විවිධ රටවල ආර්ථික ඉතිහාසය හැදාරීමේදී අපට පෙනීයන්නේ කෘෂිකාර්මික පලදායකත්වය ඉහළයාම හා එමගින් ජනනය කරනු ලැබූ අතිරික්තය දියුණු රටවල කාර්මිකකරණයට හා සංවර්ධනයට සැලකියයුතු බලපෑමක් කර තිබෙන බවයි. මෙම බලපෑම කරනු ලැබ ඇත්තේ එම රටවල කාර්මික භාණ්ඩ සඳහා දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීමත්, කර්මාන්ත සඳහා ශ්‍රම බලකාය නිදහස් කිරීමත්, ප්‍රාග්ධන සම්පාදනයත් මගින්ය. අනෙක් අතට කෘෂිකර්මාන්තයේ පලදායකත්වය නැංවීමට කාර්මිකකරණයේ දායකත්වය ලැබිණි. එම රටවල ආර්ථික සංවර්ධනය හිටගත්තේ කෘෂිකර්මය හා කර්මාන්ත නමැති දෙපයිනි. ලංකාවේ අපට කිසි කලෙක කාර්මිකකරණය හා සංවර්ධනය සඳහා එවැනි තල්ලුවක් කෘෂිකර්මයෙන් ලබා ගත හැකි වී නැත. අපේ කෘෂිකර්මය තවමත් පවතින්නේ කිහිලිකරු ආධාරයෙනි. පසුගාමීව ය. දුබල කෘෂිකර්මයට ගැමි දුප්පතුන්ගේ අතමිට සරු කිරීමටවත්, එමගින් දේශීය වෙළෙඳපොළ සක්‍රිය කිරීමටවත් හැකි වී නැත.
කෘෂිකර්මයේ පරාසය අතිශයින් විශාලය. සත්ව පාලනය හා ධීවර කර්මාන්තය ද ඒ යටතට ගැනේ. ආර්ථික සංවර්ධනයේද, එහෙයින්ම අප මුහුණ පා සිටින මහා ජාතික අර්බුදය ජය ගැනීමේ ප්‍රයත්නයේද, ආරම්භක පිතිකරු වන්නේ කෘෂිකාර්මික නවෝදය යි. ආර්ථික වර්ධනයේ පෙර ගමන්කරුවකු හැටියට ගොවියාට හිමි තැන නොපමාව ලබා දිය යුතුය.
අපේ කෘෂි විද්‍යාඥයන්ගේ පර්යේෂණ හා පරිශ්‍රමයත්, කෘෂිකර්මයෙහි කරනු ලැබූ ආයෝජනයත් නිසා අපි සහලින් ස්වයංපෝෂිත වී සිටින්නෙමු. එය ජාතික න්‍යාය පත්‍රයේ තිබුණ එක් ජය කණුවකට ළඟා වීමකි. එසේ වුවද, ගොවීන් බොහෝ දෙනකුට ගොවිතැන සරුසාර ආදායම් මාර්ගයක් වී නොමැත. පාරිභෝගිකයන් බොහෝ දෙනකුට ඉහළ නගින හාල් මිල දරාගත නොහැකිය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන-ආර්ථික චින්තනය පීලි පැන තිබෙන තවත් කරුණක් වන්නේ අපනයනයට සීමාව ඉක්මවූ ප්‍රමුඛස්ථානයක් දීමයි. අපේ අවධානය හා සම්පත් යෙදවිය යුතු ප්‍රමුඛ කාර්යයක් වන්නේ දේශීය පරිභෝජනය සඳහා දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමයි. කෑම-බීම සුලබ හා සුමිල (සාපේක්ෂ ලෙස මිල අඩු) කළහැකි නවීන කෘෂිකර්මයක් ස්ථාපනය කිරීමයි. මක්නිසාද? හාමතින් හෝ අඩහාමතින් පෙළෙන කායික-මානසික ශක්තියෙන් පිරිහුණ ජනතාවක් සමඟ සංවර්ධන සමීකරණය තුලනය කරගත නොහැකි නිසාය. දරිද්‍රතාවේ ගිලී ඇති සියයට 45ක පිරිස විශේෂයෙනුත්, මුළු ජනගහනයම පොදුවේත් ආරක්ෂා කරගත හැක්කේ එමගිනි. අපනයනය හා ඩොලර් ඉපැයීම ගැන කථා කරන බොහෝ දෙනා එදා වේල සපයා ගත නොහැකි තරමටම පහළට වැටී ඇති දේශීය පරිභෝජනය ඉහළ නැංවීම පිණිස දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම ගැන කථා නොකරති.
වැඩි අවධානයක් ලැබිය යුත්තේ දේශීය පරිභෝජනය ඉහළ නැංවීම කෙරෙහිය. එමගින් අපේ ජාතික නිෂ්පාදිතයද (GDP) ජාතික ආදායමද ඉහළට එසවිය හැකිය. කෘෂිකර්මය හා ගොවි ජනතාව ඉසුරුබර කළ හැකිය. මේ සඳහා විප්ලවයක් යැයි කිවහැකි තරමේ නිර්මාණශීලී පරිවර්තනයක් කළ යුතුව තිබේ.
හාල් මිල සමීකරණය
අද සිදුවන්නේ කුමක්ද? ‘නිදහසින්’ පසු ඉතිහාසය පුරාවටම නැගුන හඬ, එනම් ‘පාරිභෝගිකයාට හාල් මිල වැඩිය ගොවියාට වී සඳහා ලැබෙන මිල අඩුය යන්න යළි යළිත් ප්‍රතිරාව නැගීමයි. පාරිභෝගිකයාට හාල් මිල වැඩි ලෙසක් දැනෙන්නේ ඔහුගේ ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ගොවියාට වී සඳහා ලැබෙන මිල අඩු ලෙසක් දැනෙන්නේ ඔහුගේ වියදම් වැඩි නිසාය. මෙම උභතෝකෝටිකය විසඳන්නේ කෙලෙසද?
හාල් සමීකරණය විසඳුවිට හැමදාම ලැබුණ උත්තරය පාරිභෝගිකයාත් ගොවියාත් යන දෙදෙනාම නොසෑහීමට පත්ව සිටීමත්, රටක මූලිකම අවශ්‍යතාවක් වූ ආහාර සුරක්ෂිතතාව සහතික කරගත නොහැකිව අසමත් වීමත්ය. ආහාර සුරක්ෂිතතාව යනු සැම දෙනාටම, හොඳ තත්වයේ පෝෂණීය ආහාර, අවශ්‍ය තරමට ලබා ගැනීමට ඇති හැකියාවයි. ‘ලබා ගැනීමට ඇති හැකියාව’ තහවුරු කෙරෙන ප්‍රධානම සාධකය මිලයි. හාල් සම්බන්ධයෙන් ගත් කල ආහාර සුරක්ෂිතතාව බිඳී ගොස්ය. හාල් මිල වැඩිය. හාල් හිගය. පවත්නා සමාජ-ආර්ථික-සංස්කෘතික පරිසරයෙන් වියුක්තව මෙම ගැටලු ආමන්ත්‍රණය කළ නොහැකිය, කල් පවත්නා සම්පූර්ණ විසඳුමක් ලබා ගත නොහැකිය.
ගොවියා - ගොවිතැන සහ වී නිෂ්පාදනයත්, බිත්තර වී, පොහොර වැනි යෙදවුම් වෙළෙඳපොළත්, ට්‍රැක්ටර් සහ වෙනත් යාන්ත්‍රික සේවා වෙළෙඳපොළත්, වී වෙළෙදපොළ හා සහල් කර්මාන්තයත්, හාල් වෙළෙදපොළත්, (පොහොර සහනාධාරය, සහතික මිල, වී මිලට ගැනීම යනාදී) රාජ්‍ය මැදිහත් වීමත් හාල් මිල ඇතුළු ආහාර සුරක්ෂිතතාවට ඍජු බලපෑමක් කරයි. පාලන මිල, වටලෑම, නඩු සහ දඩ යනාදී රාජ්‍ය මැදිහත්වීම හාල් හිගයට සහ මිල ගැටලුවට විසඳුමක් නොවන බව සත්‍ය සිදුවීම් මගින් ඔප්පු කර තිබේ.
අපි පළමුවෙන්ම හාල් සමීකරණයේ පළමුවැනි පදය වන වී ගොවිතැන ගැන සලකා බලමු. ගොවිබිමේ ප්‍රමාණය හා සැකැස්ම, ට්‍රැක්ටර් හා අනෙකුත් යන්ත්‍රෝපකරණ කුලිය, බීජ ඇතුළු රෝපණ ද්‍රව්‍ය, පොහොර හා අනෙකුත් යෙදවුම්, නඩත්තු කිරීම, අස්වනු නෙළීම, ගබඩා කිරීම හා පසු අස්වනු ආරක්ෂණය යන කටයුතු වලින් සමන්විත ගොවිබිමේ ක්‍රියාවලිය ආර්ථික වශයෙන් පලදායි ලෙසත්, සමාජයීය වශයෙන් පිරිමැසුම්දායක ලෙසත්, පාරිසරික වශයෙන් චිරස්ථායි ලෙසත්, හැඩගස්වා ගත යුතුය.
එක යායක් - එක පාලනයක්
එක යායක් - එක පාලනයක් යනු සටන් පාඨයක් නොව ජය ගත යුතු අභියෝගයකි. ගොවිතැන ලාබදායක ව්‍යාපාරයක් බවට පත් කරන්නා වූත් ගොවියාත්-පාරිභෝගිකයාත් යන දෙදෙනාගේම ජීවන මට්ටම ඉහළ නංවන්නා වූත් ක්‍රියාවලියේදී, බරපතළම අවධානය යොමු කළයුතු වන්නේ ගොවිබිම් කුඩා ඉඩම් කැබලි ලෙස විසිරී ඉහළ පලදායකත්වයකින් තොරව පැවතීමේ යථාර්ථයට ය. සමහර ගොවිබිම් වගා නොකර අත්හැර දමා තිබීමේ යථාර්ථයට ය. ගොවිබිමක් යනුවෙන් මෙහි සඳහන් කර ඇත්තේ එක් අයිතිකරුවකු හෝ අඳ ගොවියකු විසින් කෘෂිකාර්මික කටයුතු කරගෙන යන ඉඩම් කට්ටියකි. එකට යාකර ගතහැකි ගොවිබිම් (කුඹුරු ඉඩම්) සමූහයක් එක් තනි විශාල ගොවිබිමක් ලෙස සංවිධානය කිරීමෙන් හා එක් කළමනාකරණයක් යටතට ගෙන ඒමෙන් ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ.
1. ගොවිබිම් සමූහයක් එක් යායක් ලෙස සංවිධානය කිරීමෙන් බිම සකස් කිරීම, බීජ/පැළ රෝපණය, පොහොර යෙදීම, ජල කළමනාකරණය, වල්පැළ හා පලිබෝධ නාශනය, නඩත්තුව, අස්වනු නෙළීම, පසු අස්වනු සකස් කිරීම, ගබඩා කිරීම හා අලෙවිය යන කාර්ය පහසුවීම, විධිමත්වීම හා අඩු පිරිවැයකින් කරගත හැකි වීම නිසා මහා පරිමාණයේ වාසි (economies of scale) ලබා ගත හැකි වීම.
2. නවීකරණයට, එනම්, උචිත තාක්‍ෂණය හා නව භාවිතාවන් යොදා ගැනීමට හැකි වීම.
3. යායක වපසරිය අක්කර 75-100ක් වන අවස්ථාවක ස්ථිර කාර්ය මණ්ඩලය ලෙස දෙදෙනෙක් ප්‍රමාණවත් විය හැකි නිසා ගොවිබිම් හිමි වැඩි පිරිසකට එදිනෙදා ගොවිතැන් කටයුතු වලින් නිදහස් වී වෙනත් ආර්ථික කටයුතුවල යෙදීමට හෝ ශ්‍රම වෙළෙඳපොළට එකතු වීමට අවස්ථාව ලැබීම. එමගින් වගා කැලැන්ඩරයට සීමා නොවූ කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ග විවෘත වේ.
4. ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටින නිසා යාය තුළ පිහිටි වගා නොකර අතහැර දමා ඇති ගොවිබිම් වගා කිරීමට හැකි වීමෙන්ද, හැම බිම් අගලක්ම හා දිය බිඳුවක්ම උපරිම ලෙස උපයෝගී කර ගැනීමේ “කිලෝ මීටර් වලින් නොව මිලි මීටර් වලින් මැනීමේ” උපදේශාත්මක ප්‍රවේශය ක්‍රියාවට නැගීමෙන්ද, වගා කන්න දෙකක් අතරතුර කාලයේ වෙනත් පලදායී කටයුතු සඳහා ඉඩම් උපයෝගී කරගත හැකි වීමෙන් ද, ඉඩම් ප්‍රශස්ථ ලෙස උපයෝගී කරගැනීමට හැකි වීම.
5. අහිතකර හා ආක්‍රමණකාරී වෙළෙඳපොළ තත්වය ඇතිවන අවස්ථාවලදී රජයේ මැදිහත්වීම පහසු කරන ආයතන ව්‍යුහයක් ඇති වීම.
6. වෙළෙඳපොළෙන් තීරණය කෙරෙන මිල ගණනින් පාරිභෝගිකයාත් ගොවියාත් සෑහීමට පත්වන ආර්ථික පරිසරයක් ඇති වීම.
ග්‍රාමීය ණයගැති භාවය
ණයගැති භාවයත්, ආරම්භක ප්‍රාග්ධනය නොමැති වීමත් බහුතරයක් ගොවීන් මුහුණදෙන ප්‍රධානම ප්‍රශ්නය කි. වගා කන්නය පටන් ගන්නා මොහොතේ සිට ගොයම් කැපූ විගසම විකුණාගන්නට පෙළඹෙන මොහොත දක්වාම, ණය ගැති භාවය ගොවියාට ආවේශ වී සිටී.
මෙම ගැටලුවට මූලික වශයෙන් ආර්ථික තලයේ විසඳුම් ඉදිරිපත් කරන අතරම ඊට හේතු කාරක වන මත්පැන් උවදුර ඇතුළු සාවද්‍ය පරිභෝජනය නමැති සමාජයීය ගැටලුවද ආමන්ත්‍රණය කළ යුතුව තිබේ.
ගොවීන් තම ගොවිබිම උකස් කර ණය ලබා ගනී. ණය ගෙවා නිම නොවන තුරු, උකස් ණය හිමියා උකස් ණයේ පොලිය ලෙසට වගා කිරීමේ අයිතිය ලබා ගනී. අස්වැන්නේ සම්පූර්ණ ලාබය ඔහුගේය. එය බැංකු පොලිය මෙන් තුන් හතර ගුණයකි. තවත් ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරිකයන්, රාජ්‍ය, බැංකු හා පෞද්ගලික අංශවල නිලධාරීන් වැනි ප්‍රාග්ධන හිමියෝ ගොවීන්ගේ ඉඩම් බද්දට ගෙන විශාල ඉඩම් ප්‍රමාණයක් වගා කරති. මේ දෙආකාරයෙන්ම ඔවුන්ට (බදු හිමියාට සහ උකස් හිමියාට) මහා පරිමාණ වගා කිරීමේ වාසි ලබා ගත හැකිය. ගොවියා බොහෝවිට ඔහු උකස් කළ හෝ බද්දට දුන් ඉඩමේ අඳ ගොවියකු හෝ කුලී කරුවකු (වැටුප් ශ්‍රමිකයකු) බවට පත්වී අඳ ගොවියාට හිමි පංගුව හෝ වැඩ කුලිය ලබා ගනී. ඉඩම් වගා කරන්නාවූ මේ සැකැස්ම මහා පරිමාණයේ වාසි ලබා ගැනීමට තිබෙන ගොවිජන කේන්ද්‍රීය ක්‍රමයක් නොව ප්‍රාග්ධන කේන්ද්‍රීය ක්‍රමයකි. ගොවියා ප්‍රාග්ධනයේ වියගහට බැඳ තබන ක්‍රමයකි.
එසේ නම් අපේ මහ පොළවේ යථාර්ථයට සරිලන උපාය මාර්ගය කුමක්ද?
ගොවි ව්‍යාපාරික ප්‍රජාව
රටක් වශයෙන් ගත්කල අද අපේ වර්ධනයේ යාන්ත්‍රණය කර ගත යුත්තේ කෘෂිකර්මය යි. ආර්ථික සංවර්ධනය හිටගන්නේ කෘෂිකර්මය හා කර්මාන්ත නමැති දෙපයිනි. කෘෂිකර්මය ශක්තිමත්, ලාබදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා ගොවියා, ගොවි ව්‍යාපාරික ප්‍රජාවක සාමාජිකයකු විය යුතුය. ඒ සඳහා ගොවියාගේ ඉඩම් අයිතිය සුරක්ෂිතව තබා ගනිමින්ම ගොවිබිම් කීපයක් එක් යායක් ලෙසට කළමනාකරණය කිරීමෙන් ඉහත “එක යායක් - එක පාලනයක් ” යටතේ දක්වා ඇති ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන සංවිධාන ක්‍රමයක් සකස් කරගත යුතුය. අත්හදා බැලීමේ පළමු පියවරේදී එම සංවිධානය ලිහිල් බැදීම් සහිත ගොවි සාමූහිකයක් වේ. එය සීමිත කාර්ය සහ අරමුණු වෙනුවෙන් පිහිටුවා ගන්නා හවුල් ව්‍යාපාරයකි.
ගොවි සාමූහිකවල ක්‍රියාකාරිත්වය ඇගයීමෙන් පසු ගතයුතු ඊළඟ පියවර, එක් කළමනාකරණයක් යටතේ තම ගොවිබිම් පවත්වාගෙන යාමට කැමැති ගොවීන් විසින් සමාගමක් පිහිටුවා ගැනීමයි. එයින් ව්‍යාපාරික ප්‍රජාවක් බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වේ. ප්‍රාථමික මට්ටමේ ගොවි සමාගමක් පිහිටුවා ගත යුත්තේ ඒ සඳහා එකඟ වන එක් එක් ගොවියාට, තම ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව සමාගමේ කොටස් නිකුත් කිරීමෙනි. ඉඩමේ අයිතිය සමාගමට පැවරීමක් සිදු කරන්නේ නැත. ඉඩමේ පෞද්ගලික අයිතිය එලෙසම පවතිද්දී එහි වටිනාකමට සමාගමේ කොටස් නිකුත් කිරීමට හැකිවන ලෙසට ප්‍රතිපාදන පැනවෙන නව ගොවි සමාගම් පනතක් සම්මත කළයුතුය.
සමාගමේ ලාබය කොටස් අයිතියට අනුපාතිකව බෙදාගැනීම් නිසා ඉඩම් අයිතියට අනුව ප්‍රතිඵල බුක්ති විඳීම දිගටම තහවුරු වේ. ගොවීන් (සමාගමේ කොටස් හිමියන්) නියෝජනය වන පරිදි සමාගම සඳහා අධ්‍යක්‍ෂක මණ්ඩලයක් පත් කර ගත යුතු අතර කෘෂිකාර්මික දැනුම හා පළපුරුද්ද ඇති පූර්ණ කාලීන කළමනාකාරීත්වයක් යටතේ සමාගමේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යා යුතුය.
ඉදිරි වර්ෂ කීපයකදී ඉපයිය හැකි බවට පුරෝකථනය කරන ආදායම ඇපයට තබා සමාගමට බැංකු ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් රාජ්‍ය අනුග්‍රහයෙන් සම්පාදනය කර ගත හැකිය. (තනි තනි ගොවියකුට මෙවැනි අවස්ථාවක් ලබා ගැනීම අසීරුය). සමාගම මගින් ගොඩනගා ගන්නා මූල්‍ය සංචිත මාර්ගයෙන් සාමාජිකයන් අධි පොලී ණයගැති භාවයෙන් මුදා ගැනීම පිණිස සහන පොලී ණය ක්‍රමයක් ඇති කළ හැකිය.
ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්පූර්ණයෙන්ම තීරුබදු වලින් නිදහස් කිරීම ආර්ථික වර්ධනය සඳහා ගත යුතු අවශ්‍යම පියවරකි. එසේ කළ නොහැකි වන්නේ නම්, එම පහසුකම ගොවි සමාගම් වලට දිය යුතුය. උදාහරණයක් ලෙස තමන් යටතේ ඇති ගොවිබිම් වල වපසරිය (ප්‍රමාණය) අනුව නිශ්චය කරනු ලබන ට්‍රැක්ටර් සංඛ්‍යාවක් තීරුබදු හා වෙනත් බදු රහිතව මිලදී ගැනීමට ගොවි සමාගම්වලට අවසර දිය හැකිය.
ප්‍රාථමික/ප්‍රාදේශීය කුඩා සමාගම් වල එකතුවෙන් ජාතික ගොවි සමාගමක් දක්වා ගමන් කළ හැකිය. එවිට ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් මහා පරිමාණයේ වාසි සලසා ගත හැකිය. බීජ හා රෝපන ද්‍රව්‍යත්, අලෙවිකරණයත් ගොවියාගේ පූර්ණ අණසක යටතට ගැනීමට හැකිවන්නේ එවිටය.
වර්ෂ දෙකක හෝ තුනක සාර්ථක ක්‍රියාකාරීත්වයකින් පසුව රජයේ සහනාධාර අනවශ්‍ය වන තත්වයක් උදාකර ගැනීමට සැලසුම් කළ හැකිය.
හාල් සමීකරණයේ ගොවියා කේන්ද්‍ර කරගත් මුල් පදය විසඳා ගත් විට අනෙක් පද ඉතා පහසුවෙන් විසඳා ගත හැකිය. එමෙන්ම මේ විසඳුම් මාර්ගය අනෙකුත් බවභෝගවලටද අදාළ කර ගත හැකිය.
වී - හාල් මිල විසඳන්නේ කොහොමද?