IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මංගල අයවැයෙන් දුප්පතුන් ආරක්ෂා කළාද?

 


ජනාධිපති අනුර කුමාර දිසානායක, සිය උද් යෝගිමත් අයවැය කතාවේදී ජාතික ජන බලවේගය රජයේ පළමු අයවැයේ ප්‍රමුඛතාව විස්තර කළේ මෙසේය: “මහජන නැගිටීම් සහ පසුගිය වසරේ පැවැති මැතිවරණයේදී ජනතාව තම දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරගත් බවක් පෙනුණි. අවශ්‍ය වන්නේ ඒ හා සමානව ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීමයි. මෙවර අයවැයේ දර්ශනය එයයි”. ජනාධිපතිවරයා නිවැරදිව පෙන්වා දුන් පරිදි, ජාතික අයවැයක් යනු නිශ්චිත වසරක් සඳහා විවිධ අමාත්‍යාංශවලට රාජ්‍ය අරමුදල් වෙන් කිරීමේ තාක්ෂණික අභ්‍යාසයක් පමණක් නොවන අතර, ජාතික අයවැයක් යනු රජයක මූලික දෘෂ්ටිවාදාත්මක තෙරපුම ද හෙළි කරමින්, එහි ආර්ථික දැක්මට මඟ පෙන්වන මාලිමා යන්ත්‍රයක් ලෙසින්ද හඳුන්වා දිය හැකිය. 

2025 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේදී කියවීමට පෙර පැවති මනෝභාවය අඳුරු එකක් විය. දැඩි ලෙස සීමා වූ මූල්‍ය අවකාශය යථාර්ථය සැලකිල්ලට ගැනීමේදී, අලුතින් තේරී පත් වූ රජයට ලබා දිය හැකි දේ පිළිබඳ අපේක්ෂා අඩු මට්ටමක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය යටතේ දුර්වල ලෙස සාකච්ඡා කරනු ලැබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ප්‍රමාණවත් ලෙස වෙනස් කිරීමට ඔවුන්ට නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිවිසුමේ නියමයන් නැවත සාකච්ඡා කරන බවට පූර්ව මැතිවරණ පොරොන්දු තිබියදීත්, රජය සරලවම යටත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමාලෝචනයේ සෙවණැල්ල ප්‍රතිපත්ති සම්පාදකයන් මත දැඩි බරක් පටවා තිබූ අතර, අයවැයේ ප්‍රතිඵලය පුරෝකථනය කළ හැකි එකක් විය. ඒ මෙවර අයවැය නිසැකවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරනු ඇත යන්නය. කෙසේ වෙතත්, මෙවර අයවැය මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානියා ද වන ජනාධිපති දිසානායකගේ නායකත්වය යටතේ රජය ගෙන ආ මංගල අයවැය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කප්පාදු පියවරවල බලපෑම යටතේ පීඩාවට පත්ව සිටින තම ඡන්දදායකයන්ට සහතික කිරීම සඳහා අලුතින් තේරී පත් වූ රජයකට කුමක් කළ හැකිදැයි බැලීමට බොහෝ දෙනෙක් තුළ ප්‍රමාණවත් කුතුහලයක් තිබුණි.

 

අයවැය ප්‍රමුඛතා
ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම හානියට පත් වූවන් සඳහා වන ප්‍රතිපාදන ඇගයීම මගින්, අයවැය තුළ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය දීමේ රජයේ ප්‍රකාශිත අභිප්‍රාය කුමක්දැයි විමසීම ප්‍රයෝජනවත් විශ්ලේෂණාත්මක කරුණකි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 5.5 ක් දරිද්‍රතාවට ඇද වැටුණු අතර, දරිද්‍රතා අනුපාතය වසර දෙකක් තුළ සියයට 25 දක්වා තියුණු ලෙස දෙගුණ විය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩක් පමණ (මිලියන 11 ක ජනතාවක්) බහුමානීය වශයෙන් අවදානමට ලක්විය හැකි බව අනාවරණය කරගෙන ඇත. කුටුම්භවලින් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටිති. කාන්තාවන් සහ ළමයින් වැඩිපුරම පීඩා වින්දේ තමන්ගේම වරදක් නිසා නොව, පෝෂණය සඳහා ඔවුන්ගේ ප්‍රවේශය දැඩි ලෙස අඩපණ වූ බැවිණි. ළමයින් සහ ගැබිනි මව්වරුන් අතර අඩු බර අනුපාත ඉහළ යාමක් පෙන්නුම් කළේය. අර්බුදයේ බර මෙන්ම එතැන් සිට ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ බර ද දරා සිටින රටේ වැඩ කරන ජනතාවට, බොහෝ දුරට කාන්තාවන්ට මෙම යථාර්ථය වෙනස් වී නොමැත.

පසුගිය නොවැම්බර් මාසයේදී ජාතික ජන බලවේගය ලැබූ දැවැන්ත ජනවරමෙන් පිළිඹිබු වූයේ වෙනසක් සඳහා ඇති ආශාව සහ බලාපොරොත්තුවේ සිට අපගේ ජනතාවගේ කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම දක්වා වූ හැඟීම් ය. දිගු කලක් තිස්සේ පැවති අර්බුදයකදී ආහාර සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්න විසඳීමට පසුගිය රජයන් දැක්වූ දරුණු අසාර්ථකත්වය හේතුවෙන්, ජාතික ජන බලවේගය පක්ෂය ඔවුන්ගේ අහිමි වීම ආපසු හරවනු ඇතැයි යන දැඩි ප්‍රාර්ථනාවෙන් බොහෝ දෙනෙක් ඔවුන්ට බලයට ඡන්දය දුන්හ. ජාතික ජන බලවේගය පක්ෂයේ පළමු අයවැයෙන් ඔවුන්ගේ ආර්ථික අයිතිවාසිකම් සහතික කිරීම සඳහා සාධාරණීකරණය කිරීම පහසු තේරීමක් විය යුතුව තිබුණි.

කණගාටුදායක ලෙස, වඩාත් අවදානම් සහිත පවුල් සඳහා සමාජ ආරක්ෂාව අයවැය ප්‍රමුඛතාවක් බවට පත් කිරීමට 2025 අයවැය මඟින් අපොහොසත් වී ඇත. අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් ලබාදීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 160.1 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වැනි සුළු ප්‍රමාණයකි. මෙම අගය මුදල් මාරු කිරීමේ වැඩසටහනේ හැකිලීමක් ලෙස තේරුම් ගත යුතුය. 2024 දී වෙන් කළ මුදලින් (රු. බිලියන 161.7) නාමික වැඩිවීමක්වත් නොමැත.

අස්වැසුම යනු අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් ඇතුළු සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් සඳහා සහන සැලසීම කෙරෙහි අවධානය යොමු කරන රාජ්‍ය අනුග්‍රාහයකත්වය යටතේ ක්‍රියාත්මක වන එකම වැඩසටහනයි. ඊට අමතරව, ජාතික ජන බලවේගය රජය විසින් මෙම වැඩසටහනට පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර පිරිනැමීමද හඳුන්වා දෙන ලදී. සමස්තයක් වශයෙන්, එවැනි විවිධ අවදානම් සහිත කණ්ඩායම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 232.5 ක් පමණක් වන අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක් තරම් කුඩා ප්‍රමාණයකි. 
රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා මෑතකදී ඇති වූ දැඩි උත්සාහය හේතුවෙන්, වැඩ කරන ජනතාව භාණ්ඩ හා සේවා සඳහා වන වක්‍ර බදු වැඩිවීම් වලින් වැඩි කොටසක් ගෙවා ඇති අතර, ඔවුන්ට තම පවුල් සඳහා අවශ්‍ය කරන ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය සපයා ගැනීම සඳහා විශාල සටනක නියැළීමට සිදුව ඇත. මහජන ආදායමෙන් අඩකට වඩා වක්‍ර බදු මගින් ජනනය වන අතර, එම ආදායම ජනනය කරගැනීමට උදව් කළ පවුල් වෙත අස්වැසුම හරහා ආපසු බෙදා හැරීමට වෙන් කර ඇත්තේ මුළු අයවැය ආදායමෙන් සියයට 4.7 ක් පමණි. එය සාධාරණ නැවත බෙදාහැරීමකට වඩා, මෙම ප්‍රවේශය දැනටමත් දුප්පත් අය මත අර්බුදයේ බර කෲර ලෙස මාරු කිරීමක් පෙන්නුම් කරයි.


දෘෂ්ටිවාදී මෘගයන් ආමන්ත්‍රණය කිරීම
ආන්තික ජනගහනයන්ගේ ආර්ථික අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමේ සැබෑ උත්සාහයක් අනිවාර්යයෙන්ම ආරම්භ විය යුත්තේ අස්වැසුම වැඩසටහනේම යටින් පවතින උපකල්පන සහ සැලසුම ප්‍රශ්න කිරීමෙන් මිස, එයට සංකේතාත්මක වැඩිවීම් සහ එකතු කිරීම් හඳුන්වා දීමෙන් නොවේ. ලෝක බැංකුවේ මඟ පෙන්වීම යටතේ පසුගිය රජය විසින් හඳුන්වා දුන් අස්වැසුම, මූලික වශයෙන් දෝෂ සහිත යෝජනා ක්‍රමයක් බවත්, පැහැදිලි අනාගත දිශාවක් නොමැතිව අවිනිශ්චිතව තබා ඇති සමෘද්ධි යෝජනා ක්‍රමයේ ඉතා දුර්වල ආදේශකයක් බවත් බහු අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

දුප්පත් පවුල්වල අනිවාර්ය ඉතිරිකිරීම්, බැංකුවේ ඔවුන්ගේ කොටස් සහ ජනනය කරන ලද අරමුදල්, මෙම යෝජනා ක්‍රමය හරහා කලින් ලබා දුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ ගම් මට්ටමින් සමෘද්ධි සමිති සඳහා එහි සාමාජිකයන්ට ආර්ථික සාධාරණත්වය සහතික කරන ආකාරයෙන් සමෘද්ධි බැංකුව සඳහා සැලැස්මක් රජය විසින් සකස් කළ යුතුය. මේ අතර, නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක්ද පවතී.
ඉලක්කගත වැඩසටහනකින් විශ්වීය සමාජ ආරක්ෂණ වැඩසටහනක් කරා ගමන් කරන ලෙසට නැගෙන ඉල්ලීම් මධ්‍යයේ, පුරවැසි අයවැය ලේඛනය නොමඟ යවන සුළු ලෙස “විශ්වීය සමාජ ආරක්ෂණ පද්ධතියකට” රුපියල් බිලියන 749 ක් වෙන් කර ඇති බවට හැඟීමක් ලබා දීමට උත්සාහ කරයි. එහෙත් ඒ යටතේ ලැයිස්තුගත කර ඇති කාණ්ඩ සියල්ලම පටු ඉලක්කගත වැඩසටහන් වේ. විශ්වීය සමාජ ආරක්ෂණ පද්ධතියක් පිළිබඳ ජාතික ජනබලවේගය රජයේ අවබෝධය කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු කරයි.

ප්‍රකාශිත අභිප්‍රායන් තිබියදීත්, අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ අසමාන ආර්ථික ක්‍රමය තුළ වඩාත්ම අවිනිශ්චිත තත්වය යටතේ ජීවත් වන අයගේ ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බව පිළිබිඹු නොවේ. අප ඉදිරියේ ඇති දැවෙන ප්‍රශ්නය නම් 2026 අයවැයෙන් ආර්ථික යුක්තිය ඉටු වන බව සහතික කිරීමට ජාතික ජන බලවේගය රජයට දෘෂ්ටිවාදාත්මක පැහැදිලිකමක් සහ දේශපාලන කැමැත්තක් තිබේද යන්නයි. එසේ නම්, එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් මෘගයා සමඟ බරපතළ ලෙස සටන් කිරීමට සිදුවනු ඇත.

“නව ලිබරල්” අයවැය විවේචනය කිරීමට උත්සාහ කරන විපක්ෂයේ හඬට ප්‍රතිචාර දක්වමින් රජය ආරක්ෂක ස්ථාවරයක් ගෙන තිබේ. නව ලිබරල් ලාංඡනය තම අත්වල පැළඳ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හෝ ඡන්දදායකයන් විසින් ඉතිහාසයේ කුණු කූඩයට විසි කර ඇති අයගෙන් එන උපහාස ගැන ඕනෑවට වඩා කරදර විය යුතු නැත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යකඩ ග්‍රහණය තුළ ක්‍රියාත්මක වීමෙන් සිදුවන්නේ අපගේ ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ සහයෝගය අහිමි කරමින්, එහි මඟ පෙන්වන දෘෂ්ටිවාදය සඳහා රූකඩ බවට පත්වීම හැර වෙනත් කිසිවක් නොවන බව රජය සැලකිලිමත් විය යුතුය.

තම අයවැය කතාවේදී, ජනාධිපතිවරයා අනතුර පිළිබඳ දැනුවත්භාවය හෙළි කළ අතර, අපගේම ආර්ථික න්‍යාය පත්‍රය සැලසුම් කිරීමට හැකිවීම සඳහා ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම අවශ්‍ය බව ප්‍රකාශ කළේය. මුල් මාවතක් සකස් කිරීම බැරෑරුම් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනෙන් ඉවත් වීමට හෝ එයින් පිටවීමට බිය නොවන බවත් පෙන්වීම දැන් රජය සතු වගකීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අනුවාදය පවා අපගේ ජනතාව දුප්පත් කරන ප්‍රතිපත්ති මගින් පවත්වා ගත නොහැකි බව එය හඳුනාගත යුතුය. අපගේ ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීමට රජය දරන උත්සාහය මෙහෙයවිය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නොව, ආර්ථික යුක්තිය සඳහා ස්ථිර කැපවීමක් මගිනි.

(මෙම ලේඛිකාව මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන අතර ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකයේ සාමාජිකාවකි.)

“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න



අදහස් (0)

මංගල අයවැයෙන් දුප්පතුන් ආරක්ෂා කළාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site