IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බිමට සමතලාවන වෙස් මුහුණු කර්මාන්තය

දේශීය කර්මාන්ත බිමටම සමතලා කරලා රටක් දියුණු කරන්න නම් බැහැ
මේ වටිනා කර්මාන්තයට රජයේ මැදිහත්වීමක් නැති තරම්
රටේ කලාව දියුණු කරන්න මොනතරම් ආයතන තිබුණත් වෙස් මුහුණු කර්මාන්තය නංවන්න ඒ අය ඉදිරිපත් වන්නේ නැහැ
වෙස් මුහුණු කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් තියෙනවා
අඩු තරමින් බැංකු ණයක්වත් ගන්න විදිහක් නැහැ
වෙස් මුහුණු කර්මාන්තය දියුණු කරන්න නම් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි
කර්මාන්තයේ යෙදුණු බොහෝ පිරිස් මේ රැකියාව හැර ගිහිල්ලා


 කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


නන්දන මහතා වෙස් මුහුණක් නිර්මාණය කරමින්.


 

 

අම්බලන්ගොඩ නම ඇසූ සැණින් මෙරට බොහෝ අයට මතක්වනුයේ රූකඩය. රූකඩත් අම්බලන්ගොඩත් අතර ඇති සම්බන්ධතාව එයින් මොනවට විදහා පායි. 
ඕනෑම අයකුගේ අවශ්‍යතාවකට වෙස් මුහුණක් අවශ්‍යවූවිට ඒ සඳහා පැමිණෙන්නේ අම්බලන්ගොඩටය. මෙරට අය පමණක් නොව විදේශිකයන්ද අම්බලන්ගොඩට පැමිණෙන්නේ ඒ නිසාමය. මේ නිසාම අම්බලන්ගොඩ වෙස් මුහුණු කැපීමේ මධ්‍යස්ථාන රැසක්ම බිහිවිය. එම මධ්‍යස්ථානවල සිය ගණන් දනෝ රැකියාවක් ලෙස වෙස් මුහුණු කැපූහ. ලලනාවෝ පිරිමින් කපන වෙස් මුහුණු සායම් කළහ. අම්බලන්ගොඩ ලලනාවන් අතින් හැඩ වැඩ වුණු වෙස් මුහුණු මෙරට පමණක් නොව පිටරට ද එකසේ ජනපිය විය. එමගින් වෙස් මුහුණු කපන ශිල්පීන්ගේ මෙන්ම ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියාවල නිරත වූ පවුල්වල බඩ කට යහමින් පිරුණි. ඒ මීට දසක දෙක තුනකට උඩදීය.
එදා අම්බලන්ගොඩ සිය දහස් දනන්ගේ බඩකට පිරවූ වෙස් මුහුණු කර්මාන්තය අද ඇත්තේ අනතුරේය. එය හොඳටම සාක්ෂාත්වනුයේ එදා අම්බලන්ගොඩ තිබූ වෙස් මුහුණු නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානවලින් මේ වන විට දැකිය හැක්කේ එක් අතක ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක් වී තිබීමත් සමගමය. එදා අම්බලන්ගොඩ නගරයේම පාහේ වෙස් මුහුණු කැපීමේ මධ්‍යස්ථාන තිබුණත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්වී තිබේ. අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයට මෙසේ වීමට හේතු භූතවූ කරුණු කාරණා රාශියකි.
මේ කරුණු කාරණා රටටම අනාවරණය කිරීමේ අරමුණින් අපි අම්බලන්ගොඩ නගරයේ සංචාරයක යෙදුණෙමු. දැනට එම කර්මාන්තයේ යෙදෙන අය සෑම දෙනාම පාහේ කීවේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය පවතිනුයේ තව ටික කාලයක් පමණක් බවය. මේ කර්මාන්තය කරගෙන යාමේදී තමන් මුහුණදෙන දුක්කදෝමනස්සයන් ගැන කීවේ හදපිරි කණගාටුවෙනි. දැඩි කලකිරීමෙනි.


ඒ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වූ එල්.ඒ.ආර්. නන්දන මහතා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයට අද අත්වී ඇති ශෝචනීය ඉරණම ගැන කීවේ මෙසේය.
මගේ පවුලේ මමයි අයියලා දෙන්නයි වෙස් මුහුණු කර්මාන්තය කළා. දැන් මේ කර්මාන්තය කරන්නේ මමයි අයියයි විතරයි. ඇත්තටම අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය මේ ආකාරයට ගියොත් එහි අනාගතය තියෙන්නේ තව ටික කාලයයි. අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ මේ යන්නේ අවසාන කාලයයි. ඊට හේතු ගොඩක් තියෙනවා. නොකියා හිටියොත් ඒක අපරාධයක් කියලා හිතෙනවා.
වෙස් මුහුණු කපන්න ගන්නේ කදුරු ලීය. එදා මේ කදුරු ලී අපිට සුළබ දෙයක්. අද ඒ ලීය දුර්ලභ දෙයක් වෙලා. අද කදුරු ලී ගේන්න බලපත්‍ර ගන්න වෙලා. ඒ කියන්නේ වෙස් මුහුණු කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් තියෙනවා. මේ හිඟය තදින්ම මේ කර්මාන්තයට බලපාලා තියෙනව. නියම වෙස් මුහුණුක් කපන්න පුළුවන් කදුරු ලීයෙන්ම පමණයි. කදුරු ලීයෙන් ඇර වෙනත් ලීවලින් කපන වෙස් මුහුණු කාලයක් තියා ගන්න බැහැ.
එදා මේ කර්මාන්තයට අවශ්‍ය ශිල්පීන් ඕනෑ තරම් අම්බලන්ගොඩ හිටියා. අද ඒ ශිල්පීන් සොයා ගන්න නැහැ. සමහර අය මියැදිලා. තවත් සමහරු මේ කර්මාන්තයෙන් සමු අරන්. තරුණ පරම්පරාව මේ කර්මාන්තයට එන්නේ නැහැ. ඒ අය හොඳට ඉගෙන ගෙන හොඳ රැකියා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක වැරදියි කියලා කියන්න කාටවත්ම බැහැ. විවෘත ආර්ථිකයත් එක්ක අද හැමදෙයක්ම තීරණය වෙලා තියෙන්නේ මුදල් මත. එතනදී කලාව, පෞරාණික වටිනාකම, පාරම්පරිකත්වය වගේ දේවල් අමතක කරන්න වෙනවා. ඉගෙන නොගෙන වෙනත් අනවශ්‍ය දේට හුරුවන තරුණ පරම්පරාවද ඕනෑ තරම් ඉන්නවා.ඒ අයට මේ වගේ ශිල්පයක් ඉගැන්නුවොත් ඔවුන්ටත් යහපතක් වගේම රටටත් යහපතක් වෙනවා. රටක් හැටියට තරුණ පරපුර නිවැරදි මාවතට ගැනීම රජයේ වගකීමක්. අනෙක වෙස් මුහුණක් නිර්මාණය කිරීම භාවනාවක් කරනවා වගේ වැඩක්. එවැනි කර්මාන්තයක් තරුණ පරම්පරාවට දායාද කළොත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයට හෙට දිනයේ හොඳ කාලයක් යාවී.
මේ වටිනා කර්මාන්තයට රජයේ මැදිහත්වීමක් නැති තරම්. රටේ කලාව දියුණු කරන්න මොනතරම් ආයතන තිබුණත් වෙස් මුහුණු කර්මාන්තය නංවන්න ඒ අය ඉදිරිපත් වන්නේ නැහැ.අඩු තරමින් අපිට බැංකු ණයක්වත් ගන්න විදිහක් නැහැ. ඒ සඳහා වටපිටාවක් බලධාරීන් හදලා දෙන්නේ නැහැ.
 අනෙක අපේ වෙස් මුහුණු ඕනෑම රටකට ලොකු ගණන්වලට අලෙවි කරගන්න පුවවන්.ඒ සදහා රජය මැදිහත් වන්නේ නැහැ. අපිට රට රටවලට අපේ වෙස් මුහුණු තැපෑල මගින් යවන්න ක්‍රමවේදයක් හදලා නැහැ.එහේම වුණාම ආයෝජකයන් සොයාගෙන අපේ වෙස් මුහුණු ඒ ඒ රටවලට තැපෑල මගින් යවන්න පුළුවන්. අනෙක ඇතැම් රජයේ ආයතන අම්බලන්ගොඩ වෙස් මුහුණු දෙස්විදෙස් සංචාරකයන්ට මිලදී ගැනීමට හා බැලීමට ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ඉතාම සීමිත තැන් කිහිපයක් පමණයි. මධ්‍ය හා සුළු පරිමාණයේ තැන් පිළිබඳව සොයා බලා ඒ තැන්වලටත් සංචාරකයන් යොමු කරනවානම් මේ කර්මාන්තයට ඉතා යෝග්‍යයි.
වෙස් මුහුණු ඇතුළු හස්ත කර්මාන්තයෙන් ජනාධිපති සම්මාන දිනූ සුසන්ත කුමාර මහතා අද වෙස් මුහුණු කර්මාන්තයට අත්වී ඇති සැන්තෑසිය ගැන කීවේ මෙසේය.
 මම ඉස්කෝලෙන් අස්වුණු ගමන්මයි මේ කර්මාන්තයට යොමුවුණේ. දැන් අවුරුදු තිස්පහක් පමණ වෙනවා වෙස් මුහුණු කර්මාන්තයට ඇවිල්ලා. එදා කොච්චර හොඳට අපි මේ කර්මාන්තය කරගෙන ගියාද. මේ කර්මාන්තය පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් කරන්න තරම් වටින කර්මාන්තයක්. අපි පාසල් යන කාලේ වඩු කර්මාන්තය තිබුණා. මැටි කර්මාන්තය තිබුණා. මේ කර්මාන්ත අපි ඉගෙන ගත්තා.
අපේ රට අස්ථාවර වන හැමවෙලාවේම රටේ වෙස් මුහුණු කර්මාන්තය වැටුණා. සුනාමියෙනුත් වැටුණා. කොරෝනා වලිනුත් තවත් වැටුණා. ඒ නිසා වෙස් මුහුණු කර්මාන්තය දියුණු කරන්න නම් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එතකොට රට වැටෙන වැටෙන පාරට වෙස් මුහුණු කර්මාන්තය වැටෙන්නේ නැහැ. අපේ කර්මාන්තයේ ස්ථාවරයක් නැති නිසයි අපේ දරුවකුටවත් මේ කර්මාන්තයට බල කරන්න බැරි. වෙස් මුහුණු කර්මාන්තය දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි.
කදුරු ශාකය එන්න එන්නම වඳ වෙලා යනවා. අපි එදා බලධාරීන්ගෙන් ඉල්ලු‍වා කදුරු වවන්න ඉඩමක් දෙන්න කියලා. ඒක ලැබුණේ නැහැ. එදා කදුරු වැව්ව නම් අපිට අමු ද්‍රව්‍යවල හිඟයක් එන්නේ නැහැ.  
ඉදිරි අනාගතය වෙස් මුහුණු කර්මාන්තයට අපලයි. බොහෝ වෙලාවට අම්බලන්ගොඩටත් වෙස් මුහුණු චීනයෙන් ගෙන්වන්න වේවි. ඒ දිනය වැඩි ඈතක නම් නැහැ. දේශීය කර්මාන්ත බිමටම සමතලා කරලා රටක් දියුණු කරන්න නම් බැහැ.


කේ.ජී.යසරත්න මහතා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයට අද අත්වී ඇති ඉරණම ගැන කීවේ මෙවැන්නකි. 
 මම දැන් මේ වෙස් මුහුණු කර්මාන්තයත් එක්ක හෙට්ටුවෙන තිස්හය වැනි අවුරුද්දයි. එදා අපි වෙස් මුහුණු කපලා හොඳ ආදායමක් ගත්තා. එදා අම්බලන්ගොඩ වෙස් මුහුණු ශිල්පියකුට හොද අභිමානයක් තිබුණා. අපි වෙස් මුහුණු කපනවා බලන්න මේ රටේ අය පමණක් නොව රට රාජ්‍යවලිනුත් පිරිස් ආවා. ඒ කාලේ අපි වෙස් මුහුණු කැපුවේ ලෝකයේ හොඳම රස්සාව කරන්නේ අපි කියලා හිතාගෙන. එදා එහෙම තිබිච්ච කර්මාන්තයක් තමයි අද මේ වැනි වැනී මඩේ හිටවපු ඉන්න වගේ වෙලා තියෙන්නේ.
දැන් හැදෙන කොල්ලෝ කෙල්ලෝ නිකං හිටියත් මේ වගේ අභිමානවත් රැකියාවක් කරන්න යොමු වෙන්නේ නැහැ. රජය මේ සදහා මැදිහත් නොවුණොත් වෙන්නේ වෙස් මුහුණු කපන්න අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවල්වලින් ගේන්නයි. මේ කර්මාන්තයේ දැනට තියෙන තත්වය ඕකයි.
අඩු තරමින්වත් රජයේ අවධානය යොමුවෙලා දැනට වෙස් මුහුණු කර්මාන්තයේ නිරතවෙලා ඉන්න අම්බලන්ගොඩ පිරිස ගැන සොයලා බලලා ඔවුන් ඇගයීමකට ලක් කරලා ඔවුනට වෙස් මුහුණු කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ටික සලසලා දුන්නොත් තවත් කාලයක් මේ වෙස් මුහුණු කර්මාන්තය අම්බලන්ගොඩ තියේවි.
එන්.එච්.පියසුමන මහතා:-
මමත් දැන් අවුරුදු තිහක් තිස්සේම ඉඳලා වෙස් මුහුණු කර්මාන්තයේ යෙදෙනවා. එදා හොඳ කල දසාවක් අපේ කර්මාන්තයට තිබුණා. අපේ කර්මාන්තයේ යෙදුණු බොහෝ පිරිස් මේ රැකියාව හැර ගිහිල්ලා. ඒකට හේතුව තමයි ආදායම අඩුවීම. දැන් බොහෝ අය කුලියට ත්‍රිරෝද රථ හයර් කරනවා. අපේ කර්මාන්තයට අඩු සැලකීමක් තිබීමත් මෙයට හේතුවක්. අමු ද්‍රව්‍ය හිඟය බොහෝසේ වෙස් මුහුණු කර්මාන්තයට බලපාලා තියෙනවා. කදුරු ලී ගේන්න බලපත්‍ර ඕන. ඒක ලෙහෙසියෙන් ගන්න බැහැ.
අපි මේ කර්මාන්තය අලු‍ත් පරම්පරාවට දෙන්න උත්සහා කරනවා. ඒ අය ඒකට ලොකු කැමැත්තක් නැහැ. මේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නම් අලු‍ත් පරපුරක් බිහි කරන්න ඕනෑමයි. ඒ සඳහා අපි හැමෝම අවධානය යොමු කරන්න ඕන. අම්බලන්ගොඩින් වෙස් මුහුණු කර්මාන්තය නැති වෙන්න දෙන්න හොඳ නැහැ. මේ පාරම්පරික කලාත්මක කර්මාන්තය රැක ගැනීමට රාජ්‍ය අනුග්‍රහය බො​ෙහාම මදියි.



අදහස් (0)

බිමට සමතලාවන වෙස් මුහුණු කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site