ණයක් ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කළ ලිපියකි.
කොටස් මිලදී ගැනීම යනු ආයෝජනයකි. යම් කිසි පුද්ගලයකු ආයෝජනය කරනු ලබන්නේ දිගුකාලීන අරමුණක් ඇතිවය. තමන් සතු මුළු වත්කමම එක් ආයෝජනයක් සඳහා යොදවන්නේ ද නැත. එසේ ආයෝජනය කරනු ලබන්නේ තමා ඉතිරිකරගත් මුදලෙන් යම් කොටසක්ය. එසේම එදිනෙදා වියදම් සඳහා තමන් සතුව යම් මුදල් ප්‍රමාණයක් තබා ගැනීමද සාමාන්‍ය සම්ප්‍රදාය වේ. ඊට අමරතරව බොහෝ පුද්ගලයන් තමන්ට යම් හදිසි තත්වයකට ප්‍රයෝජනයට ගැනීමට ද යම් මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට පුරුදුව සිටී.
කිසියම් ආයෝජකයකු කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහුට අරමුදල් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් පවතී. ඉන් පළමු වැන්න වන්නේ, ඉහත කී ආකාරයෙන් තම ආදායමෙන් ඉතිරි කරගත් යම් මුදලක් තිබේ නම් එය පාවිච්චි කිරීමයි. දෙවැන්න නම් දැනට මිලදී ගෙන තිබෙන කොටස් ඇපයට තබා ණයක් ලබා ගැනීමයි. ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළේදී ණය ලබාගෙන ගනුදෙනු කළ හැකි ආකාරද 2ක් තිබේ. ඉන් පළමු වැන්න නම්, කොටස් තැරැව්කාර ආයතනයකින් ණයක් ලබා ගැනීමයි. දෙවැන්න නම්, ආන්තික ණය ලබාදෙන ආයතනයකින් ණයක් ලබා ගැනීමයි.
ආන්තික ගනුදෙනු කිරීම යනු, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ගෙන ඇති ආන්තික සපයන ආයතනයකින් (Margin Trading Company) කොටස් මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීමයි. ණයක් ලබා ගෙන කොටස් මිලදී ගැනීමේදී, ඉහළ අවදානමක්ද ඒ සමඟ බැඳී පවතින නිසා කොටස් වෙළෙඳපොළෙහි ණය මත ආයෝජනය කරන ආයෝජකයකුට මෙම ණය ලබා ගත හැකි අවස්ථා දෙක හා ඒ සමඟ බැඳුණු කරුණු කාරණා පිළිබඳව මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය.
කොටස් තැරැව්කාර ආයතනයකින් ණය ලබා ගැනීම:
දැනට කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ නිරත වන්නකුට තම කොටස් තැරැව්කාර ආයතනයකින් ණයක් ලබාගෙන ආයෝජනය කළ හැකි අතර ඒ හා බැඳුණු නිරී රීති කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ සහභාගීකරුවන් සඳහා අදාළ නීතිවල 14 කොටසේ (Trading Participants Rules - Section 14) පැහැදිලිව දක්වා ඇත. කිසියම් ආයෝජකයකු ණය ලබා ගැනීමට ප්‍රථමව ණය ගිවිසුමකට එළඹිය යුතු වේ. එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ ආයෝජකයා සහ කොටස් තැරැව්කාර සමාගම අතරය. එසේම ආයෝජකයාගේ ගිණුමෙහි දැනට ඇති කොටස් / මුදල් සුරැකුම්පත් ලබා ගන්නා ණය වෙනුවට ඇප වශයෙන් තැබිය යුතු වේ. ආයෝජකයාගේ ආයෝජන කළඹෙහි (දැනට මිලදී ගෙන ඇති කොටස්වල මුළු වටිනාකම) වටිනාකමින් සියයට 50ක් නොයික්මවන ප්‍රමාණයක් මුලික ණය මුදල වශයෙන් (Initial Margin) ලබාගත හැකි අතර අඛණ්ඩව පවත්වාගත හැකි ණය සීමාව (Continuous Margin) ආයෝජන කළඹෙහි වටිනාකමින් සියයට 67කි. ඒ අනුව ආයෝජකයකුට තම ණය සීමාව තම ආයෝජන කළඹෙන් සියයට 50ත් සියයට 67ත් අතර පවත්වාගෙන යාහැකිය. යම් හෙයකින් සියයට 67 ට වඩා ණය වැඩිවුවහොත් නියමිත ණය සීමාව පවත්වාගෙනයාමට හිඟ අරමුදල් ප්‍රමාණය යොදවන ලෙස කොටස් තැරැව්කාර ආයතනයෙන් ආයෝජකයාට දැනුම් දෙනු ඇත. එය “Margin call” යනුවෙන් හඳුන්වයි.
හිඟ අරමුදල් ප්‍රමාණය නියමිත දිනට යෙදවීමට අපොහොසත් වුවහොත් ආයෝජකයාගේ CDS ගිණුමෙහි ඇපයට තබා ඇති කොටස් විකුණා අවශ්‍ය ණය සීමාව පවත්වාගෙනයාමට කොටස් තැරැව්කරුට අයිතිය ඇත.
කිසියම් ආයෝජකයකු ලබා ගන්නා මෙම ණය මුදල ඒ වෙනුවෙන් වන පොලියද සමඟ නැවත කොටස් තැරැව්කාර ආයතනය වෙත ගෙවිය යුතුය. මෙසේ ණය ලබාගෙන ආයෝජනය කිරීමේ වාසි කිහිපයක් ඇති අතර ආයෝජකයාගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීම, අඩු මුදලක් යොදවා වැඩි ලාබයක් ලබාගත හැකි වීම ඉන් කිහිපයකි. මෙම වාසිදායක තත්වය රඳාපවතින්නේ වෙළෙඳපොළ ඉහළ යන තත්වයක් තුළය. එහෙත් වෙළෙඳපොළ පහළ යන තත්වයක් තුළ ආයෝජකයාගේ ණය බර තවදුරටත් ඉහළ යන අතර අදාළ ණය සඳහා ගෙවිය යුතු පොලියද ඉහළ යයි. එය අවාසිදායක තත්වයකි.
ගනුදෙනු සහභාගීකරුවන් සඳහා වන නීතිවලට අනුව, කොටස් තැරැව්කාර ආයතනයක් විසින් තම එක් ගනුදෙනුකරුවකුට ලබා දිය හැකි ණය ප්‍රමාණය කොටස් තැරැව්කරු විසින් ලබා දිය හැකි මුළු ණය වටිනාකමෙන් සියයට පහළොවක් (15%) නොඉක්මවන අගයක් විය යුතුවේ. එසේම කොටස් තැරැව්කාර සමාගමකට තම සියලු ගනුදෙනුකරුවන් සඳහා ලබාදිය හැකි මුළු ණය ප්‍රමාණය කොටස් තැරැව්කාර සමාගමේ ගළපන ලද ශුද්ධ ප්‍රාග්ධනය මෙන් තුන් ගුණයක් නොයික්ම විය යුතුය.
ආන්තික ණය සපයන ආයතනයකින් ණය ලබාගෙන කොටස් මිලදී ගැනීම
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් ආන්තික ණය සපයන්නකු (Margin Provider) ලෙස බලපත්‍ර ලබා ඇති වෙළෙඳපොළ අතරමැදි ආයතනයකින් ණයක් ලබා ගෙන කිසියම් ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට හැකියාව පවතී. තමන්ගේම අරමුදල් යොදා නොගෙන තමන් සතුව දැනට තිබෙන කොටස් ඇපයට තබා මෙම ආන්තික ණය සපයන ආයතනයකින් ණයක් ලබා ගෙන ආයෝජනය කිරීමේදී ද වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ආයෝජකයන්ට අවස්ථාවක් උදාවේ. මෙසේ ආන්තික ණය සපයන ආයතන වලින් ණයක් ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම ලොව ඇතැම් කොටස් වෙළෙඳපොළවලද දක්නට ලැබෙන ආයෝජන උපාය මාර්ගයකි.
එසේ ගනුදෙනු කිරීමට ආයෝජකයකු විසින් ආන්තික ණය ගිණුමක් (Margin Trading account) පවත්වා ගෙන යා යුතුය. මෙම ආන්තික ණය ගිණුම ලෙස භාවිත කරන්නේද CDS ගිණුමක් වන අතර එය ආන්තික ගනුදෙනු වලදී “Slash Account” යනුවෙන්ද හඳුන්වයි. සාමාන්‍යයෙන් එවැනි ගිණුමක් පවත්වාගෙන යාම සඳහා පාර්ශව තුනක් එක්ව ගිවිසුමකට එළඹිය යුතුය. එම ගිවිසුම ආන්තික ණය ගිවිසුම (Margin Trading Agreement) යනුවෙන් හඳුන්වයි. ඊට අදාළ පාර්ශව වන්නේ ආයෝජකයා, කොටස් තැරැව්කාර ආයතනය සහ ආන්තික ණය සපයන ආයතනයයි. ආන්තික ණය ගනුදෙනු සඳහා අදාළ වන්නා වූ නීති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙළෙඳපොළ අතරමැදියන් සඳහා වන නීතිවල ආන්තික ගනුදෙනුකරුවන්ට අදාළ කොටසේ දක්වා තිබේ. (SEC Rules Applicable to Margin Provider)
කොටස් තැරැව්කාර ආයතනයෙන් ණය ලබා ආයෝජනය කිරීමේදී, මෙන්ම ආයෝජකයකු ආන්තික ගනුදෙනු කිරීමේදී ද ආයෝජකයකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව තම අවධානය යොමු යුතුය.
ලබා ගන්නා ණය මුදල නැවත පොලියත් සමඟ ගෙවිය යුතු බව. එනම්, ඔබ කොටස් විකිණීමෙන් ලබා ගන්නා මුදල ඔබ ලබාගත් ණය සහ පොලිය ගෙවීමටත් ඉන් අනතුරුව ලාබයක් ලබා ගැනීමටත් ප්‍රමාණවත් විය යුතු වේ.
ඉහළ යන කොටස් වෙළෙඳපොළ තත්වයකදී ණය ලබාගෙන කොටස් මිලදී ගැනීම යෝග්‍ය වුවත් යම් ආකාරයකින් කොටස් වෙළෙඳපොළ පහළ වැටුණහොත් ඔබ එම ණය පොලියත් සමඟ පියවන්නේ කෙසේද යන වග.
විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළ පහළ වැටීමකදී තමන් ලබා ගන්නා ණය ප්‍රමාණය තමන්ට දැරිය හැකිද යන වග හා තමන් ලබා ගන්නා ණය මුදල ඇපයට තබා ඇති ආයෝජන කළඹේ වටිනාකමින් නිශ්චිත ප්‍රතිශතයක් ඉක්මවා ගිය විට එම ණය ලබාදී ඇති ආයතනය එක් දැනුම්දීමකින් අනතුරුව (Margin Call) ඔබගේ ආයෝජන කළඹේ කොටස් විකුණන බව. (Force Selling)
මේ අනුව ඉහත අප සාකච්ඡා කළ ණය ලබාගෙන කොටස් මිලදී ගැනීමේ අවස්ථා දෙකේදීම විශේෂ වාසිදායක තත්වය වන්නේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට වැඩිමුදලක් ආයෝජකයාට ලැබීමයි. එමෙන්ම වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගන්නා විට වැඩි ප්‍රතිලාභයක්ද තබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එපමණක් නොව තම ආයෝජන තවදුරටත් විවිධාංගීකරණය කරමින් සිදු කිරීමට වැඩි ඉඩක් ලැබීමත් තවත් වාසියකි.
බොහෝවිට ආයෝජකයන් මෙම වාසි පිළිබඳව පමණක් සිතා බලයි. එහෙත් එහි අවදානමක්ද ඇති බව තේරුම් ගත යුතුය. තමන්ට දැරිය නොහැකි ලෙස ණය ලබා ගෙන ඇති අවස්ථාවක යම් හෙයකින් කොටස් වෙළෙඳපොළ පහළ වැටුණහොත් එසේ ලබාගත් ණය ගෙවීමට ආයෝජකයාට හැකියාවක් නැතිවීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක ණය ලබා දී ඇති ආයතනය එම ආයෝජකයා සතුව ඇති කොටස් විකුණා දැමීමට තීරණය කරයි. එහිදී ආයෝජකයාට සැලකිය යුතු අලාභයක් සිදුවිය හැක. ආයෝජකයන් මෙම කරුණු සියල්ල සිත්හි තබාගෙන ආයෝජනය කළ යුතුය.
කොටස් වෙළෙඳපොළේදී අධික තණ්හාව ආයෝජනය කරන්නන්ගේ අවාසියට හේතු විය හැක.
ණයක් ගෙන කොටස් වෙළඳපොළේ ආයෝජනය අවදානම්ද?