ඕලන්ද යුගයේ ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී Pettah නමින් හැඳින්විණි. මෙම Pettah හෙවත් පිටකොටුව කොළඹ නගරයේ කාර්යබහුලම තැන බව අමුතුවෙන් කිවයුතු නැහැ. පිටකොටුවේ වීදී අතරින් ශාන්ත ජෝන් වීදීය යනු 19 වැනි ශතවර්ෂය අවසාන කාලය වනවිට කොළඹ ඉතා කාර්යබහුල වරාය සහ වෙළෙඳ නගරයකි.
පිටකොටුව ශාන්ත ජෝන් වීදිය එම යුගයේ කොළඹ සිටි ස්වදේශික ජනයාගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර, රෙදිපිළි ඇතුළු සිල්ලර භාණ්ඩ විකිණීමට තිබුණු ප්‍රමුඛතම වෙළෙඳපොළ බව සටහන් වේ. 1894 වසරේදී සුප්‍රකට ‘ශාන්ත ජෝන් වීදියේ මාළු වෙළෙඳසල’ ඉදිවන්නේ එම වීදියේ මුහුද දෙසට ඇති කෙළවර ආසන්නයේ. එම වීදිය නිතරම ජනයාගෙන් පිරී පැවතුණු බවත්, උදෑසන සහ සවස මාළු ඔරුවලින් අලුත් මාළු රැගෙන එන වේලාවලදී එම වෙළෙඳසලින් නැගුණු අති මහත් ඝෝෂාව පිළිබඳවත් එම යුගයේ ශාන්ත ජෝන් වීදිය ගැන ලියවුණු සටහන්වල විශේෂයෙන් සඳහන් වේ. මේ දිනවල බිස්නස් පිළිබඳව දැන ගැනීමට අපි ගොඩ වූයේ ශාන්ත ජෝන් වීදීයේ වී. චාර්ල්ස් මහතාගේ නිව් ඕපාත වෙළෙඳසල වෙතයි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ තොග බඩු. හකුරු, තේ කොළ, කුරුඳු වගේ දේශීය නිෂ්පාදන තමයි අපි විකුණන්නේ. ආනයනික භාණ්ඩ මොකුත් අපි විකුණන්නේ නෑ. සේවකයෝ හතර දෙනෙක් සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනව නම් බිස්නස් නෑ කියන්නත් බෑ. සාමාන්‍ය විදියට තියනවා. රාමසාන් එකත් එනවා ඉස්සරහට. එකක් එක්ක බිස්නස් වැඩිවෙයි කියල බලාපොරොත්තු වුණා.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මිනිස්සු ළග සල්ලි නැති එක තමයි හේතුව. මේ තියන අර්ථික තත්වේ එක්ක බඩුත් ගණන් වැඩියි. අඩු ගාණට ගන්න කියල මොකුත් බඩු නෑ. පහුගිය කාලේ කොරෝනා එක්ක ඇති වුණු ආර්ථික අර්බුදයෙන් පස්සේ වැඩි වුණ බඩු මිල තාම පාරිභෝගිකයට දැනෙන තරමට අඩු වෙලා නෑ. ඒ නිසා පරිභෝගිකයන්ට බඩු ගන්න වුවමනාව තිබ්බත් තමන්ට ඕන විදියට බඩු ගන්න බෑ. ගොඩක් අය පිටකොටුවට එන්නෙම අඩුවට බඩු ගන්න. ඒ ආවත් හැම කඩේකින්ම ගණන් අහලා අඩුම තැනින් තමයි ගන්නේ. ගොඩක් අය ඇවිල්ල බඩු මිල අහලා බඩු අතගාලා යනවා විතරයි ගන්නේ නෑ. ඒ නිසා බිස්නස් අඩුයි. ඉස්සරහට එන උත්සව සමයේ නම් බිස්නස් වැඩිවෙයි. මොකද ඕනම කෙනෙක් උත්සව සමයට ණයක් වෙලාහරි ඕන කරන බඩු ගන්න නිසා.
ශෂිකා අබේරත්න
ඡායාරූප- සුමුදු හේවාපතිරණ
බිස්නස් නෑ කියල කියන්නත් බෑ