සාරා කන්දෙගොඩ
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන දිනා ගැනීමේ සැලකිය යුතු උත්සාහයක් තිබේ. ආයෝජන මණ්ඩලය එ් සඳහා ස්ථාපිත කරන ලද රාජ්‍ය ව්‍යුහය වේ. පසුගිය ආණ්ඩුව ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක පොදු දුබලතා හඳුනාගෙන තිබුණි. පැරැණි ව්‍යුහය පලක් නැති අතර අලුත් රාමුවක් සකස් කළේය. ආර්ථික පරිවර්තනය පිළිබඳ අලුත් පනත් කෙටුම්පතක් සමග සංවර්ධන අභිලාෂ යෝජනා කළේය. පැවැති ආණ්ඩුවට හා විධායක ජනාධිපතිවරයා ගේ සැලැස්මට ජනතාව අනුමැතිය දුන්නේ නැත. ජාතික ජනබලවේගය ආණ්ඩුව තෝරාගෙන තිබේ. දශක හතක පැරණි ක්‍රමවේද බැහැර කර නවතම ක්‍රමවේද සඳහා ඇතුළුවන බව මැතිවරණ වේදිකාවේ දී කියැවිණ. කෙසේ වෙතත් 2025 අය-වැය සමග ආර්ථික පරිවර්තන පනත සංශෝධනය සහිතව ඉදිරියට ගෙන යන බව දක්වයි.
ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල 1978 පනත ඉවත් කිරීම සඳහා ද පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් කෙටුම්පත මගින් බලය පැවැරී ඇත. ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැලසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවූ විශේෂ කමිටුවකට පැවැරීමට ද එහි බලය ඇත. කෙසේ හෝ රටට ආයෝජන අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර දියුණු විය යුතුව තිබේ. කෙසේ වෙතත් හැකියාවක් ඇති ශ්‍රී ලාංකේය සමාගම් අසල්වැසි රටවල ස්ථාන ගතවන බව සඳහන් කළ යුතුය. වහාම අවධානය යොමු කර මෙරට ව්‍යවසායකයන්ට අඩුම තරමින් රට තුළ ආයෝජනය සඳහා අවකාශයක් නිර්මාණය කළ යුතුවේ.
ඇඟලුම් කර්මාන්තකරුවෝ ඉන්දියාවට
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ව්‍යව්‍යවසායක මාස් හෝලිඩිං සමාගම ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඔඩිස්සා හි ඇඟලුම් කර්මාන්තයට ප්‍රවේශ වෙයි. අක්කර හැටක භූමි භාගයක විශිෂ්ට කර්මාන්ත සංකීර්ණයක් එහි ස්ථාපිත කරන බව දැක්වේ. මෙම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 140 කි. ඉදිරි වසර දහය තුළ තවත් පැතිවලට එය විහිදුවන්නට යෝජනා කර ඇත. මාස් හෝල්ඩිං සමාගම රටවල් දහ හතරක මෙහෙයවන අතර එහි නිරත ශ්‍රම බළකාය ලක්ෂයක් බව අනාවරණය වේ. ශ්‍රී ලංකාව තුළ අප්‍රමාණ අවස්ථා ඇතිකරගත හැකිව තිබිය දී ඉන්දියාවට හා ලෝකයේ තවත් රටවල් ගණනාවක් තෝරා ගැනීම සම්බන්ධ අභ්‍යන්තරය කුමක් ද?
2014 වසරේ දී ශ්‍රී ලාංකික සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්ත ප්‍රදේශයේ ආයෝජනය කළේය. එය වසර තුනක සිට පහක් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක යෙදවීමකි. මෙකී බ්‍රැන්ඩික්ස් සමාගමේ කර්මාන්තය සඳහා අන්ද්‍ර ප්‍රදේශයෙන් අක්කර දහසක ඉඩමක් ලැබුණ අතර එය වරායේ සිය කිලෝ මීටර් හතළිහක් නුදුරින්වීම විශේෂත්වයකි. අනෙක් අතට මෙහි ඉන්දියානුවන් හැට දහසකට රැකියා අවස්ථා ඇති කරන බව අනාවරණය විය.
මෙරට ප්‍රධාන පෙළේ කම්හල් දෙකක්
එපමණක් නොව දකුණු ආසියාවේ ප්‍රධාන ව්‍යවසායකයන් වශයෙන් සැලකෙන අංශ ඉන්දියාවට ගමන් කරන අතර එහි පසුබිම විමර්ශනය කළ යුතුවේ. බ්‍රැන්ඩික්ස් සමාගම මෙයින් වසර දහයකට කලින් ඉන්දියාවට යොමුවූ අතර මෙරට පාලකයන්ට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවධානයට ගැනීමට විශේෂ සාධකයක් විය. මෙරට නැති අවස්ථා ඉන්දියාවෙන් ලැබෙන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමය. අනෙක් අතට මෙම ආයෝජනය සමග 2014 -16 කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට තිබුණ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් අහිමි වී තිබේ. මෙරටින් අපනයනයෙන් උපයාගත් විනිමය ප්‍රමාණයෙන් කොටසක් ඉන්දියාවේ ආයෝජනයට වැය කර ඇත. මාස් හෝල්ඩිං සමාගම මෙම වසරේ බිහාර් ප්‍රාන්තයේ ඔඩිස්සාවලට යන අතරවාරයේ එම සමාගම ද වසර තුනක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 140 ක ප්‍රමාණයක් එහි හරවා යවා තිබේ. ඉතාම පටු ආකාරයකට නිරීක්ෂණය කළහොත් මේවා මෙරටට ලැබෙන්නට තිබුණ විනිමය බව පැහැදිලිය. ඉතාම ආඩම්බරයෙන් සාකච්ඡා කළහොත් ශ්‍රී ලාංකික සමාගමක් ඉන්දියාවේ ඇගලුම් කර්මාන්තයට ඇතුළු වී සිය වපරිසරය පුලුල් කරගනිමින් සිටී.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඉතිහාසය
ඉතිහාසය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාව 1950 ගණන්වල සිට කර්මාන්තයක් වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය කරගෙන ගොස් තිබේ. එය මෙරට පැරණි සාම්ප්‍රදායික කණ්ඩායම් කිහිපයක් අත තිබුණ ව්‍යාපාරයකි. දේශීය අවශ්‍යතා ඒවායෙන් සම්පූර්ණ කෙරිණ. නිමි රෙදි ආනයනයට අවස්ථා සීමිත සහ අමුද්‍රව්‍ය පවා ගෙන්වා ගැනීම පහසු නැති මෙම කාලයේ අත් යන්ත්‍ර පෙහෙකම් ග්‍රාමීය කර්මාන්තයක් වශයෙන් තිබුණි. 1950 සිට 1970 දක්වා කාල වකවානුව තුළ ඉන්දීය ජාතික මහරාජාවරයකුට අයිති වැල්ලවත්ත කෙටීමේ හා විවීමේ කම්හල සඳහන් කළ යුතු තැනකි. එකල පැවැති වැඩ වර්ජන හේතුවෙන් කම්හල පවත්වාගෙන යා නොහැකි වූ අතර එය විකුණා දැමීමට මහාරාජාවරු පියවර ගත්හ. නව අයිතිකරුවන් බවට පත් වූයේ මෙරට පළමු ශ්‍රී ලාංකික මහ බැංකු අධිපතිවරයාව සිට පසුව පෞද්ගලික ව්‍යාපාර අංශයට ප්‍රවේශ වූ එන්. යූ. ජයවර්ධන මහතාය. එවකට වැල්ලවත්ත විවීමේ හා කෙටීමේ රෙදි කර්මාන්ත ශාලාවට ප්‍රදේශයේ විසූ දක්ෂ ක්‍රීඩකයන්ට පවා අවස්ථාව දුන් තුන් දහස් පන්සියයක් පමණ සේවය කළ තැනකි.
විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසු අපනයනය වේගවත් කරන වැඩ පිළිවෙළකට සේන්දු විය. ඇමරිකාව සමග අත්සන් කරන ලද බහු කෙඳි ගිවිසුම එහි ලා සන්ධිස්ථානයකි. එම ගිවිසුම අනුව ඇමරිකාවට අවශ්‍ය ඇගලුම්වලින් කොටසක් එම ගිවිසුමට ඇතුළත් වූ රටවල්වලින් බදු රහිතව ආනයනය කරන්නට අවකාශ සැලසිණ. එම අවස්ථාව ඇමරිකානු ආයෝජකයන්ට ප්‍රයෝජනවත් වූ අතර දුරදර්ශී සංකල්පවලින් යුත් මාර්ටින් ට්‍රස්ට් වැනි ඇඟලුම් ව්‍යවසායකයෝ ගිවිසුම් සහගත රටවල් සමග උපායශීලී සම්බන්ධතා ඇරඹූහ. එය ශ්‍රී ලංකාවට මිල කළ නොහැකි අවකාශයක් වූ බව සඳහන් කළ යුතුය. එම සම්බන්ධතා වේගවත් වූයේ නගරයෙන් බැහැර ප්‍රදේශවල කර්මාන්ත දෙසීයක් ආරම්භ කරන වැඩ පිළිවෙළයි. ආයෝජන මණ්ඩල සහන සහිතව දුර ප්‍රදේශවල කර්මාන්ත ශාලා ඇරඹුණ අතර ඒවායේ නිෂ්පාදන මිල දී ගැනීමට කෝටා ක්‍රමය වරප්‍රසාදයක් වශයෙන් බටහිර රටවල සමාගම් ප්‍රයෝජනයට ගත්හ.
එක් අවස්ථාවක මෙරට ඒකාබද්ධ ව්‍යාපාර ආයතන තිහකට වඩා ට්‍රස්ට් පවුලේ ව්‍යාපාර සමග එකතු වී කරගෙන ගොස් තිබේ. ඒවායේ සේවය කරන ලද මෙරට ශ්‍රමිකයන් ප්‍රමාණය විසි දහස ඉක්මවන ලද අතර ඇමරිකානු පුරවැසියකු මෙරටට පැමිණ කරන ලද සේවය ප්‍රශංසනීය බව ව්‍යාපාරික අංශ දක්වයි. විශේෂයෙන් මෙරට ඇඟලුම් අපනයන අංශ පිබිදෙන වකවානුවේ දී චීනය මහා පරිමාණයෙන් නිමි ඇඳුම් අපනයනය කරමින් සිටි අතර මාර්ටින් ට්‍රස්ට් වැනි ආයෝජකයකු හා මග පෙන්වන්නකු නොවුණිනම් චීන අපනයන සමග තරග කරන්නට මෙරට නිෂ්පාදනවලට කිසිම අවස්ථාවක් නොලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
පැතිරෙන ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට
කෝටා ක්‍රමයෙන් ඇරඹුණ ඇඟලුම් කර්මාන්තය තරගකාරීව හා සූක්ෂමව ඉදිරියට ගෙන ගියේය. කෝටා ක්‍රමය ලැබුණ අංශ ඒවායෙන් අවස්ථාව අහිමි කරගන්නා අතරවාරයේ දක්ෂ ව්‍යවසායකයෝ ජාත්‍යන්තර ඇඟලුම් අංශයේ හැසිරීම සලකා බලමින් තීරණ ගත්හ. එහි අවසාන ප්‍රතිඵලය අද අප හමුවේ තිබේ. ලෝකයේ තෝරාගත් අංශයක දක්ෂතා දක්වන ඉතාම උපායශීලී ඇඟලුම් ව්‍යවසාය කණ්ඩායමක් රටට ඇත. මෙම පිරිස වසරකට මෙරටට උපයා දෙන විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වේ. ලක්ෂ ගණනක් සෘජු හා වක්‍ර රැකියාවල නිරතවෙති. ශ්‍රී ලංකාව සඳහා තිබුණ කෝටා ක්‍රමය යම් ප්‍රමාණයකින් අහෝසි වී ඇති අතර එම අභියෝග මැද පවා සාර්ථකව ව්‍යාපාර මෙහෙයවන්නට ඇතැම් සමාගම් සමත්ව ඇත.
ආණ්ඩු බලයට පත්ව ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතරවාරයේ කර්මාන්ත හා ව්‍යවසායවලට සැලකිය යුතු වාසි හා අවාසි සිදුවිය. විශේෂයෙන් කර්මාන්තයට අවශ්‍ය උපකරණ ගෙන්වන විට, අමුද්‍රව්‍ය ආනයනය කරන විට පනවන ලද බදු සැලකිය යුතු ගැටලු ඇති කළේය. ඛනිජ තෙල්, විදුලිය, ජලය හා වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් අනෙක් රටවලට වඩා ඉහළ යන අතර වාරයේ ඒකකයක් නිපදවන්නට වැය කරන ප්‍රමාණය ඉහළ ගියේය. අනෙක් අතට මධ්‍යම රජය, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සංකීර්න බදු ක්‍රම ආයෝජන අධෛර්යයට පත් කරන ලද බව නොරහසකි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා ශ්‍රමය භාවිතාව ඉතා අහිතකර තැනක පවතී. මැදි ආදායම් ආර්ථිකයක පසුවන අතරවාරයේ අඩු මුදලට ශ්‍රමය ලබා ගැනීම පහසු නැත. කම්කරු නීති තදින් බලපායි. ඇඟලුම් මිල දී ගන්නා රටවල් පවා මෙම නිෂ්පාදන සඳහා කරන කැපවීමේ දී සේවකයන්ට සපයන සුබසාධනය, ගෙවීම් හා ඔවුන්ට දක්වන දයාව ගැන සැලකිල්ලක් දක්වයි. අවසානයේ දී ශ්‍රී ලංකාවේ ශ්‍රමය ප්‍රමාණවත් නොවූ අතර ඇගලුම් සමාගම් ගණනාවක් යුද තත්වය අවසන් වූ පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ද ගෙන ගිය බව සිහිපත්කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාව තුළ ලාබ ශ්‍රමය හා අඩු පහසුකම් හේතු කොටගෙන කර්මාන්තය වඩාත් ප්‍රබෝධවත් තැනකට කැඳවීම පහසු වූයේ නැත. බංගලාදේශය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව, මාලදිවයින හා තවත් රටවලට මෙරට සමාගම් සිය ව්‍යවසාය ගෙන යන්නට තීරණය කළේය.
වෙනත් ආයෝජන ගෙන්වන අතර තිබෙන ආයෝජන
ශ්‍රී ලංකාව ආයෝජන ගෙන්වා ගැනීමට වෙහෙසෙන රටකි. මුලින් ද සඳහන් කරන ලද පරිදි වෙනම ආයතන පිහිටුවා ඇත. ආයෝජන කලාප ස්ථාපිත කර තිබේ. කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් සහ මාස් සමාගම් දක්වන සංකල්පය අනුව මෙරට දෙන පහසුකම්වලට වඩා තැනක් ඉන්දියාවේ හෝ වෙනත් රටක තිබේ. ව්‍යවසාය දිරිගන්වන, ශ්‍රී ලංකාවේ විනිමය අවශ්‍යතා සලකා අපනයන අංශ දියුණු කරන සූදානමක් ඇති ආණ්ඩුවක් වශයෙන් මෙම තත්වය ගැඹුරින් සලකා බැලිය යුතුවේ. දේශීය සමාගම්වලට පහසුකම් සපයා මෙරට ආයෝජනය කරන්නට ඉඩ දිය යුතුය. එහි දී ආයෝජනය පමණක් නොව එහි නිෂ්පාදන අපනයනයෙන් ද රටට සැලකිය යුතු වාසියක් ලැබේ.
ඉන්දු - ශ්‍රී ලංකා සේවා ගිවිසුම අනුව රටට ශ්‍රමිකයන් කැඳවා ගත හැකිය. එම ගිවිසුම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් තිබුණි. මෙරට පුරවැසියන්ට ලෝකයේ වෙනත් රටවල් එම රටවලට පැමිණ සේවය කර උපයන්නට ඉඩ දී තිබිය දී ශ්‍රී ලංකාව එවැනි පසුබිමකින් බැහැරවීම අවධානයට ගත යුතු අංශයකි. මෙරට ඉඩම් ලබා දී වෙනම කලාපයකට ශ්‍රමිකයන්ට ඇතුළු වෙන්නට ඉඩ දිය හැකි වාතාවරණයක් තුළ වෙනත් රටක ආයෝජනය කළ ප්‍රමාණය මෙරට කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් යෙදවෙනවා පමණක් නොව එහි නිෂ්පාදන අපනයනයෙන් විනිමය ලැබෙන්නේ ශ්‍රී ලංකාවටය. එය කෙසේවත් අමතක කළ යුතු ස්වභාවයක් නොවේ. එහෙත් මෙම බරපතළ පැතිරුණ තීන්දුගැනීමට ආණ්ඩු අසමත්ය. විපක්ෂය භීතිය ඇතිකරමින් සිටී. මහජනතාව නොමග යවන අතර බාහිර රටවල ශ්‍රමය පැමිණීම විනාශයක් බවට අර්ථ දක්වයි. දේශීය ව්‍යවසායකයන්ට සහන සැපයීම දේශපාලන හැඳිනුම්කම් වශයෙන් අර්ථදක්වා මහත් ඝෝෂා ඇති කරයි. අවසානයේ දී රටට හිමිවිය යුතු අවස්ථා කලාපයේ වෙනත් රටවල් දිනා ගනිමින් සිටී.
ශ්‍රී ලංකාව පසුගිය අවුරුද්දේ පවා ආයෝජන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800කට වඩා උපයා ගෙන නැත. ඉන්දියාව ලබා දුන් අවස්ථාවක් අනුව හිමි වූ අදානි සුළං බලාගාරය ද අවිනිශ්චිත තැනක පසුවේ. විශාල පිරිවැයක් දරන ආණ්ඩුව ආයෝජන ගෙන්වාගැනීමට ලෝකය පුරා ප්‍රචාරක යාන්ත්‍රණ ගෙන යයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දක්වන පරිදි තානාපති කාර්යාල පවා ආයෝජන ගෙන්වීමට කටයුතු කරන වගකීම දැරිය යුතුවේ. කෙසේ නමුත් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය හා ඉන්දියාවේ බිහාර ප්‍රාන්තය ශ්‍රී ලංකාවේ සමාගම් එහි ගෙන්වාගෙන දක්ෂ ලෙස අවස්ථා අත් පත් කරගන්නට සමත්ව ඇත. මෙම පසුබිම රටට කීර්තියක් හා සමානව අභියෝගයක් සේ දකින්නට සූදානම් විය යුතුය.
මෙරට ව්‍යවසායකයන්ගේ ජ්‍යාත්‍යන්තර ආයෝජන