැනට වටිනා නමුත් ඉදිරියේ දී එන්ජිමක් නැති නවීන මෘදුකාංගවලින් සමන්විත වාහන ලැබේ. ඒවායේ බැටරිය පමණකි. මෙම බැටරි සවිකරන හා මෘදුකාංග යාවත්කාලීන කරන ව්‍යවසායකත්වය සුදුසුය. තේ වගා කිරීම හෝ කුඹුරු අස්වැද්දීම වෙනුවට පරිසර හිතකාමී දියුණු කෘෂිකාර්මික යෝජනා ක්‍රම අවශ්‍යය. අලුත් හරිත ගෘහවල පස මාධ්‍යයක් වශයෙන් භාවිත කරන්නේ නැති යුගයකට ඇතුළු වී තිබේ. නවීන මෙවලම් කෘෂිකර්මයට ප්‍රවේශ වී ඇත. දකුණු ඉන්දියාවේ ගොවියන් ඩ්‍රෝන මගින් පොහොර හා කෘෂි රසායන භාවිත කරන අතර කාන්තාවන් ඩ්‍රෝන අලුත් වැඩියා කිරීමේ තාක්ෂණය හදාරන බව දැක්වේ.
ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතා අනුව වෙළෙඳපොළ වෙනස්ය. ඇතැම් සේවා තව දුරටත් රටට අවශ්‍ය නැතිවන අතර තවත් අලුත් අංශ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. තරුණ ව්‍යවසායකයන්ට මෙකී අවස්ථා ගැන අවබෝධයක් තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දියුණුව අනුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා තරුණ උපාධිධාරීහු හැසිරෙන ආකාරය එයට සාක්ෂියකි. ඔවුන් රට තුළ අවස්ථා සොයන අතර ව්‍යවසාය සඳහා ඇතුළුවීමට ප්‍රයත්න දරන බව පෙනේ. මෙම අවකාශ්‍ය පුළුල් කරනු සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයෙන් අනාවරණය වෙමින් තිබේ.
ඩුබායි ලෝක නායක සමුළුවේ පාඩම