1600 වැනි සියවසේ දෙවැනි භාගයේ දෙවැනි රාජසිංහ රජු සමයේ ලංකාවේ විසූ රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලියන ලද ‘’An Historical Relations in Ceylon නමැති ග්‍රන්ථයේ එවකට පැවති සමාජීය හා ජීවන රටාව සබැඳි කරුණු සඳහන් කර ඇත. එයින් පසු කාලයේදී ඉතා ප්‍රසිද්ධ වූ ඔහුගේ කියමනක් වූයේ “මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි” යන්නය. මෙම කියමනින් සඳහන් කිරීමට ඔහු තැත් කළේ ගොවියාගේ පිරිසුදුකමයි. එම ග්‍රන්ථයේ නොකියන කරුණ වූයේ අද මෙන්ම එදා ද ගොවියා දුප්පත් බවයි. සමස්තයක් වශයෙන් ගත් කල විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ “ගොවියා හා දුප්පත්” යන වචන දෙක යාවී ඇත. නිලධාරීන්ගේ හා වෙනත් සේවකයන්ගේ වේතන වරින් වර වැඩි වුවද සාපේක්ෂව ගොවියාගේ ආදායම වැඩි වී නොමැත. එබැවින් රොබට් නොක්ස්ගේ කියමනට වඩා වී ගොවියාගේ ඇත්ත තත්වය ඉහත සඳහන් කෙටි කවියෙන් පිළිබිබු වේ යැයි සිතමි.
ආහාර සුරක්ෂිතතාව හා රට සහලින් ස්වයංපෝෂිත වීම ගැන අප බොහෝ විට උදම් ඇනුව ද ගොවියාගේ ආදායම හා අසරණභාවය ගැන මෙතෙක් ආණ්ඩුවලින් හෝ මාධ්‍යයෙන් අවධානය එතරම් යොමු වී නොමැත. නාඩු සහල් හිඟය හා වී මෝල් හිමියන්ගේ මගඩි ගැන රජය කටයුතු කළ ද ඊට වඩා අතිශයින් වැදගත්, වන සතුන්ගෙන් ඇතිවන අධික භෝග විනාශය සහ ආදායම අඩු වීම ගැන මෙතෙක් ආණ්ඩුවේ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැත. හරියාකාර තාක්ෂණ හා උපරිම සම්පත් භාවිතයක් මත වී ගොවියාගේ ආදායම් තත්වය අතිශයින් වැඩිකර ගත හැකි වන බව ලිපියෙන් පැහැදිලි වන අතර රජයේ මැදිහත් වීම එයට අත්‍යාවශ්‍ය වේ.
එමෙන්ම කාලගුණික විපර්යාස හේතුකොට උෂ්ණත්වය වැඩි වීම මෙන්ම වර්ෂාපතනයේ වෙනස්වීම් හා අවශ්‍ය ජල සම්පත අඩුවීම මෙන්ම ගංවතුර තර්ජනය ද කෘෂිකර්මයට හා ගොවියාට තදින් බලපා ඇත.
ගොවි ආදායම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත 2022/23 දත්ත අනුව වී ගොවිතැනින් ලැබෙන ආදායම සලකා බලමු.
වාරි ජලයෙන් හෙක්ටයාර් එකක් වගා කරන ගොවි පවුලකට තම ශ්‍රමයත් ඇතුළත්ව ලැබෙන වාර්ෂික (යල හා මහ කන්න දෙකේම) ආදායම රුපියල් 366,500/= ක් පමණ වේ. එනම් මසකට රුපියල් 30,500/= ක් වේ. ගම්බද කම්කරුවකුගේ දිනකට වේතනය රු. 2,500 ක් වශයෙන් සලකා දින විස්සක් වැඩ කළහොත් ඔහුගේ අවම ආදායම රු. 50,000/= ක් පමණ වේ. මෙහිදී සැලකිය යුතු කරුණ නම් කුඹුරු ගොවිතැනට වසරකට (කන්න දෙකටම) වැය වන්නේ දවස් 85-90 ක් පමණි. ගොවි ආදායම් සමීක්ෂණවලින් පිළිබිඹු වන්නේ ගොවි පවුලක වාර්ෂික ආදායමින් සියයට 60 ක් හෝ වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ගොවිපොළට පිටස්තර මාර්ගයන්ගෙන් වගයි. ඇත්ත වශයෙන්ම පොහොර සහනාධාරය සහිතව ද වී වගාව ගොවියාට ඉතා අඩු ආදායම් ලබාදෙන බෝගයකි. එබැවින් භෝග තීව්‍රතාව හා විවිධාංගීකරණය මඟින් ගොවියාගේ ආදායම අධිකව වැඩි කරගත හැකි වන වග පර්‌යේෂණ පෙන්වා දේ. එසේ කිරීමේ දී ගොවියාට තම ගොවිපොළෙහිම රැඳී සිට ආදායම වැඩි කර ගත හැක.
වියළි කලාපයේ මහ කන්නයේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් වර්ෂාවෙන් හා වාරිජලය සහිතව වී වගාවට යොමු වන අතර යල කන්නයේ මනා ජලවහනයකින් යුත් ඉඩම් අතිරේක බෝග සඳහා භාවිත විය යුතුය. කෙසේ වෙතත් මෙතෙක් එසේ කෙරෙන්නේ උපරිමයෙන් වගා කළ හැකි ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ වේ. මෙම තත්වය වෙනස් විය යුතුය. ඒ සඳහා වී වගාව ප්‍රමාණය අඩු කොට හෝ වැඩි ලාභ ලබා ගත හැකි බෝග සඳහා ජලය යෙදවීම ඥානාන්විත වේ.
අඩු ආදායමට අමතරව අධික ජල අවශ්‍යතාව වී වගාවේ දුර්වල අංගයක් වේ. සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වතුර ලීටර් 3000 - 5000 ක් පමණ අවශ්‍ය වේ.
නියම කලට බෝගය ස්ථාපිත කිරීමෙන් හා වී වගාව සඳහා පස දිගු කාලයක් ජලයෙන් යටව තැබීම වෙනුවට පස උපරිම තෙත තත්වයෙන් පමණක් පවත්වා ගැනීමෙන් ජල භාවිතාව සියයට70 පමණ අඩු කර ගත හැකි වග පර්‌යේෂණයෙන් පෙන්වා දී ඇත. එසේ ජලය උපරිමව භාවිත වන්නේ නම් යල කන්නයේ වගාවලට උපරිම වාරි ජලය සැපයිය හැකිය.
බෝග විවිධාංගිකරණය, තීව්‍රතාව හා අතරමැදි කලාපයේ බෝග නිෂ්පාදනය
බොහෝ ගොවීහු සාම්ප්‍රදායිකව අඩු ආදායම් සහිත වුවද වී ගොවිතැනේ නියැළීමට කැමැත්ත දක්වති. එහෙත් ජල හිඟය නිසා වියළි කාලයේ (යල කන්නයේ) මනා ජලවහනයකින් යුක්ත කුඹුරු උස්බිම්වල වී වගාව නොකළ යුතුය. ඒ වෙනුවට වාරි ජලය භාවිත කරමින් වැඩි ආදායම් ලැබිය හැකි බෝග නිෂ්පාදනයේ යෙදිය යුතුය. එමෙන්ම අතරමැදි කාලයේ ද වාරි ජලය සහිතව හෝ පසෙහි තෙතමනය භාවිතයෙන් බෝග නිෂ්පාදනය කළ හැක. ඇතැම් ගොවියන් දැනටමත් අතරමැදි කාලයේ වගාවල නියැළ්‍ී සිටීම සතුටට කරුණක් වන අතර එය උපරිමව සිදුවිය යුතුය.
පළමු වැනි වගුවෙන් පෙන්වා දෙන්නේ උපරිම බෝග විවිධාංගීකරණය, තිව්‍රතාව හා අතරමැදි කන්න වගාවෙන් වී වගාව මෙන් දස ගුණයක් දක්වා ලාභ ලැබිය හැකි බවයි.
එහෙත් දැනට අතිරේක බෝග ඵලදායීතාව හා නිෂ්පාදනය ඉතා අඩුවග දෙවැනි වගුවෙන් පැහැදිලි වේ. එහෙත් ඉහත සඳහන් වගා රටාව මෙන්ම උපරිම වර්ෂා වාරි ජලය හා අන් යෙදවුම් භාවිතයෙන් මෙන්ම බෝගවලින් ද ස්වයංපෝෂිත කළ හැකි වන අතර ගොවියාගේ ආදායම ද අතිශයෙන් වැඩි කර ගත හැකිය.
තෙත් කලාපයේ කුඹුරු ඉඩම්
දත්ත අනුව ලංකාවේ කුඹුරු හෙක්ටයාර් 56,000 වඩා පුරන් වී ඇති අතර එයින් බොහෝමයක් ඇත්තේ තෙත් කලාපයේය. එපමණක් නොව තෙත් කලාපයේ මොරටුව සිට මාතර දක්වා ඇති මුහුදුබඩ තීරය ඇතුළු බොහෝ කුඹුරු ඉඩම් අඩු ඵලදායී බැවින් බොහෝ කන්නවල වගා නොකෙරේ. මෙම ඉඩම් වෙනත් බෝග සඳහා යොදාගත හැකි වේ. ඉන්දුනීසියාවේ මෙන් “සෝජාන්“ ක්‍රමයට පොල්, කටු පොල් හා වෙනත් බෝග වගාවලට යොමු කිරීමෙන් උපරිම ලාබයක් ලබාගත හැක. මේ සඳහා රජයේ අවධානය යොමු විය යුතුය.
දැනට ලංකාවට වසරකට පාම් තෙල් ටොන් 135,000 ක් පමණ අවශ්‍ය වන අතර එයින් මෙහි නිෂ්පාදනය වන්නේ සියයට26 ක් පමණ ය. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට අධික විදේශ විනිමයක් අවශ්‍ය වන අතර තෙත් කලාපයේ පුරන් හෝ අඩු ඵලදායී කුඹුරු හෙක්ටයාර් 45,000 ක් පමණ කටුපොල් වගාවට යොදවන්නේ නම් රටට අවශ්‍ය පාම් තෙල් සැපයීමට ප්‍රමාණවත් වේ. කටු පොල් වගාවෙන් අධික ලාබ ලැබිය හැකි බැවින් දැනටමත් ගොවියෝ 3,000 ක් පමණ ඒ සඳහා ඉදිරිපත් වී සිටිති. ගෝඨාභය රාජපක්ෂ රජයේ කාලයේ යොදන ලද කටුපොල් වගා තහනම ඉවත් කිරීමට ගිය රජය ඉදිරිපත් වූ නමුත් එය මෙතෙක් ඉෂ්ට වී නොමැත. නව රජය වහා එම කටයුත්ත කළ යුතුවේ.
එමෙන්ම ජාතික පොල් නිෂ්පාදනයේ අඩුවීම මෙන්ම ජාත්‍යන්තර අධික පොල් ඉල්ලීම නිසා කටු පොල් මෙන්ම පොල් වගාවෙන් මෙම ඉඩම්වලින් වී වගාවට වඩා අධික ලාබ ලබාගත හැකිය. තවද සුදුසු බිම් සැකසීමෙන් මෙම ඉඩම් වෙනත් බෝග සඳහාද යොදාගත හැක.
කෙසේ වෙතත් යථාර්ථය වනුයේ ආහාර සුරක්ෂිතතාව තකා අපේ බත අපම නිපදවා ගත යුතු බවයි. විශේෂයෙන්ම සහල් ගත් කල ලෝක වෙළෙඳපොළට සැපයෙන්නේ ලෝක නිෂ්පාදනයෙන් සියයට 7 ක් පමණි. ලෝක ජනගහනය වැඩිවීම හා කාලගුණික විපර්යාස හේතුකොට ඉදිරියේදී විශාල ආහාර හිඟයන් ඇතිවිය හැකි බවට අනාවැකි ඇත. එබැවින් එවන් අවස්ථාවලදී ලෝක වෙළෙඳපොළෙන් සහල් ලබා ගැනීම පහසු නොවනු ඇත. කරුණු මෙසේ හෙයින් ආහාර සුරක්ෂිතතාව සඳහා අප වී ඵලදායීතාව උපරිම කළ යුතුය. ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද උපරිමව යොදා ගැනීම වැදගත් වේ. දැනට ජාතික වී ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4500 ක් පමණ වුවද පර්‌යේෂණ මට්ටමේ එයට වඩා දෙගුණයකට වැඩි වී ප්‍රභේද දැනටමත් ඇත. අප දැනට බොහෝ වසරවලදී සහලින් ස්වයංපෝෂිත වුවද අනාගතයේ දී ජනගහනයේ වැඩිවීම හා ඇතිවිය හැකි කාලගුණික විපර්යාස ගැන අවධානය යෙදිය යුතුය.
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ අධික සම්පත් හිඟකමින් කෘෂිකර්ම සංවර්ධන හා ව්‍යාප්ති ක්ෂේත්‍රයෙන් කඩා වැටී ඇති වගය. අධික පුහුණු නිලධාරීන්ගේ හිඟය මෙන්ම පර්‌යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මුදල් හිඟයද නව තාක්ෂණ බිහිකිරීමට තදින් බලපා ඇත. උදාහරණයක් වශයෙන් දැනට වසර 20 කට පමණ පෙර වී පර්යේෂණ කටයුතු සඳහා පශ්චාත් උපාධි (PhD) ලත් උසස් ගණයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ සිටි නමුත් දැන් ඇත්තේ එවැනි කීපදෙනෙක් පමණි. එමෙන්ම පළාත් සභාවලට අනුගත කිරීමත් සමගම කෘෂි ව්‍යාප්ති සේවාවද කඩා වැටී ඇත. අද ගොවියන් වැඩි පිරිසක් තාක්ෂණය ලබාගන්නේ කෘෂි රසායනික වෙළෙඳසල්වලිනි. නව රජය කෘෂිකර්ම සේවා පණ ගැන්වීමට අවශ්‍ය විධිවිධාන සකසනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
වී ගොවියා කොයිබටද?