IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රදාවඩුන්නේ කඩාවැටෙන වේවැල් කර්මාන්ත

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි


  • වේවැල් ප්‍රවාහනයට නිසි ක්‍රමවේදයක් නෑ
  • බලධාරීන්ට කිව්වත් ඵලක් නෑ
  • කර්මාන්තයේ නිරත පවුල් ගණන 150කට වැඩියි
  • පාලම අබලන් නිසා සංචාරකයන් ගමට එන්නේ නෑ
  • වෙළෙඳාම කඩාවැටීමෙන් ආදායම් මාර්ග ඇහිරිලා
  • පොදු පහසුකම් මධ්‍යස්ථානයේ යන්ත්‍ර දිරලා

වේවැල් ප්‍රවාහනය සදහා පහසු වැඩ පිළිවෙළක් සකසා දෙන ලෙස දිගු කාලයක සිට බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද ඒ සදහා ක්‍රමයක් මෙතෙක් සැලසී නැති හෙයින් වසර සියයකට වැඩි කාලයක් තිස්සේ පැවති  රදාවඩුන්නේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය වැසී යන දිනය අත ළග වනු ඇති බවට එම කර්මාන්තයේ යෙදෙන්නෝ බිය පළ කරති.

රදාවඩුන්න ගම්මානයේ පවුල් තුන්සියයකට වැඩි ගණනක් දිවි ගෙවති. ඉන් අඩකට වැඩි පිරිසක් කාලාන්තරයක් තිස්සේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදනයේ යෙදෙමින් ජීවිකාව ගෙන යති. සෙසු නිවෙස්වල වෙනත් රැකියාවල යෙදෙන අය පවා විවේක ලද සෑම අවස්ථාවකම මේ පාරම්පරික කර්මාන්තයේ යෙදීම සිරිතක් කොට ගෙන ඇත. මේ අනුව මෙම ගම්මානයේ සෑම පවුලකම එක් සාමාජිකයකු හෝ මේ කර්මාන්තයේ යෙදෙන බව කිව යුතුය.

මේ කර්මාන්තයට අවශ්‍ය කරන වේවැල් දේශීය වශයෙන් ලබා ගන්නේ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි. එම පෙදෙස්වලින් සපයා ගන්නා වේවැල් සදහා ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක්වී ඇතැයි  රදාවඩුන්නේ වැසියෝ කියති. මේ නිසා බොහෝවිට නීත්‍යානුකූල නොවන අන්දමින් වේවැල් ප්‍රවාහනය කිරීමට ජනතාව පෙළඹී සිටින අතර ඒ නිසාම නඩුහබවලට මුහුණදී රුපියල් ලක්ෂ ගණනින් දඩ ගෙවන්නට සිදුවූ අවස්ථා අපමණ බව ඔවුහු කියති. 

එමෙන්ම වේවැල් ප්‍රවාහනයට යොදා ගත් වාහන රාජසන්තකවීමෙන් සිදුවූ පාඩුවද විශාල බව ඔවුන් සදහන් කළේ කනගාටුවෙනි. නොඑසේනම් ආරක්ෂක අංශවලට දොල පිදේනී දීමට සිදුවී ඇති බවද ඔවුහු සදහන් කරති. කෙසේ හෝ ගම්මානයට ගෙනඑන වේවැල් යොදා නිෂ්පාදන කරන බවත් ඒවාට වෙළෙදපොළක් නොමැතිවීම ද ඔවුනට හිසරදයක්වී ඇත. කොළඹ මහනුවර මහා මාර්ගය සමීපයේ වෙළෙදසැල්වලට නිෂ්පාදන ලබා දෙන බවත් එම මාර්ගයේ සිට කිලෝමීටරයකටත් අඩු දුරකින් තම ගම්මානය පිහිටා ඇතත් දීඇල් ඔයෙන් එගොඩවීමට සුදුසු පාලමක් නොමැතිකම නිසා කිලෝමීටර් හතරක පමණ දුරක් ගමන් කරන්නට සිදුවී තිබීම නිසා සංචාරකයන් ගමට පැමිණීම වැළකී ඇති බවද ඔවුහු කීහ.

 කොළඹ මහනුවර මහා මාර්ගය සමීපයේ වෙළෙදසැල්වල  නිෂ්පාදන විකිණීමට තබා ඇතත් මාර්ගය දෙපස වාහන නවතා තැබීමට ආරක්ෂක අංශවලින් ඉඩ නොදීම හේතුවෙන් ඒවායේ වෙළෙදාමද කඩා වැටීමෙන් තම ආදායම් මාර්ගය ඇහිරී ඇතැයි කර්මාන්තකරුවෝ සදහන් කරති. 

එමෙන්ම මහින්ද චින්තන රැකියා බිහිදොර වැඩ සටහන යටතේ 2010 වසරේ ආරම්භ කෙරුණු පොදු පහසුකම් මධ්‍යස්ථානය මේ වනවිට ජරාජීර්ණව යමින් පවතින අතර එහි තිබූ යන්ත්‍ර සූත්‍රවලට සිදුවු දෙයක් නැති බවද  ඒ සම්බන්ධයෙන්ද බලධාරීන් පියවර ගත යුතු බවද ඹවුහු සදහන් කරති.

මෙහිදී කර්මාන්තයේ යෙදෙන පිරිස් දැක්වූ අදහස් මෙසේය.

ජාතික ශිල්ප සභාව යටතේ ක්‍රියාත්මක රදාවඩුන්න වේවැල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් සිරිවර්ධන    
අපේ කර්මාන්තකරුවන්ට තිබුණු පුහුණු මධ්‍යස්ථානය දැන් අහිමි වෙලා. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු‍වට තවමත් පිළිතුරක් ලැබී නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති එක්ක සාකච්ජා කළා. ඵලක්වුණේ නැහැ. නව ඇමති චතුරංග අබේසිංහ මහතාටත් අපේ දුක කිව්වා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය ඒ අයගේ නීතිය ක්‍රියාත්මක කරනවා. අපිට සහනයක් නැහැ. අපි අපේ රස්සාව කරගෙන යන්නේ නීතියට පිටින්. වේවැල් වවා තියෙන්නේ රක්ෂිත හෝ ආසන්නයේ. වේවැල් කපන්න ප්‍රවාහනය කරන්න බාධා එමටයි. ජීවත් වෙන්න එහෙම නැත්නම් විදේශ විනිමය හොයන්න අපි මේ රස්සාව කරගෙන යන්නේ නීති විරෝධීවයි. විදේශයෙන් අමුද්‍රව්‍ය ගෙන්වන්නේ එක් ආයෙක් පමණක් නිසා මිල අධිකයි. 

 

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි.එම්. ශාන්ත ප්‍රසන්න 
ගමේ ජනතාවට තාක්ෂණය ගැන කියා දෙන්න පුහුණු මධ්‍යස්ථානය හදන්න 2004 දී ආරම්භ කළත් දේශපාලන වෙනසත් එක්ක එය ඇණ හිටියා. පසුව රජය මේ ගොඩනැගිල්ල හැදුවා. කිසි දෙයක් සිද්ධවුණේ නැහැ. දැන් එය අභාවයට යනවා. එහි තිබූ උපකරණ අස්ථාන ගත වෙලා. ජාතික ශිල්ප සභාවේ හා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පුහුණුව ලබා ගැනීම සිද්ධ වුණේ නැහැ. ගොඩනැගිල්ල නවීකරණය කර වේවැල්  ආශ්‍රීත කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලනවා. 


ඩී.ඇම්. හර්ෂණී මහේෂා 
ඉඳිආප්ප තට්ටුවේ ඉදන් වේවැල් හා උණ බට ආශ්‍රිත නිස්පාදන අපේ ගමේ කෙරෙනවා. පොඩි දරුවෝ කුඩා කාලයේම සෙල්ලම් කරන්නෙත් මේවා සදහා යොදා ගන්නා උපකරණ එක්කයි. අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන් නම් අපිට අපේ රට විදේශයන්හි බබලවන්න පුළුවන්. දරුවන්ගේ අනාගත සුරක්ෂීතතාව ඇති කරන්නත් පුළුවන්. හොද පුහුණුවක් ලැබුණොත් අපිට ලෝකයේම හොද තරගයක් දෙන්න පුළුවන්. ඒ සදහා තාක්ෂණය ලැබීම වැදගත්. දැනටත් නිෂ්පාදන ගම්මානයට එන්න ළගම පාර හදා දෙනවා නම් සංචාරකයන් ගෙන්වා ගන්න පුළුවන්. වේවැල්, උණ බට, බට පතුරු, පොල් කටු ආශ්‍රීත නිෂ්පාදන, උණ බම්බු, ආදිය අපේ ජනතාව අතින් නිමවෙනවා. පිටරටවලින් ප්ලාස්ටික් උපකරණ ගෙනඒම නතර වෙනවා නම් රටට විදේශ විනිමය ඉතිරි වෙනවා. අපිට හොද වෙළෙදපොළක් ලැබෙනවා. අපේ නිෂ්පාදන කෙරෙන්නේ දේශීය අමුද්‍රව්‍යවලින් නිසා පාරිසරික හානි සිදුවෙන්නෙත් නැහැ.


එස්.එම්. තිලකරත්න 
බට කර්මාන්තයෙන් ආරම්භව පසුව වේවැල් කර්මාන්තයට අපේ මුතුන් මිත්තන් යොමු වුණා. අපේ කර්මාන්ත ගම්මානයට දැන් වසර 125 විතර වෙනවා. වේවැල් කර්මාන්තය දියුණුවට යාම ඇණ හිටියේ බලපත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතාව නිසයි. පාර අද්දර කඩ 125 ක් විතර තිබුණා. ඒ හැම එකකම වැඩ තිබුණත් ඇතිවූ ගැටලු‍ නිසා දැන් කඩවල් ආශ්‍රිතව වැඩ පලවල් තියෙන්නේ හත අටක් විතරයි. අනෙක් සියල්ල වැසී ගිහින්. පිටින් ගෙනත් බඩු විකුණනවා විතරයි. අමුද්‍රව්‍ය ලබා ගැනීමට තියෙන බලපත්‍ර ක්‍රමයට සහනයක් සැලසීම වැදගත් දෙයක්. අපි වසර පනහක හැටක විතර මේ සදහා ඉල්ලීම්කළත් මෙතෙක් පලක්වී නැහැ.


ජගත් අසේල ප්‍රනාන්දු
මම විශේෂයෙන්ම කරන්නේ පිට්ටු බම්බු නිපදවීමයි. ඒවාට උණ ලී ගෙන ඒමටත් ප්‍රවාහන බලපත්‍ර ගැනීමේ මහත්ගැටලු‍වක් පවතිනවා. රජය මැදිහත්ව අමුද්‍රව්‍ය ආනයනය කර දෙන ලෙස කළ ඉල්ලීම් ගගට කැපූ ඉනි වගේ වෙලා. කෝරා කියන වැල් වර්ගය විදේශ රටවලින් ගෙන්වනවා. අපිට අවශ්‍ය කරන යන්ත්‍ර තියෙනවානම් කෝරා අපිටම හදා ගන්න පුළුවනි.

 



අදහස් (0)

රදාවඩුන්නේ කඩාවැටෙන වේවැල් කර්මාන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site