හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ සංචිතය ඩොලර් බිලියන හයේ සිට ඩොලර් බිලියන අට දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ගයේ සංවර්ධන ක්‍රියාවලිය‘ දියත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව කරමිනි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය ගැන සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ලංකාවේ වැඩිහිටියන්ගෙන් 83%කට මුල්‍ය ආයතන වල ගිණුමක් ඇති බවයි.
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීවේය.
“මූල්‍ය සේවා සහ ඒවාට ප්‍රවේශ වීම ගැන කතා කිරීමට පෙර මම රටේ ආර්ථිකය ගැන කරුණු කිහිපයක් කියන්න කැමැතියි. අපි නිවැරැදි මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කරලා තියෙනවා කියලා මම හිතනවා. සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේදී මෙන්ම ආර්ථික වර්ධනය අතින් අපි සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.
සාර්ව ආර්ථික මූලධර්ම සැලකිල්ලට ගන්න. උද්ධමනය පහත ගිහින් තිබෙනවා. අපේ මූලික උද්ධමනය 4ත් 6ත් අතර අගයක තිබෙනවා. සමස්ත උද්ධමනයත් සියයට 4ත් 5ත් අතර අගයකට පැමිණ තිබෙනවා. අපේ විදේශ මූල්‍ය ශක්තිමත් වී තිබෙනවා. අපේ සංචිත ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 8ක් දක්වා වැඩි වී තිබෙනවා. වර්ධනය සැලකිල්ලට ගැනීමේදී ද ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.
පසුගිය වසර අපනයනවලට වාර්තාගත වසරක් බවට පත්වුණා. අපි ඉන්නේ පහළම මට්ටමේ. හැබැයි අපි පසුගිය වසරේදී වාර්තාගත අපනයන ආදායමක් වාර්තා කළා. කොළඹ කොටස් වෙළෙඳපොළට පැමිණි ආයෝජන වැඩි වී තිබෙනවා.
මූල්‍ය සේවාවලට ප්‍රවේශවීම, නැතිනම් මූල්‍ය අන්තර්ගතය අපේ රටේ ආරම්භ කළේ 20 වැනි සියවසේ මුලදි. අපේ රටේ ජනතාව මූල්‍ය සේවාවලට සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රමවේද භාවිත කළා. විවිධ ණය ක්‍රම ක්‍රියාත්මක කළා. විවිධ ආණ්ඩුව ජනතාව මූල්‍ය සේවාවලට සම්බන්ධ කරගැනීමට ජනතාවට මූල්‍ය සේවාවලට ප්‍රවේශවීමට තිබෙන හැකියාව වැඩිදියුණු කරන්න විවිධ ව්‍යාපෘති කළා. ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු, ජාතික සංවර්ධන භාරකාර අරමුදල එම වැඩසටහන්. පත්වූ විවිධ ආණ්ඩු ක්‍රියාත්මක වැඩසටහන්වලට උදාහරණ ලෙස ජනසවිය, දිවිනැගුම සහ සමෘද්ධිය වැනි වැඩසටහන් පෙන්වා දෙන්න පුළුවන්.
එම ව්‍යාපෘතිවලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ද විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. නව බැංකු ශාඛා ආරම්භ කිරීමේ, ණය දීමේ වැඩසටහන් පහසු කිරීම, ක්‍රියාවලි සරල කිරීම ආදී ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය කර්මාන්ත හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම තරුණ සහ කාන්තා යන පිරිස් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
මූල්‍ය නිෂ්පාදන හා සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් පමණක් මූල්‍ය අන්තර්ගතබව හෝ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ඇතුළත් වූවා වෙන්නේ නැහැ. එසේ වීමට නම් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු විය යුතුයි. ඒ වගේම මූල්‍ය සේවා ඵලදායී ලෙස භාවිත කළ යුතුයි. බැංකු ගිණුමක් විවෘත කළ පමණින් එය සිදුවෙන්නේ නැහැ. බැංකුව සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන්න ඕනෑ. මූල්‍ය සාක්ෂරතාව වැඩි කිරීමට මහ බැංකුව වැඩමුළු පවත්වනවා.
අපි ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වලින් ධනාත්මක බලපෑමක් වී තිබෙනවා. අද ලංකාවේ බොහෝ තැන්වල බැංකු ශාඛා තිබෙනවා. ලංකාවේ වැඩිහිටියන් 100,000කට බැංකු ශාඛා 18.6ක අනුපාතයක් තිබෙනවා. ඒ වගේම වැඩිහිටියන්ගෙන් 83%කට මූල්‍ය ආයතනයක ගිණුමක් තිබෙනවා. ඒ වගේම සංසන්ධනාත්මකව බලනකොට කලාපයේ මෙන්ම ලොව අනෙක් රටවල් සැලකිල්ලට ගැනීමේ වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 83%කට නීත්‍යානුකූල මූල්‍ය ආයතනයක ගිණුමක් තිබෙනවා. ‘ යැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
විදෙස් සංචිත ඩොලර් බිලියන දෙකකින් ඉහළට
කොබා Wednesday, 21 March 2018 02:51 AM
අපේ රටේ තරම තේරුම් ගන්න උඩින් තියෙන, ෆේස්බූක් සමාගමේ කොටස් වෙළඳපොල අගය අඩුවීම ප්‍රවෘත්තිය බලන්න, අපි වසරකදී බිලියන දෙකක් ගැන කතාකරනකොට ඔවුන්ගේ එක දිනක් තුල බිලියන 40ක වෙනසක් ගැන කතා කරනවා, අපේ රට ආර්ථික හිඟන්නෙක්, අන්ත දුර්වල රටක්, මේ ගැන හිතල කල්පනා කරලා අංශුවක් හරි ඉදිරියට යන්න ඕන, ඒක පටන් ගන්න පුළුවන් තමන්ගෙන් ම, රටක් කියන්නේ එය පාලනය කරන පක්‍ෂය නොවේ, මේ රටේ ජීවත් වන අපි පුංචි ඒකක එකතු වෙලා හැදුනු ලොකු එකකයක්, හරියට කූඹි ගුලක් වගේ, රටේ තත්වය දුර්වල වීම, පරිහානිය අනීතික බව කියන්නේ අපේම දුර්වලකම්, පාරේ යන එන විට, කසළ බැහැර කරන විට, පොදු දේපල පාවිච්චියේදී අපි කොයිතරම් ආත්මාර්ථකාමීන් ද?
kumar (galf) Saturday, 24 March 2018 02:17 PM
ලංකාවේ ආර්ථිකය හරියට හිල්කුඩේට වතුර පුරවනවා වගේ වැඩක්. හොදාපාලුවෝ රට කනකොට කොහොමද ආර්ථිකය ගොඩ එන්නේ?
සමන්ත Wednesday, 28 March 2018 09:14 PM
සමන්ත මම කොබා අදහසට ගේ සම්පුර්ණයෙන්ම එකඟයි. ඇත්තටම අපිට පක්ෂ හෝ පාට බේදයක් අවශ්‍ය නැහැ නිවැරදි රටක් හදන්න , නිවැරදි උගත් මිනිස්සු නායකත්වය දෙනවා නම් ඒ සඳහායි අපි අරගල කරන්නේ.. මට නම් ඇත්තටම සිහිනයක් තියෙනවා. ඒ අපේ රටේ මිනිස්සු ලස්සනට ප්‍රීතියෙන් ජීවත් වෙන එක දකින්න, සහ අග හිඟකම් වලින් තොරව ජීවත්වෙන එක දකින්න. ඒ සඳහා නිදහස් ආර්ථිකයක් සහ වැඩ පිළිවෙලක් අවශ්‍ය යැයි මම විශ්වාස කරනවා. එත් අපි තවම අඳුරේ අත පත ගානවා. හොඳ මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැතුව එලවාගන්නවා. ඒ අතින් ආචාර්ය කුමාරස්වාමි වෙන මහන්සිය අගය කල යුතු වෙනවා.