සභාපති ජයන්ත කරුණාරත්න |
මහලේකම් සහ ප්‍රධාන විධායක ෂිහාම් මරික්කාර් |
සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා සිය කනස්සල්ල පළ කළේය.
ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික නවීකරණය සඳහා රජය ගන්නා ක්‍රියාශීලී උත්සාහය අගය කරන නමුත් ඉන් අපනයන අංශයට ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හොඳින් සලකා බැලීම සහ එම ප්‍රතිවිපාක අවම කිරීමට සැලසුම් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. රජයේ අභිලාෂකාමී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායම් ඉලක්කයක් ලබාගෙන ඇති බවත් අපනයනකරුවන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.
එහෙත් මේ වනවිටත් අපනයන කේෂේත්‍රය අභියෝග රැසකට මුහුණදී තිබෙන බව එම මණ්ඩලය පැවැසුවේය. උච්චාවචනය වන ගෝලීය ඉල්ලුම, ජාත්‍යන්තර වෙෙළඳපොළ තරඟකාරීත්වය සහ නොයෙකුත් දේශීය මෙහෙයුම් බාධක ඒ අතර තිබෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. තහවුරු කළ කාර්යක්ෂම ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් නොමැතිව සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත් කිරීම අපනයනකරුවන් තවත් අසීරුතාවට පත්කරනු ඇති බවත් එය අපනයනකරුවන්ට අනවශ්‍ය බරක් වනු ඇති බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.
වර්තමානයේ පවතින සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය මගින් ආදාන මත වැට් බදු හිලව් කිරීම හරහා මුදල් ප්‍රවාහ බාධා අවම කිරීම මගින් අපනයනකරුවන්ට තීරණාත්මක වාසියක් ලබාදෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය මෙහෙයුම් බාධාවකින් තොරව ගලායෑම සහතික කරන බවත් අපනයනකරුවන්ට ගෝලීය වෙෙළඳපොළේ තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඉන් හැකියාව ලැබෙන බවත් එම මණ්ඩලය පැවැසුවේය.
ඩිජිටල්කරණය කාලෝචිතව සහ කාර්යක්ෂමව වැට් බදු ආපසු ගෙවීම් සහතික කරනු ඇතැයි යන උපකල්පනය මත යෝජිත නව පද්ධතිය රඳා පවතින බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. ඩිජිටල් ආර්ථිකයක් සඳහා රජයේ දැක්මට ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහාය ලබා දුන්නත් නව පද්ධති හඳුන්වා දීමට පෙර ඒවා හොඳින් අත්හදා බැලිය යුතු බව එම මණ්ඩලය පැවැසුවේය.
නව පද්ධතියට යොමුවීමේදී පරෙස්සමෙන් අධීක්‍ෂණය කළ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත් ඒ සඳහා පහත නිර්දේශ ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය.
නියමු ව්‍යාපෘතියක් දියත් කිරීම: සැබෑ ලෝක තත්වය යටතේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගයෙන් පුළුල් නියමු ව්‍යාපෘතියක් දියත් කළ යුතුය. එය නව පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර එහිදී ගැටලු සහ ඒවාට විසඳුම් සොයා ගැනීමට උපකාරී වේ.
ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැහැදිලි කාල සටහනක් : මෙහෙයුම්වලට බාධාවක් නොවන පරිද්දෙන් අපනයනකරුවන් නව පද්ධතියට අනුගත වීම සඳහා සංක්‍රාන්ති කාලයක් ඇතුළුව පැහැදිලි කාල සටහනක් රජය ස්ථාපිත කළ යුතුය.
පාර්ශවකරුවන්ට සහාය සහ පුහුණුව ලබාදීම: බාධාවකින් තොරව නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට තාක්ෂණික සහාය සහ ප්‍රමාණවත් පුහුණුව ලබාදීම.
ඉක්මනින් මුදල් ලැබෙන බව සහතික කිරීම : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රමාදයකින් වැට් බදු ආපසු ගෙවීම් සිදුකරන බව සහතික කළ යුතු අතර ප්‍රමාදය සහ ආරවුල් විසඳීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලිව පෙන්වා දිය යුතුය.
පද්ධතියේ ඇතිවන බිඳවැටීම් සඳහා ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළත් කිරීම : පද්ධතියේ මතුවන අකාර්යක්ෂමතාවලදී අවදානම් අවම කිරීමට සහ මෙහෙයුම් පසුබැසීම් වැළැක්වීමට හදිසි සැලසුමක් තිබිය යුතුය.
මෙම ගැටලු සහයෝගීව විසඳීම සඳහා අපනයනකරුවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ඵලදායී සංවාදයක නිරත වන ලෙස ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. වැට් පද්ධතියට සිදුකරන වෙනස්කම් අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ ඉලක්කය මත සිදුකළ යුතු බවද එම මණ්ඩලය පැවැසුවේය.
වැට් ආපසු ගෙවීමේ යෝජිත ක්‍රමයට අපනයනකරුවෝ කනස්සල්ලෙන්